ශ්‍රී ලංකාවේ විරෝධතාකරුවන්ට එරෙහි මිලිටරි කඩාපැනීම කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි

Military crackdown on Sri Lankan protesters: A warning to the working class

සමාජවාදී සමානතා පක්ෂය විසිනි , 2013 අගෝස්තු 9

තරුනයින් තිදෙනෙකු මරා දමා, මාධ්‍යවේදීන් ද ඇතුලු විශාල පිරිසකට තුවාල සිදුකරමින් අගෝස්තු 01දා වැලිවේරියේදී නිරායුධ විරෝධතාකරුවන්ට එරෙහිව සිදුකල රුදුරු මිලිටරි මෙහෙයුම, සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ව්‍යාපාරයේ ශ්‍රී ලංකා ශාඛාව තරයේ හෙලා දකියි.

මෙය වනාහි ජීවන තත්වයන් හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහිව එල්ල කෙරෙන වඩ වඩාත් දැඩිවන ප්‍රහාරයන්ට එරෙහිව අරගලයන්ට ඇදෙන දිවයින පුරා කම්කරුවන්, තරුනයින් හා පීඩිත ජනතාව බියගැන්වීම සඳහා රාජපක්ෂ ආන්ඩුවේ නියෝග මත ගනන් බලා සිදුකල ප්‍රහාරයකි.

මූලික අවශ්‍යතාවක් වන පිරිසිදු ජලය ලබාගැනීම පිනිස සටන් කරන, ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරිය නඟරය වටා ගම් දනව් 10ක වැඩකරන ජනතාව, තරුනයින් හා ගෘහනීන් දහස් ගනනකගේ විරෝධතාවන්ට එරෙහිව මෙම කඩා පැනීම සිදුවිය. රබර් අත්වැසුම් නිපදවන ඩිප්ඩ් ප්‍රඩක්ට් කම්හල විශාල ප්‍රමානයන්ගෙන් රසායනික අපද්‍රව්‍ය මුදා හැරීම නිසා ප්‍රදේශයේ ජලය දූෂනය වීමෙන් බරපතල සෞඛ්‍ය ගැටලු ඇතිව තිබෙන බැවින් එය වසා දමන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

කිසිදු පිලිතුරක් නොමැතිව මාස ගනනක් තිස්සේ කල උද්ඝෝෂන වලින් පසුව කොලඹ-නුවර ප්‍රධාන මහා මාර්ගය අවහිර කොට විරෝධය පෑම සඳහා ජනතාව එක්රැස් වූහ. පෙලපාලිය දිවයින පුරා වැඩකරන ජනතාව අතර රැව් පිලිරැව් දෙනු ඇතැයි බියවූ ආන්ඩුව, හිසේ සිට දෙපතුලටම සන්නද්ධවූ කඩා පනින කොමාන්ඩෝ භටයින් හා සෙබලු සිය ගනනකගෙන් සමන්විත හමුදා සේනාංකයක්ම විරෝධතාව බිඳ දැමීම පිනිස එහි පිටත්කර හැරියේය. ඒ වන විටත් කැරලි මර්දන පොලිස් හා කොමාන්ඩෝ භටයින් එහි යොදවා සිටිය ද ආන්ඩුව, කම්කරු පන්තියට හා ජනතාවට “පාඩමක්” උගැන්වීම සඳහා මිලිටරි ත්‍රස්තය මුදාහැරීමට තීරනය කලේය.

පලමුව හමුදා භටයෝ මාධ්‍යවේදීන්ට තර්ජනය කලහ. සමහරුන්ට පහරදී ඔවුන් සතු කැමරා හා ජංගම දුරකථන වලට අලාභ හානි සිදු කලහ. සිය ප්‍රහාරයේ කිසිදු සලකුනක් ඉතිරි නොකිරීමට හමුදාව අදිටන් කර සිටියේය. ඒ අතර හමුදා භටයෝ මිනිසුන්ට වෙඩිතැබීමටත් පහර දීමටත් පටන් ගත්හ. ඔවුහු නිවාස, පල්ලි, කන්‍යාරාම හා වෙනත් තැන් වලට කඩාවැදුනහ. හමුදා භටයෝ කාන්තාවන්, වයස්ගත වූවන් හා ලමුන් ද ඇතුලු බියෙන් සැඟවීගත් සියල්ලන්ම ඇදගෙනවිත්, ඔවුන්ට දරුනු ලෙස පහර දුන්හ. මාර්ගයේ විදුලි පහන් වලට වෙඩි තබා විදුලිය විසන්ධි කිරීමෙන් පසුව අඳුරට මුවාවී පව. 5.30ට පමන ඇරඹූ ප්‍රහාරය රාත්‍රිය පුරා ද සිදුවිය.

අකිල දිනේෂ් ජයවර්ධන හා අමිල රවිෂාන් පෙරේරා යන 17 හැවිරිදි සිසුන් දෙදෙනෙක් හා බියගම නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවෙකු වූ 29 හැවිරිදි නිලන්ත පුෂ්පකුමාර වෙඩි තැබීමෙන් සිදුවූ තුවාල වලින් මිය ගියහ. තවත් 40ක් පමන තුවාල ලැබූ අතර බොහොමයක් තවමත් රෝහල් ගතව සිටිති. දහස් ගනන් ජනතාව සිය අධිෂ්ඨානය පෙන්නුම් කරමින් මේ සතියේ පැවති දිනේෂ් හා රවිෂාන්ගේ අවමඟුල් කටයුතු වලට සහභාගී වූහ.

කෝපය සංසිදුවීමට උත්සාහ දරමින් ආන්ඩුව, විපතට පත්වූවන්ගේ පවුල් වලට වන්දි ගෙවන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ නියෝග කර තිබෙන බව නිවේදනය කලේය. සිදුකරන ලද මෙම අපරාධය සඳහා රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව වගකිව යුතුය යන සත්‍යය මෙම නරුම උපායන් මගින් වසං කල නොහැක.

ආන්ඩුවේ නායකයින් ද මිලිටරිය හා ආන්ඩු ගැති මාධ්‍යය ද විරෝධතාකරුවන්ට එරෙහිව එකපිට එක තුච්ඡ බොරු දෙසාබාති. ලේ වැගිරවීමෙන් මඳකට පසුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හමුදාව ක්‍රියාකර ඇත්තේ “ආත්මාරක්ෂාවට” බව කියා සිටියේය. ආන්ඩුවේ පාලර්ලිමේන්තු කන්ඬායම් නායක කැබිනට් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අගෝස්තු 06දා එයම පුනරුච්ඡාරනය කරමින්, ආරක්ෂක හමුදාවන් දෙසට “මිනිසුන්” වෙඩි තැබූ බවක් ද කියා සිටියේය. මෙම චෝදනා සනාථ කරන කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර ඇත්තේ නැත. ඒ වෙනුවට, පලායමින් සිටින මිනිසුන් හමුදා භටයන් දෙසට ගල් කිහිපයක් වීසි කරන දර්ශන යොදාගනිමින් එය, හමුදාවට එල්ල කල බරපතල ප්‍රහාරයක් ලෙස හුවා දක්වනු ලැබේ.

මිලිටරිය පිටු දෙකක ප්‍රකාශයක් නිකුත්කර තිබේ. “කඩාකප්පල්කාරීන්” ප්‍රචන්ඬ ක්‍රියා උසිගැන්වූ තතු හමුවේ හමුදාවට “තත්වය පාලනය කිරීමට” බලකෙරුනු බව එහි සඳහන් විය. “රට තුල අස්ථාවරත්වය ඇති කිරීම සඳහා මාන බලන දේශීය හා විදේශීය බලවේගවල කටයුතු” සමඟ බැඳුනු “ත්‍රස්තවාදී කුමන්ත්‍රනයක්” සිදුව ඇති බව ද එය සඳහන් කරයි. ප්‍රකාශනය අවසන් කෙරෙන්නේ යාන්තමින් සැඟවුනු තර්ජනයක් ද සමඟිනි. එනම්, “ඔවුන්ගේ අරමුනු ඉටුකර ගැනීමට (මිනිසුන්) දායක නොවිය යුතුය.”

මෙම ප්‍රකාශ සියල්ලෙහි අර්ථය, ආන්ඩුව කෙරෙහි පලකෙරෙන කුමන ආකාරයක හෝ විරුද්ධත්වයක් මත “ත්‍රස්තවාදී” හංවඩුව ගසන බවත්, “විදේශ බලවේග” විසින් උසිගන්වනු ලබන බවත්, ඒවා මිලිටරි බලය යොදා තලා දමන බවත්ය. 2009දී මිලිටරි ලේ ස්නානයකින් අවසන්වූ 30 වසරක වර්ගවාදී යුද්‍ධයේ අවසන් අදියරයන්හිදී රාජපක්ෂ ආන්ඩුව, වැටුප් හා ජීවන තත්වයන් වැඩිදියුනුකර ගැනීම සඳහා පැන නැඟි සෑම අරගලයක්ම බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට උදව් කිරීමක් ලෙස හංවඩු ගැසීය. එම අරගල මැඬීම පිනිස වෘත්තීය සමිති උපයෝගී කරගත් අතර සමහර අවස්ථාවලදී ආරක්ෂක හමුදාවන්ම යොදාගත්තේය.

වැලිවේරිය ජනතාව, උතුරු නැ‍ඟෙනහිර සිවිල් යුද්ධය අවධියේදී අහිංසක දෙමල ජනතාවට එරෙහිව ගෙනගිය ආකාරයටම හමුදාව තමන්ට එරෙහිවත් යුද්ධයක් ගෙන ගියේය යන නිවැරදි නිගමනයට එලඹ සිටිති. යුද්ධය අවධියේ සසප අනතුරු ඇඟවූ පරිදි දහස් ගනනක් දෙමල වැසියන් මරාදැමූ මිලිටරිය දැන් දිවයිනේ අවශේෂ ප්‍රදේශවල වැඩකරන ජනතාවගේ අරගල මැඬීම පිනිස යොදාගනිමින් තිබේ.

ප්‍රෝඩාකාරී විශ්‍රාම යෝජනා ක්‍රමයක් ගෙන ඒමට ආන්ඩුව දරන ලද උත්සාහයට එරෙහිව කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන් දහස් ගනනක් විරෝධතා දැක්වූ කල, 2011 මැයි මාසයේදී පොලිසිය එක් කම්කරුවෙක් මරා දැමීය. ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව හලාවත වැල්ලේ ධීවරයින් දහස් ගනනක් විරෝධය පල කල විට 2012 පෙබරවාරියේදී පොලිසිය, එක් ධීවරයෙකුට වෙඩිතබා මරා දැමීය.

නරක අතට හැරෙන ධනපති ක්‍රමයේ ගෝලීය බිඳ වැටීමෙහි බලපෑම යටතේ රාජපක්ෂ ආන්ඩුව, බරපතල ආර්ථික අර්බුදයකට මුහුනපා සිටියි. සිත් ගන්නා බදු සහන පිරිනැමීමෙන් ජාත්‍යන්තර ආයෝජකයින් ගෙන්වා ගැනීමේ බලාපොරොත්තුව ඇතිව ආන්ඩුව, යටිතල ව්‍යුහය සඳහා වැය කිරීමට ජාත්‍යන්තර මුල්‍ය වෙලඳපොලෙන් බරටම නය ගනිමින් සිටියි. ඒ සමග ම ආන්ඩුව, කම්කරුවන්ගේ හා පීඩිත ජනතාවගේ ජීවන තත්වයන් තියුනු ලෙස කාබාසිනියා කිරීමට තුඩුදෙන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනකරනු ලබන කොන්දේසි සපුරාලීම පිනිස, සමාජ වියදම් කපා හරිමින් හා බදු වැඩිකරමින් සිටියි.

වැලිවේරිය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත්වන ලෙස සසප කම්කරු පන්තියෙන් ඉල්ලා සිටියි. ඒ සඳහා ආන්ඩුවේ ප්‍රහාරයට මෙන්ම, දැන් වැලිවේරිය විරෝධතාකරුවන්ගේ ආරක්ෂකයින් ලෙස පෙනී සිටින දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය හා සිංහල වර්ගවාදී ජනතා විමුක්ති පෙරමුන ඇතුලු විපක්ෂයේ සංවිධානවලට ද එරෙහිව සටන් වදින පැහැදිලි දේශපාලන ක්‍රියාමාර්ගයක් අවශ්‍ය කෙරේ.

පාර්ලිමේන්තුවේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ විරෝධතාකරුවන් මැඬීම ගැන නොව විවේචනය කලේ ඒ සඳහා යොදාගත් ක්‍රමවේදය ගැනය. “පොලිසිය වෙනුවට හමුදාව වැලිවේරිය ප්‍රදේශයට යොදවනු ලැබුවේ මක්නිසා දැයි ඔහු විමසීය. “මහජන පෙලපාලි හා විරෝධතා විසුරුවා හැරීම සඳහා” ආන්ඩුවට වෙනත් ක්‍රම යොදාගත හැකිව තිබුනි. හමුදාව යොදාගැනීම ගැන විරුද්ධ නොවන ඔහු අවසාන විකල්පය ලෙස මිස හමුදාව යොදා නොගත යුතු බව පැවසීය.

ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ප්‍රහාරය හෙලාදුටු නමුත් එය පින්තාරු කලේ, සිය ආධාරකරුවෙකු වන ඩිප්ඩ් ප්‍රඩක්ට් අයිතිකාරයා ආරක්ෂා කිරීමට ආන්ඩුව දැරූ උත්සාහයේ ප්‍රතිපලයක් ලෙසය. මෙය වනාහි, ආන්ඩුවේ ප්‍රචන්ඬ මර්දනය යටින් ඇති මූලය එනම්, එජාපට මෙන්ම ජවිපෙට ද මූලික මතභේද නොමැති ආන්ඩුවේ වෙලඳපොල ගැති ප්‍රතිපත්ති හා කප්පාදු පියවර කෙරෙන් අවධානය ඉවතට හැරවීමේ උත්සාහයකි.

විවිධාකාර ව්‍යාජ වාම කන්ඬායම් ද කම්කරු පන්තිය මුහුන දෙන දේශපාලන ප්‍රශ්න මඬ කිරීම සඳහා ඉදිරිපත්ව සිටිති. නව සමසමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප), එජාපය සමග සිය සන්ධානය දිගටම පවත්වාගෙන යමින්, විරෝධතාකරුවන් මඬින යම් ක්‍රමයකට වික්‍රමසිංහ දක්වන සහයෝගය නොතකා ඔහු ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ගේ ආරක්ෂකයෙක් ලෙස ඔසවා තබති.

ජවිපෙන් කැඩී ගිය කන්ඬායමක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), මිනීමරු ප්‍රහාරයට එරෙහිව පුලුල්ව පැතිර ඇති කෝපය යටපත් කිරීම පිනිස ආන්ඩුවට අත්උදව් සැපයීමට ඉදිරිපත්ව ඇත. මිලිටරියේ කඩාවැදීමෙන් පසුව පෙසපයේ පලාත් සභා මන්ත්‍රී වරුන රාජපක්ෂ, ජල ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා යයි, ජනාධිපතිගේ සෙහොයුරෙකු වන ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ විසින් කැඳවා තිබූ රැස්වීමකට සහභාගී විය.

කම්කරු පන්තියට හා පීඩිත ජනතාවට සිය ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂාකරගක හැක්කේ, විවිධාකාර ධනපති පක්ෂවලින් හා ඒවායේ ව්‍යාජ වාම ක්ෂමාලාපකයින්ගෙන් කැඩී වෙන්වීමෙන් පමනි. මෙහි අර්ථය, ධනවතුන් සුලු පිරිසකගේ ලාභ සඳහා නොව, බහුතරයකගේ දැවෙන සමාජ අවශ්‍යතා සපුරාලිය හැකි, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නඟන, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා ස්වාධීනව බලමුලු ගැන්වීමයි. සසප හා සසජාතශි ව්‍යාපාරය ඉදිරිපත් කරන ඉදිරිදර්ශනය මෙයයි.

කතුවරයා පහත දැක්වෙන ලිපිය ද කියවන මෙන් ඉල්ලා සිටියි.

17 හැවිරිදි තරුනයෙකු ඝාතනය කරමින් ශ්‍රී ලංකා හමුදාව විරෝධතාකරුවන්ට වෙඩි තබයි(2013 අගොස්තු 05)

Share this article: