එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය ජාතික සම්මේලනය පවත්වයි

Socialist Equality Party (US) holds National Congress

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (සිංහල) 2012 ජූලි 08-12 දක්වා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය විසින් පවත්වන ලද දෙවන ජාතික සමුලුවේදී සම්මත කල ප්‍රධාන යෝජනාව ඉදිරියේදී පලකරනු ලබයි.

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය 2012 ජූලි 08-12 දිනවල මිචිගන් ප්‍රාන්තයේ ඩිට්‍රොයිට්හිදී සිය දෙවන ජාතික සමුලුව පැවැත්විය. සමුලුව යෝජනා හතරක් ඒකඡන්දයෙන් සම්මත කලාය. ඒ සමාජවාදී සමානතා පක්ෂයේ ඉදිරිදර්ශන, 2012 මැතිවරනය හා සසප උද්ඝෝෂනය, කම්කරු පන්තිය සංවිධානය කිරීම හා සමාජවාදය සඳහා සටන හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුන හා ශිෂ්‍යයෝ ගොඩනඟනු ය.

එක්සත් ජනපදයේ නන් දෙසින් පැමිනි නියෝජිතයෝ සමුලුවට සහභාගී වූහ. කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය ශ්‍රී ලංකාව, එංගලන්තය හා ප්‍රංශයෙන් පැමිනි සැලකිය යුතු ජාත්‍යන්තර නියෝජිතයින් ද ඊට එක් විය.

සමුලුව පක්ෂයේ ප්‍රධාන සංස්ථාව වන ජාතික කමිටුවක් පත්කරගන්නා ලදී. ඩේවිඩ් නොර්ත් ජාතික සභාපති ලෙස පත්කරගනු ලැබීය. නව ජාතික කමිටුව ජෝසෆ් කිෂෝර් ජාතික ලේකම් වශයෙන් යලි පත්කර ගත්තේය. ලෝරන්ස් පෝටර් සහකාර ජාතික ලේකම් වශයෙන් ද බැරී ග්‍රේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාතික සංස්කාරක වශයෙන් ද පත්කර ගත්තේය.

සමුලුව විවෘත කරමින් ඩේවිඩ් නෝර්ත්, එහි කටයුතු ලෝක ආර්ථික හා දේශපාලන තත්වය පිලිබඳ සන්දර්භයෙහි පිහිටුවීය. ඔහු මෙසේ පැවසීය. “මෙම සමුලුව පැවැත්වෙන්නේ 1930 ගනන් වලින් මෙපිට ඇමරිකානු හා ලෝක ධනවාදයේ දැවැන්තම ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදය හමුවේය. රැකියා අවස්ථා වර්ධනය එකතැන පල්වීම හා එක්සත් ජනපදය තුල නිෂ්පාදනයේ තියුනුම පහත වැටීම මගින් ඔබාමා පාලනය නැවත නැවත් කියාපාන “ප්‍රකෘතිමත්වීමක්” සිදුවෙමින් ඇතැයි යන්න විහිලුවට ලක්කරයි.

“එක්සත් ජනපද ආර්ථිකයේ පුනර්ජීවනයක ශක්‍යතාව, යුරෝපය හා ආසියාව තුල උග්‍ර අතට හැරෙන අර්බුදය මගින් නිෂේධනය කෙරෙයි. චීන හා යුරෝපීය මහ බැංකු විසින් එකවිටම පොලී අනුපාත කපා හැරීම සමග බැඳුනු උත්තේජක වැඩසටහන වේගවත් කිරීමේ එංගලන්ත මහ බැංකු‍වෙහි තීරනය, ලෝක ආර්ථික‍ෙය් තත්වය සීග්‍රයෙන් පිරිහෙන්නේය යන පාලක පැලැන්තීන් තුල පුලුල් ලෙස පවතින විශ්වාසය පිලිබඳව සාක්ෂි දරයි.

“අප විසින් යලි යලිත් අවධාරනය කර ඇති පරිදි අර්බුදය හුදෙක් වාරික නොව පද්ධතිමය ස්වභාවයක් ගන්නේය. දෙවන ලෝක සංග්‍රාමයෙන් ඉක්බිත්තෙහි ලෝක ධනවාද‍ෙය් ස්ථාවරත්වය හා වර්ධනයට කේන්ද්‍රීයවූ ආයතනයන්හි බිඳවැටීම අපි අත්දකින්නෙමු. යුරෝවේ අසාර්ථකත්වය, 1945න් පසුව වර්ධනය කරන ලද යුරෝපයේ “එක්සත්කම” පිලිබඳ සමස්ත ව්‍යාපෘති‍යෙහිම බිඳ වැටීම සලකුනු කරයි.

“එහෙත් සිදුවෙමින් ඇත්තේ ආයතන බිඳ වැටීම පමනක් නොව, ධනේශ්වරයේම කුනුවීමයි. සමකාලීන අර්ථශාස්ත්‍රඥයෙකුගෙන් නයට ගත් නිර්වචනයක් වන මූල්‍යකරනය යන ප්‍රපංචය ගෙනහැර දක්වන ආකාරයට ‘ලාභ ඉපැයීම, වෙලඳ භාන්ඬ නිෂ්පාදනයෙන් හා වෙලඳාමෙන් නොව වඩ වඩාත් මූල්‍ය නාලිකාවන් තුලින් සිදුකෙරෙන බව හා සමූච්ඡයකරනයේ රටාව’ නියෝජනය කරන්නේ ආර්ථික පරපුටු භාවයේ ජයග්‍රහනයයි. ඒ සමග ධනේශ්වර සමාජය සාපරාධිත්වයේ පතුලටම ඇද වැටීම නොවැලැක්විය හැකිය.

ආර්ථික අර්බුදය දුරදිග යන දේශපාලන ප්‍රතිවිපාක ගැබ්කරගනු ඇති බව නෝර්ත් පෙන්වා දුන්නේය.

“අප දැන් අත්විඳිමින් සිටින්නේ ඓතිහාසික වර්ධනයේ එක් දිගු කාලපරිච්ඡේදයක අවසානයයි. සැබවින්ම, අප දැනටමත් එලඹ සිටින්නේ ඓතිහාසික වර්ධනයේ නව අවධියකට යයි පැවසීම වඩාත් නිවැරදි වනු ඇත. එය අංඟලක්ෂිත වන්නේ ලෝක ඉතිහාසයේ දැවැන්තම සමාජ කලකෝලාහල මගිනි. සත්තකින්ම ප්‍රධාන යෝජනාවේ අවධාරනය කර ඇති පරිදි 2008 අර්බුදය නියෝජනය කරන්නේ 1914, 1929 හා 1939 වර්ෂයන්ට නොඅඩු ලෙසින් ලෝක ඉතිහාසයේ හැරීමක්ය යන්න මෙහි අර්ථය වන්නේය.

“මෙම සමුලුව ඉදිරියේ ඇති කර්තව්‍යය වන්නේ මෙම ‘හැරීමෙහි’ දේශපාලන ගම්‍යයන් හතරවන ජා්‍යන්තරයේ ඓතිහාසික වර්ධනයේ ද්‍රෂ්ඨි ආස්ථානයේ සිට වටහා ගැනීමයි. හැත්තෑහතර වසරකට පෙර ට්‍රොට්ස්කි, හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලියවිල්ල පටන්ගන්නේ, ‘සමස්තයක් ලෙස ලෝක දේශපාලන තත්වය අති මූලිකව අංඟලක්ෂිත වන්නේ, කම්කරු පන්තියේ නායකත්වය පිලිබඳ ඓතිහාසික අර්බුදයෙනි.’ ලෝක ධනේශ්වර පද්ධතියේ වැඩිදියුනු අර්බුදය කෙරේ සිය ප්‍රතිචාරය තීරනය කිරීමේදී මෙම සමුලුව යට සඳහන් ප්‍රශ්නය සැලකිල්ලට ගත යුතුය. එනම්, ලෝක ධනවාදයේ හා පන්ති අරගලයේ වෛෂයික ප්‍රතිවිරෝධයන්ගේ අන්තර් ක්‍රියාකාරිත්වය ද හතරවන ජාත්‍යන්තරයේ වර්ධනය ද විභාග කිරීමේ සන්දර්භය තුල වර්තමානයේදී අප කම්කරු පන්ති නායකත්වයේ අර්බුදය තක්සේරු කරන්නේ කෙසේ ද?”

නෝර්ත්, විසිවන සියවසේ විප්ලවයන් හා ප්‍රතිවිප්ලවයන්හි පාඩම් උකහා ගැනීම තුල සිය දේශපාලන ක්‍රියාමාර්ග පදනම් කරන සසපයේ හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රවිෂ්ඨය, මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කොටස්වල අවශ්‍යතා පිලිඹිඹු කරන ව්‍යාජ වාම සංවිධාන වෙතින් වෙන්කර දැක්වීය. 1917 ඔක්‍තා්බර් විප්ලවයෙන් ඉක්බිත්තෙහි මතුවී ආ දේශපාලන ප්‍රශ්න ගැන ආස්ථානයක් නොගන්නා ප්‍රන්සයේ නව ධනේශ්වර විරෝධී පක්ෂයේ (එන්පීඒ) මෑත ප්‍රකාශය ඔහු නිදසුනක් ලෙස එහිදී ගෙනහැර දැක්වීය.

“වෙනත් වචන වලින් කිවහොත් එන්පීඒ, ඓතිහාසික වර්ජකවාදය කරපින්නා ගනියි. සියලු දැවැන්ත ඓතිහාසික ප්‍රශ්න පිලිබඳව එහි පිලිතුර කාලයක් සමාජවාදී කම්කරු පක්ෂයේ ප්‍රමුඛ සාමාජිකයෙක්ව සිටි ජේම්ස් බර්න්හැම් අදාල කරගෙන ට්‍රොට්ස්කි වරෙක පැවසූ පරිදි, ‘සමාවන්න මම දුම් පානය නොකරමි’ වැන්නකි. ඔවුන්ට අතීතය ගැන කීමට කිසිවක් නැත. ලෝක ඉතිහාසයේ අතිශයින්ම කලබලකාරී අවධි‍ෙය් පාඩම් තුලින් වැඩ නොකර කිසිදු ප්‍රශ්නයක් ගැන සංයුක්ත ප්‍රතිපත්තියක් වර්ධනය කරන්නේ කෙසේ දැයි යමෙක් තමාගෙන්ම විමසාගත යුතුය. ඔවුන්ට අවශ්‍ය වන්නේ රුසියානු විප්ලවය, සෝවියට් සංඟමයේ ස්වභාවය, ස්ටැලින්වාදය, අධිරාජ්‍යවාදී යුද්ධ වෙතින්, ඔහේ ලිස්සා යාමටය. ඒ සියල්ල අමතක කර දැමිය හැක්කේ කෙසේ ද? ඔවුන් දේශපාලන සිදුවීම් කෙරෙහි මුලුමනින්ම ධාරනාවාදී ආවාට ගියාට පදනමක සිට ප්‍රතිචාර දක්වයි. එහිම සමාජ තත්වය තුල මුල් බැස තිබෙන එවන් ක්‍රමවේදයකට අතිශයින්ම අවස්ථාවාදී අදූරදර්ශී හා ප්‍රතිගාමී දේශපාලනයක් හැර වෙනත් යමක් ඉදිරිපත්කල නොහැකිය.

ජෝසෆ් කිෂෝර් පලමු යෝජනාව ඉදිරිපත් කලේය. ඊජිප්තු විප්ලවය, විස්කොන්සින්හි කම්කරු පන්තියේ විරෝධතා, ග්‍රීක මැතිවරන හා යුරෝපයේ සමාජ කැලඹීම් ද වෝල් වීදිය වාඩිලාගනු ව්‍යාපාරය ද ඇතුලු 2011 ආරම්භයේ පටන් ඇතිවූ ජාත්‍යන්තර පන්ති අරගලයේ වර්ධනය තුල ප්‍රධාන සිදුවීම් පිලිබඳව එය අවධාරනය යොදා තිබුනි.

“ගෝලීය ආර්ථික අර්බුද‍ෙය් උත්සන්න වීම, එක්සත් ජනපදය හා ලෝකය පුරා පන්ති අරගලය නොවැලැක්විය හැකි පරිදි යලි පැනනැගීමට තුඩු දෙයි.” යෝජනාව කියා සිටියේය. “අනිවාර්ය විප්ලවවාදී අරගලයන් ගැන අනාවැකි පලකොට ඒවායේ දිගහැරීම සිදුවන තෙක් බලා සිටීම සෑහෙන්නේ නැත. සමාජවාදී සමානතා පක්ෂය මහජන අරගල පැනනැඟීමට පෙරාතුව කම්කරු පන්තිය තුල සියල්ලටත් වඩා එහි දියුනුම කොටස් අතර පෙනී සිටිමින් ඒවා වර්ධනය කිරීමට හැකි සියල්ල කල යුතුය.”

සිය දේශපාලන හා ද්‍රෂ්ඨිමය අධිකාරය පවත්වා ගැනීමට උත්සාහ කරන පාලක පන්තිය, විවිධාකාර “වාම” සංවිධානවල පිහිට පතන බව යෝජනාව සඳහන් කරයි. මෙම සංවිධානවල ක්‍රියාකලාපය ගෙනහැර දක්වන යෝජනාවේ කොටස් වෙත අවධානය යොමු කරමින් කිෂෝර් මෙසේ පැවසීය. “පසුගිය වසර එක හමාරක කාලය, කම්කරු පන්තියට නායකත්වයේ වැදගත්කම පිලිබඳව අගනා පාඩම් සපයා දී ඇත. ඊට සම්බන්ධිතව මධ්‍යම පන්තික ව්‍යාජ වමේ ක්‍රියාකලාපය දැකගත හැකිය. ඊජිප්තුවේදී විප්ලවකාරී සමාජවාදීන් හා අනෙකුත් ව්‍යාජ වාම ප්‍රවනතා මහජන නැගිටීම් ධනේශ්වර බලවේග පිටුපස දැක්කූහ. එමගින් මිලිටරි ආඥාදායකත්වය පෙරලා නොදැමීමට වග බලා ගත්හ.. විප්ලවයේ ජයග්‍රහනයක් ලෙස හුවා දක්වමින් ප්‍රතිවිප්ලවය බලගැන්වීමට මුස්ලිම් සහෝදරත්වය මිලිටරිය සමග සන්ධානගත වීම ගැන කතා කල ඔවුහු එක දිගටම මුස්ලිම් සහෝදරත්වය වර්නනා කලහ.

ග්‍රීසියේදී රාජ්‍ය ධනවාදීන්, හිටපු ස්ටැලින්වාදීන්, පරිසර‍ෙව්දීන් හා අනෙකුත් ප්‍රවනතාවන‍්ගෙන් සැදුම්ලත් හවුලක් වන සිරිසා, කප්පාදු පියවරයන්ට එරෙහි මහජන විරෝධාවන්ගෙන් වාසි ලැබූහ. මුලුමනින්ම ධනේශ්වර දේශපාලන රාමුව තුල පෙලගැසුනු ඔවුහු යුරෝවට හා යුරෝපීය සංගමයට සිය ලෙන්ගතුකම පලකරමින් කප්පාදු පියවර ඉදිරියට ගෙන යාමට පිලින දුන්හ. එක්සත් ජනපදයේ විස්කොන්සින්හිදී අපි අත් දුටුවේ වසර ගනනාවකට පසු පැනනැඟි විශාලතම කම්කරු පන්ති පෙලපාලි ජාත්‍යන්තර සමාජවාදී සංවිධානයේ හා වෘත්තීය සමිතිවල පූර්න පිටුබලය සහිතව ඩිමොක්‍රටික් පක්ෂය පිටුපස දක්කන ආකාරයයි.”

වෝල් වීදිය වාඩිලාගනු ව්‍යාපාරය පිලිබඳ සසප විශ්ලේෂනයේ පදනම මත මෙම අත්දැකීම් එකට ගනිමින් යෝජනාව අවධාරනය කලේ, “ව්‍යාජ වාම සංවිධාන එක්ව ගත් කල නියෝජනය කරන්නේ ධනේශ්වර දේශපාලනය තුල ප්‍රවනතාවක්” බවයි.

යෝජනාව මෙසේ පැවසීය. “ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම්වූ කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයකට පමනක් ඇමරිකානු පාලක පන්තිය සමග ගනුදෙනු බේරාගත හැකිය. බැරෑරුම් හා අත් නොහරින අරගලයකින් තොරව ජයග්‍රහන නෙලාගත නොහැකි බව සමාජවාදී සමානතා පක්ෂය සිය දේශපාලන ඉදිරිදර්ශනය තුල පෙන්වා දෙන්නේය. එය සිය සාමාජිකත්වය තුලට වඩාත්ම දුරදක්නා හා කැපකිරීමට සූදානම් කම්කරුවන් හා තරුනයින් දිනාගත යුතුය.”

ලෝසවෙඅ ලේඛක පැට්‍රික් මාටින් 2012 එක්සත් ජනපද මැතිවරන පිලිබඳ යෝජනාව ඉදිරිපත් කරමින්, ජෙරී වයිට්ගේ හා උප ජනාධිපති අපේක්ෂක ෆිලිස් ස්කරර් ගේ මැතිවරන ව්‍යාපාරය අනුමත කලේය. බරක් ඔබාමා හා මිට් රොම්නිගේ මැතිවරන තරඟය එක හා සමානව ව්‍යාපාරික හා මූල්‍ය වංශාධිපීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවූ අපේකෂකයින් දෙදෙනෙකුගේ තරඟයක් බව යෝජනාවෙන් පෙන්වා දුන්නේය. සසප උද්ඝෝෂනයේ අරමුන කම්කරු පන්තිය තුල විප්ලවවාදී නායකත්වයක් ගොඩනැඟීමයි.

සසප ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් කම්කරු පන්තිය සන්විධානය කිරීම පිලිබඳ යෝජනාව ගෙන ආවේය. ඒඑෆ්එල්-සීඅයිඕ වෘත්තීය සමිති සම්මේලනයේ හා හවුල දිනීමේ වෙනස ව්‍යාපාරයේ කම්කරු විරෝධී ස්වභාවය පැහැදිලි කරමින් කම්කරු පන්ති සංවිධානයට නිල වෘත්තීය සමති වලින් දේශපාලනිකව හා සංවිධානාත්මකව බිඳී වෙන්වෙමින් සාමාජිකත්වයේ ස්වාධීන කමිටු ගොඩනැඟීමේ අවශ්‍යතාවය අවධාරනය කලේය. එහිදී, අයවැය කප්පාදුවට එරෙහි විස්කොන්සින්හි විරෝධතා ද ඉන්ඩියානාපොලිස්හි ජෙනරල් මෝටර්ස් හා ඔහියෝ ෆින්ඩ්ලේහි කූපර් ටයර් කම්කරු අරගල ද ඇතුලු 2011 හා 12 වසරවල එක්සත් ජනපදයේ වැදගත් කම්කරු පන්ති අරගල විමසුමට ලක්කෙරුනි.

සමුලුව විසින් අනුමත කල අවසාන යෝජනාව ඉදිරිපත් කලේ තරුන නායක ඇන්ඩ්‍රේ ඩිමොන් විසිනි. සමාජවාදී සමානතා පක්ෂයේ තරුන හා ශිෂ්‍ය ව්‍යාපාරය ගොඩනැඟීම සඳහා ක්‍රියාමාර්ගයක් එහිදී විස්තාරනය කෙරුනි. “කම්කරු පන්තියේ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැඟීම සඳහා ශිෂයන්ගේ හා තරුන කම්කරුවන්ගේ නව පරම්පරාවක් මාක්ස්වාදයේ හා හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයෙන් හා මූලධර්ම වලින් උගන්වා ගැනීම අවශ්‍ය බව” ඉන් කියා සිටියේය.

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ යන සංවිධානයේ නම සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුන හා ශිෂ්‍යයෝ (සසජාතශි) යනුවෙන් වෙනස් කිරීම සඳහා සමුලුව අනුමැතිය නල කලේය. මෙම වෙනසත් සමග නියෝජිතයෝ, සසජතශි විසින් තරුනයින්ගේ සියලු කොටස් පුලුල් ලෙස ඇමතීමේ අවශ්‍යතාව අවධාරනය කලහ.

සමුලුවේදීම වර්ධනය කල දේශපාලන හා න්‍යායික සංකල්ප මත පදනම්ව කම්කරු පන්තිය තුල ආක්‍රමනශීලී ලෙස සමාජවාදී සමානතා පක්ෂය ගෙඩනැඟීමට නියෝජිතයින්ගේ කැපවීම සහිතව සමුලුව නිමා කෙරිනි.

සමුලු රැස්වීම නිමා කරමින් කිෂොර්, පක්ෂ ක්‍රියාමාර්ගය කම්කරු පන්තිය දේශපාලන අරගලයට ඇද දමන වෛෂයික බලවේග නියෝජනය කරන බව අවධාරනය කලේය. පක්ෂය කම්කරුවන් තරුනයින් හා ශිෂයන් අතරින් පුලුල් වශයෙන් බඳවාගනු ඇත. “අපගේ කර්තව්‍යය එක්සත් ජනපදයේ කම්කරු පන්ති‍ෙයහි මහජන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැඟීමට වඩා අඩු නොවේ. එය සමාජවාදී විප්ලවය සඳහා ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසක් වනු ඇත.”

Share this article: