බ‍්‍රැඩ්ලි මෑනිං වරදකරු කිරීම: සාධාරනත්වය හෑල්ලුවට ලක්කිරීමක්

The conviction of Bradley Manning: A travesty of justice

2013 ජූලි 31

බ‍්‍රැඩ්ලි මෑනිං යන රහස් තොරතුරු හෙලිකල ඇමරිකානු සෙබලාට එරෙහිව පසුගිය 30දා මිලිටරි උසාවියක් මගින් දුන් සාවද්‍ය තීන්දුව සාධාරනත්වය හෑල්ලුවට ලක්කිරීමකි. විනිශ්චයකාර කර්නල් ඩෙනිස් ලින්ඩ්, 1917 ඔත්තු බැලීමේ පනත යටතේ ඉදිරිපත් කල චෝදනා පහක් ද ඇතුලුව 25 හැවිරිදි යුද හමුදා සෙබල මෑනිංට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 21න් 19කට ඔහු වැරදිකරු කරන ලදී.

මේරිලෑන්ඩ්හි ෆෝර්ට් මීඩ්හි දී අද ආරම්භ වන දඬුවම් නියම කිරීමේ අදියරේ දී වසර 136ක් දක්වා සිර දඬුවම් නියම කරනු ලැබීමට මෑනිං මුහුන පා සිටී.

මෑනිංට එරෙහිව නගා තිබූ මරන දඬුවම පැමිනවිය හැකි “සතුරාට උදවු කිරීමේ” චෝදනාවෙන් ඔහු නිදහස් කිරීම, තරුන සොල්දාදුවාට එරෙහි නඩු විමසීම පිලිබඳව පුලුල්ව පැතිර පවතින මහජන විරුද්ධත්වය කෙරෙහි මිලිටරිය ද ඔබාමා පාලනය ද තුල පවතින උත්සුකය පිලිබිඹු කරයි. ඒ අතර ම එය සලකුනු කරන්නේ සමස්ත නඩුවේම ව්‍යාජ ස්වභාවය යි.

මෑනිං කිසිදු විදෙස් ආන්ඩුවකට හෝ ත්‍රස්තවාදී සංවිධානයකට තොරතුරු දුන් බවට කිසිදු චෝදනාවක් නොමැති වුවත්, පැමිනිලිකරු ඔහු “ද්‍රෝහියකු”යයි හෙලාදැක අල්කයිඩාවට උදවු කිරීම හා ඔත්තු බැලීම පිලිබඳව චෝදනා නැගීය. එහෙත් ආන්ඩුවේ රහස් හෙලිදරවු කිරීම මරන දඬුවම පැනවිය හැකි වරදක් යයි හුවාදක්වමින් ද, පලමු සංශෝධනය මගින් නිදහසේ අදහස් පලකිරීම හා ජනමාධ්‍ය නිදහස පිලිබඳව තහවුරු කොට ඇති අයිතීන්වලට වලකපන්නාවූ දාමරික හා පෙර නුවූ විරූ ප්‍රයත්නයක් දරමින් ද ආන්ඩුව, රහසිගත තොරතුරු කාන්දු කිරීම සතුරන් ලෙස සලකන අයට එම තොරතුරු ලබාගැනීමේ හැකියාව ලබා දෙන බැවින්, එය චරපුරුෂ ක්‍රියාවක් යයි තර්ක කලේ ය.

ආන්ඩුව හොඳින් ම දන්නා පරිදි බ‍්‍රැඩ්ලි මෑනිං ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ එක්සත් ජනපද යුද අපරාධ ධෛර්යමත්ව හෙලිදරවු කිරීමෙන් ඵල ප්‍රයෝජන ලබන “සතුරා” වූයේ ඇමරිකානු ජනතාවයි.

විශේෂ‍යෙන් ම චරපුරුෂ චෝදනා යටතේ මෑනිං වරදකරු කිරීම, අනාගතයේ දී රහස් හෙලිකරන්නන්ට හා ජන මාධ්‍යවේදීන්ට එරෙහිව භාවිතා කල හැකි ප්‍රතිගාමී පූර්වාදර්ශයක් ස්ථාපිත කරයි.

මෑනිං සම්පාදනය කල තොරතුරු මත පදනම්ව, විකිලීක්ස් වෙබ් අඩවියෙන් කල හෙලිදරවු කිරීම් සියල්ලෙන්, ඔබාමා හා මිලිටරිය වඩාත් ම කෝපයට පත්කරන ලද්දේ, ඇමරිකානු ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක සිට බැග්ඩෑඩ් නගරයේ නිරායුද සිවිල් වැසියන් හා වාර්තාකරුවන් අවිචාරවත්ව හා කෘර ලෙස ඝාතනය කරනු ලැබීම ප්‍රදර්ශනය කරන 2010 අප්‍රේල් මාසයේ යූ ටියුබ්හි පල වූ වීඩියෝ පටයකි. එම සිද්ධිය යුද්ධයේ සාපරාධී ස්වභාවය තිරසාර ලෙස කැටිකර දක්වයි.

ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ යුද්ධවලට පවතින පුලුල් විරුද්ධත්වය, සාමාන්‍ය සොල්දාදුවන් කොටසක් අතර ප්‍රකාශනයක් අත්කර ගනී යයි එක්සත් ජනපද පාලක ප්‍රභූව වඩාත් ම භීතියට පත් විය.

මෙයට ඔබාමා පරිපාලනයේ ප්‍රතිචාරය වූයේ, කිසිදු චෝදනා ගොනු කිරීමකට පෙර මෑනිං, වසර තුනකට වැඩි කාලයක් ඔහු හුදකලාව සිරගත කොට තබමින්, ලොව පුරා මානව හිමිකම් සංවිධාන වධ බන්ධනවලට සමාන යයි හෙලාදකින ලද කෲර හා අපචාරී කොන්දේසිවලට ඔහු යටත් කිරීම යි.

නඩුව මත් ප්‍රහසනයක් විය. එය වනාහි යුද්ධවලට එරෙහි මහජන විරුද්ධත්වය බියගැන්වීම හා ඒ වනවිටත් බියවද්දන ලද මාධ්‍ය යටපත් කිරීම ඉලක්ක කරගත් ව්‍යාජ නඩුවකි. මෑනිං හා ජාතික ආරක්ෂක ඒජන්සියේ හිටපු සාමාජික එඩ්වඩ් ස්නෝඩන් වැනි පුද්ගලයන්ට තම නිදහස කැපකොට මහජනයාට සත්‍යය හෙලිදරවු කිරීම සඳහා සිය ජීවිත අනතුරේ හෙලීමට බල කරනු ලැබ ඇත්තේ නිල මාධ්‍යවල බියගුලු කම සහ ආන්ඩු‍වේ බොරු හා අපරාධ වසංකිරීමේ දී ඒවා දක්වන හවුල්කාරීත්වය යි.

අවසාන විග්‍රහයේ දී මෑනිංගේ මිලිටරි නඩු ඇසීම තුලින් ඉස්මතු වන්නේ, වොෂින්ටනය ඉරාකයට එරෙහිව ආක්‍රමනකාරී හා නීති විරෝධී යුද්ධයක් දියත් කිරීමෙන් හා එම යුද්ධයේ ප්‍රතිඵල ලෙස සිදු වූ අබුග්‍රයිබ් හා අනෙකුත් එක්සත් ජනපද සිරකඳවුරුවල දී පුද්ගලයින්ට වදදීම, ෆලූජා හා අනෙකුත් නගර විනාශ කිරීම හා කන්ඩායමික සිවිල් යුද්ධයක් බිහි කිරීම ආදී සියලු අපරාධ වසංකිරීමට ආන්ඩුව දරන උත්සාහයයි.

ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ යුද්ධ මහා මුසාවාද මත පදනම්ව දියත් කල සාපරාධී ක්‍රියාවන් වන නිසා, එම යුද්ධවල සාපරාධී ස්වභාවය හෙලිදරවු කිරීමට ක්‍රියාකල මෑනිංට එරෙහිව කිසිදු චෝදනාවකට නෛතික හෝ සදාචාරාත්මක පදනමක් ඇත්තේ නැත.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව නාසි නායකයන්ට එරෙහිව නඩු අසා වැරදිකරුවන් කරන ලද නියුරම්බර්ග් නඩුව මගින් ස්ථාපනය කරන ලද මූලධර්මවලට අනුව, විත්ති කූඩුවේ සිටිය යුත්තේ ඔබාමා හා එක්සත් ජනපදයේ අනෙකුත් සිවිල් හා මිලිටරි නායකයන් මිස මෑනිං නො වේ. නියුරම්බර්ග් නඩුවේ ප්‍රධාන චෝදකයා වූ ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු රොබට් ජැක්සන් අවධාරනය කල පරිදි, විත්තිකරුවන් විසින් කරන ලද කේන්ද්‍රීය අපරාධය හා අනෙකුත් අපරාධවල මූලාශ්‍රය වූයේ ආක්‍රමනකාරී යුද්ධ සූදානම් කිරීම හා දියත් කිරීම යි.

හුදෙක් ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේදී පමනක් නොව ලිබියාව හා සිරියාවේදී ද අපරාධ සඳහා වදරකරුවන ඔබාමා පාලනය, ඉරානය හා චීනය ඇතුලු ඇමරිකානු පාලක පන්තිය සිය භූ-මූලෝපායික හා මූල්‍ය අවශ්‍යතාවලට බාධාකාරී යයි දැකගන්නා තන්ත්‍රයන්ට එරෙහිව තව තවත් කෲර යුද්ධ සූදානම් කරමින් සිටී.

මෑනිං බන්ධනාගාර ගතව සිටිය දී 2011 අප්‍රේල් මාසයේ ඔබාමා ඔහු ගැන මෙසේ කීවේ ය: “අපි නීති අනුගමනය කරන ජාතියක්. නීතිය ක්‍රියාත්මක විය යුත්තේ කෙසේදැයි තීරනය කිරීමට අප තනි පුද්ගලයින්ට ඉඩ දෙන්නේ නැත. ඔහු නීතිය කඩා තිබේ.”

ප්‍රධාන විධායකයාගේ මෙම ප්‍රකාශය, මෑනිං නඩුවේ දී කිසිදු සාධාරන විසඳුමක් අපේක්ෂා කිරීම ව්‍යාජයක් බවට පත්කරනවා පමනක් නොව, එම ප්‍රකාශය කරන ලද්දේ ද එක්සත් ජනපද ව්‍යවස්ථාව සහ අයිතිවාසිකම් පනතෙන් ස්ථාපිත ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් ඉරා දමමින් සිටින ජනාධිපතිවරයෙකු විසිනි. ඇමරිකානු හා ලොවපුරා මිලියන ගනන් ජනතාවට එරෙහිව දැවැන්ත නීති විරෝධී ඔත්තු සේවාවක් සහ ඇමරිකානු පුරවැසියන් ඇතුලු ජනතාවට එරෙහිව ඩ්‍රෝන් ඝාතන වැඩසටහනක් අධීක්ෂනය කිරීම පිලිබඳව මෙන්ම, ගුවන්තනාමෝ හා අනෙකුත් එක්සත් ජනපද ගුලැග් වධ කඳුරුවල සිදු කරන බලහත්කාරයෙන් ආහාර ඇතුල් කිරීම හා අනෙකුත් වර්ගවල වධ බන්ධන බලගැන්වීම පිලිබඳව ද ඔබාමා කුප්‍රකට ය.

ඇමරිකානු ජනාධිපතිවරයා නිරතව සිටින්නේ එක්සත් ජනපදය තුල පොලිස් රාජ්‍යයක රාමුව ගොඩනැගීමේ ය. බ‍්‍රැඩ්ලි මෑනිංට ද්වේෂ සහගත ලෙස චෝදනා එල්ල කිරීම සහ එඩ්වඩ් ස්නෝඩන්ට හා විකිලීක්ස් සමාරම්භක ජූලියන් අසාන්ජ්ට එරෙහි ජාත්‍යන්තර දඩයම, සමාජ හා දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව මහා පරිමානයෙන් මර්දනය සූදානම් කිරීම සමග බැඳී පවතී.

ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතීන්ට එරෙහි ආන්ඩුවේ අපරාධ හා කුමන්ත්‍රනවලට අභියෝග කිරීමට හා ඒවා හෙලිදරවු කිරීමට නිර්භය හා මූලධර්මාත්මක ආස්ථානයන් ගන්නා පුද්ගලයින්ගේ නිදහස සඳහා අරගලය එක්සත් ජනපදයේ හා ලොවපුරා කම්කරු පන්තිය විසින් සියතට ගත යුතු ය.

බැරී ග්‍රේ

Share this article: