රසායනික ප‍්‍රහාරයක කඩතුරාව යටතේ : එක්සත් ජනපදය සිරියාවට එරෙහි ප‍්‍රහාරය සූදානම් කරයි

On pretext of chemical attack US prepares military assault on Syria

බැරි ගේ‍්‍ර විසිනි, 2013 අගෝස්තු 24

21දා සිදු කල බවට චෝදනා කරන රසායනික අවි ප‍්‍රහාරය ව්‍යාජ ආවරනයක් ලෙස යොදා ගනිමින්, ඇමරිකානු හා එහි අනුචර හමුදා යොදවා විවෘත ප‍්‍රහාරයක් සිරියාවට එල්ල කිරීමේ විකල්පයන් ගනනාවක් දැනට සැලකිල්ලට භාජනය කෙරෙමින් පවතින අතර, ඒ පිලිබඳ දල සටහන් එක්සත් ජනපද නිලධාරීන් විසින් ප‍්‍රකාශයට පත්කොට ඇත. පියවරෙන් පියවර උත්සන්න කෙරුනු යුදමය සූදානම්වීම් වලින් පෙන්නුම් කෙරෙන්නේ 21දා සිදුවීම් මැද පෙරදිග තවත් එක් නව යටත්විජිතවාදී යුද්ධයක් සාධාරනීකරනය කිරීම සඳහා වූ ප‍්‍රකෝපකරනයක කොටසක් බවයි.

සිරියානු ජනාධිපති බෂර් අල් අසාද්ගේ රජය පෙරලා දැමීමේ යුද්ධයේදී විවෘත එක්සත් ජනපද මැදිහත්වීමක තර්ජනය වර්ධනය වෙමින් ඇති අයුරු 23දා සීඑන්එන් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ජනාධිපති ඔබාමා අවධාරනය කලේය. එක්සත් ජනපදය මෙහෙයවනු ලබන ප‍්‍රහාරයකට ජාත්‍යන්තර සහයෝගය පෙලගස්වා ගැනීමේ සහ ඊට යම් ආකාරයක නීත්‍යානුකූලත්වයක ආවරනය ලබා ගැනීමේ තැතක තමා නිරත වී සිටින බව දන්වා සිටීමට ඔබාමා මෙම සාකච්ඡාව උපයෝගී කොට ගත්තේය.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිකුරාදා මුල් පිටුවේ ලිපියකින් වාර්තා කලේ, ගැනීමට ඉඩ ඇති යුදමය පියවරයන්හි කෙටුම්පතක් පිලියෙල කර ගැනීම සඳහා පෙන්ටගනයේ, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හා රහස් ඔත්තු ඒජන්සිවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ධවල මන්දිර නිලධාරීන් සමග 22දා පැය තුන හමාරක රැස්වීමක් පැවැත්වූ බවයි. නම හෙලි නොකල නිලධාරීන් උපුටා දක්වමින් එම ලිපිය සඳහන් කලේ, ඉදිරි දිනවලදී එක්සත් ජනපදය විවෘත හමුදා කි‍්‍රයා මාර්ගයක් දියත් කල යුතුද යන්න සම්බන්ධයෙන් පැවැති අභ්‍යන්තර මතිමතාන්තරවල වෙනස්කම් මධ්‍යයේ කිසිදු තීරනයකට නො එලඹුනු බවයි.

ටයිම්ස් පුවත්පත වාර්තා කල පරිදි, සාකච්ඡා කෙරුනු යුදමය විකල්ප ගනනාවකි. ඒවා, දැනට මධ්‍යධරනී මුහුදේ යොදවා ඇති එක්සත් ජනපද නෞකාවන්හි සිට කෲස් මිසයිල ප‍්‍රහාර එල්ල කිරීමේ පටන් හමුදා මෙන්ම සිවිල් ඉලක්ක ද එල්ල කොට ගත් පූර්න පරිමාන ගුවන් යුද්ධයක් දක්වා වූ පරාසයකට ඇතුලත් වේ. පුවත්පතේ ඒ පිලිබඳව වාර්තා කොට තිබුනේ මෙසේය: "මෙකී ඉලක්කයන්ට, රසායනික අවි හෝ ස්නායු පද්ධතියට බලපෑම් කරන වායු (නර්ව් ගෑස්) ගුවන්ගත කරන මිසයිල හෝ කාලතුවක්කු බතරොයි ද, එමෙන්ම, සන්නිවේදන හා ආධාරක පහසුකම් මධ්‍යස්ථාන ද ඇතුලත් විය හැකිය. නිලධාරීන් පැවසූ පරිදි, අසාද් රජයේ බලයෙහි සංකේත - එනම්, මූලස්ථාන හා රජයේ කාර්යාල - ද යෝජිත ඉලක්කයන්ට ඇතුලත් ය.”

වෝල් ස්ට්රීට් ජර්නලය ද මුල් පිටුවේ ලිපියක් පල කරමින් වාර්තා කලේ, "ජනාධිපති බරක් ඔබාමා කි‍්‍රයාත්මක වීමට තීරනය කලහොත් කි‍්‍රයාවට ලීම සඳහා සකසන ලද සැලැස්මක කොටසක් ලෙස...” පෙන්ටගනය 22දා "සිරියානු රාජ්‍ය හා හමුදා මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට ඉඩ ඇති ගුවන් ප‍්‍රහාර සඳහා ඉලක්ක ලැයිස්තු යාවත්කාල කරමින් සිටි” බවයි.

පුවත්පත වැඩි දුරටත් මෙසේ සඳහන් කලේය: "යුද ප‍්‍රයත්නයෙහිලා සිරියානු රජයට තීරනාත්මක ලෙස වැදගත් වන රාජ්‍ය කටයුතු ඉලක්ක කෙරෙන පරිදි ‘රාජ්‍ය තන්ත‍්‍රමය ඉලක්ක වලට ප‍්‍රහාර එල්ල කිරීමේ ඉඩකඩ ද එක්සත් ජනපද හමුදාව තමන්ට ඇති විකල්ප අතරෙහි ලා සලකයි. ඊට අමතරව, නියෝග දීමේ හා පාලක පහසුකම්වල සිට යුද පෙරමුනේ කාලතුවක්කු බතරොයි දක්වා ම, විෂ වායු ප‍්‍රහාර සඳහා ඍජුව ම යොදා ගැනෙන හෝ ඒවා සඳහා පහසුකම් සපයන සිරියානු යුදමය' විසර්ජන හැකියාවන් හා පද්ධති වලට පහර දීම් ද එම විකල්පවලට ඇතුලත් වෙතැයි නිලධාරීහු පැවසූහ.”

වාර්තා වී ඇති පරිදි, මේ වසරේ ඊස්රායලය සිරියානු ඉලක්කවලට එල්ල කල මිසයිල ප‍්‍රහාර වැනි පිටත සිට එල්ල කෙරෙන ‘ස්ටෑන්ඩ් ඕෆ්’ ප‍්‍රහාර ද කෙටුම්පත් කොට ඇති සෙසු විකල්ප අතරට ඇතුලත් වේ. එම විකල්පයට අනුව ප‍්‍රහාර සඳහා එක්සත් ජනපද ගුවන් යානා සිරියානු ගුවන් සීමාවට යැවීම අවශ්‍ය නොවනු ඇත.

‘මෙම විකල්ප හමුදා නිලධාරීන් විසින් වඩාත් සියුම්ව සකස් කෙරෙමින් පවතිතැ’යි ජර්නලය වාර්තා කලේය. ‘එවිට, අසාද් මහතාගේ බල ඇනි රසායනික ප‍්‍රහාර එල්ල කල බව සනාථ වුවහොත් හා ඔබාමා මහතා ඊට බලය යොදා ප‍්‍රතිචාර දැක්වීමේ මග තෝරා ගතහොත්, කෙටි නියෝගයක් මගින් කි‍්‍රයාත්මක වීමට ඔබාමා මහතාට අවකාශ සැලසෙයි.”

එක්සත් ජනපද ඍජු හමුදා කි‍්‍රයා මාර්ග සඳහා කෙරෙන පෙර සූදානම්වීම් සිදු කෙරෙන්නේ, ඩැමස්කස් නගරයෙන් නැගෙනහිර පිහිටි නගරවලට රසායනික අවි ප‍්‍රරහාරයක් එල්ල වූ බවට පවත්නා තවමත් තහවුරු නොකල වාර්තාවන් පාවිච්චි කරමින් සිරියානු රජයට යුද අපරාධ චෝදනා නැගීමට ද, අධිරාජ්‍යවාදීන් විසින් මෙහෙයවනු ලැබ දැනටමත් එම රට වනසාලමින් දිග හැරෙන නිකායවාදී යුද්ධය උත්සන්න කිරීම යුක්තියුක්ත කිරීමට ද එක්සත් ජනපද ආන්ඩුව හා මාධ්‍ය විසින් දියත් කොට ඇති ප‍්‍රචාරක ව්‍යාපාරයක් මධ්‍යයේ ය.

මෙකී රසායනික ප‍්‍රහාරයෙන් සිදු වූවා යයි කියන මරන සංඛ්‍යාව 130 සිට 2,000 දක්වා පුලුල් ව වෙනස් වන අතර එය මුලුමනින් ම ලබා ගෙන ඇත්තේ විපක්ෂ මිලීෂියාවන් හා ඔවුන්ට සහයෝගය දක්වන නිලධාරීන් හෝ කන්ඩායම් වෙතිනි. තමන් මීට කවර හෝ ආකාරයකින් සම්බන්ධ වී ඇතැයි නැෙගන චෝදනා සිරියානු ආන්ඩුව විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. අසාද් තන්ත‍්‍රය ඊට සම්බන්ධ යයි චෝදනා කිරීමට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කෙරී නැත.

ඒ හැරත්, එවන් ප‍්‍රහාරයක් මේ මොහොතේ එල්ල කිරීමෙන් සිරියානු රජයට ලැබෙන ඵල ප‍්‍රයෝජනය කුමක්දැයි පැහැදිලි කිරීමට කිසිදු එක්සත් ජනපද, ප‍්‍රන්ස හෝ බි‍්‍රතාන්‍ය නිලධාරියෙකු හෝ මාධ්‍ය විචාරකයෙකු සමත් වී නැත. මෑත සතිවල දී සිරියානු රජය, අල් කයිඩාවට සම්බන්ධ අල් නුස්රාව ද ඇතුලත් එක්සත් ජනපද සහාය ලබන හා එක්සත් ජනපදය විසින් සන්නද්ධ කෙරුනු විපක්ෂ මිලීෂියාවන්ට බලගතු යුද ප‍්‍රහාර එල්ල කරමින් සිටි අතර, අල් නුස්රා පාලනයේ පවතින ඩැමස්කස් උප නගර යලි අත්පත් කර ගැනීම සඳහා මේ සතියේ ප‍්‍රහාරක මෙහෙයුමක් දියත් කලේය.

තව ද, උක්ත රසායනික ප‍්‍රහාරය සිදු වූයේ ඉහත සිදු කලැයි චෝදනා කෙරුනු රසායනික ප‍්‍රහාර පිලිබඳව පරීක්ෂා කිරීමට සිරියාවේ ඇරයුම පිට එක්සත් ජාතීන්ගේ පරීක්ෂන කන්ඩායම පැමිනීමෙන් දින කිහිපයක් ගතවූ පසුවය. එක්සත් ජාතීන්ගේ පරීක්ෂන කන්ඩායම නැවතී සිටින අගනුවරින් සැතපුම් කිහිපයක් පමනක් දුරින් පිහිටි මධ්‍යස්ථානයකට රසායනික ප‍්‍රහාරයක් සිදු කිරීමට සිරියානු රජය කටයුතු කරනු ඇත්තේ මන්ද?

අනෙක් අතට, අගනුවර ආසන්නයේ රැඳී සිටින ස්ථානවලින් පලවා හැරීමට මුහුන දී සිටින හා ප‍්‍රාදේශීය කුර්දි මිලීෂියාවන් සමග උග්‍ර සටනක සිර වී සිටින ඊනියා "කැරලිකරුවන්” ට ප‍්‍රකෝපකරනයක් සිදු කිරීමට කොතෙකුත් හේතූන් තිබෙන්නට ඇත. සිය ප‍්‍රතිගාමී වැඩ පිලිවෙලට අනුග‍්‍රහ දක්වනු වස් දුසිම් ගනනින් හෝ, සිය ගනනින් පවා සිවිල් වැසියන් මරා දැමීමට අල් නුස්රාවේ අල් ක්වේදා බෙලි කපන්නෝ විශාරද හැකියාවකින් යුක්තයහ.

තමන් සතුව රසායනික අවි ඇති බවටත්, ඒවා භාවිතා කිරීමට තමන් සූදානම් බවටත් විපක්ෂ මිලීෂියාවෝ පුරසාරම් දොඩා ඇත. ස්නායු පද්ධතියට බල පෑ හැකි සැරින් වායුව සමග සිරියානු "කැරලිකරුවෙක්” අත්ඩංගුවට ගත් පුවතක් පසුගිය මැයි මාසයේ තුර්කි මාධ්‍ය වාර්තා කලේය. තව ද මැයි මාසයේ දී එක්සත් ජාතීන්ගේ නිලධාරී කාලා ඩෙල් පොන්ටේ වාර්තා කලේ බටහිර සහාය ලබන බල ඇනි සැරින් භාවිතා කොට ඇති බවට "බලගතු හා ප‍්‍රත්‍යක්ෂ” සාක්ෂි පැවැති බවයි.

මේ කරුනු සරලව ම නොතකා හරිමින්, සිරියානු රජය රසායනික අවි භාවිතා කොට ඇතැයි එක්සත් ජනපදය නිගමනය කොට ඇති බව ජූනියේ දී ඔබාමා නිවේදනය කලේ ඒ සඳහා කිසිත් සාක්ෂියක් නොසපයමිනි. එක්සත් ජනපදය විවෘතව ම ඊනියා "කැරලිකරුවන්” සන්නද්ධ කරන බව නිවේදනය කිරීමට ආවරනයක් ලෙස මෙය යොදා ගැනිනි.

සිරියානු යුද තත්වය උත්සන්න වීම එක්සත් ජනපදයට බොහෝ වාසි සලසතැයි තර්ක ඉදිරිපත් වෙයි. අරාබිකරයේ ඉරානයට සිටින එකම සගයා වන අසාද් රජය පෙරලා දමා ටෙහෙරානයට එරෙහි එක්සත් ජනපද මෙහෙයවීමෙන් යුත් යුද්ධයකට සිය අත්සන තබන රූකඩ රජයක් බලයේ පිහිටුවීමට ඔවුන් ගෙන යන ජවයෙන් පිරිහී ගිය යුද්ධය ගොඩ ගැනීමට එමගින් පොට පෑදෙනු ඇත. ඛනිජ තෙල් වලින් පොහොසත් මැද පෙරදිග තුල, අනභියෝගී එක්සත් ජනපද ආධිපත්‍යය පිහිටුවීමට දැරෙන ප‍්‍රයත්නයට ඉරාන රජය බාධකයකැයි වොෂින්ටනය සලකයි.

මානව අයිතීන් පිලිබඳවත්, සිවිල් ජනයා සුරැකීම පිලිබඳවත් කෙරෙන කුහක තකතිරු කතා පසුපස ඇති සැබෑ ගනන් බැලීම් එබඳු ය. සිරියාවේ තත්වය උත්සන්න වීමේ තවත් වාසියක් වන්නේ, එක්සත් ජනපදයේ සහය ලබන ඊජිප්තු මිලිටරි ජුන්ටාව සිදු කරන සමූහ ඝාතන පිලිබඳ ප‍්‍රතික්ෂේප කල නොහෙන සාක්ෂිවලින් මහජන අවධානය ඉවතට හැරවීමයි. ඊජිප්තුවේ සිවිල් විරෝධතාකරුවන් ඝාතනය කරනු ලැබීමෙන් ගලවා ගැනීමට එක්සත් ජනපදය හමුදා කි‍්‍රයාමාර්ග ගත යුතු යැයි ඉල්ලා සිටින එකදු එක්සත් ජනපද නිලධරයෙක් හෝ එකදු මාධ්‍ය නිවස්නයක් නොවීම මගින් ප‍්‍රදර්ශනය කෙරෙන්නේ "මානව අයිතීන්” සම්බන්ධයෙන් ගත් කල එක්සත් ජනපද අධිරාජ්‍යය විසින් අනුයනු ලබන දෙබිඩි පිලිවෙතයි. එබඳු දේ අදාල වන්නේ එක්සත් ජනපදයට පිටු දැකීමට අවශ්‍ය රාජ්‍යයන්ට විනා ඔවුන් සහාය දෙන රාජ්‍යයන්ට නො වේ.

ඩැමස්කස් නගරයෙන් පිටත සිදු වූ මරන අසාද් රජයේ "වැඩකැයි ඔප්පු වුවහොත්, තමන් මෙතෙක් ප‍්‍රතිචාර දක්වා ඇති ආකාරයට වඩා බෙහෙවින් ආක‍්‍රමනශීලී ආකාරයකින් ප‍්‍රතිචාර දැක්වීමට නිසැකවම පාහේ එක්සත් ජනපදයට හා අනෙකුත් ප‍්‍රමුඛ බලවතුන්ට සිදුවනු ඇතැ”යි කතුවැකියක් ලියමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිකුරාදා සිරියාවේ යුද ප‍්‍රයත්නය උත්සන්න කිරීම සඳහා වන මාධ්‍ය උද්ඝෝෂනයට එක්වූයේය.

සීඑන්එන් සේවය සමග 22දා පවත්වන ලදුව සිකුරාදා විකාශනය කෙරුනු සම්මුඛ සාකච්ඡාවක දී ඔබාමා, සිදු වී යැයි කියන රසායනික ප‍්‍රහාරය හඳුන්වා දුන්නේ, "ගැඹුරු සැලැකිල්ලකට පාත‍්‍ර විය යුතු විශාල සිදුවීමක්” ලෙස ය. ප‍්‍රහාරය එල්ල වී යැයි වාර්තා වී ඇති ප‍්‍රදේශයට පිවිසීමට සිරියානු රජය එක්සත් ජාතීන්ගේ පරීක්ෂන කන්ඩායමට ක්ෂනිකව අවකාශ සැලසිය යුතුය යන, බි‍්‍රතාන්‍ය හා ප‍්‍රන්ස එක්සත් ජනපද අනුචරයන් විසින් ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කි මූන් විසින් ද අනුයනු ලැබූ වොෂින්ටනයේ ඉල්ලීම ඔහු අවධාරනය කලේය.

නැගෙනහිර ඝවුටා ප‍්‍රදේශය තවමත් අල් නුස්රාව විසින් පාලනය කෙරෙන බව නොතකා හරිමින් ඉදිරිපත් කෙරෙන මේ ඉල්ලීම හමුදා කි‍්‍රයාමාර්ග උත්සන්න කිරීම සඳහා ව්‍යාජ ආවරනයක් නිර්මානය කිරීම සඳහා සැලසුම් කල එකක් බව පෙනී යයි. අසාද් රජය පිලිබඳව සඳහන් කරමින් ඔබාමා ප‍්‍රකාශ කලේ, "ඔවුන්ගේ ඉහත ඉතිහාසය ගැන දන්නා අපි ඔවුන්ගේ සහයෝගය අපේක්ෂා නොකරන්නෙමු”, යනුවෙනි.

සිය ප‍්‍රධානතම ජාත්‍යන්තර අනුචරයා වන රුසියාව විසින් ස්ථිර කොට ඇති මෙම ඉල්ලීමට ඩැමස්කසය එකඟ වේ දැයි යන්න අනාගතයේ දී දැක ගත හැකි වනු ඇත. ඇෆ්ගනිස්ථානයේ සිට ඉරාකය ද ඉරාකයේ සිට ලිබියාව ද දක්වා වූ සෑම ආක‍්‍රමනික අධිරාජ්‍යවාදී යුද්ධයක දී ම සම්බාධක පනවමින් හා ආක‍්‍රමනවලට සහභාගී වෙමින් එක්සත් ජාතීන් ඉටු කල කාර්ය භාරය සැලැකිල්ලට ගත් කල, තමන් උගුලකට කොටු කර ගනිතැයි බිය වීමට අසාද්ට කොතෙකුත් හොඳ හේතු පවතී.

යම් ප‍්‍රමානයකට ප‍්‍රවේසම්කාරී විය යුතුයැයි තර්ක කරමින් ම ඔබාමා, විවෘත එක්සත් ජනපද හමුදා මැදිහත්වීමකට පොට පාදා ගැනීමේ උපායික සැලැස්ම කෙටුම්පත් කිරීමට පෙරට ආවේ මෙසේ පවසමිනි: "අනෙක් අතට, එය එක්සත් ජනපදයේ ඇතැම් අති මූලික ජාතික උත්සුකයන්ට බලපායි. සමූහ විනාශක අවි ප‍්‍රගුනනය නොවන බවට වග බලා ගැනීමට මෙන්ම කලාපයේ අපගේ හවුල් කරුවන්, අප පදනම් වී ඇති මූලස්ථාන රැක ගැනීමට ඇති අවශ්‍යතාවයෙන් ද එම බලපෑම පැන නගී.

එක්සත් ජනපදයේ මෙහෙයවීමෙන් සිරියාවට එල්ල කෙරෙන ප‍්‍රහාරයක් පසුපස වොෂින්ටනයේ යුරෝපීය හා මැද පෙරදිග එහි අනුචරයන්ගේ සහාය ගොනු කර ගැනීමට ඇති සිය කැමැත්ත වැඩිදුරටත් ඇඟවූ ඔහු එබඳු පියවරක් සඳහා නෛතික ආවරනයක් සපයා ගැනීමේ අවශ්‍යතාව පිලිබඳව ද සැලකිල්ල යොමු කලේය. "එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ වරමකින් තොරව හා ඉදිරිපත් කල හැකි පැහැදිලි සාක්ෂිවලින් තොරව වෙනත් රටකට පහර දීමට පටන් ගතහොත්, ජාත්‍යන්තර නීතිය ඊට සහාය දේ ද හා එවැන්නක් කි‍්‍රයාවට ලීමට අවශ්‍ය කෙරෙන සභාගය අප සතු ද යන ආකාරයේ ප‍්‍රශ්න මතු වෙතැ”යි ඔහු පැවසීය.

මේ අතර සිකුරාදා, ඇමෙරිකාව හා බි‍්‍රතාන්‍යය යන දෙරටෙහිම නිලධාරීහු යුද්ධයේ භේරී වාදනය තීව‍්‍ර කලහ. 21දා එල්ල කලා යයි කියන ප‍්‍රහාරයට පෙර සිරියානු රසායනික අවි පිහිටුවා ඇති ස්ථානයන් හි කි‍්‍රයාකාරීත්වයන් එක්සත් ජනපද රහස් තොරතුරු අංශ විසින් අනාවරනය කර ගනු ලැබ ඇතැයි ඔබාමා පාලනයේ නිලධාරීහු පැවසූහ. නම හෙලි නොකල නිලධාරීන් පැවසුවේ එක්සත් ජනපද රහස් තොරතුරු අංශ "සිරියාව සැබැවින් ම රසායනික අවි භාවිතා කලේය යන නිගමනයට දැන් එලැඹෙමින් සිටින” බව පවසයි.

බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් රූපවාහිනියෙන් ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ, ප‍්‍රහාරයට සිරියානු විපක්ෂය වෙත වගකීම පැවරීමට ඇති ඉඩකඩ "අතිශය කුඩා” බවයි. "මෙය අසාද් රජය විසින් මහා පරිමානයෙන් එල්ල කල රසායනික ප‍්‍රහාරයකැයි අපි විශ්වාස කරමු”යැයි පැවසූ ඔහු, "අනාගත කි‍්‍රයාමාර්ගයන් නිශ්චය කර ගැනීමෙහි ලා අපි කවර හෝ විකල්පයක් වුව අත්හැර නොදමන්නෙමු”යැයි ද පැවසීය.

චෝදනා කෙරෙන රසායනික ප‍්‍රහාරය විපක්ෂයේ ප‍්‍රකෝපකාරී කි‍්‍රයාවකැයි රුසියානු නිලධාරීහු දිගටම කියා සිටිති. ලෙබනනයේ රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් සැසිප්කින් උපුටා දැක්වූ සිරියානු සානා ප‍්‍රවෘත්ති සේවය වාර්තා කලේ, "ඉරාකයේ දී සිදු කල පරිදි, රසායනික අවි පිලිබඳ කාරනය අනෙකුත් අරමුනු වෙනුවෙන් ගසා කෑ යුතු නැතැයි සිහිපත් කර දීමට මම කැමැත්තෙමි.” යනුවෙනි.

රුසියානු විදේශ අමාත්‍යංශය මෙසේ නිවේදනය කලේය: "මේ සාපරාධී කි‍්‍රයාව පැහැදිලිව ම ප‍්‍රකෝපකරනයක් බවට වඩ වඩාත් අලුත් සාක්ෂි මතු වීමට පටන් ගෙන ඇත... රාජ්‍ය හමුදාවලට එරෙහිව චෝදනා නගමින් සිද්ධිය පිලිබඳව පල කල ප‍්‍රවෘත්ති, එල්ල කලැයි චෝදනා නැගෙන ප‍්‍රහාරයට පැය ගනනකට කලින්ම පලව තිබුනු අතර විශේෂයෙන් ම අන්තර්ජාලයේ, සංසරනය වෙමින් පැවතුනි. ඒ අනුව, මෙය කලින් සැලසුම් කරන ලද කි‍්‍රයාවකි.” කවර හෝ විවෘත එක්සත් ජනපද හමුදා ප‍්‍රහාරයකට පෙර වුව, සිරියානු යුද්ධය තුල එරට සහභාගීත්වය ඉහල යමින් තිබේ. යුරෝනිව්ස් ඩොට් කොම් වෙබ් අඩවිය 21දා, වෙන් වෙන් ප‍්‍රන්ස හා ඊස්රායෙල වාර්තා උපුටා දක්වමින් වාර්තා කලේ ජෝර්දාන, ඊස්රායල හා ඇමරිකානු කොමාන්ඩෝ භටයන්, තමන් විසින් පුහුනු කෙරුනු සිය ගනනක් සිරියානු කැරලිකරුවන් පෙරටු කොට ගෙන ඩැමස්කස් නගරය කරා ඇදෙන බවයි. "300ක ගෙන් පමන සැදුම් ලත් බල ඇනියක් අගෝස්තු 17වන දා ද, යලි දෙවන බල ඇනියක් 19 වෙනි දා ද ජෝර්දානයේ සිට සිරියානු දේශසීමාව තරනය කල බවට වාර්තාවලින් කියැවෙන” බව වෙබ් අඩවිය වාර්තා කලේය.

එය වැඩි දුරටත් මෙසේ පැවසීය: "මෙය - එනම්, සිරියානු නිදහස් හමුදාවේ තෝරා ගැනුනු සාමාජිකයන් පුහුනු කොට ඔවුන් ක්ෂේත‍්‍රයේ දී මෙහෙයවීම - එක්සත් ජනපද මූලෝපායයේ ප‍්‍රථම අදියර වෙතැයි විශ්ලේෂකයෝ පවසති. එමගින් ජෝර්දාන - ඊස්රායල දේශ සීමාව ඔස්සේ දක්ෂින ස්වාරක්ෂක කලාපයක් නිමවා ගත් කල කැරලි හමුදා ඒ තුල පුහුනු කොට කඳවුරුගත කල හැකිවනු ඇත.”

එක්සත් ජනපදය විසින් උඩගෙඩි දෙන හා සහාය දෙන සිරියාවේ නිකායවාදී සිවිල් යුද්ධය, සමස්ත කලාපය පුරා ම නිකායවාදී ගැටුම්වලට තෙල් ඉසිමින් දිග හැරෙයි. සිකුරාදා උතුරු ලෙබනනයේ ටි‍්‍රපොලි නගරය තුල පුපුරා ගිය කාර් බෝම්බ දෙකකින් 42 දෙනෙකු මිය ගිය අතර, තවත් සිය ගනනක් තුවාල ලදහ. ලෙබනනයේ ෂියයිට් වරුන්ගේ බලපෑමට නතු හිස්බුල්ලා ව්‍යාපාරයට එරෙහිව එල්ල වූ බෝම්බ ප‍්‍රහාර මාලාවකට පසු සිදු කෙරුනු මෙම බෝම්බ ප‍්‍රහාරයට ඉලක්ක වූයේ සුන්නි ජනයා ය.

මීට අමතරව, ඊස්රායල යුද ගුවන් යානාවෝ 23දා බීරුට් හා සිඩොන් අතර ඊනියා "ත‍්‍රස්ත කඳවුරකට” පහර දුන්හ. මෙය 2006 දී ඊස්රායලය දකුනු ලෙබනනය ආක‍්‍රමනය කිරීමෙන් පසු එල්ල කල ප‍්‍රථම ගුවන් ප‍්‍රහාරයයි.

අසාද් රජයට එරෙහිව කඳු ගසමින් පවතින ප‍්‍රකෝපකරනයන් හා යුද සූදානම්වීම් මැද පෙරදිග පුරා වඩාත් පුලුල් හා වඩාත් ලේ වැකි යුද්ධයක් - එක්සත් ජනපදය, රුසියාව හා චීනය සමග ඍජු ගැටුමකට එලඹවිය හැකි යුද්ධයක් - මුදා හැරීමේ තර්ජනය ඉස්මත්තට ගෙන එයි.

Share this article: