ලෝකයේ තරුනයින්ගෙන් හතරෙන් එකකට අධ්‍යාපනය හෝ රැකියා නැත

One quarter of world’s youth without jobs or education

2013 අගෝස්තු 21

බි‍්‍රතාන්‍යයේ පලවන ඉකොනොමිස්ට් සඟරාව මේ වසර මුලදී පල කල එහි විශ්ලේෂනයට අනුව, ලෝකයේ තරුන ජනගහනයෙන් හතරෙන් එකකටම අධ්‍යාපනය හෝ රැකියා නැති බව වාර්තා කලේය. මෙම තනි කාරනයම වුවත් කැටිකර දක්වන්නේ, දුප්පත්කම හා සමාජ කාලකන්නිකම හැරෙන්නට තරුනයන්ට පිලිගැන්විය හැකි අනාගතයක් ධනපති ක‍්‍රමයට ඇත්තේ නැත යන යථාර්තයයි.

ඉකොනොමිස්ට් සඟරාව සඳහන් කරන, ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය පිලිබඳ සංවිධානයේ ( ඕඊසීඩී) දත්ත අනුව, සංවර්ධිත ලෝකයේ මිලියන 26ක් තරුන ජනයා රැකියා, අධ්‍යාපනය හෝ පුහුනුව නොමැති "නීට්ස්” යනුවෙන් වර්ගීකරනය කල කොටසට අයත්වේ. සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ මෙම සංඛ්‍යාව මිලියන 260කි.

"මෙම ග‍්‍රහලෝකයේ තරුනයින්ගෙන් හතරෙන් එකක්ම පාහේ අධ්‍යාපනයේ හෝ රැකියාවල නිතර නො වේ. එම සංඛ්‍යාව ඇමරිකාවේ ජනගහනය තරම් වේ.” යයි සඟරාව නිගමනය කරයි.

මෙම කාන්ඩයේ වඩාත්ම සැලකිය යුතු ප‍්‍රසාරනය සිදුව ඇත්තේ සංවර්ධිත රටවලය. ජාත්‍යන්තර කම්කරු සංවිධානයට (අයිඑල් ඕ) අනුව "නීට්ස්” යනුවෙන් වර්ග කල තරුනයින්ගේ ප‍්‍රතිශතය 2008 වසරේ සිට සියයට 15.8 දක්වා සියයට 2.1න් වැඩිවී තිබේ. අයිඑල්ඕ සඳහන් කරන පරිදි, "සංවර්ධිත රටවල සෑම තරුනයින් 6ක ගෙන් 1 අයෙක් රැකියාවක හා අධ්‍යාපනයේ හෝ පුහුනුවක නොයෙදේ.”

මෙම ඛාන්ඩයේ සමහර විශාලම වැඩිවීම් දක්නට ඇත්තේ, 2008 කඩා වැටීම හා පසුව හටගත් යුරෝපීය නය අර්බුදයේ බලපෑමට හසුවූ රටවල බව අයිඑල්ඕව නිගමනය කරයි. "එස්තෝනියාව, අයිස්ලන්තය, අයර්ලන්තය හා ස්පාඤ්ඤය යන රටවල නීට්ස් අනුපාතය 2008-2010 අතර කාලයේ සියයට 5කට වැඩි ඒකක ගනනකින් ඉහල ගොස් තිබේ.”

කෙසේ වෙතත්, "සේවා නියුක්තික” ලෙස වර්ග කල තරුනයින්ගෙන් විශාල සංඛ්‍යාවක් එක්කෝ තාවකාලික නැත්නම් අනියම් රැකියාවල යෙදී සිටිති. පසුගිය වසරේ අයිඑල්ඕව වාර්තා කලේ, තාවකාලික රැකියාවල නියුක්ත තරුනයින්ගේ වර්ධනය "සංවර්ධිත රටවලදී ආර්ථික අර්බුදය පටන්ගත් තැන් සිට දෙගුනයකට ආසන්න ප‍්‍රමානයකින්” සිදුව ඇති බවයි. සංවර්ධිත ලෝකයේ අර්ධ කාලීන රැකියාවල නියුක්ත තරුනයින්ගේ සංඛ්‍යාව 2000 වසරේ සියයට 20 සිට 2011 වන විට සියයට 33 දක්වා ව වැඩි වී ඇත.

අර්ධ කාලීන රැකියාවල වර්ධනය ඉහල නගිමින් තිබේ. එක් සමීක්ෂනයකට අනුව පසුගිය මාස තුන ඇතුලත එක්සත් ජනපදය පූර්න කාලින රැකියා 150,000ක් අර්ධ කාලීන රැකියා මගින් විස්ථාපනය කර ඇත. අපේ‍්‍රල් හා ජූලි අතර රැකියාවල නියුතු මිනිසුන්ගේ සංඛ්‍යාව 526,000න් වැඩිවී තිබෙන අතර, අර්ධ කාලීන රැකියාවල නියුතු වූවන් 684,000න් වැඩිවී ඇති බව කම්කරු දෙපාර්තමේන්තුවේ කුටුම්භ සමීක්ෂනයකින් පෙන්වා දෙයි.

වසරේ මේ දක්වා වැඩිවූ සමස්ත රැකියා සංඛ්‍යාවෙන් අර්ධ කාලීන සේවා නියුක්තිකයින් සියයට 77ක් වන අතර, ඇමරිකාවේදී එය වාර්තාගත මිලියන 8.2 දක්වා වැඩිවී තිබේ. ඔබාමාගේ ඊනියා ආර්ථික ප‍්‍රකෘතිය යටතේ මතුවී ආ නව සාමන්‍යය තුල, 2013 වසරේ නව රැකියා වලින් අඩකට ආසන්න වූ සිල්ලර වෙලඳාම, ආපනශාලා, තාවකාලික සේවා යෝජක ආයතන හා නිවෙස්වල සෞඛ්‍ය සේවයේ නිරතවන්නන්ගෙන් සැදුම්ලත් අඩු වැටුප් රැකියාවන්ගෙන් සමන්විතය.

අයිඑල්ඕවට අනුව, ලෝකයේ තරුන ජනගහනයෙන් සියයට 90කටත් වඩා වාසය කරන සංවර්ධනය වෙමින් පවතින රටවල, ඉන් අඩකටත් වඩා නියුක්තව සිටින්නේ අනියම් රැුකියාවලය. එක්කෝ ස්වයං රැුකියාවල නියුතු නැතිනම් පවුල් වෙනුවෙන් වැඩ කරන, "අඩමාන” තරුන කම්කරු ඛාන්ඩය, "2011 වසරේදී සංවර්ධනය වන කලාපයන්හි සේවා නියුක්තිකයන්ගෙන් සියයට 56.2ක් තරම් විය.” වාර්තාව එසේ සඳහන් කරයි.

පසුගිය මාසය වන විට ග‍්‍රීසියේ තරුන විරැකියාව, සියයට 64.9ක මට්ටමකට ලඟා විය. එය 2012 මාර්තුවේ පැවතුනේ සියයට 54.1ක මට්ටමෙහි ය. සමස්තයක් ලෙස යුරෝ කලාපයේ තරුන විරැකියාව සියයට 23.2 දක්වා නැගී ඇත. අයිඑල්ඕවට අනුව, 2008-2012 අතර කාලයේ සංවර්ධිත ලෝකයේ තරුන විරැකියාව සියයට 25න් ඉහල ගියේය.

පද්ධතිමය හා නිමක් නැති අර්බුදයකට මුහුනපා ඇති ධනේශ්වර ක‍්‍රමයේ අසාර්ථකත්වය පිලිබඳ මහම ප‍්‍රකාශනය, තරුනයින් මුහුන දෙන කාලකන්නි අනාගත අපේකෂාවන් ය. ධනවාදයට පන බේරාගත හැක්කේ තවත් විශල සංඛ්‍යාවක් කම්කරුවන් දුප්පත්කමට හා විනාශයට ඇද දැමීමෙන් පමනි.

සත්තකින්ම තරුන කම්කරුවන්ගේ දැවැන්ත දුගී භාවය, පාලක පන්තියේ දැනුවත් මූලෝපායකි. ඔවුන් උත්සාහ කරන්නේ, සහන පිරිනැමීම, වැටුප් කප්පාදුව හා වැඩ වේගවත් කිරීම පිලිගැනීම සඳහා පැරනි කම්කරුවන් මත පීඩනය යෙදීම පිනිස තරුන පරම්පරාවේ විරැකියාව හා අපේක්ෂා භංගය ගසාකෑමට ය.

මෙම ප‍්‍රතිපත්තීන්හි එල්ලය වන්නේ, වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් ආපසු හැරවීම හා අවශ්‍යයෙන්ම ඔර්ලෝසුව 19 වන සියවස කරා ආපසු කැරකවීමය. මාක්ස් නිවැරදිව පෙන්වා දුන් පරිදි, කම්කරු පන්තියේ කාලකන්නිකම ධනවාදයේ පොදු ප‍්‍රවනාතාවය වන්නේය. 1917 ඔක්තෝබර් විප්ලවය ප‍්‍රමුඛ 20වන සියවසේ ඇතිවූ දේශපාලන හා විප්ලවවාදී අරගල හමුවේ, යුරෝපයේ හා එක්සත් ජනපදයේ පාලක පන්තීන්ට, කම්කරු පන්තිය සඳහා සීමිත සහන පිරිනැමීමට බල කෙරුනි. පැය අටේ වැඩ දිනය, ජීවත් වීමට සරිලන වැටුප් හා විශ‍්‍රාමික දීමනා යනාදි වශයෙනි.

ජනගහනයෙන් බහුතරයකගේ ජීවන තත්වයන් ඓතිහාසික පරිමාවකින් ආපසු කරකැවීමට හැකිව ඇත්තේ, ධනවාදයේ ආකෘතිය මුලුමනින්ම බදා ගැනීම හා එහි පල විපාක වශයෙන් කම්කරු පන්තිය දරිද්‍රතාවයට ඇද දැමීමට දායක වුනු, වෘත්තීය සමිති ද සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර, ස්ටැලින්වාදී හා ව්‍යාජ වාම දේශපාලන සංවිධාන ද විසින් දශක ගනනාවක් තිස්සේ පන්ති අරගලය මැඩ පැවැත්වීම නිසාය.

යුද්ධයේ ද ආඥාදායකත්වයේ ද තර්ජනය හමුවේ තරුනයින් මුහුන පාන කාලකන්නි සමාජ කොන්දේසි, සමාජයේ අති මහත් බහුතරයකගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ධනපති ක‍්‍රමය ප‍්‍රතිසංස්කරනය කල හැකිය යන සංකල්පයේ හා ජාතිකවාදය මත පදනම්වූ දේශපාලන ක‍්‍රියාමාර්ගයන්ගේ බංකොලොත් කමෙහි ප‍්‍රකාශනයයි. ලියොන් ට්‍රොට්ස්කි පැවසූ පරිදි, සමාජවාදී දේශපාලනයෙන් හා ඒ සඳහා සටන් වදින විප්ලවවාදී පක්ෂයකින් තොරවූ කල කම්කරු පන්තිය, හුදු "සූරාකෑම සඳහා පවතින අමුද්‍රව්‍යයක්” පමනි.

තරුනයින් සඳහා අනාගතයක් පිලිගැන්විය නොහැකි මෙම පද්ධතියේ අසාර්ථකත්වය දැනටමත්, ටියුනීසියාවේ හා ඊජිප්තුවේ පටන් ග‍්‍රීසිය හා ස්පාඤ්ඤය තෙක් පැනනැගී ඇති දැවැන්ත සමාජ පිපිරීම් වලට තුඩුදී ඇත. එහෙත් තරුනයින් ද සමස්ත කම්කරු පන්තියම ද මුහුන දෙන අනිවාර්ය ප‍්‍රශ්නය දේශපාලන නායකත්වයේ අර්බුදය විසඳා ගැනීමයි. සිය අනාගතය සුරක්ෂිත කර ගැනීමට තරුනයින්, ලාභය සඳහා නොව, මානව අවශ්‍යතාවන්ගේ පදනම මත සමාජය ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා, ජාත්‍යන්තර කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමට සටන් වැදිය යුතුය.

අන්ඩෙ‍්‍ර ඩැමෝන්

Share this article: