ඊජිප්තු ජුන්ටාව ප්‍රචන්ඩ මර්දනය වේගවත් කරයි

Egyptian junta intensifies crackdown

ජොහනැස් ස්ටර්න් විසිනි, 2013 අගෝස්තු 19

එක්සත් ජනපදයේ අනුබලය ලත් ඊජිප්තු මිලිටරි ජුන්ටාවේ ඒකාධිපති තන්ත්‍රය, තමන්ට එරෙහි වන ඕනෑ ම විරුද්ධත්වයක් ප්‍රචන්ඩ ලෙස මැඩීම පිනිස පියවර ගත්තේය.

18දා සවස, ඊජිප්තුවේ කයිරෝ අගනුවර ස්ථාන හයකින් උපරිම ව්‍යවස්ථාදායක අධිකරනය දෙසට ගමන් ගත්, හමුදා කුමන්ත්‍රනයට විරුද්ධ පෙලපාලි වැලක්වීම සඳහා ජුන්ටාව මාර්ග බාධක ඉදි කල අතර වහලවල් මත ඉලක්ක වෙඩික්කරුවන් රැඳවී ය.

එදින රාත්‍රියේ ප්‍රසිද්ධියට පත්කල ප්‍රකාශයකින්, කුමන්ත්‍රනයේ නායක ඒකාධිපති ජනරාල් අබ්දෙල් ෆටා අල්-සිසී මෙසේ ප්‍රකාශ කලේ ය: "අපගේ ස්වයං හික්මීම දිගට ම නො පවතිනු ඇත. පහරදීම් තවදුරටත් දරා සිටිය නොහැකිය. අපි සම්පූර්න ශක්තිය යොදා ඊට මුහුන දෙන්නෙමු. ප්‍රහාරකයන්ට අවශ්‍ය ඊජිප්තුව විනාස කිරීමට යි. ”

බලයෙන් පහකෙරුනු ඉස්ලාම්වාදී ජනාධිපති මොහමඩ් මූර්සිගේ ආධාරකරුවන් 1,500 පමන රඳාවාගෙන සිටින කයිරෝවේ රැම්සේ චතුරශ්‍රයේ අල්-ෆාටා පල්ලි සංකීර්නයට පොලිස් හා මිලිටරි භටයින් 17දා කඩා වැදුනහ.

ප්‍රජා මාධ්‍ය අඩවියක් වන බැම්බූසර් විසින් පල්ලිය තුල භීතියේ හා කැලඹීමේ දර්ශන ඇතුලත් වීඩියෝ පටයක් විකාශනය කලේය. භීතියට පත් සමහර විරෝධතාකරුවන් ගෑස් මුව වැසුම් පැලඳගෙන පිවිසුම අවහිර කිරීමට පුටු හා ගෘහභාන්ඩ ගෙනෙනවාත් සමග ඔවුන් වෙත දමා ගැසූ අත්බෝම්බ හා කඳුලු ගෑස් වලින් ගොඩනැගිල්ල ගිගුම් දුන්නේය. අවසානය වන විට වීඩියෝව මැකී ගිය අතර පල්ලිය තුල හිරවුනු ජනයාගේ තැති ගත් කෑකෝගැසීම් පසුබිමෙහි අඛන්ඩ වෙඩි හඬ රැව්දුනි.

ආන්ඩුව මෙහෙයුමේ දී ඝාතනය කල අයගේ සංඛ්‍යාව තහවුරු නො කල නමුත් "ත්‍රස්තවාදයට එරෙහි සටනක දී” පුද්ගලයන් 79ක් මියගොස් සිටි බව හා 549ක් තුවාල ලද බව ප්‍රකාශ කලේ ය. ජුන්ටාව විරෝධතාකරුවන් ඝාතනය කිරීම හා මුබාරක් පාලන සමයේ කුප්‍රකට හදිසි නීති හා මිලිටරි ඒකාධිපතිත්වය යලි හඳුන්වාදීම යුක්ති සහගත කරන්නේ, හමුදා විරෝධී සියලු ම විරෝධතාකරුවන් සන්නද්ධ ත්‍රස්තවාදීන් ය යන ව්‍යාජය යටතේ ය.

ජූලි මස 3දා මිලිටරි කුමන්ත්‍රනයකින් බලය ඩැහ ගත් දා සිට මෙම ප්‍රචාරය ගෙන යමින් ජුන්ටාව විරෝධතාකරුවන් දහස් ගනනක් ඝාතනය කර, තුවාල සිදුකර හා අත්අඩංගුවට ගෙන ඇත. ආන්ඩුවේ වාර්තාවලට අනුව, 16දා ගැටුම්වලින් කයිරෝවේ 95ක් හා අලෙක්සැන්ඩ්‍රියාවේ 25ක් ඇතුලු ව අඩු වශයෙන් පුද්ගලයන් 173ක් මිය ගොස් ඇත. තන්ත්‍රයේ ගනන් බැලීම්වලට අනුව පසු ගිය බදාදා සිට 850කට වඩා ඝාතනය කෙරී තිබූ අතර මුස්ලිම් සහෝදරත්වය (මුස) පවසන්නේ මරන සංඛ්‍යාව දහස් ගනනක් බව යි.

සිකුරාදා ඝාතනය කෙරුනු අය අතර මුස්ලිම් සහෝදරත්වයේ උත්තරීතර නියමුවා වන මොහමඩ් බඩීගේ පුතෙක් ද විය. වාර්තාවලට අනුව එහි ඉහල නායකයින්ගෙන් අඩක් ඇතුලු ව මුස්ලිම් සහෝදරත්වය සාමාජිකයින් 1,000ට වඩා අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඊජිප්තු ආන්ඩුව සාකච්ඡා කරමින් සිටින්නේ, මිලිටරිය පත් කල අගමැති හෂේම් අල්-බෙබ්ලාවි විසින් පෙරට දමන ලද මුස මුස්ලිම් සහෝදරත්වය මුලුමනින් ම තහනම් කිරීමේ සැලැස්ම යි. එය නිල වශයෙන් තහනම් කර සාමාජිකයන් දහස් ගනනක් අත්අඩංගුවට ගැනීමේ තතු තුල, ඊජිප්තුවේ විශාලත ම ඉස්ලාමීය සංවිධානයට සැඟවීමට බල කෙරෙනු ඇති අතර මුබාරක්ගේ කාලයේ ඒකාධිපතිත්වය කරා ඔර්ලෝසුව ආපසු කැරකෙනු ඇත.

ඊජිප්තු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු වන බෙබ්ලාවී වාර්තාකරුවන්ට පැවසුවේ,"තමන්ගේ අත්වල ලේ තැවරුනු සහ රජයට හා එහි ආයතනවලට එරෙහිව ආයුධ මෑනූ අය සමග සමගි සන්ධානයක් පැවතිය නො හැක” යනුවෙනි.

කුමන්ත්‍රනයට එරෙහිව මුස්ලිම් සහෝදරත්වය සැලසුම් කල ජාතික පරිමාන විරෝධතාවේ කොටසක්ව තිබූ පා ගමන් සංඛ්‍යාව අඩු කර තිබේ. ඊජිප්ෂන් ඉන්ඩිපෙන්ඩන්ට් මේ පිලිබඳව කියා සිටි‍යේ “උපක්‍රමයන්ගේ වෙනසට හේතු වූයේ, දින දෙකකට පෙර ආරක්ෂක හමුදා සමග ඇතිවූ ගැටුමේ දී සිය ගනනක් මිය යාමෙන් පසුව පුද්ගල මරන සංඛ්‍යාව අඩුකිරීමේ උත්සාහයක් ලෙස විය හැකි ය” යනුවෙනි.

නිශ්චිතව ම එය සාධකයක් වන නමුත් ජනතාවගේ විශාල කොටසක් මුබාරක් තන්ත්‍රයට හා අලුත් වූ ඒකාධිපතිත්වය කරා ආපසු යාම ප්‍රතික්ෂේප කිරීමත් සමග, විරෝධතා මත තමන්ට ඇති පාලනය අහිමි වේ යයි සියල්ලටත් වඩා ඔවුන් බියට පත් කරයි.

ජිහාඩ් එල්-හඩාඩ් 15දා මෙසේ අනතුරු ඇඟවී ය: "එය දැන් පාලනයෙන් තොරය. හැම විට ම ඒ කනස්සල්ල තිබුනා. හැම ඝාතනයක් සමග ම එය වැඩිවෙනවා. සැබෑ අනතුර පැමිනෙන්නේ හිතමිතුරන් අහිමිවීමෙන් කෝපයට පත් ජන කන්ඩායම් ප්‍රදේශයන්හි එක්රැස් වීමත් සමඟය.”

අඛන්ඩ කඩා පැනීමක් කම්කරු පන්තියේ දැවන්ත අරගලයන්ගේ යලි ප්‍රානවත් වූ නැගිටීමකට ගිනි ඇවිලවීමට ඉඩ ඇතැ යි යන ඔහුගේ බිය අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ද බෙදාහදා ගනු ලැබේ

ජර්මනියේ විදේශ ඇමති ගයිඩෝ වෙස්ටර්වෙල් සෙනසුරාදා කටාරි විදේශ ඇමති මොහමඩ් අල් අට්ටියා මුනගැසුනු විට, ඊජිප්තුවේ තත්වය සිවිල් යුද්ධයකට පරිවර්තනය විය හැකි යැයි අනතුරු ඇඟ වූ අතර දේශපාලන විසඳුමක් ඉල්ලා සිටියේ ය.

වෙස්ටර්වෙල් මෙසේ ද පැවසී ය: “විරුද්ධ පාර්ශ්වය සමග ගනදෙනු කිරීමේ දී ඊජිප්තු ආන්ඩුව දැන් ප්‍රෙව්සම් විය යුතු අතර තත්වය සමනය කිරීමට විසඳුමක් සොයා ගත යුතු ය. ද්විපාක්ෂික සාකච්ඡාවලට විකල්පයක් නැත.”

යුරෝපා සංගමය අද බ්‍රසල්ස් හි දී ඊජිප්තුවේ තත්වය පිලිබඳව හදිසි රැස්වීමක් පවත්වනු ඇත. ඇතැම් යුරෝපීය ආන්ඩු යෝජනා කරන්නේ, ඊජිප්තුවට සපයන ආධාර යුරෝ බිලියනයකින් අඩුකිරීමට ය.

ද ඉකොනොමිස්ට් සඟරාව අධිරාජ්‍යවාදී බලවතුන්ගේ බය බිරාන්තය හා ගනන් බැලීම් මෙසේ සාරාංශ ගත කලේ ය: "ප්‍රශ්නය වන්නේ මුස්ලිම් සහෝදරත්වය සමග ගනුදෙනු කිරීමට දැන් සුදුසු ක්‍රමය සැබවින්ම මර්දනය ද? නැත්නම් එය කැලඹිල්ලට හේතුකාරක වෙයි ද යන්න යි.” එය තවදුරටත් පැවසුවේ, "කෙසේ නමුත් ජෙනරාල්ගේ නරකම වැරද්ද නම්, අරාබි වසන්තයේ මුඛ්‍ය පාඩම නොසලකා හැරීම යි. එනම් පොදු ජනතාවගේ ප්‍රාර්ථනාව අහිමිවූ අභිමානය ගොඩනඟා ගැනීමය. සුලු නිලධාරීන්ගේ අනට යටත් ව සිටීමට හා දූෂිත ඒකාධිපතියන් විසින් පාලනය කරනු ලැබීමටත් ඔවුහු වෛර කරති. ඔවුහු පොලිස් ආන්ඩු සංවිධාන ප්‍රතික්ෂේප කරති. ඒ වෙනුවට ඔවුන්ට අවශ්‍ය වඩා හොඳ ජීවිත, යහපත් රැකියා හා සමහර මූලික නිදහස යි. ”

සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහාත් ඒකාධිපතිත්වයට එරෙහිවත් සටන යොමු කල යුත්තේ ජුන්ටාවට හා එහි ජාත්‍යන්තර අනුග්‍රහකයින්ට එරෙහිව පමනක් නො ව හමුදා හා පොලිස් කඩාපැනීම් දිගට ම පැසසීමට ලක් කරන ඊජිප්තුවේ ඉසුරුමත් ලිබරල් හා ව්‍යාජ වාම සමාජ වාතාවරනයට එරෙහිව ය.

රිවලූෂනරි සෝෂලිස්ට්(ආර්එස්) හා නැෂනල් සැල්වේෂන් ෆ්‍රන්ට් වැනි මධ්‍යම පන්තික කන්ඩායම් දක්ෂිනාංශික ටැමරොඩ් කුමන්ත්‍රනයට සහාය දුන්නේ, මූර්සිට එරෙහි මහජන විරෝධය, ජූලි 3දා හමුදා කුමන්ත්‍රනය පසුපස ගාල් කිරීමට ය.

ටැමරොඩ් නායක මොහමඩ් බද්ර් සති අන්තයේ දී මෙසේ ප්‍රකාශ කලේ ය: "ඊජිප්තුව ගෙවමින් සිටින්නේ, මුස්ලිම් සහෝදරත්වයේ ෆැසිස්ට් කන්ඩායම සියල්ල සියතට ගෙන අප හැම පලවා හැරීමට පෙර ඔවුන්ගෙන් අත්මිදීමට ගෙවිය යුතුව ඇති අධික මිලයි. ඊට පසු ඔහු මිලිටරි කඩා වැදීමට කෙන්දේසි විරහිත සහාය ප්‍රකාශ කලේ මෙලෙස ය: "මම හමුදාවේ අයහපත් කිසිවක් නො දුටුවෙමි. ඔවුන් දේශපාලනයට මැදිහත් වන්නේ නැත, මම එයට සාක්ෂි දරමි. ඔවුන් නිවැරදි වන අතර අපට අවශ්‍ය තැනට අප ගෙන යනු ඇතැ යි මා සිතන බැවින් කිසිදු උපදෙසක් නොමැති ව මගේ ම තීරනයට අනුව මම ඔවුනට සහාය දෙමි.”

අවුරුදු දෙකක කටුක විප්ලවවාදී අරගලයන්ගෙන් පසු, ඉසුරුමත් මධ්‍යම පන්තික තට්ටු ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ සෞභාග්‍යයට හා වරප්‍රසාදවලට වැඩි වැඩියෙන් තර්ජනයක් වන සියලු ම විරෝධතාවන් හා වැඩවර්ජන අවසන් කිරීමට ය. "ඔටුවන්ගේ සටනේ” දී තරීර් චතුරස්‍රයේ විරෝධතා දක්වමින් සිටි කම්කරුවන්ට හා තරුනයන්ට පහරදීම සඳහා මැරයින් මුදාහල අවස්ථාවේ මෙන් පැරනි මුබාරක් තන්ත්‍රයේ ත්‍රස්ත උපායන්ට ඇත්ත වසයෙන් ම කැපීපෙනෙන සමානකමක් දක්වන සිය ප්‍රතිවිප්ලවවාදී දක්ෂිනාංශික දේශපාලනය කරා ඔවුන් තියුනු ලෙස නැඹුරුවී ඇත.

15දා, එන්එස්එෆ් සහාය ඇතිව ටැමරොඩ් ඉල්ලුවේ "අපම ද, අපේ ජාතිය ද, අපගේ රජයේ හා පෞද්ගලික දේපලෙහි ද, අපගේ (මුස්ලිම්) පල්ලි හා (ක්‍රිස්තියානි) පල්ලි ආරක්ෂා කර ගැනීමට ද සියලු ම නගරවල හා ගම්වල අසැල්වැසි කමිටු” ගොඩනගන ලෙස ය. සන්නද්ධ මැරයෝ පසුව කුමන්ත්‍රන- විරෝධී විරෝධතාකරුවන්ට එරෙහිව කඩාපැනීමේ දී ආරක්ෂක හමුදාවන්ට සහාය දුන්හ.

පාලක ප්‍රභූවෙන් හා ඔවුන්ගේ ව්‍යාජ-වම්මුන් හා ලිබරල් හවුල්කරුවන්ගෙන් ඒකාධිපතිත්වය ඉල්ලා සිටීම සමග ඔවුන් තියුනු ලෙස දකුනට පැද්දීම ජාත්‍යන්තර ප්‍රපංචයකි. 16දා, නිව් යෝක් ටයිම්ස් පත්‍රය විදේශ සේවාව පිලිබඳ ජෝජ් ටවුන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ද ක්ලින්ටන් පාලනයේ හිටපු ජාතික ආරක්ෂක කවුන්සිල සාමාජිකයෙකු ද වූ චාල්ස් කුප්චාන්ගේ "ඊජිප්තුව තුල ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රමාද කල හැක” යන තීරු ලිපිය පල කලේ ය.

"ඊජිප්තු මිලිටරියේ ලේවැකි කඩාපැනීම” ගැන අදහස් දක්වමින් කුප්චාන් සඳහන් කලේ මෙය යි: "යතාර්ථය ඉල්ලන්නේ ඇමරිකානු ප්‍රතිපත්ති මාවතේ සන්සුන් නිවරදි කිරීමකි. කලාපය තුල ප්‍රජාතන්ත්‍රවාදය පතුරුවා හැරීමට සුදුසු වේලාව ලෙස ඒකාධිපතිත්වයේ අධිකාරය අවසන් කිරීම දැකගන්නවාට වඩා වෙනස් අයුරින් වොෂින්ටනය, සිය විජිගීෂාවන් අවම කර ගත යුතු අතර ප්‍රජාතන්ත්‍රවාදී නොවූවත්, වගකිවයුතු පාලනයක අත්තිවාරම දමාගැනීමට සංක්‍රමනීය ආන්ඩු සමග වැඩ කල යුතු ය.”

ජනාධිපති කාටර් පාලනාධිකාරියේ හිටපු සහකාර ලේකම් හා විදේශ සම්බන්ධතා පිලිබඳ එක්සත් ජනපද කවුන්සිලයේ එක් අවස්ථාවක ප්‍රධානියා වූ ලෙස්ලි ගෙල්බ් ඒ ආකාරයෙන්ම "අපට නිශ්ශබ්ද වීමට හා ඊජිප්තු හමුදාවට සහාය දැක්වීමට කාලය එලඹ ඇත.” නමින් අගෝස්තු17 ඊට සමාන තීරු ලිපියක් ඩේලි බීස්ට් පුවත් පතෙහි පල කලේ ය.

"කීමට නුසුදුසු වුවත්, එකම තත්වයන් යටතේ ලෝකය පුරා බොහෝ ආන්ඩු කිරීමට ඉඩ ඇති දෙය ම (ඊජිප්තු) මිලිටරිය ද කරමින් සිටී” යනුවෙන් ගිල්බට් ලිය යි.

Share this article: