එක්සත් ජනපද හමුදාපති ආසියාව තුල ඇමරිකානු ගුවන් හමුදාව ප‍්‍රසාරනය කිරීමේ සැලසුම් එලියට දමයි

US general reveals plans for Air Force expansion in Asia

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2013 අගෝස්තු 2

ඉන්දු පැසිෆික් ප‍්‍රදේශය තුල කෙරීගෙන යන එක්සත් ජනපද හමුදා ප‍්‍රසාරනයට චීනයට එරෙහි යුද්ධය හැර වෙනත් අර්ථයක් ඇත්තේ නැත.

ඇමරිකානු නිලධාරින් සිරිත් පරිදි කියන දෙයක් නම් ඔබාමාගේ "ආසියාවට හැරීමේ " ඉලක්කය චීනයට විරුද්ධ යුද්ධයක් නොවේ ය යන්න යි. කෙසේවෙතත්, මෙම සතියේ ෆොරින් පොලිසි වෙබ් අඩවියේ වාර්තාවන් පෙන්නුම් කරන්නේ පැසිෆික් සාගරයේ එක්සත් ජනපද ගුවන් බල මෙහෙයුම්වල ප්‍රධාන ජෙනරාල් හර්බට් කාර්ලයිල්, ආසියාව පුරාම ඇමරිකානු යුද ගුවන් යානා ද හමුදා පිරිස් ද ගොඩනැගීමේ දුරදිග යන වැඩ පිලිවෙලක් ඉදිරිපත් කර ඇති බවය.

"එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් යුද ගුවන් යානා ද ඉන්ධන නැව් ද පමනක් නොව බෝම්බ හෙලන යානා ද කන්ඩායම් වශයෙන් මාරු කරමින්" උතුරු ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් නුවර ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදා (ආර්ඒඒඑෆ් ) කඳවුරට යැවීමත් ඉක්බිති එතැනින් කිලෝමීටර් කිහිප සියයක් ඈතින් පිහිටි ටින්ඩාල් ආර්ඒඒඑෆ් කඳවුරට යැවීමත් සමග මෙම "මාරුවෙන් මාරුවට හමුදා රැඳවීම්" ලබන අවුරුද්දේ සිට පටන් ගන්නා බව තරු හතරේ ජෙනරාල්වරයා ජුලි 29 වෙනි‍දා වාර්තාකරුවන්ට කීවේ ය.

පසුගිය අගෝස්තු මස ඩාර්වින් නුවර ආර්ඒඒඑෆ් කඳවුරට ගුආම් කඳවුරේ සිට B-52 ගුවන් හමුදා යානයක් යැවූ එක්සත් ජනපද ගුවන් හමුදාව දැනටම පුහුනු ගුවන් ගමන් අරඹා තිබේ. එන වසරේ දී ඩාර්වින්හි රඳවා තිබෙන මුහුදුගත භටයින් සංඛ්‍යාව 1,150 දක්වා ඉහල නැගීමට නියමිත ය. ඔවුන් "මාරුවෙන් මාරුවට රැඳවීමක්" සමඟ දැන් වඩාත් දිගුකාලීන නැවතුම් සැලසුම් කෙරෙමින් පවතී. 2016 වනවිට, මැරයින්(සමුද්‍රගත) භටයන් 2,500කින් සමන්විත ගොඩබිම් කාර්ය සාධක බලකායක් සියලු උපාංග සහිතව සමසින් සමසට මාරුවෙමින් ඩාර්වින් නුවර සිට ක්‍රියාත්මක වනු ඇත.

ජූලි 31දා නේවි ටයිම්ස් පුවත්පතට අනුව, මැරයින් භටයන් පුහුනු කිරීමේ අභ්‍යාසවල කොටසක් වසයෙන් එක්සත් ජනපද යුද නැව් හා නාවුක භටයින් වැඩිවැඩියෙන් ඩාර්වින් වරාය නිරන්තරව පාවිච්චියට ගනු ඇත. මෑත සතිවලදී, ගුවන් යානා වාහක ජෝර්ජ් වොෂිංටන් ප්‍රහාරක කන්ඩායම ද ඇතුලු එක්සත් ජනපද යුද නැව් නැගෙනහිර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මෙතෙක් සිදු කරනලද ටැලිස්මන් සෙබර් නම් ලත් විශාලතම එක්සත් ජනපද-ඔස්ට්‍රේලියානු යුද-අභ්‍යාසවලට සම්බන්ධ වී සිටියි. ( බලන්න US-Australian military exercise rehearses for war against China

ෆොරින් පොලිසි සඟරාව මෙසේ වාර්තා කලේ ය : "කාර්ලයිස්ල්ට අනුව මේ වනාහි ගුවන් හමුදාව ආසියාවේ තම පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා සැලස්මේ ආරම්භය පමනි. ඕස්ට්‍රේලියාවේ හමුදා දිගේලි කිරීම්වලට අමතරව, ගුවන් හමුදාව සිංගප්පුරුවේ චංගි ඊස්ට්, තායිලන්තයේ කොරට් යන ගුවන් තොටුපලවලට ද ඉන්දියාවේ ස්ථානයකට ද පිලිපීනයේ කුබි සහ පුවර්තෝ ප්රින්සෙටා සහ ඉන්දුනීසියාවේ සහ මලයාසියාවේ ගුවන් තොටුපලවලට ද යැවෙනු ඇත.

එක්සත් ජනපදයේ යුද හුමුදාව දැනටමත් චීනයට ආසන්නව - ජපානය, දකුනු කොරියාව හා ගුවම්හි ස්ථිර කඳවුරු තනාගෙන සිටී. කර්ල්යිල්ගේ සැලසුම්වලට, වියට්නාම් යුද්ධයෙන් පසුව එක්සත් ජනපදයට පැවැත්මක් නොපැවතුනු තරම් වූ අග්නිදිග ආසියාවේ රටවල් තුලට බරපතල ලෙස කාවැදීමට ක්‍රියාකරනු ඇත. එක්සත් ජනපද මිලිටරියට මෙයට පෙර ඉන්දියානු කඳවුරු වලට ප‍්‍රවේශයක් තිබුනේ නැත.

"එක්සත් ජනපද මැරයින් භටයන් පැසිෆික් දුපත්වල දෙවන ලෝක යුද්ධ සමයේ පැවැති පැරැනි ගුවන් කඳවුරු අලුත්වැඩියා කරගනිමින් ද සිටින බැව්" ෆොරීන් පොලිසි සඟරාව සඳහන් කලේ ය." තම ප්‍රධාන කඳවුරුවලට චීන බැලිස්ටික් මිසයිල එල්ල වුවහොත් ටිනියන් කඳවුර මෙන් හුදෙක් සැකිලි වූ මෙම ගුවන්පථ ඇමෙරිකානු හමුදාවන් විසින් යොදා ගැනෙනු ඇත." උතුරු මරියානාහි ටිනියන් කඳවුර ගොඩනගනු ලබමින් ඇත්තේ නාමික වෙඩි වටයක් ලෙස හා පුහුනු බිමක් ලෙසින් ය. දෙවන ලෝක යුද්ධයේ දී එක්සත් ජනපද ගුවන් හමුදාව ටිනියන්, ගුවාම් සහ සයිපාන් කඳවුරු ජපාන භූමියට විනාශකාරී ගුවන් ප්‍රහාර එල්ල කිරීමට යොදාගති.

තම යුද සැලසුම හොදින්ම එලිදරව් කෙරෙන ප්‍රකාශයක් කල කර්ලයිස්ල් දැන් ආසියාවේ කෙරෙන එක්සත් ජනපද ගුවන් හමුදා ස්ථාපනය යුරෝපයේ සීතල යුද්ධයට සංසන්දනය කලේ ය. " සීතලයුද්ධයේ ඒ මහාදිනවල අපි තට්ටුමාරු කොඩියක් යයි නම්කල දෙයක් හදාගෙන සිටියෙමු. අපි සෑම මහාද්වීපික එක්සත් ජනපද ඒකකයක ම (කොනුස්) වාරයෙන් වාරයට යුරෝපයට මාරු කර හැරියෙමු. සෑම දැවුරුද්දකට ම වරක් සෑම ඒකකයක් ම යුරෝපයේ සමාන්තර කඳවුරකට මාරු කොට යැව්වෙමු. දැන් අපි එය පැසිෆික් වෙත මාරුකරමින් සිටින්නෙමු. "

මෙම අලුත් සීතල යුද හමුදා දියත් කිරීමේදී "සතුරා" කවුද යන්න කර්ලයිල් පැහැදිලිව නම් කලේ නැත. එහෙත් ඔහු "ආක්‍රමනශීලී සහ දෘඪ හැසිරීම" ගැන චීනයට චෝදනා කලේ ය. ඇත්ත වශයෙන් ම , ඔබාමාගේ "ආසියාවට හැරීම" ජපානය සහ පිලිපීනය වැනි ප්‍රමුඛ ආසියානු මිත්‍රයන්ට චීනයට එරෙහි තම මුහුදු ආරවුල් වඩාත් උග්‍ර ලෙස කරගෙන යාමට ද එමගින් ප්‍රාදේශීය ආතතීන් වඩාත් උග්‍ර කිරීමකට ද මග පාදා ඇති අතර ඒවාම පෙරලා ඇමරිකාව සිය මිලිටරි වාඩිලා සිටීම පලල් කිරීම යුක්තිසහගත කිරීමට ගසා කයි.

ගුවන් හමුදාව සිය 'වඩාත් ඉහල ධාරිතාවකින් යුතු වේදිකා' පැසිෆික් සාගරයට මාරු කරන බව ජෙනරාල් වරයා ප්‍රකාශ කලේ ය. මේවාට F -22 රප්ටෝර් , F -35 ජොයින්ට් ස්ට්‍රයික් ෆයිටර් සහ B -2 ස්ටේල්ත් බෝම්බර් ගුවන්යානා ප්‍රවාහක නැව් ඇතුලත් වේ. F -35 යානය සඳහා එක්සත් ජනපදයෙන් පිටස්තර පලමු ස්ථිර කඳවුර ආසියාවේ පිහිටුවන බව ඔහු පෙන්වා දුන්නේ ය.

කාර්ලයිල්ගේ කියුම් පසුගිය දෙසැම්බරයේ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් චක් හගල් එක්සත් ජනපද විදේශගත ගුවන් යානාවන් හා පිරිස් බලයෙන් සියයට 60ක් 2020 වනවිට ඉන්දු-පැසිෆික් ප්‍රදේශයේ ස්ථානගත කරන බවට කල ප්‍රකාශය සමග ගැලපේ. ඔහුට පෙර ආරක්ෂක ලේකම්ව සිටි ලියොන් පැනේට්ටා එක්සත් ජනපද නාවුක බලයෙන් සියයට 60ක් එම කාල පරිච්ජේදය තුල ම මෙම ප්‍රදේශයට 'ප්‍රතිතුලනය කරන' බව කල්තබාම දැනුම් දුනි.

පසුගිය සෙනසුරාදා සිංගප්පුරුවේ රඳවා තිබෙන එක්සත් ජනපද නාවුක හමුදාවේ වෙරලබඩ සටන් නැව වන යූඑස්එස් ෆ්‍රීඩ් ම් නැවේ භටයන් අමතා කතාකල , එක්සත් ජනපද උප ජනාධිපති ජෝ බයිඩන් වොෂිංටනය අග්නිදිග ආසියාවේ අධිපති බලවතාලෙස රැඳී සිටීමට සනිටුහන් කරගෙන සිටින බව යලිත් කියා සිටියේ ය. "ඇමරිකාව පැසිෆික් ප්‍රදේශයේ පදිංචි බලවතෙකු බවද ඉදිරියට ද එසේ සිටීමට අදහස්‌ කරන බව ද මම සමාව නොයැද ම ප්‍රකාශ කර සිටිමි."

චීනයට එරෙහි යුද්ධය සඳහා සූදානම හැර අන් කිසි අර්ථයක්, ඉන්දු -පැසිෆික් ප්‍රදේශය පුරා කෙරෙන මෙම යෝධ ඇමරිකානු මිලිටරි සැලසුම්වලට ඇත්තේ නැත. බයිඩන් "මෙම ප්‍රදේශයේ ස්ථාවරත්වය ගොඩනැගිය හැකි පදනම වන්නේ අප එහි සිටීම " යයි සිංගප්පුරුවේ දී ප්‍රකාශ කලේ ය. ඇත්ත එහි අනෙක් පැත්තයි. ගත වූ හත් වසර තුල ඔබාමාගේ 'හැරීම' ආතතීන් උග්‍ර කරමින් කොරියානු අර්ධද්වීපය බඳු ඝට්ටන ස්ථාන භයංකර ලෙස ගිනියම් කරමින් මුලුමහත් ප්‍රදේශයම ගැඹුරෙන් ම අස්ථාවර කර ඇත.

ඔබාමා පාලනාධිකාරය ප්‍රාදේශීය සහ ගෝලීය ආධිපත්‍යය සඳහා සිය විභව සතුරා වන චීනයට එරෙහිව සෑම පෙරමුනකම-රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික සහ යුද්ධ මූලෝපායික ප්‍රහාරයක යෙදී ගෙන සිටී. චීනයේ මිසයිල නිල වලට, යුද කඳවුරු වලට සහ ආඥා කේන්ද්‍රයන්ට දැවැන්ත මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කරන සවිස්තර යුද සැලසුම් සකස්කර ගෙන සිටී. එය නම්කර ඇත්තේ එයාර් සී බැට්ල් යනුවෙනි. මෙම මූලෝපායික වැඩ පිලිවෙලට අතිරේක වශයෙන් ඇමරිකාව චීනය තමන්ගේ ඉන්ධන සහ ඛනිජ ආනයන අප්‍රිකාවෙන් සහ මැදපෙරදිගින් ගෙන්වා ගන්නා දකුනු ආසියාව හරහා වැටුනු මුහුදු සැපයුම් මාර්ග කපා හරින්නාවූ සැලසුමක් ද සකසා ගෙන සිටී.

ඇමරිකානු ගුවන් හමුදා සහ නාවුක හමුදා සම්පත් ගොඩ නගා ගැනීම, උතුරු-නැගෙනහිර ආසියාවේ පවත්නා එක්සත් ජනපද කඳවුරු ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඕස්ට්‍රේලියාව ද සමස්ත දකුනු ආසියාව ද සමග නව කඳවුරු වැඩ පිලිවෙල් ස්ථාපිත කිරීම යන මේ සියල්ල මෙකී සූදානමේ සංරචකයන් ය.

Share this article: