ශ්‍රී ලංකාවේ සසප, අභාවප්‍රාප්ත කීර්ති බාලසූරියගේ 25 සංවත්සරය පවත්වයි

Sri Lankan SEP meeting marks 25th anniversary of Keerthi Balasuriya’s death

By our correspondents , 14 February 2013

සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි), අභාවප්‍රාප්ත කීර්ති බාලසූරියගේ 25සංවත්සරය සැමරීමේ ප්‍රසිද්ධ රැස්වීමක් පෙරවාරි 10දා කොලඹ නව නගර ශාලාවේ දී පවත්වන්නට යෙදුනි.

සසප පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ආරම්භක ප්‍රධාන ලේකම් හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නායකයෙකුව සිටි කීර්ති සහෝදරයා වයස අවරුදු 39දී කොලඹ විකොස කාර්යාලයේ වැඩ කරමින් සිටින අතරතුර, 1987 දෙසැම්බර් මස 18දා හෘදයාබාධයකින් මිය ගියේ ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති හා එක්සත් ජනපදයේ සසප ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත්,රැස්වීමේ ප්‍රධාන කථිකයා විය. ඔහු රැස්වීමට ජාත්‍යන්තර කමිටුවේ හා ඇමරිකානු සසපයේ සුභ පැතුම් ගෙන ආ අතර ඕස්ට්‍රේලියාවේ, එක්සත් රාජධානියේ, කැනඩාවේ සමාජවාදී පක්ෂවල සුභ පැතුම් මූලාසනය විසින් රැස්වීම හමුවේ තබන ලදී.

කොලඹ රැස්වීම

කොලඹ හා අනෙකුත් ප්‍රදේශවලින් පැමිනි 200ක් පමන කම්කරුවන්, තරුනයින් හා වෘත්තිකයින් රැස්වීමට සහභාගී විය. ඔවුන් අතර යාපනයේ හා වතුකරයේ පක්ෂ සමාජිකයින් හා ආධාරකරුවන්ගේ නියෝජිතයෝ ද වුහ.

සසප දේශපාලන කමිටු සාමාජික කේ. රත්නායක රැස්වීමේ මුලසුන හෙබවූ අතර විනාඩියක නිහඬතාවක් පවත්වමින් කීර්තිගේ මතකයට ගරු කරන ලෙස ඉල්ලා සිටියේ ය. කීර්ති සටන් වැදුනු දේශපාලන මූලධර්මයන්ගේ හා ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ක්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනයට ඔහු විසින් කරන ලද ප්‍රතිපදානයන්ගේ වැදගත්කම ජාත්‍යන්තර දේශපාලන තත්වය විසින් සලකුනු කරන බව ඔහු පැවසී ය.

රත්නායක මෙසේ ද කීවේ ය, "ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන මැදිහත්වීම් තුලින් කීර්ති, ලංකා සමසමජ පක්ෂය (ලසසප), ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) ධනපති සභාගයට ඇතුලු වෙමින්, 1964දී කල පාවාදීමේ මූලික හේතු පැවතුනේ, පැබ්ලෝවාදී අවස්ථාවාදය තුල බව වටහා ගත්තේ ය." එම වැටහීම සහිතව කීර්ති, කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයෙහි අර්බුදය විසඳීමේ අවශ්‍යතාවය අවබෝධ කර ගනිමින් ඔහුගේ අකල් මරනය දක්වා ම එම අරගලය ගෙන ගියේ ය.

කීර්තිගේ යාවජීව සහකාරිනිය විලානි පීරිස්, ඔහුගේ මරනය සිදුවූ තැන් පටන් ගතව ඇති වසර විසිපහ තුල සසප හා ජාත්‍යන්තර කමිටුව දැවැන්ත න්‍යායික හා දේශපාලන වර්ධනයක් අත්කරගෙන ඇති බව පෙන්වා දුන්නා ය. "සියලු වර්ගවල අවස්ථාවාදී හා සංශෝධනවාදී ප්‍රවනතාවන්ට එරෙහිව කීර්ති ගෙනගිය අරගලයේ ඓතිහාසික පාඩම්, සසප හා ජාත්‍යන්තර කමිටුව ඉන් පසු කාලයේ ඉදිරිපත් කල ලේඛනවල අඩංඟුවී ඇත."

විකොස රාජ්‍ය මර්දනයට ලක්ව හා 1971දී සුලු ධනපති ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය ගත් ගම්බද තරුන කැරැල්ල අවධියේ මතු වූ දේශපාලන ගැටලු වලට මුහුනපෑ කල කීර්ති, පක්ෂයේ ඉතිහාසය හැදෑරීම දෙසට බැරෑරුම් ලෙස යොමු වූ බව පීරිස් පැවසුවා ය. තමන්ගේ ම පූර්ව න්‍යායික අරගලයන්ගේ පොහොසත් පාඩම් අතහැරීමට පටන්ගෙන තිබූ, එවක ජාත්‍යන්තර කමිටුවේ බ්‍රිතාන්‍ය ශාඛාව වූ සෝෂලිස්ට් ලේබර් ලීගයේ (එස්එල්එල්) උපදෙස් වලට පටහැනිව කීර්ති, පක්ෂ ඉතිහාසය හා ඉදිරිදර්ශන කෙටුම්පත පිලිබඳ ඔහුගේ ලියවිලි ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. "ඔහු සෑම දේශපාලන ප්‍රශ්නයකට ම එලඹුනේ ඓතිහාසික ප්‍රවිෂ්ටයකින් බව'' ඇය අවධාරනය කලා ය.

සසප දේශපාලන කමිටු සාමාජික එම්. දේවරාජා රැස්වීම අමතමින් මෙසේ පැවසීය, "එවක ජාත්‍යන්තර කමිටුවේ බ්‍රිතාන්‍ය ශාඛාව වූ කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය අතහැර දමමින්, 1970 ගනන් අග භාගයේදී මැද පෙරදිග ධනපති ජාතිකවාදී තන්ත්‍රයන්ට අනුගත විය. එසේ තිබියදීත්, කීර්තිගේ නායකත්වයෙන් විකොස, සිංහල හා දෙමල ධනේශ්වරයට එරෙහිව මෙරට සිංහල හා දෙමල කම්කරුවන් සමාජවාදී ක්‍රියාමාර්ගයක් හා ඉදිරිදර්ශනයක් මත එක්සත් කිරීම සඳහා සටන් වැදුනේ ය."

සසජාශී ව්‍යාපාරයේ කැඳවුම්කරු කපිල ප්‍රනාන්දු මෙසේ පැවසී ය, "අධිරාජ්‍යවාදීන් හා ජාතික ධනපති ආන්ඩු, ගෝලීය ධනපති ක්‍රමයේ අර්බුය තමන් මත පටවමින් සිටිය දී, අද දවසේ ලොව පුරා මහජනතාවන් හා තරුනයින් සිය ජීවන තත්වයන්ට එල්ල කරන අතොරක් නැති ප්‍රහාරයකට මුහුන දී සිටියි. මේ තත්වයන් හමුවේ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තරව කම්කරුවන් එක්සත් කිරීම සඳහා විප්ලවවාදී පක්ෂය ගොඩනැඟීමට ගෙනගිය විකොස අරගලයේ ඓතිහාසික පාඩම් වෙන කවරදාකටත් වඩා තීරනාත්මක ය."

ඩේවිඩ් නෝර්ත්, ජාත්‍යන්තර කමිටුව තුල කීර්ති සමග වැඩකල සියලු සහෝදරයින් කෙරෙහි ඔහු ඇතිකල අමතක කල නොහෙන බලපෑම සිහිපත් කරමින් සභාව ඇමතී ය. එස්එල්එල් සංවිධානය කල බ්‍රිතාන්‍යයේ පැවති අධ්‍යාපන කඳවුරක දී 1972 වසරේ පලමු වරට කීර්ති හමුවූ ආකාරය ඔහු සිහියට නැංවීය. එහි දී "කීර්ති 1923 ජර්මානු විප්ලවයේ පරාජයට තුඩුදුන් සිදුවීම් පිලිබඳව උද්වේගකර හා බලගතු කථාවක් පැවැත්වී ය. දුර බැහැර ලංකාවෙන් පැමිනි මෙම තරුන මාක්ස්වාදියා විසින් ප්‍රදර්ශනය කල දැනුමෙන් විස්මයට පත් නොවී සිටිය නොහැකි විය."

මුල් කාලයේ දී ම කීර්ති සමග දේශපාලන සහක්‍රියාකාරිත්වයකට එලඹීමෙන් කවිපය තමන් වලකාලූ බව නෝර්ත් පැහැදිලි කලේ ය. නොනවතින විප්ලවය හැර දමමින්, මැදපෙරදිග ධනපති තන්ත්‍ර සමග අවස්ථාවාදී සන්ධානයන්ට එලඹීම පිලිබඳව එක්සත් ජනපදයේ වර්කර්ස් ලීගය, කවිපය ගැන කල සවිස්තරාත්මක විවේචන බ්‍රිතාන්‍ය පක්ෂය විසින් විකොසෙන් හා ජාත්‍යන්තර කමිටුවේ අනෙකුත් ශාඛාවන්ගෙන් වසං කරනු ලැබිනි. කවිපය තුල 1985 ග්‍රීෂ්මයේ දී පුපුරා ගිය අර්බුදය, ජාත්‍යන්තර කමිටුව මත පවත්වාගෙන ගිය එහි සංවිධානාත්මක අධිකාරය බිඳ දමනු ලැබූ අතර කීර්ති හා නෝර්ත් අතර සමීප දේශපාලන සහයෝගිතාවකට කොන්දේසි සැකසී ය.

ධනපති ජාතිකවාදයේ ක්‍රියාකලාපය ගෙනහැර දැක්වීම සඳහා නෝර්ත්, 1917 ඔක්තෝබරයේ රුසියානු විප්ලවයෙන් ඉක්බිත්තෙහි දැවැන්ත යටත් විජිත විරෝධී නැඟිටීම් වලින් මතුකරන ලද දේශපාලන ප්‍රශ්න සාකච්ඡා කරන ලද 1922 නොවැම්බරයේ පැවැත්වූ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ සිව්වන සමුලුවට සහභාගි වූ ඉන්දියානු නියෝජිත එම්. එන්. රෝයිගෙන් උපුටා දැක්වීය. පසුව ස්ටැලින්වාදී නිලධරයේ ක්ෂමාලාපකයෙක් බවට පිරිහී ගිය ද රෝයි, තවමත් යටත් විජිත අධිකාරය යටතේ පැවති රටවල ජාතික විමුක්තිය පිලිබඳව, ලෙනින් අවසන් වරට සහභාගී වූ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ මෙම සමුලුවෙහි විවාද කල ප්‍රවාදයන්ට සහාය දක්වා තිබුනි.

පලමු ලෝක යුද්ධය අවසානයේ දැවැන්ත සමාජ නැඟිටීම් පිපිරී ගිය කල, විදේශ අධිරාජ්‍යවාදය පමනක් නොව දේශීය ධනේශ්වරය ද කම්පනයට පත්වූ බව රෝයි පැවසී ය. අධිරාජ්‍යවාදයෙන් ජාතික නිදහස දිනාගැනීමේ අරගලය පෙරට ගෙනයාම සඳහා කොමියුනිස්ට් පක්ෂ ගොඩනැඟීම අවශ්‍ය වී යයි ද ඔහු පවසා තිබුනි.

නෝර්ත් මේ ආකාරයට ප්‍රශ්නය මතු කලේ ය, "අනූ එක් වසරකට පෙර 1922දී පවා ධනේශ්වරයේ ද්‍රෝහීත්වය මාක්ස්වාදීන්ට දැකගත හැකිව තිබුනේ නම්, වත්මන් අවධියේ දේශපාලන පරිහානිය හා ජරපත්වීමේ ක්‍රියාවලිය කෙතරම් වැඩිදියුනු තත්වයක පැවතිය හැකි ද?"

කීර්තිගේ අභාවයෙන් පසුව නැ‍ගෙනහිර යුරෝපයේ හා සෝවියට් සංඟමයේ ස්ටැලින්වාදී තන්ත්‍රයන් බිඳවැටීම හමුවේ, ගෝලීය භූ දේශපාලනය පරිවර්තනය වී ඇති බව සටහන් කරමින් නෝර්ත්, "එහෙත් මෙම ඓතිහාසික සිදුවීම්, කීර්ති සටන් වැදුනු දේශපාලන සංකල්ප හා මූලධර්ම අවලංඟු කරනවා වෙනුව‍ට, ඒවාට දැවැන්ත ඓතිහාසික වැදගත්කමක් පවා අත්කරදී ඇතැයි" පැවසී ය. කම්කරු පන්තියේ විප්ලවවාදී ක්‍රියාකලාපයට ආදේශකයක් ලෙස පැබ්ලෝවාදීන් ද ඇතුලු සුලු ධනපති "වම්මු" විසින් උත්කර්ෂයට නැංවූ චීන මාඕවාදී තන්ත්‍රය හා විවිධ ධනපති ජාතිකවාදී තන්ත්‍ර ද ව්‍යාපාර ද ගෝලීය ප්‍රාග්ධනයේ විවෘත ඒජන්තයින් බවට පත්ව තිබීම, කීර්ති සටන් වැදුනු දේශපාලන මූලධර්ම බලගතු ලෙස සනාථ කිරීමක් බව ඔහු පෙන්වා දුන්නේ ය.

කථිකයා මෙය ද අවධාරනය කලේය, "අපගේ ඇස් පනාපිට අපි අත්දකින්නේ, අධිරාජ්‍යවාදය එහි වඩාත් ම සාපරාධී ස්වරූපයෙන් මතුව එන බවයි. 'ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ' ධජය යටතේ එක්සත් ජනපදය ලෝකය පුරා ත්‍රස්තවාදය හා සාපරාධිත්වය උසිගන්වන්නා බවට පත්ව තිබේ."

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ එලඹෙන 15 සංවත්සරය පෙබරවාරි 14 දිනට නියමිතව ඇති බව සඳහන් කරමින් නෝර්ත් මෙසේ පැවසී ය. ''කම්කරු පන්ති විප්ලවවාදී එකමුතුවේ අතිශය බලගතු අවිය බවට පත්ව තිබෙන බව සනාථ කර තිබෙන ලෝසවෙඅ, ඉදිරි මාස හා වසරවල ලෝක සමාජවාදී විප්ලවය සංවිධානය කරන මෙවලම බවට පත්වනු ඇති බවට කිසිදු සැකයක් අපට ඇත්තේ නැත."

නෝර්ත් සිය කථාව නිමා කලේ මෙසේ පවසමිනි, "කීර්ති සහෝදරයා විප්ලවවාදී මාක්ස්වාදයේ ශ්‍රේෂ්ඨ නියමුවෙකු විය. ඔහුගේ ජීවිතය හා අරගලය අද දවස දක්වා ම ජාත්‍යන්තර කමිටුවේ කටයුතු වලට මඟ පෙන්වුවේ ය. අප ලියන්නේ කුමක් ද අප කරන්නේ කුමක් ද යන්න තුල ඔහු ජීවමාන ය. අපගේ ව්‍යාපාරය හමුවේ පවතින අනාගත ජයග්‍රහන තුල ඔහු සිහි කැඳවනු ඇත.”

අවසාන කථාව පවත්වනු ලැබුවේ සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් විසිනි. "අප මෙම සංවත්සර රැස්වීම සංවිධානය කලේ, හුදෙක් පසුගිය වසර 25 සලකා බැලීමට ම නොවේ. අපගේ රැස්වීමේ අරමුන, අප ජීවත්වන ලෝක දේශපාලන තත්වය හා වර්ධනය වෙමින් තිබෙන පන්ති අරගලය විමසා බැලීම ය," ඔහු පැවසීය.

කීර්ති හා තමා ද ඇතුලු තරුනයින් කන්ඩායමක් ජාත්‍යන්තර කමිටුවේ මඟපෙන්වීම යටතේ 1964 ලසසප පාවදීම මගින් මතුකල දේශපාලන ප්‍රශ්න සමඟ පොරබදමින්, 1968දී ජාත්‍යන්තර කමිටුවේ ශාඛාව ලෙස විකොස පිහිටුවනු ලැබුවේ කෙසේ ද යන්න පිලිබඳව විස්තර සහිතව ඩයස් පැහැදිලි කලේය. කීර්ති නායකත්වය දුන් විකොස, ලසසප පාවාදීමට විරුද්ධ බව කියා සිටි විවිධ සුලු ධනපති සංවිධානවල පන්ති ස්වභාවය හා දේශපාලනය හෙලිදරව් කිරීමට සටන් වැදුනි. ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය යන කීර්තිගේ මහඟු කෘතිය, කම්කරු පන්ති ජාත්‍යන්තරවාදී පිලිවෙත තහවුරු කිරීමේ විකොස අරගලයෙහි කොටසක් ලෙස, මෙම සුලු ධනපති සංවිධානයේ දේශපාලනය සවිස්තරාත්මක මාක්ස්වාදී විමසුමකට බඳුන් කරන ලදී.

පක්ෂ සාමාජිකත්වය තුල මතුවූ දේශපාලන ප්‍රශ්න කෙරෙහි කීර්ති හැමවිට ම සංවේදී වූයේ කසේදැයි ඩයස් පැහැදිලි කලේ ය. 1976 මහ වැඩවර්ජනයට තුඩු දෙමින් මතුවූ පන්ති නැගිටීම් මධ්‍යයේ කීර්ති, කම්කරු පන්තියේ ස්වයංසිද්ධ අරගලයන්ට අනුගතවීම ප්‍රකාශ කරමින් පක්ෂය තුල හිස එසවූ ප්‍රවනතාවයකට එරෙහිව ඉවසිලි සහගත අරගලයක් ගෙන ගියේ ය.

අග විනිසුරු ශිරානි බන්ඩාරනායක ඉවත් කර, ජනාධිපතිගේ කිට්ටු හෙංචයියෙක් පත් කිරීමේ අරමුනෙන් ඇයට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය මගින් ප්‍රකාශිත වූ පරිදි රටේ ධනපති පාලනය මුහුනපා ඇති ආර්ථික හා දේශපාලන අර්බුදය ද ඩයස් විමසා බැලී ය. ජනාධිපති රාජපක්ෂ, කම්කරු පන්තියෙන් නොවැලැක්විය හැකි පරිදි ම මතුවන විරෝධය මැඩීම අරමුනු කරගත් පොලිස් රාජ්‍ය පියවරයන්ගේ කොටසක් ලෙස දේශපාලන බලය සිය තන්ත්‍රය අතට ගැනීමට උත්සාහ කරන බව කථිකයා පැහැදිලි කලේ ය.

දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත වෙමින් ධනපති ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා නව සමසමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම කන්ඩායම් ඉටු කරන ද්‍රෝහි ක්‍රියාකලාපය ඩයස් විස්තර කලේ ය.

කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත්වීමක් වෙනුවෙන් සසප සටන් වදින බව ඔහු පැවසී ය. "ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකින්, රාජපක්ෂ තන්ත්‍රය විස්ථාපනය කල යුතු බව අපි කියා සිටිමු. දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදී සමූහාන්ඩු සංඟමයක් ගොඩනැඟීමේ කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් පිහිටුවීමේ ඉදිරිදර්ශනය මෙය යි.”

ලෝසවෙඅ පලකරනු ලබන සසප හා ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන විශ්ලේෂන බැරෑරුම්ව හදාරන ලෙස ඩයස් රැස්ව සිටියවුන්ගෙන් ඉල්ලා සිටියේ ය. ඒවා සිංහල හා දෙමල භාෂාවන්ගෙන් ද පලකරනු ලබන අතර කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ගොඩනැඟීමේ අරගලයට එක්වන ලෙස ද ඔහු ඉල්ලා සිටියේ ය.

Share this article: