ශ්‍රී ලංකාවේ පාලක එජනිස අඩු ඡන්ද ප්‍රමානයක් සහිතව පලාත් සභා මැතිවරනය දිනයි

Sri Lanka: Ruling UPFA wins provincial elections but with reduced votes

By Deepal Jayasekera, 10 September 2012

සැප්තැම්බර් 08දා පැවති පලාත් සභා මැතිවරනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය උතුරු මැද හා සබරගමුව පලාත් සභා දිනාගත් නමුත් නැඟෙනහිර පලාතේ පාලනය හිමිකර ගැනීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව ලබාගැනීමට අසමත් විය.

2008 පැවති පලාත් සභා මැතිවරන හා සසඳන කල එජනිසයේ සමස්ත ආසන සංඛ්‍යාව 65 සිට 63 දක්වා එනම්, සියයට 54.7 සිට 51.1 දක්වා පහත වැටී ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි ගම්බද දුගී ජනතාව අතර පුලුල්ව පැතිර තිබෙන අසන්තෘප්තියේ සීමිත පිලිඹිඹුවක් මෙම සංඛ්‍යා මගින් ප්‍රකාශ කෙරෙයි.

උතුරුමැද හා සබරගමුව පලාත්වලදී පාලක සභාගය සිය ආසන සංඛ්‍යාව පිලිවෙලින් 20 සිට 21 දක්වාත් 25 සිට 28 දක්වාත් වැඩිකරගෙන තිබේ. උතුරුමැද හා සබරගමුව පලාත්වල බහුතරයක් වන සිංහල වැඩකරන ජනතාව වාර්ගික පදනමකින් ඡන්දය දීම සඳහා පොලඹවා ගැනීම පිනිස හිතාමතාම දෙමල විරෝධී වර්ගවාදය ඇවිස්සීම මගින් ආන්ඩුව එය සිදුකරගෙන තිබේ.

ජාත්‍යන්තර බලවතුන්ගේ පිටුබලය සහිතව 2009 වසරේ පරාජයට පත් කල දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) රට තුලත් විදේශයන්හිත් යලි කාන්ඬ ගැසෙමින් සිටින බව කියා සිටිමින් එජනිස නායක‍යෝ ඡන්දදායකයින් තැතිගැන්වීමේ මැතිවරන ව්‍යාපාරයක් ගෙන ගියහ. තම ආන්ඩුව බටහිර බලවතුන්ගේ ගොදුරක් වී ඇති බව පෙන්වමින් රාජපක්ෂ, “ජාත්‍යන්තර ප්‍රජාවට” එරෙහිව රට ගලවා ගැනීම පිනිස ඉදිරිපත්වන ලෙස ඡන්දදායකයින්ට ආයාචනා කලේය.

මෙම ප්‍රකාශ මුලුමනින්ම සාවද්‍යය. එක්සත් ජනපදය ද ඇතුලු සියලු බටහිර බලවත්තු, එල්ටීටීඊයට එරෙහිව රාජපක්ෂ යලි ආරම්භ කල යුද්ධයට පිටුබලය දෙමින් එහි යුද අපරාධ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංඟනය කිරීම නොදුටුවාක් සේ සිටියහ. වොෂින්ටනය හා එහි අනුචරයින් දැන් “මානව අයිතීන්” පිලිබඳ ප්‍රශ්නය ගැන උනන්දු වන්නේ දෙමල සුලුතරය ආරක්ෂා කිරීම පිනිස නොව, චීනයෙන් ඈත්ව සිටින ලෙසට රාජපක්ෂ මත පීඩනය යෙදීමටය.

සැලකිය යුතු දෙමල හා මුස්ලිම් ජනතාවක් වෙසෙන යුද්ධයෙන් විනාශයට පත් නැගෙනහිර පලාත තුල එජනිස ආසන සංඛ්‍යාව 20 සිට 14 දක්වා තියුනු ලෙස පහත වැටුනි. 2008දී ආන්ඩුවට දෙමල ජනතා නිදහස් පක්ෂය (ටීඑම්වීපී) සමග එකතුව එහි පාලනය අත්කර ගැනීමට හැකි වුවත් මෙවර එය වැලකී ගියේය.

විශේෂයෙන්ම දෙමල හා මුස්ලිම් ප්‍රජාවන් අතර දේශපාලන විරුද්ධවාදීන් බියගැන්වීම පිලිබඳව කුප්‍රකට ටීඑම්වීපීය, එල්ටීටීඊයෙන් බිඳීගිය කන්ඬායමකි. යුද්ධය නිමාවීමෙන් පසුව දෙමල හා මුස්ලිම් ජනතාවගෙන් බොහෝ දෙනෙක් ජීවත් වන්නේ නරකාදි බඳු අනාථ කඳවුරු තුලය. ඔවුහු තම ඡන්දය, ආන්ඩුව හා ටීඑම්වීපීය කෙරෙහි විරුද්ධත්වය පලකිරීම පිනිස යොදාගත්හ.

නැගෙනහිර පලාතේ පාලනය සියතට ගැනීම පිනිස නම් එජනිස ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය මත වාරු විය යුතුය. මුස්ලිම් කොන්ග්‍රසය ආන්ඩුවේ කොටස්කරුවෙකු වන අතර එහි නායක රාවුෆ් හකීම් කැබිනට් ඇමතිවරයෙකි. එහෙත් මුස්ලිම් ජනතාව අතර ආන්ඩුව කෙරෙහි පවතින දැඩි විරුද්ධත්වය ඇඟවුම් කරමින් පලාත් සභා ඡන්දයට එම පක්ෂය ඉදිරිපත් වුනේ වෙනමය.

රාජපක්ෂ කල් තියා මැතිවරනය නිවේදනය කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කර තිබෙන කප්පාදු වැඩ සටහනේ ඊලඟ වටය ක්‍රියාවට නැඟීම හා ආන්ඩුවේ මානව අයිතීන් පිලිබඳ වාර්තාව කෙරෙහි පල වන ජාත්‍යන්තර විවේචනයන්හි සැර බාල කිරීම පිනිස ජනවරමක් ලබාගැනීමටය. ආන්ඩුව අමු අමුවේ රාජ්‍ය දේපල අවභාවිතා කරමින් ද මැර බලය යොදාගනිමින් ද කටයුතු කල නමුත් මැතිවරන ප්‍රතිපලය ජනාධිපති අපේක්ෂා කල ආකාරයේ බලගතු පනිවිඩයක් නම් නොවේ.

ආන්ඩුවේ ඡන්ද තවදුරටත් පහල නොවැටුනේ, එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යන විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක කිසිදු බැරෑරුම් විකල්පයක් ආන්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම නිසාය. ඔවුන්ගේ ප්‍රතිපත්ති ආන්ඩුවට වඩා මූලිකව වෙනස් නොවේ. දෙපක්ෂයම සිංහල වර්ගවාදයෙන් වෙලී ඇත. ඔවුන් එල්ටීටීඊයට එරෙහිව රාජපක්ෂ ගෙනගිය යුද්ධයට පිටුබලය දුන් අතර ජාත්‍යන්තර මූල්‍යාතායතන විසින් නිර්දේශිත වෙලඳපොල ගැති න්‍යායපත්‍රයට ද කැපවී සිටියි.

පසුගිය 18 වසරක කාලයෙන් දෙවසරක් පමනක් බලයේ රැඳී සිටි එජාපය කන්ඬායමික කාකොටාගැනීම් වලින් පතුලටම බෙදී ගොසිනි. එය සතුව පැවති ආසන සංඛ්‍යාව 44 සිට 29 දක්වා තියුනු ලෙස ඇද වැටුනු අතර ලබාගත් ඡන්ද ප්‍රමානය සියයට 40.2 සිට 27.7 දක්වා පහල ගියේය. ජවිපෙ සබරගමුව පලාතේ ආසන දෙක ද නැගෙනහිර පලාතේ ආසනය ද අහිමි කරගත් අතර උතුරු මැද පලාතේ හිමිකර ගත්තේ එක් ආසනයක් පමනි. එහි ඡන්ද ප්‍රමානය සියයට 2.8 සිට 1.6 දක්වා පහල වැටුනි.

එජාපය මෙන්ම ජවිපෙ ද පිරිහෙන ජීවන තත්වයන් හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහිව උද්ඝෝෂනය කල ද මොවුන් බලයට පත්වුනොත් ඊට වඩා වෙනස් වනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කලේ නැත.

නැගෙනහිර පලාතේදී දෙමල ධනපති පක්ෂ අතර සන්ධානයක් වන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ආසන 11 හිමිකර ගත්තේය. එය ටීඑන්ඒ පිලිගැනීමකට වඩා දෙමල සුලුතරයේ කොටස් බොහෝකොටම ආන්ඩුවට එරෙහිව දුන් විරෝධතා ඡන්දයකි. එල්ටීටීඊයේ පාර්ලිමේන්තු හොරනෑව ලෙස කටයුතු කල ටීඑන්ඒ යුද්ධය නිමාවූ තැන් පටන් කොලඹ දේශපාලන සංස්ථාපිතය සමග යලි ඒකාග්‍ර වීමේ මංමුලාසහගත උත්සාහයක යෙදී සිටියි.

දෙමල ප්‍රභූවට වැඩි දේශපාලන හඬක් ලබාදෙන බලය බෙදාහැරීමේ එකඟතාවක් සඳහා රාජපක්ෂ තල්ලු කිරීමට “ජාත්‍යන්තර ප්‍රජාවෙන්” ඉල්ලා සිටීම පිනිස මෙම මැතිවරන ප්‍රතිපල යොදාගැනීමට ටීඑන්ඒ දැන් අදහස් කරයි. පැහැදිලිවම පක්ෂය ඊට වැඩි ප්‍රතිපල බලාපොරොත්තු විය. ටීඑන්ඒ මන්ත්‍රී ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පැවසුවේ ඔහුගේ “පක්ෂයට බලාපොරොත්තුවූවාට වඩා අඩුවෙන් ඡන්ද ලැබුනේ සෑහෙන තරම් දෙමල වැසියන් ඡන්දය නොදුන් නිසා” බවය.

මැතිවරන ප්‍රතිපලය රටේ දේශපාලන තත්වය පිලිබඳ බෙහෙවින් විකෘති පිලිඹිඹුවකි. මැතිවරන ව්‍යාපාරය පුරාම පිරිහෙන ජීවන තත්වයන් පිලිබඳව කම්කරුවන්ගේ, ගොවීන්ගේ හා සිසුන්ගේ විරෝධතා හා අරගල පැවතුනි. වැටුප් ප්‍රශ්න මුල්කරගෙන විදුලිබල කම්කරුවන් 15000 පමන සතියක් පුරා විරෝධතාවන්ගේ යෙදුනු අතර විශ්වවිද්‍යාල ආචාර්යවරු මාස දෙකක් දිග්ගැස්සී ඇති වර්ජනයක නිරතව සිටිති. උතුරු මැද පලාතේ ගොවීහු නියං සහන පිලිබඳ කඩකල පොරොන්දු නිසා නිරන්තරව උද්ඝෝෂනය කල අතර විශ්වවිද්‍යාල වසා දැමීමට එරෙහිව සිසුහු පෙලපාලි දැක්වූහ.

සබරගමුව පලාතේ කෑගල්ල දිස්ත්‍රික්කයට තරඟ වැදුනු සමාජවාදී සමානතා පක්ෂය රාජපක්ෂ ආන්ඩුව කප්පාදු වැඩසටහන පෙරට ගෙන යනු ඇති බවට අනතුරු අඟවමින් සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත සියලු ධනපති පක්ෂ වලින් ස්වාධීනව කම්කරුවන් හා ගම්බද දුගීන් බලමුලු ගැන්වීමට සටන් වැදුනි. සසප ඡන්ද 86ක් ලැබීය. මේ සෑම ඡන්දයක්ම සමාජවාදී හා ජාත්‍යන්තරවාදී විකල්පයක් සඳහා පලවූ පන්ති විඥානයෙන් යුත් පියවරකි.

මැතිවරන උද්ඝෝෂනය පැවැත්වෙද්දී එක්සත් ජනපද ජනාධිපතිවරනයේ සසප අපේක්ෂකයා වන ජෙරී වයිට් ශ්‍රී ලංකාවට පැමිනි අතර කෑගල්ල ද ඇතුලු නගර ගනනාවක රැස්වීම් ඇමතීය. ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉදිරිදර්ශනයෙහි හදවතෙහිම පවතින සමාජවාදී ජාත්‍යන්තරවාදය ඔහුගේ සංචාරයෙන් ප්‍රකාශ විය. නරක අතට හැරෙන ධනවාදයේ ගෝලීය අර්බුදය හමුවේ ලෝකය පුරා කම්කරුවන් මුහුන දෙන්නේ එක හා සමාන ප්‍රහාරයන්ටය. එකම විසඳුම වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත් අරගලයකින් බංකොලොත් ලාභ ගැරීමේ පද්ධතිය අහෝසි කර දැමීමයි.

දෙමල කතාකරන රබර් වතු කම්කරුවන් ද ඇතුලු කම්කරුවන්, තරුනයින් හා ගොවීන් සසප උද්ඝෝෂකයින්ට උනන්දුවෙන් ඇහුන්කන් දුන්නේය. අපගේ උද්ඝෝෂනයට සහයෝගය දුන් හා අපට ඡන්දය දුන් සියලු දෙනාට ස්තුතිවන්ත වන්නෙමු. ඔබගෙන් අප ඉල්ලා සිටින්නේ, පක්ෂ ක්‍රියාමාර්ගය බැරෑරුම්ව අධ්‍යයනය කරමින් කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැඟීමට එක්වන ලෙසයි.

Share this article: