එලඹෙන පලාත් සභා මැතිවරනයේ දී සමාජවාදී සමානතා පක්ෂය යාපනය ට තරග වදියි

Sri Lankan SEP to contest provincial council election in Jaffna

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2013 අගෝස්තු 05

සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත උතුරු පලාත් සභා මැතිවරනයේදී සසප යාපනය දිස්ත්‍රික්කයට තරග වදියි. මධ්‍යම හා වයඹ පලාත් වල ද මැතිවරනය එදින ම පැවැත්වෙනු ඇත.

තරග වදින සියලු දේශපාලන පක්ෂ හා ස්වාධීන කන්ඬායම් වලට ප්‍රති පක්ෂව, මිලිටරිවාදයට එරෙහිවත්, කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් හා ජීවන තත්වයන් ආරක්ෂා කිරීම සඳහාත් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන්නේ සසප පමනි.

මැතිවරනයේ නීතිමය අවශ්‍යතා පරිදි සසප දිගු කාලීන පක්ෂ සමාජිකයෙක් වන, තිරුඥානම් සම්බන්දර්ගේ නායකත්වය යටතේ අපේක්ෂකයින් 19ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත.

වැඩකරන ජනතාව මුහුනපා සිටින තීරනාත්මක දේශපාලන ප්‍රශ්න පැහැදිලි කිරීම සඳහා සසප මෙම මැතිවරනය උපයෝගීකර ගනියි. ගෝලීය ධනවාදයේ ගැඹුරුවන අර්බුදය හමුවේ, ලෝකය පුරා අනෙකුත් ආන්ඩු මෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව ද කම්කරුවන්ට හා තරුනයින්ට එරෙහිව සමාජ ප්‍රතිවිප්ලවයක් දියත් කිරීමට වෙර දරයි.

ඒ අතර ම ශ්‍රී ලංකාව, ගෝලීය හා කලාපීය බලවතුන් අතර හටගෙන ඇති භූ-දේශපාලන ගැටුමේ සුලිය තුලට තව තවත් ඇද ගනිමින් තිබේ. මෙහි තියුනුම ප්‍රකාශනය අත්කර ගෙන ඇත්තේ චීනයේ බලයට වල කපමින් එරටට විරුද්ධව එක්සත් ජනපදයේ යුද සූදානම ඉලක්ක කර ගත් ඔබාමා පාලනයේ “ආසියාවට හැරීම” යන පිලිවෙත තුලයි.

සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී රාජපක්ෂ, දශක ගනනාවක වර්ගවාදී යුද්ධය තුල ගොඩනඟන ලද පොලිස් රාජ්‍ය යාන්ත්‍රනය කම්කරු පන්තියට එරෙහිව පාවිච්චියට ගැනීම පිනිස සූදානම් කරමින් සිටියි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය පරාජයට පත්වීමේ තැන් පටන් සිව් වසරකටත් වැඩි කාලයක් ගතවී ඇති නමුත් විනාශයට පත්වූ උතුරු හා නැ‍ඟෙනහිර පලාත් තවමත් මිලිටරි අත්අඬංඟුවේ පවතියි. ආර්ථික කටයුතු පාලනය ද ඇතුලු ජන ජීවිතයේ සියලු අංශයන්ට මිලිටරිය විනිවිද තිබේ.

පලාතේ බහුතරය දෙමල ජනතාව නිසා එහි මැතිවරනයක් පැවැත්වීමට රාජපක්ෂට අවශ්‍ය නොවීය. ඔහුගේ ආන්ඩුව පදනම් වන්නේ, මිලිටරිය හා දෙමල ප‍්‍රභූන්ට කිසිදු සහනයක් දීමට තරයේම විරුද්ධ සිංහල වර්ගවාදී සහචරයින් මතය. ජනාධිපති මැතිවරනය කැඳවනු ලැබුවේ එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය හා අනෙකුත් බලවතුන්ගේ බලපෑමට ප්‍රතිචාර වශයෙන් පමනි.

එක්සත් ජනපදයට හා ඉන්දියාවට මෙරට දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පිලිබඳව කිසිදු කැක්කුමක් ඇත්තේ නැත. ඔවුහු රාජපක්ෂගේ වර්ගවාදී යුද්ධයට, මිලිටරියේ දාමරිකකම් වලට හා යුද අපරාධ යටගැසීමටත් සහයෝගය දුන්හ. එක්සත් ජනපදය “මානව හිමිකම්” පිලිබඳ ප්‍රශ්නය මතුකිරීමට පටන්ගත්තේ එල්ටීටීඊයේ පරාජය ආසන්න වූ තතු යටතේ චීනයෙන් ඈත්කර තැබීම සඳහා රාජපක්ෂ ආන්ඩුවට පීඩනය යෙදීමට පමනි.

මෙරටේ දෙමල ජනතාවට නොසැලකීම පිලිබඳව දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුලින් පලවූ මහජන කෝපය සමනය කිරීම පිනිස ඉන්දියාව, උතුරු පලාතේ මැතිවරනයක් පැවැත්වීම සඳහා බලපෑම් කලේය. සිංහල වර්ගවාදී පක්ෂවල ඉල්ලීම පරිදි, පලාත් සභාවල පොලිස් හා ඉඩම් බලතල අහෝසි කිරීමට ගෙන ආ සැලසුම් කල් දමන ලෙස ද නවදිල්ලිය රාජපක්ෂට බල කලේය.

පාලන කාලය ඉකුත් වීමටත් මත්තෙන් ආන්ඩුව මධ්‍යම හා වයඹ පලාත්වල මැතිවරන පැවැත්වීමට තීරනය කලේ දේශපාලන උපාමාරුවක් වශයෙනි. කොක්කෙන් හෝ කෙක්කෙන් මෙම දෙපලාතේ මැතිවරන දිනාගැනීමෙන් පසුව රාජපක්ෂ, තම ප්‍රතිපත්ති වලට ජන වරමක් ලැබී ඇතැයි කියා සිටිනු ඇත. ඔහු සිය මැතිවරන ජයග්‍රහනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති කප්පාදු පියවර ක්‍රියාවට නැඟීම යුක්තිසහගත කිරීම පිනිස යොදාගන්නාවා ඇත.

සිවිල් යුද්ධයේ අවසන් මාසවලදී දස දහස් ගනනක් දෙමල සිවිල් වැසියන්ගේ මරන සඳහා දේශපාලනිකව වගකිවයුතු රාජපක්ෂ ආන්ඩුව උතුරේ කම්කරුවන්, ගොවීන් හා තරුනයින් අතර වෛරයට පාත්‍රවී ඇත. ආන්ඩුව සිය දේශපාලන විරුද්ධවාදීන් පසුබැස්සවීම සඳහා ප්‍රචන්ඬත්වය ද ඇතුලු සියලු මාධ්‍යයන් යොදාගන්නවා ඇත. මිලිටරියේ සහයෝගය ඇතිව යාපනයේ ක්‍රියාත්මක වන ආන්ඩුවේ අනුචර පක්ෂයක් වන ඊලම් මහජන ප්‍රජාතන්ත්‍ර පක්ෂය හෙවත් ඊපීඩීපීය සන්නද්ධ මැරයින් යොදාගැනීම පිලිබඳව කුප්‍රකටය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය රාජපක්ෂ ආන්ඩුවේ කොටස්කරුවෙක් වන නමුත් වෙනම ලැයිස්තුවකින් මැතිවරනය තරඟ කරයි. එය රාපක්ෂ ආන්ඩුවේ ගැඹුරු වන විභේදයේ සලකුනකි. රාජපක්ෂ හා ඔහුගේ සහෝදරයෙකු වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මුස්ලිම් විරෝධී වර්ගවාදී ව්‍යාපාරයක් ගෙන යන බොදුබල සේනා හා සිහල රාවය වැනි සිංහල-බෞද්ධ අන්තවාදී සංවිධානයන්ට අනුග්‍රහය දක්වති.

විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ද මැතිවරනයට ඉදිරිපත්ව සිටියි. සිංහල අන්තවාදී පක්ෂයක් වන ජවිපෙ, 2006දී එල්ටීටීඊයට විරුද්ධව රාජපක්ෂ යලි ආරම්භ කල යුද්ධයට සහයෝගය දුන් අතර ආන්ඩුවේ යුද අයවැය ලේඛන වලට ඡන්දය දෙමින් දෙමල ජනතාවට එරෙහි සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන්ට පිටුබලය දුන්නේය.

උතුරේ ප්‍රධාන විපක්ෂය වන්නේ දෙමල ධනපති පක්ෂ හවුලක් වන දෙමල ජාතික සංධානය (ටීඑන්ඒ) යි.එක්සත් ජනපදයේ, ඉන්දියාවේ හා වෙනත් බලවතුන්ගේ ආධාරය ඇතිව ටීඑන්ඒ, කොලඹ සමඟ බලය බෙදාගැනීමේ ගිවිසුමක් ඇතිකර ගැනීමට මංමුලා සහගත ප්‍රයත්නයක යෙදී සිටියි. එය උත්සුක වන්නේ දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් පිලිබඳව නොව දෙමල ධනේශ්වරයේ ආර්ථික හා දේශපාලන අවශ්‍යතාවන් සුරක්ෂිත කර ගැනීමටය.

උතුරු පලාත් සභාවේ මහ ඇමති අපේක්ෂකයා ලෙස ටීඑන්ඒ ඉදිරිපත් කර ඇත්තේ, හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු වරයෙකු වන සී. වී. විග්නේෂ්වරන් ය. පසුගිය මාසය වන තෙක්ම ටීඑන්ඒහි සාමාජිකයෙක් නොවූ විග්නේෂ්වරන්, කොලඹ සංස්ථාපිතයේ කොටස්කරුවෙකි. විග්නේෂ්වරන් ඉදිරිපත් කිරීම මගින් ටීඑන්ඒ නායකත්වය, කලින් එල්ටීටීඊයට තමන් දුන් සහයෝගය පිලිබඳ මතකය මකාගෙන ජාත්‍යන්තර බලවතුන්ට හා කොලඹ ආන්ඩුවට පිලිගත හැකි පුද්ගලයෙක් ඉදිරිපත් කිරීමට ගනන් බලා ඇත.

1983දී මෙරට සිවිල් යුද්ධය ආරම්භ කිරීමට වගකිවයුතු හා රාජපක්ෂ යලි ඇරඹූ යුද්ධයට පිටුබලය දුන්, විපක්ෂයේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) ද මැතිවරන තරඟ බිමේ සිටියි. ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඟනය කිරීමේ ද වෙලඳපොල ගැති ප්‍රතිව්‍යුහකරනයේ ද සිය දිගුකාලීන වාර්තාව මකා ගැනීම පිනිස එජාපය, තමන් ගොඩනඟාගෙන සිටින “ඒකාබද්ධ විපක්ෂය” වෙනුවෙන් නව සමසමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි ව්‍යාජ වම්මුන්ගෙන් ලැබෙන නොමඳ සහයෝගය මත ඔට්ටු අල්ලයි. ‍

එක්සත් ජනපදය විසින් දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කරනු ඇතැයි යන අන්තරායකාරී මිත්‍යාව වැපිරීම සඳහා නසසප හා එසප ටීඑන්ඒ ට උදව් කර ඇත. සිංහල හා දෙමල පාලක පැලැන්තීන් අතර බලය බෙදාගැනීමක් සඳහා පදනම ලෙස පලාත් සභාවලට බලය පැවරිය යුතුය යන ටීඑන්ඒ ඉල්ලීමට ද ඔවුහු පිටුබලය දෙති. එම දෙපක්ෂයම උතුරු පලාතට අපේක්ෂක කන්ඬායම් ඉදිරිපත්කර ඇත.

පාලක පන්තියේ සියලු කන්ඬායම්වල මෙන්ම ව්‍යාජ වාම ක්ෂමාලාපකයින්ගේ උපාමාරු ප්‍රතික්ෂේප කරන ලෙස සසප වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටියි. දිවයිනේ උතුරෙන් හා නැ‍ඟෙනහිරෙන් සියලු හමුදා වහාම හා කොන්දේසි විරහිතව ඉවත් කරන ලෙස ඉල්ලා සිටින සසප, සිංහල, දෙමල හා මුස්ලිම් යන සියලු වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරක්ෂිත කල හැක්කේ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නඟන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා ගෙන යන ඒකාබද්ධ අරගලයක කොටසක් ලෙස පමනක් බව අවධාරනය කරයි.

දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංඟමයක් සඳහා වන පුලුල් අරගලයක කොටසක් ලෙස ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් පිලිබඳ ක්‍රියාමාර්ගය සඳහා එලඹෙන සතිවලදී සසප කන්ඬායම් කම්කරුවන්‍, ගොවීන් හා තරුනයින් අතර පුලුල් උද්ඝෝෂනයක යෙදෙනු ඇත. මෙම ක්‍රියාමාර්ගයට සහාය දක්වන සියල්ලන‍්ගෙන් අප ඉල්ලා සිටින්නේ, අපගේ උද්ඝෝෂන වලට ක්‍රියාශීලීව සහභාගී වෙමින් සියල්ලටත් වඩා ඉදිරියේදී එලඹෙන අරගලයන් සඳහා අනිවාර්ය අවශ්‍යතාවක් වන විප්ලවවාදි පක්ෂය ලෙස සසප ගොඩනැඟීම සඳහා සහභාගී වන ලෙසය. මැතිවරන උද්ඝෝෂනය සඳහා පක්ෂය දියත්කර ඇති රුපියල් ලක්ෂ පහක අරමුදල සඳහා ද ඔබගේ නොමසුරු ආධාරය ලබාදෙන ලෙස අපි ඉල්ලා සිටිමු.

Share this article: