ශ්‍රී ලංකාවේ පලාත් සභා මැතිවරනයේදී සසපට ඡන්දය දෙන්න

Vote SEP in Sri Lankan provincial elections

By the Socialist Equality Party (Sri Lanka) , 7 September 2012

සමාජවාදී සමානතා පක්ෂය සැප්තැම්බර් 08දා පැවැත්වෙන පලාත්සභා මැතිවරනයේදී සිය අපේක්ෂක ලැයිස්ත්‍තුවට ඡන්දය දෙන ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියි.

ජීවන තත්වයන්ට, නිදහස් අධ්‍යාපනයට ශුභසාධන හා මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාර ද ඇතුලු වැඩකරන ජනාතාව මුහුනපා සිටින දැවෙන ප්‍රශ්න විසඳිය හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් සඳහා කරන අරගලයකින් පමනි. ප්‍රාදේශියවාදී, පලාත්බද හෝ ජාතික පදනමක විසඳුම් පොරොන්දු වෙමින් ජනතාව යලි වතාවක් රැවටීමට උත්සාහ දරන සියලු දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරන ලෙස අපි ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටිමු.

පටන්ගැනීමේ සිටම සසප අවධාරනය කල පරිදි සෙනසුරාදා ඡන්දයේ ප්‍රතිපලය කවරක් වුවත් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියෝග කර ඇති දරුනු කප්පාදු පියවර දිගටම ක්‍රියාවට නගනු ඇත. ජාමූඅ න් තවත් ඩොලර් මිලියන 500ක නයක් ගැනීමට බලාපොරොත්තු වන රාජපක්ෂ වසර අවසන් වන විට අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.2 දක්වා කැපීමට එකඟවී සිටියි. මෙහි අර්ථය එලඹෙන මාසවලදී කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට තව තවත් ප්‍රහාර එල්ල කෙරෙන බවයි.

මැරබලය හා රාජ්‍ය සම්පත් උපයෝගී කර ගනිමින් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුව මැතිවරන උද්ඝෝෂනයේ යෙදී සිටියි. මැතිවරන මහලේකම් කාර්යාලයට අනුව මේ දක්වා ප්‍රචන්ඩ ක්‍රියා හා මැතිවරන නීති කඩකල බවට පැමිනිලි 337ක් වාර්තාවී ඇත. ඉන් බොහොමයක් ආන්ඩුවේ දේශපාලඥයින්ට එරෙහිවය. ආන්ඩුව බලාපොරොත්තු වන්නේ කොක්කෙන් හෝ කෙක්කෙන් මැතිවරනය දිනා දැන් තමන්ට ජාමූඅ කප්පාදු වඩසටහන ක්‍රියාවට නැඟීමට ජනවරමක් ලැබී ඇති බව වංචනික ලෙස හුවා දැක්වීමටය.

මැතිවරනයට ක්‍රියාත්මකව සහභාගී වන රාජපක්ෂ, ජනාධිපති වශයෙන් තමන් සතු බලය අයුතු ලෙස යොදා ගනියි. සැප්තැම්බර් 02දා කෑගල්ලේදී පවත්වන ලද තම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සංවත්සර රැස්වීම ප්‍රයෝජනයට ගනිමින් ඔහු “ජනතාවට විශාල සහන හා ප්‍රතිලාභ අත්කර දෙන පරිදි මෙරට ආසියාවේ හරි මැදට ගෙන එන" බවට පොරොන්දු විය. මැතිවරන ප්‍රතිපලය තුලින් “රට නිවැරදි මාවතේ ගමන් ගන්නේය යන සත්‍ය පනිවිඩය ජනතාව ජාත්‍යන්තර ප්‍රජාවට නිකුත්කරනු ඇති බවට” ජනාධිපති විශ්වාසය පල කලේය.

කලාපයේ සෑම රටක් මෙන්ම ශ්‍රී ලංකාව ද ව්‍යසනකාරී යුද්ධයක අන්තරාය මතුකරන එක්සත් ජනපද-චීන එදිරිවාදිකමේ සුලිය තුලට ඇද ගනිමින් තිබේ. වොෂින්ටනය හා එහි අනුචරයින් ආන්ඩුව බීජිනයෙන් ඈත්කර තැබීම සඳහා එයට පීඩනය යෙදීම පිනිස එහි ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඝනය කිරීම් ගසා කයි. රාජපක්ෂගේ "පනිවිඩය" පීඩනය ලිහිල් කරන ලෙස එක්සත් ජනපදයට නිශ්ඵල ආයාචනා ඉදිරිපත් කිරීමයි.

දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය පරාජය කර තෙවසරක් ගතවීමෙන් පසුව තහවුරුවී ඇත්තේ සාමය හා සෞභාග්‍ය පිලිබඳ රාජපක්ෂගේ පොරොන්දු මුලුමනින්ම මුසාවාද බවයි. ඉහල ආර්ථික වර්ධන අනුපාතයක් පවත්වාගෙන යන බවට ආන්ඩුව කයිවාරු ගැසුව ද නරක අතට හැරෙන ගෝලීය ආර්ථිකයේ බලපෑම දිවයිනේ ආර්ථිකය කෙරෙහි දැඩි ලෙස බලපා ඇත. නිර්යාත ආදායම හා විදේශගත සේවකයින්ගේ ප්‍රේෂන මුදල් පහත වැටෙන තතු හමුවේ ආන්ඩුව පුලුල් වන ගෙවුම් ශේෂ හිඟය පියවා ගැනීමට ජාමූඅ තව තවත් නය ගනියි. විදේශ ආයෝජන පහත වැටී ඇත. පසුගිය තෙවසර තුල කිසිදු කර්මාන්ත ශාලාවක් ඉදිකර නැත.

මෙහි ප්‍රතිපල වැඩකරන ජනතාව සම්බන්ධයෙන් විනාශකාරීය. විරැකියා අනුපාතය වැඩි‍ෙවමින් තිබේ. රුපියල බාල්දුවී උද්ධමනය නඟින්නට පටන්ගෙන ඇති තත්වය හමුවේ වැටුප් වැඩිවීම් අත්හිටුවා තිබේ. ආන්ඩුව, අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන හා ප්‍රවාහනය සඳහා මිල සහන කප්පාදු කර ඇත. ඒ සමග ම එය අධ්‍යාපනය. සෞඛ්‍ය හා ශුභ සාධන වෙනුවෙන් කරන වියදම් කපාහරියි.

රටේ ගම්බද විශාල ප්‍රදේශ පෙර නොවූ විරූ විනාශයකට මුහුනපා සිටියි. දිස්ත්‍රික්ක 12ක කුඹුරු අක්කර 150,000ක් නියඟ‍යෙන් හානියට පත්ව ඇත. ගොවීන්ට සහන සලසන බවට ආන්ඩුව දුන් ‍පොරොන්දුව තවත් ප්‍රෝඩාවක් බව හෙලිදරව් වී ඇත. උතුරු මැද පලාතේ දහස් ගනන් ගොවීහු වහාම සහන ලබාදෙන ලෙස ඉල්ලා විරෝධතා දැක්වූහ.

වැඩවර්ජන හා විරෝධතාවන්ට ආන්ඩුව ප්‍රතිචාර දක්වන්නේ මර්දනයෙනි. දෙමල සුලුතරයට එරෙහිව දශක තුනක් තිස්සේ ගෙනගිය වර්ගවාදී යුද්ධය තුල ගොඩනගන ලද පොලිස් රාජ්‍ය යාන්ත්‍රනය දැන් සමස්ත වැඩකරන ජනතාවම වෙත එල්ල කර ඇත. පසුගිය වසර තුල පොලිසිය කල වෙඩි තැබීම් වලින් කටුනායක නිදහස් වෙලඳ කලාපයේ වැඩවර්ජනය කල කම්කරුවෙක් ද හලාවතදී විරෝධතා දැක්වූ ධීවරයෙක් ද මරුමුවට පත් විය.

දේශපාලන සංස්ථාපිතයේ විරුද්ධ පක්ෂ වැඩකරන ජනතාවට කිසිදු විකල්පයක් ඉදිරිපත්කර නැත. එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) එල්ටීටීඊයට එරෙහි ආන්ඩුවේ යුද්ධයට පිටුබලය දෙමින් එහි යුද අපරාධ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඝනය කිරීම් ආරක්ෂා කලහ. මින් එකදු පක්ෂයකට හෝ ජාමූඅ කප්පාදු න්‍යායපත්‍රය සමඟ මතභේදයක් නැති අතර බලයට පත්වුවහොත් වත්මන් හවුල මෙන්ම ඒවා රුදුරු ලෙස ක්‍රියාවට නඟනු ඇත. එජාපය 1970 ගනන්වල වෙලඳපොල ගැති ප්‍රතිව්‍යුහකරනය ආරම්භ කල අතර ජවි‍ෙප එම න්‍යාය පත්‍රය ම ක්‍රියාත්මක කල 2004-05 ශ්‍රීලනිප හවුල් ආන්ඩුවේ කොටස්කරුවෙකු විය.

දෙමල කතාකරන වතු කම්කරුවන් අතර මුල්බැසගත් ලංකා කම්කරු සංගමය (සීඩබ්ලිව්සී) හා කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්), සබරගමුව පලාතේදී ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුන (ඩීපීඑ‍ෆ්) සමග මැතිවරන සන්ධානයක් ගොඩනගාගෙන තරග වදියි. රාජපක්ෂ ආන්ඩුවේ කොටස්කරුවන් වන සීඩබ්ලිව්සී හා යූපීඑෆ් හා එජාප සමග සන්ධානගතව සිටින ඩීපීඑෆ් “දෙමල නියෝජිතයින්” තෝරාගතහොත් වතුකම්කරුවන්ට වාසි ගෙන එනු ඇතැයි යන මිත්‍යාව වපුරවති. මෙම පක්ෂ නියෝජනය කරන්නේ කම්කරු පන්තිය නොව, දෙමල කම්කරුවන් ඔවුන්ගේ සිංහල සහෝදර කම්කරුවන්ගෙන් බෙදා වෙන්කරමින් තමන්ගේම වරප්‍රසාද තර කර ගැනීමේ ව්‍යායාමයක නිරතව සිටින දෙමල ප්‍රභූ පැලැන්තියයි.

නව සමසමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි ව්‍යාජ රැඩිකල් සංවිධාන වඩාත් විසකුරු දේශපාලන භූමිකාවක් ඉටුකරයි. නසසප හා එසප යන දෙපක්ෂයම එජාපය සමග ඊනියා “නිදහසේ වේදිකාවට” නැඟ ගනිමින් ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ගේ ආරක්ෂකයා ලෙස එම දක්ෂිනාංශික පක්ෂයේ ප්‍රෝඩාකාරී රඟපෑමට මුක්කුව දෙයි. මෙම පක්ෂ කොලඹ දේශපාලන සංස්ථාපියේ පාර්ශවකරුවන් ලෙස ක්‍රියාකරන අතර කම්කරු පන්ති‍ෙය් ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමක් වෙනුවෙන් සසප ගෙනයන අරගලයට ගැඹුරින්ම සතුරුය.

සිවිල් යුද්ධයට විරුද්ධ වීමේ ද සමස්තයක් ලෙස වැඩ කරන ජනතාවගේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේ ද සප‍්‍රතිපත්තික වාර්තාවක් සහිත එකම පක්ෂය සසපයි. ධනපති ක‍්‍රමයට එරෙහි පොදු අරගලයක් තුල සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් දකුනු ආසියාව පුරා හා ජාත්‍යන්තරව සිය පන්ති සහෝදර සහෝදරියන් සමග ඒකාබද්ධ කිරීමට අපි සටන් වදිමු. අද වෙන කවරදාකටත් වඩා මෙය හදිසි කර්තව්‍යයක් බවට පත්ව තිබේ. සෑම රටකම කම්කරුවෝ සිය ජීවන මට්ටම්වලට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි නිර්දය ප‍්‍රහාරවලට මෙන්ම මහ බලවතුන් අතර සතුරුකම් ගැඹුරුවීමේ හා යුද්ධයේ තර්ජනයට ද මුහුන දී සිටිති.

සමාජවාදී පිලිවෙත් කි‍්‍රයාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා සටන් වදිනු පිනිස කම්කරු පන්තිය ද ඔවුන් පිටුපස ගම්බද ජනයා ද රැලි කිරීමට සසප සටන් වදී. ධනවත් අතලොස්සකගේ ලාභ නොව බහුතරයක් වැඩ කරන ජනතාවගේ දැවෙන සමාජ අවශ්‍යතා සපුරාලනු පිනිස ප‍්‍රධාන බැංකු, කර්මාන්ත හා සේවා කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍ර පාලනයට යටත් කල යුතුය. සමස්තයක් ලෙස මනුෂ්‍ය වර්ගයාගේ අභිලාෂයන් සන්තර්පනය කිරීම උදෙසා සමාජය ලෝක පරිමානව ප‍්‍රතිසංවිධානය කල යුතුය. ශී‍්‍ර ලංකා හා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන සටන දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක් හා ජාත්‍යන්තරව සමාජවාදය සඳහා කල යුතු අරගලය සමග මුලුමනින්ම බැඳී පවතී.

සසප ජාත්‍යන්තරවාදී කි‍්‍රයාමාර්ගය, අපගේ සහෝදර පක්ෂය වන එක්සත් ජනපද සසපයේ ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට්ගේ මෑත සංචාරය තුල, සංයුක්තව ප‍්‍රකාශයට පත් විය. ඇමරිකානු කම්කරුවන් හා ශී‍්‍ර ලංකාවේ කම්කරුවන් සිය පන්ති අවශ්‍යතා ආරක්ෂා කරගැනීමට සමත් වනු ඇත්තේ, බංකොලොත් ධනපති ක‍්‍රමය අහෝසි කරනු පිනිස ජාත්‍යන්තර කම්කරු පන්තියේ කොටසක් ලෙස ගෙනයන ඒකාබද්ධ අරගලයක් හරහාම පමනි. අපගේ පක්ෂයට ඡන්දය දෙන ලෙසත් එහි කි‍්‍රයාමාර්ගය අධ්‍යයනය කොට අප පක්ෂය මහජන විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩනැගීම පිනිස එයට බැඳෙන ලෙසත් කෑගල්ල දිස්ති‍්‍රක්කයේ කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් හා ගොවීන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: