ඬේවිඩ් එඩ්වඩ් හයිලන්ඩ්: 1947 මාර්තු 7 - 2013 දෙසැම්බර් 8

David Edward Hyland: March 7, 1947—December 8, 2013

ක‍්‍රිස් මාස්ඩන් විසිනි, 2013 දෙසැම්බර් 10

ඬේව් හයිලන්ඩ් සහෝදරයා යන්තම් 66 වන විය පසුකරමින් සිටිය දී මියගිය බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය අපගේ පාඨකයන්ට දැනුම් දෙන්නේ ඉමහත් සංවේගයෙනි.

ඬේව් හයිලන්ඩ්

ඬේව්ගේ චිරකාලීන දේශපාලන උරුමය වන්නේ 1985-1986දී, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට සිය සහයෝගය ප‍්‍රකාශ කලා වූ ද, ජෙරී හීලි, ක්ලිෆ් ස්ලෝටර් හා මයික් බන්ඩාගෙන් යුත් පක්ෂයේ ප‍්‍රමුඛ නායකත්වය බි‍්‍රතාන්‍යයේ හා ජාත්‍යන්තරව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය දියකර හැරීමට ගත් උත්සාහයන්ට විරුද්ධ වූ ද කම්කරු විප්ලවවාදී පක්ෂයේ කන්ඩායමට නායකත්වය දීම යි.

අයහපත් සෞඛ්‍ය තත්වය නිසා විශ‍්‍රාම ගැනීමට පෙර ඔහු ජාත්‍යන්තර කොමියුනිස්ට් පක්ෂයේ ද, කෙටි කලකට, එහි අනුප‍්‍රාප්තික සමාජවාදී සමානතා පක්ෂයේ ද ජාතික ලේකම් විය.

හෙදියක වූ ෆ‍්‍රීඩා හා නාවිකයෙකුව සිට පසුව දුම්රිය වේටර්වරයෙකු වූ ලිවර්පූල් හි ජැක්ට දාව මැන්චෙස්ටර් නගරයේ ස්ට‍්‍රැට්ෆෝර්ඩ් හි දී ඬේව් උපත ලැබී ය. ඔහුගේ ජීවිතයට බෙහෙවින් බලපෑවේ, ලේබර් පක්ෂයේ වාමාංශිකයෙකු වූ ද 1959 ඔක්තෝබරයේ දී දුම්රිය භෝජනාගාර කම්කරුවන්ගේ වැඩවර්ජනයට සම්බන්ධවුනු ක‍්‍රියාකාරී වෘත්තීය සංගමිකයෙකු වූ ද ඔහුගේ පියා ය.

ඬේව්ට වයස අවුරුදු 11 වන විට, ඔහුගේ පවුල ලන්ඩනයේ බටහිර හැරෝහි පදිංචියට පැමිනියෝ ය. පහලොස් වැනි උපන් දිනය එලඹෙමින් තිබිය දී ඔහු පාසලෙන් අස්ව ඇසෝසියේටඩ් ඉලෙක්ටි‍්‍රකල් ඉන්ඩස්ටී‍්‍රස් හි වැඩට ගියේ ය. එම වසරේදී ම ඔහුට සිය ජීවිතයේ ඉතිරි කාලය තුල බිරිඳ ද හවුල්කරුවා ද වූ අයිලීන් මුන ගැසින. ඉක්මනින් ම ඔවහු විවාහ වූහ.

ඔහු රැකියා කීපයක් කලේ ය. බස් කොන්දොස්තරවරයෙකු ලෙස ද, අයිබීඑම් හි හා 1971දී කොඩැක් සමාගමේ ද ඔහු වැඩ කලේ ය. කම්කරු පන්තික සටන්කාමියෙකු වූ ඔහු, වෘත්තීය සමිති සාමාජිකයෙකු නොවූ කම්කරුවෙකු ලෙස අයිබීඑම් හි වැඩවර්ජනයකට නායකත්වය දුන්නේ ය. කොඩැක් සමාගමේ ඇසෝසියේෂන් ඔෆ් සිනමැටොග‍්‍රාප් ටෙලිවිෂන් හා ඇලීඩ් ටෙක්නීසියන් (ඒසීටීටී) හි ප‍්‍රමුඛ සාමාජිකයෙකු හා මහාසභාවේ ද නියෝජිතයෙකු විය.

කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප) පූර්වගාමී සමාජවාදී කම්කරු සංගමයේ (එස්එල්එල්) සාමාජිකයන් සමග ඬේව් පලමුවරට සම්බන්ධ වන්නේ මෙහි දී ය. එස්එල්එල් ඒසීටීටී ය තුල සැලකිය යුතු බලපෑමක් දිනාගෙන තිබුන ද ඬේව් කෙරෙහි බොහෝ සේ බලපා තිබුනේ, එය ස්ටැලින්වාදය ගැන කර තිබූ විශ්ලේෂනය යි. වෘත්තීය සමිති නිලධරය සමග ඔහුගේ පැරනි ගැටුම් ඓතිහාසික හා ජාත්‍යන්තර සන්දර්භයක තැබීමට ඔහු අවසානයේ දී සමත් විය.

1972දී ඬේව් සමාජවාදී කම්කරු සංගමයට බැඳුන අතර ඉක්මනින් ම කොඩැක් සමාගමේ පක්ෂ ශාඛා ලේකම් හා එස්එල්එල්හි වයඹදිග ලන්ඩනයේ ලේකම් බවට පත් විය. වැඩ බිමේ දී ඔහු කොඩැක් සමාගමේ වෘත්තීය සංගමයට එරෙහිව සටන් කල අතර සමාගම තුල කවිපයේ ශාඛාවක් ගොඩනැගී ය. දේශපාලනික හා වෘත්තීය සංගම් කටයුතු නිසා දඩයමට ලක්වූ ඔහු 1976දී රැකියාවෙන් නෙරපන ලදී.

ඊට පසු වසරවල දී කවිප නායකත්වය සමග බොහෝ දේශපාලන ගැටුම් තිබෙන්නට ඇති මුත්, එවැනි මතභේදවල පදනම කිසි දිනෙක පැහැදිලි කල නොහැකි විය. 1983දී, එවකට මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු වූ ඔහු යෝක්ෂයර් ප‍්‍රදේශයේ ලේකම් වශයෙන් පත්කොට යවන ලදි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් 1984-85 පතල් කම්කරුවන්ගේ වැඩවර්ජනය තුල පුලුල් මැදිහත්වීමක් කරමින් කම්කරුවන් හා තරුනයන් අතර පක්ෂය සඳහා සැලැකිය යුතු පදනමක් ගොඩනැගීමට ඔහු සමත් විය.

කවිප සාමාජිකත්වය නොදැනම, පක්ෂයේ පැහැදිලි අවස්ථාවාදී පැද්දීම එක්සත් ජනපදයේ වර්කර්ස් ලීගය සමග වැඩීගිය ඝර්ෂනයකට තුඩුදී තිබුනි. 1982දී හීලිගේ Studies in Dialectical Materialism (අපෝහක භෞතිකවාදය පිලිබඳ අධ්‍යයනය) හා පක්ෂය ට්‍රොට්ස්කිවාදී අක්ෂයෙන් පීලි පැනීමට එහි ඇති සම්බන්ධය පිලිබඳව විස්තරාත්මක විවේචනයක් ඉදිරිපත් කරමින්, වර්කර්ස් ලීගයේ ජාතික ලේකම් ඬේවිඞ් නෝත් ජාත්‍යන්තර කමිටුව තුල සාකච්ඡාවකට මුල පුරනු ලැබීය.

වර්කර්ස් ලීගය හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙන් නෙරපා හැරීමේ තර්ජනය එල්ල කරමින් නෝත් විසින් ලියන ලද ලියවිලි කවිප නායකත්වය විසින් යටපත් කරන ලදී. එහෙත් පතල් කම්කරු වැඩවර්ජනයේ පරාජයෙන් පසුව කවිප නායකත්වය තුල පිපිරුනු ප‍්‍රතිපත්ති විරහිත කන්ඩායමික සටන අවසානයේ දී ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන්ට නෝත්ගේ විවේචන දැනගැනීමටත් ඔවුන්ට දේශපාලනිකව ඊට මැදිහත්වීමට ත් ඉඩකඩ විවෘත කලේය.

නෝත්ගේ දේශපාලන විවේචනයට හා කවිපයේ අර්බුදය තුල හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ මැදිහත්වීමට ඉතාමත් වැදගත් ප‍්‍රතිචාරය පලවුනේ ඬේව් හයිලන්ඩ් ගෙනි.

කවිපය තුල කන්ඩායමික ගැටුම පිපිරී යාම හමුවේ හීලි, ඔහුගේ දේශපාලන අධිකාරය බරපතල ලෙස අපචාරයේ යොදවනු ඬේව් දැකගත්තේය. පක්ෂයේ පරිපාලන කමිටුව මගින් පරීක්ෂනයක් සඳහා ඉල්ලීම් ගෙන ඒමට ඬේව් නායකත්වය දුන් අතර එසේ සිදුවූයේ මන් ද යන්න පිලිබඳව දේශපාලන හේතු දැක්වීමක් බලාපොරොත්තු වූයේ ය.

1985 සැප්තැම්බර් මැද ඔහු නෝත්ගේ විවේචනයේ පිටපතක් ලබා ගත්තේ ය. එය හැදෑරීමෙන් පසුව, කවිපයේ දේශපාලන පරිහානියට එරෙහිව මූලධර්මාත්මක විරුද්ධ පාර්ශ්වයක් ජාත්‍යන්තරය තුල මතු ව ඇති බව හා කවිපයේ දේශපාලන නව නැඹුරුවක් සඳහා අත්‍යාවශ්‍ය සටන ගෙන යා හැක්කේ ජාත්‍යන්තර පදනමක් මත පමනක් බව ඔහු පලමු වරට වටහා ගත්තේ ය. ඔක්තෝබර් 9වැනිදා ඬේව්, වර්කර්ස් ලීගය සමග සම්බන්ධකම් පැවත්වීමට තීරනය කලේ ය.

පසුව අප සමාජවාදී සමානතා පක්ෂයේ (බි‍්‍රතාන්‍ය) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් හි වර්කර්ස් ලීගය සඳහන් කල පරිදි ”හයිලන්ඩ් හා තවත් මධ්‍යම කාරක සභිකයෝ දෙදෙනෙක් ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන අධිකාරය පිලිගැනීම මත පදනම් ව කවිප (ජාත්‍යන්තරවාදීන්) ලෙස සුළුතර තත්වය බලපොරොත්තු වූහ. 1985 නොවැම්බර් 9වැනිදා ඔවුන්ගේ අභියාචනය පිලිගන්නා ලදී...කවිප(ජා) සඳහා සහාය ගොනුවීම පෙන්නුම් කලේ, 1982 හා 1984දී හීලි/බන්ඩා/ස්ලෝටර් කල්ලිය විසින් නොමේරු බෙදීමක් තුලට (පක්ෂය) ඇදදැමීමට නෝත් පල කල විරුද්ධත්වයේ නිවැරදි බව යි. මාධ්‍යමික පසුබැසීමේ වසර ගනනාව නොසලකා එය ඔප්පු කලේ, කවිපය තුල ට්‍රොට්ස්කිවාදය සඳහා සැලකියයුතු කන්ඩායමක් පවතින බව යි.”

නෝත් සමග සම්බන්ධකම් පැවත්වීමට ඬේව් ගත් තීරනය බි‍්‍රතාන්‍ය සාමාජිකත්වයේ සැලැකියයුතු කොටසක් සවිඥානක ජාත්‍යන්තර වාදීන් ලෙස යලි පෙල ගැස්වීමේ හැකියාව ගෙන දුන්නේය. ඉක්බිතිව එලඹෙන මාසවල දී, කවිප සාමාජිකයන්ට පැහදිලි කිරීමට, ඉගැන්වීමට හා ඒත්තු ගැන්වීමට ඔහු දැඩි අධිෂ්ඨානයකින් වැඩ කලේ ය. කවිප(ජා* කන්ඩායම කවිප සාමාජිකත්වයේ, විශේෂයෙන් ම කම්කරු පන්තිය තුල හා තරුන සමාජවාදීන් අතර පැහදිලි බහුතරයක් දිනා ගත්තේ ය.

ඬේව් හයිලන්ඩ්(මැද)සහ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහෝදරවරු සමග -1986 සැප්තැම්බර්

1985 ඔක්තෝබර් 23දා ලන්ඩනයට රැස්වෙමින්, කවිප අර්බුදය මුල්බැස ගැනුනේ ට්‍රොට්ස්කිවාදී ක‍්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනයෙන් දීර්ගකාලීනව ඉවතට ඇදී යාම තුල බව අවධාරනය කල ජාත්‍යන්තර කමිටුව, පැබ්ලෝවාදී ප‍්‍රතිසංස්කරනවාදයට එරෙහිව කවිප නායකත්වය ගෙන ගොස් තිබූ ප‍්‍රතිපත්තිමය අරගලයට නැවත පැමිනෙන ලෙස එය උනන්දු කලහ.

ඔක්තෝබර් 25දා ජාත්‍යන්තර කමිටුවේ නියෝජිතයෝ හීලි ලෝක ව්‍යාපාරයෙන් නෙරපා හරින යෝජනාවක් සම්මත කලහ. ඊලඟ දවසේ ම ස්පාඤ්ඤ හා ග‍්‍රීක කන්ඩායම්වල පිටුබලය සහිතව භේදයක් ඇතිකරමින් හීලි ප‍්‍රතිචාර දැක්වීය.

ජාත්‍යන්තර ව්‍යාපාරය ඔවුන්ගේ අවස්ථාවාදී හා කන්ඩායමික අරමුනු සඳහා යොදාගැනීමේ කවිප නායකයන්ගේ උත්සාහය හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටු නියෝජිතයෝ ප‍්‍රතික්ෂේප කලහ. දෙවැනි යෝජනාවක දී, ජාත්‍යන්තර ව්‍යාපාරයේ විනයට තම යටත්වීම ප‍්‍රතික්ෂේප කිරීමත් සමග ජාත්‍යන්කර කමිටුව, කවිප පරිහානියේ අතිමූලික ස්වභාවය හඳුනාගත් අතර ”හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන අධිකාරය පිලිබඳ පැහැදිලි පිලිගැනීමක් හා එහි තීරනයන්ට බි‍්‍රතාන්‍ය ශාඛාව යටත්වීමේ පදනම මත” කවිප සාමාජිකත්වය යලි ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවය අවධාරනය කලේ ය.

1985 දෙසැම්බර් 16දා, කවිප අර්බුදය විභාග කල ජාත්‍යන්තර පරිපාලන කොමිසම, පක්ෂය ”නොනවතින විප්ලව න්‍යාය” අතහැරීමේ දී ”ජාත්‍යන්තර කමිටුව හා ජාත්‍යන්තර කම්කරු පන්තිය ඓතිහාසිකව පාවාදී” තිබූ බව හඳුනාගත්තේ ය. ”නොනවතින විප්ලව න්‍යාය” අතහැරීම පිලිබඳව කවිපයේ සම්පූර්න නායකත්වය ම වගකිව යුතු විය.

ජාත්‍යන්තර කමිටු සම්මේලනයක් කැඳවීමට පෙර හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කවිපය බි‍්‍රතාන්‍ය ශාඛාව ලෙස තහනම් කලේ ය. ”හීලි යටතේ කවිපය තුල සිදු වූ ජාතිකවාදී පරිහානියේ උරුමයෙන් පැන නැගී ඇති ගැටළු හැකි ඉක්මනින් විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර කමිටුව ද කවිප මධ්‍යම කාරක සභාව ද සමීපව වැඩ කල යුත්තේ ය. එමෙන් ම කවිපය තුල ජාත්‍යන්තරවාදී මූලධර්ම යලි ස්ථාපිත කර ඒ පදනම මත ජාත්‍යන්තර කමිටුව තුල එහි පූර්න සාමාජිකත්වය යලි තහවුරු කල යුතු බවත් ජාත්‍යන්තර කමිටුවට පක්ෂපාතීව වැඩ කරන ලෙස”ත් එය කවිප නායකයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ලන්ඩනයේ ජාත්‍යන්තර කමිටු රැුස්වීම තුල කවිපයේ නියෝජිතයෝ හතරදෙනෙක් වූහ. ඔවුන්ගෙන් ක්ලිෆ් ස්ලෝටර්, ටොම් කෙම්ප් හා සයිමන් පිරානි යන තිදෙනා මුළුමනින් ම අවස්ථාවාදී හා ජාතිකවාදී ආස්ථානයන්ගේ පදනම මත යෝජනාවට විරුද්ධ වූහ. ස්ටැලින්වාදී හා පැබ්ලෝවාදී සංවිධාන සමග කවිපයේ වර්තමාන යලි පෙලගැස්මට විරුද්ධ වූ ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ මොනයම් හෝ සීමා පැනවීමක් ඔවුහු නො පිලිගත්හ.

බි‍්‍රතාන්‍ය තුල ට්‍රොට්ස්කිවාදයේ ආරක්ෂාව සඳහා ජාතිකවාදී අවස්ථාවාදය ප‍්‍රතික්ෂේප කිරීම හා ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන අධිකාරිය පිලිගැනීම අවශ්‍ය යයි අවධාරනය කරමින් යෝජනාවට පක්ෂව ඡුන්දය දුන් එකම කවිප නියෝජිතයා වූයේ ඬේව් හයිලන්ඞ් ය.

ස්ලෝටර් නායකත්වය දුන් කවිප කන්ඩායම හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රතිපත්තිමය පියවරන්ට ප‍්‍රතිචාර දැක්වූයේ කන්ඩායමික උන්මාදයකිනි. කෙසේ නමුත් ඬේව්, කවිපයේ ජාත්‍යන්කර කමිටු විරෝධී ව්‍යාපාරයට එරෙහි විය. ඔහුගේ ජාත්‍යන්තර කන්ඩායම, විශේෂයෙන් ම යෝර්ක්ෂයර් ප‍්‍රදේශයේ කවිප මූලික කම්කරු පන්ති කේඩරය අතර අනුක‍්‍රමයෙන් ශක්තිමත්ව වර්ධනය විය.

1986 පෙබරවාරී 8වැනිදා, සංවිධානයේ බහුතරයක් තමන්ගේ පාලනයට නතු නොවන බව වටහා ගත් කවිප නායකත්වය, කවිප (ජා) සාමාජිකයන් පක්ෂ සම්මේලනයට සහභාගිවීමෙන් වැලැක් වීමේ තීරනය ක‍්‍රියාවට දැමීම සඳහා පොලීසියේ පිහිට පැතූහ. ඊලඟ මාසයේ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නව බි‍්‍රතාන්‍ය ශාඛාව ලෙස ජාත්‍යන්තර කොමියුනිස්ට් පක්ෂය පිහිටුවන ලදී.

ඉක්බිති වසර දොලහේ දී ඬේව්, බි‍්‍රතාන්‍ය හා ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල ට්‍රොට්ස්කිවාදී ප‍්‍රවනතාවක් ගොඩනැගීම සඳහා දේශපාලනිකව කැලඹුන හා බොහෝ විට දුෂ්කර කොන්දේසි යටතේ වැඩ කලේය. හැමවිට ම ඔහු සප‍්‍රානික වූයේ, ඓතිහාසිකව ව්‍යුත්පන්න කරගත් ජාත්‍යන්තර කමිටුවේ ක‍්‍රියාමාර්ගයෙහි නිරවද්‍යතාවය පිලිබඳ ගැඹුරු විශ්වාසයෙනි.

කෙසේ නමුත් ඬේව්ගේ සෞඛ්‍ය තත්වය විශාල ලෙස පිරිහුනි. අවුරුදු 40දී රූමටික සන්ධිප‍්‍රදාහය ලෙස ඔහුගේ රෝගය විනිශ්චය කෙරුනි. රෝගය අසාමාන්‍ය ලෙස පීඩාකාරී විය. වෛද්‍යප‍්‍රතිකර්ම නොසලකා හැරීමේ ප‍්‍රතිඵල වශයෙන් ඇති වූ ඒවා ද ඇතුළුව අනෙකුත් සංකූලතාවන් සමග එක්ව ඔහු දරුනු හා බෙලහීන කරන සෞඛ්‍ය ගැටළු සමග පොර බැදීය. ඔහු වසර කීපයකට ක‍්‍රියාකාරී දේශපාලනයෙන් විශ‍්‍රාම ගත් නමුත් පක්ෂය හා ජාත්‍යන්තරය සඳහා ඔහුගේ සහයෝගය සම්බන්ධයෙන් කිසිදා වැනුනේ නැත.

රෝද පුටුවක හිඳ, ඔක්සිජන් බටයකට සම්බන්ධව, ගිලන් රථයකින් පැමින, 2010 ඔක්තෝබර් 10වැනිදා බි‍්‍රතාන්‍යයේ සමාජවාදී සමානතා පක්ෂයේ ආරම්භක සම්මේලනයට සහභාගීවීමේදී ඬේව් පල කල අධිෂ්ඨානය බි‍්‍රතාන්‍ය තුල ඔහුගේ සහෝදරයන් කිසිවෙකුත් අමතක කරනු නැත. වසර කීපයකට පෙර ඔහු මියයනු ඇතැ යි අනාවැකි පලකල වෛද්‍ය වෘත්තියේ අපේක්ෂාවන් පසුබස්වමින්, එවැනි රෝගී තත්වයක් තුල ඔහු නොකඩවා ලිපි ලිව් ආකාරය අගය කිරීමට කිසිවෙකුත් අමතක නොකරනු ඇත.

මෙම මොහොතේ අයිලීන් හා ඔවුන්ගේ දරුවන් වන ජුලී, ටෝනි, ක්ලේරා හා පෝලා වෙත අපි අපගේ ශෝකය පලකරමු.

ඬේව් නියෝජනය කලේ බි‍්‍රතාන්‍ය කම්කරු පන්තිය තුල ශ්‍රේෂ්ට, සැබවින් ම උදාරවූ සියළු දෙය යි. ඔහු පරාජය කල නොහැකි අධිෂ්ඨානවත් හා ගැඹුරින්ම ප‍්‍රතිපත්ති ගරුක හා සමාජවාදය සඳහා අරගලයේ දී ඔහු හිලව්වට කිසිවක් නොඉල්ලමින් හැම දෙයක් ම පුදකිරීමට සූදානම්වූ මිනිසෙක් විය. අභිමානයෙන් හා ගෞරව සම්ප‍්‍රයුක්තව ඔහු සිහිපත් කෙරෙනු ඇත.

Share this article: