න්‍යෂ්ටික ගිවිසුම “ජයග්‍රහනයක්” යැයි පවසමින් ටෙහෙරානය එක්සත් ජනපදය සමග මිතුරු විමේ සූදානම අඟවයි

Claiming nuclear deal “victory,” Tehran signals readiness to ally with US

කීත් ජෝන්ස් විසිනි, 2013 නොවැම්බර් 28

ඉරාන ආන්ඩුව, පසු ගිය සතියේ දී එක්සත් ජනපදය හා එහි සහචරයින් සමග ඇති කර ගත් අන්තර් න්‍යෂ්ටික ගිවිසුම “ජයග්‍රහනයක්” ලෙස හුවා දක්වන්නේ, ඉරාන ආර්ථිකය අබ්බගාත කර ඇති දන්ඩනීය ආර්ථික සම්බාධක ලිහිල් කිරීමක් සඳහා ප්‍රතික්‍රියා වශයෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ට දැවන්ත සහන පිදීමේ සිය සූදානම සංඥාකරමිනි.

ඉරාන ආර්ථිකය, විශේෂයෙන් ම එහි තෙල් හා ස්වභාවික ගෑස් අංශ එක්සත් ජනපද හා යුරෝපීය ආයෝජනයන්ට විවෘත කිරීම සහ මැද පෙරදිග හරහා ඇෆ්ගනිස්තානයේ සිට ලෙබනනය දක්වා ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියට පල වන විරුද්ධත්වය මර්දනය කිරීම සඳහා වොෂින්ටනයට උදව් කිරීම, මෙම සහනවලට අතුලත්ය. අන්තර් ගිවිසුම යටතේ ඉරානය, එරට න්‍යෂ්ටික වැඩසටහන, එක්සත් ජනපද නිලධාරීන් පවසන “මධ්‍යස්ථ, වෙනස් කලහැකි” සම්බාධක සහන වලට හිලව් වශයෙන්, අත්හිටවා ආපස්සට ගනු ඇති අතර එය පෙර නොවූ විරූ කාවැදී ගන්නා පරීක්ෂන ක්‍රියාවලියකට යටත් කරනු ඇත.

ඉස්ලාමීය සමූහාන්ඩුවේ උත්තරීතර නායක අයතොල්ලා කමේනි අන්තර් ගිවිසුම “ජාත්‍යන්තර වේදිකාව මත ඉරාන ජාතියේ න්‍යෂ්ටික වැඩසටහන නීත්‍යානුකූල” කරන ගිවිසුමක් සහතික කිරීම වෙනුවෙන් ජනාධිපති හසාන් රුබානිට ප්‍රශංසා කරන ලිපියක් නිකුත් කරමින් ප්‍රසිද්ධියේ ම අනුමත කලේය.

“ජාතික එක්සත්කම” විදහා පෑමට නූල් සූත්‍ර ගොතා ඇති බවට සැකයක් නොමැත. එනමුදු, දේශපාලන සංස්ථාපිතය තුලින් විරුද්ධත්වයක් නොපලවීම—රෙවලූෂනරි ගාඩ් නායකත්වය එක්කෝ ප්‍රසිද්ධියේ සහයෝගය දෙයි, නැත්නම් නිහඬ ය― අඟවන්නේ, ඉරාන ධනේශ්වරයේ ප්‍රමුඛ කන්ඩායම එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් සමග සමගි සන්ධානයක් සඳහා වැඩ කරමින් සිටින බව යි.

ජයග්‍රහනය ප්‍රකාශ කරමින් ඉරාන අධිකාරීහු, න්‍යෂ්ටික බලය ප්‍රගුනනය නොකිරීමේ ගිවිසුමෙහි අත්සන් කරුවෙකු ලෙස, ප්‍රජා න්‍යෂ්ටික අරමුනුකරගත් යුරේනියම් සුපෝෂනය සඳහා ඉරානයේ අයිතිය අන්තර් ගිවිසුම මගින් පිලිගෙන ඇති බවට තර්ක කරති. වොෂින්ටනය මෙම ප්‍රකාශය බැහැර කලේය. ගිවිසුම අත්සන් කිරීමත් සමගම එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පැවසුවේ වොෂින්ටනය එවැනි අයිතියක් පිලිගෙන නැති බව යි: ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ පරාමිතීන් පිලිබඳව “අනොන්‍ය වශයෙන් එකඟවනු” ඇත්තේ, ඉරානය හා හයදෙනා (sextet) , එනම් එක්සත් ජනපදය, රුසියාව, චීනය, බ්‍රිතාන්‍ය, ප්‍රන්සය හා ජර්මනිය අතර අවසාන විසඳුමක කොටසක් ලෙස ය.

ඉරානයේ පූජක සංස්ථාපිතයේ “දැඩි මතදාරී” කන්ඩායම් හා ඒකාබද්ධ කේහන් නම් දිනපතා පත්‍රය ගිවිසුම පිලිබඳව විවේචනශීලී වාර්තා පල කල පුවත්පත් කිහිපයෙන් එකක් විය. එහි කතුවැකි වලින් ගිවිසුමට විරෝධය පල කර තිබුනි. එය සුපෝෂන අයිතීන් පිලිබඳව ටෙහෙරානයේ හා වොෂින්ටනයේ අර්ථනිරූපනය අතර ගැටුම ගැන පලවූ එහි පලමු කතුවැකිය සඳහන් කලේ, අන්තර් ගිවිසුම පිලිබඳ “ඇමරිකාව විශ්වාසවන්ත නො වීය. ජිනීවා ගිවිසුම පැවතුනේ එක් පැයකි” යන ශීර්ෂපාඨය යොදමිනි.

ඉරානය ප්‍රධාන සහනයන් පුදා ඇතත් “සම්බාධකවල අතිමූලික ව්‍යුහය තවමත් අභින්න වන අතර අනාගතයේ දී ඒවා ගැන කතාකරන්නට (පමනක්) බලාපොරොත්තු වේ” යැයි කේහාන් ප්‍රකාශ කර යි.

අන්තර් ගිවිසුමේ හය මසක ආයු කාලයේ දී සමස්ත සම්බාධක සහනවල වටිනාකම ඩොලර් බිලියන 7ක් පමනී. මෙය තෙල් අපනයනය මත පනවා ඇති සම්බාධක නිසා ඉරානය සති හයක දී ලබන පාඩුවට සමාන වේ.

සම්බාධක ඉරාන ආර්ථිකය අඩපන කරද්දී ධනේශ්වරයේ විශාල කොටසක් ද ආර්ථික වශයෙන් මිරිකී ගියේය. සමාජ ආර්ථික අර්බුදය හමුවේ තමන් කම්කරු පන්තිය සමග ගැටුමකට ඇද දමනු ඇතැයි යන කාරනය, ඉරාන පාලක ප්‍රභූව තුල ඉමහත් භීතිය දල්වා ඇත.

පසු ගිය මාර්තුවෙන් අවසාන වූ මුදල් වර්ෂයේ දී ඉරාන ආර්ථිකය සියයට 6කින් හැකිලුන අතර උද්ධමනය සියයට 40ට ආසන්න මට්ටමක පවතියි. මිලියන 75ක ජනගහනයකින් යුත් රටෙහි රැකියා විරහිත සංඛ්‍යාව මිලියන 5ක් වේ.

වොෂින්ටනය සමග පෙලගැසීම දෙසට තල්ලුවීම දීර්ග කාලයක් තිස්සේ සූදානම් කෙරුනකි. මාර්තු මැද දී, ඉරාන හා වොෂින්ටන් නිලධාරීන් දියත් කලේ අඩවසරක් දීර්ග රහස් සාකච්ඡා මාලාවක් යැයි ඒත්තු ගතහැක. කමේනිගේ ආශීර්වාදය සහිතව රුහානි ජූනි ජනාධිපතිවරනයට පෙනී සිටියේ, බටහිර සමග සන්ධානයට පක්ෂව කතා කරමිනි. දශක දෙකක් තිස්සේ වොෂින්ටනය සමග සමගි සන්ධානයක් සඳහා බලපෑම් කරමින් සිටි ව්‍යාපාරයකට නායකත්ව දී ඇති හිටපු ජනාධිපති හෂේමි රෆ්සන්ජානිගේ ගෝල‍ෙයකි රූහානි.

මෙම වෙනස ප්‍රසිද්ධියේ ප්‍රචාරය කෙරී ඇත්තේ විනාසකාරී සම්බාධකවලින් මිදීමේ හා එක්සත් ජනපදය සමග වියහැකි විනාසකාරී මිලිටරි ගැටුමක් මගහැරීමේ මාධ්‍යයක් ලෙස ය- සාමය හා සෞභාග්‍ය සඳහා මාවත ලෙස ය. යතාර්ථයේ දී ඉරාන ධනේශ්වරය, ඉරාන කම්කරු පන්තියට හා මැද පෙරදිග පීඩිත මහජනතාවට එරෙහිව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග හවුලට යමින් සිය පාලනය ශක්තිමත් කිරීමට උත්සාහ දරමින් සිටියි.

24දා ගිවිසුමෙන් පසු ඉරාන තන්ත්‍රය, ඊට අන්තර්ගත වනු ඇත්තේ මොනවා ද යන්න පිලිබඳව පැහදිලි ඇඟවුමක් ගෙන එමින් සිටින අතර එක්සත් ජනපදය හා යුරෝපීය අනුචරයෝ, ඔවුන්ගේ පැත්තෙන් ටෙහෙරානයෙන් ඉල්ලන පුලුල් සහන සාරාංශ කිරීම ආරම්භ කරමින් සිටිති.

සිය පාලනයේ පලමු දින 100 සලකුනු කරන රැස්වීමක දී 26දා සවස රුහානි, ඉරාන ආර්ථිකයේ විවෘත වෙලඳපොල ප්‍රතිව්‍යුහකරනය සඳහා කැඳවුම් කලේය. රට “අසාමාන්‍ය ලෙස ඇනහිටීමේ” හේතුව සම්බාධක පමනක්ම නො වේ යයි ඔහු පැවසීය. ඔහු සහනාධාර ප්‍රතිසංස්කරන අනුගමනය කිරීමට පොරොන්දු විය. මෑත දී අහෝසි කරන ලද ආහාර ද්‍රව්‍ය හා සේවාවන් සඳහා පවත්වාගෙන ගිය සහනාධාර කපා හැරීමට හිලව් වශයෙන් බොහෝ ඉරාන ජාතිකයන්ට දැන් දෙනු ලබන ඉන්ධන හා මුදල් ගෙවීම් මත මිල සහනාධාර ගෙවීම කප්පාදු කිරීමත් අවසානයේ දී අනෝසි කිරීමත් වක්‍රෝත්තියෙන් කියා ඇත්තේ එලෙසය.

ඔහුගේ ආන්ඩුව මහජන ප්‍රතික්‍රියා හා ආර්ථික බලපෑම පිලිබඳ බියෙන් ව්‍යවස්ථාදායක සභාව (මජ්ලිස්) මෑතකදී යෝජනා කල සියයට 30ක කප්පාදු ප්‍රතික්ෂේප කල නමුත් රුහානි දැවන්ත අයවැය කප්පාදු සූදානම් කරමින් සිටී.

බටහිරට හා යුරෝපා සංගමයට ඉරානය ඉදිරිපත් කරන යෝජනාවල ප්‍රධාන අංගය වන්නේ රටේ බලශක්ති මූලාශ්‍රයන්ගේ සැලකියයුතු පංගුවක් පිරිනැමීම යි.

26දා ප්‍රකාශයට පත් කෙරුනු ෆයිනැන්ෂල් ටයිම්ස් පත්‍රයට දුන් සම්මුඛ සාකච්ඡාවක දී ඉරානයේ ඛනිජ තෙල් ඇමති බිජාන් නම්දාර් ෂන්ගනේ පැවසුවේ, සම්බාධක ඉවත් කෙරුනු වහාම ඉරානයේ තෙල් හා ස්වභාවික ගෑස් බිම්වල හැකි විශාල පරිමාන ආයෝජන ගැන සාකච්ඡා කිරීමට, ප්‍රන්සයේ ටෝටල්, රෝයල් ඩච් ෂෙල්, නෝර්වේ හි ස්ටැටොයිල් හා ඉතාලියේ එනී ඇතුලු යුරෝපයේ ප්‍රමුඛ බලශක්ති සමාගම් සමග මේ වන විටත් රැස්වීම් පැවත්වා ඇති බව යි. ඔහු තව දුරටත් පැවසුවේ, ඉරානය සමග ව්‍යාපාර පටන් ගැනීමට වොෂින්ටනය අවසර දෙන අවස්ථාව උදාවූ වහාම වැඩ පටන් ගැනීම පිලිබඳව එක්සත් ජනපද බලශක්ති සමාගම් සමග තමන “වක්‍ර ලෙස” සාකච්ඡා කර ඇති බව යි.

යුරෝපා සංගමයේ හා එක්සත් ජනපදයේ අන්තර්ජාතික සමාගම්වලට අසැල්වැසි ඉරාකයට වඩා හොඳ කොන්දේසි පිරිනැමීමට ඉරානය සූදානම් බව ෂන්ගනේ ටයිම්ස් පත්‍රයට පැවසූ අතර තරඟකරුවන් අඩු නිසා වාසි ලබා ඇතැ යි ඔහු ඇඟ වූ චීන සමාගම් ඉවත් කිරීමට ඔවුන්ට හැකි වෙතැ යි බලාපොරොත්තු පල කලේ ය.

ලෙබනනය, සිරියාව හා ඉරාකය තුල සිටින ඉරාන ගැති හමුදා වඩා කිට්ටුවෙන් එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය සමග පෙලගැස්වීමට පීඩනය යෙදීමක් ද වන, මැද පෙරදිග වොෂින්ටනයේ පුලුල් මූලෝපායාත්මක උත්සුකයන්ට ප්‍රධාන සහන පිරිනැමීමට ඇති ඉරානයේ සූදානම ද ඔවුහු අඟවා තිබේ.

එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමනය කල ක්ෂනික ඉක්බිත්තේ, 2003දී ටෙහෙරානය වොෂින්ටනයට පිරිනැමූ රහස්‍ය “අනර්ග ගිවිසුම” සිහියට නගා ගැනීමෙන් යමෙකුට සාකච්ඡා කෙරෙමින් පවතින ගිවිසුමේ පරිමාව හා මිම්ම පිලිබඳව අදහසක් ගත හැක. “තන්ත්‍ර වෙනසක්” නොකිරීමේ එක්සත් ජනපද පොරොන්දුවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය පිරිනැමුවේ ඊස්රායලය පිලිගැනීම, හෙස්බුල්ලා හා පලස්තීන හමාස් කන්ඩායමට මිලිටරි සහායදීම නතර කිරීම සහ ඉරාකය හා ඇෆ්ගනිස්තානය ස්ථාවර කිරීමේ දී එක්සත් ජනපදයට සහායදීම යි. “ටෙහෙරානය හා වොෂින්ටනය අතර සංහිඳියාවේ දෝංකාරය, දීර්ග කාලයක් තිස්සේ ඵලදායි රාජ්‍යතාන්ත්‍රික භාවයට හා සහයෝගයට බලපානු ඇතැ යි සැලකූ ස්ථානවල —උදාහරන වශයෙන් ලෙබනනයේ හෙස්බුල්ලා ― ප්‍රතිරාවය නංවනු ඇතැයි ” ජෙෆ්‍රි අරොන්සන් අල්-මොනිටර් හි සඳහන් කර යි.

26දා, ඉරාන විදේශ ඇමති ජවාඩ් ෂරීෆ් පැවසුවේ, සිරියාව පිලිබඳ ඊනියා ජිනීවා II සම්මේලනය සඳහා ආරාධනයක් ඉරානය සතුටින් පිලිගනු ඇති බව යි.“ කලාපයේ අනෙකුත් රටවල් සමග සිරියාවේ අර්බුදය විසඳීමට උදව්දීමට තම දේශපාලන හැකියාව හා බලය පාවිච්චි කිරීමට ඉරානය සූදානම්” යැයි ඔහු පැවසී ය.

එක්සත් ජනපදය-හා සෞදි අරාබිය පිටුබලය දෙන අල් කයිඩාව සම්බන්ධ විපාර්ශ්වය සමග යුද්ධයේ දී බෂිර් අල්-අසාද්ගේ ප්‍රධාන කලාපීය මිතුරා ඉරාන යි.

සිරියාවට එරෙහිව ඍජුව යුද්ධයක් දියත්කිරීමෙන් පසු බැසීමට සැප්තැම්බර් මුල දී ඔබාමා පාලනාධිකාරිය ගත් තීන්දුව බැඳී තිබුනේ, වොෂින්ටනය සමග සන්ධානයක් සෙවීමේ ඉරාන සූදානම උරගා බැලීම සමග ය. පසුව ජිනීවා II සමුලුවට ඉරානය සහභාගිවීම කෙරෙහි සිය විරුද්ධත්වය එජ විසින් අත්හැර දැමූ නමුත්, ඒ ඉස්ලාමීය විරුද්ධ පාර්ශ්වය හා අනෙකුත් එක්සත් ජනපද ගැත්තරයින් සමග “සංක්‍රමනීය” සභාගයකට අසාද් තන්ත්‍රය පිවිසිය යුතු ය යන පූර්ව කොන්දේසිය ටෙහෙරානය පිලිගැනීමෙන් පසුව පමනී.

Share this article: