කොටස් වෙලඳපොල බුබුල

The stock market bubble

1 February 2013

ආර්ථික අවපාතයේ පස්වන වසර තුල හා 2008 වසරෙන් පසු ගෝලීය ආර්ථිකයේ නරකම පසුබෑමේ සලකුනු මධ්‍යයේ, ලෝක කොටස් වෙලඳපොලවල උත්පාතයක් ඇතිවෙමින් තිබේ. එක්සත් ජනපදයේ ප්‍රධාන කොටස් මිල දර්ශක තුන, එක්කෝ එහි ඉහලම අගය සලකුනු කල 2007 මට්ටමට ලඟාවී හෝ ඊට ලං වෙමින් තිබේ. ඒ, ජනවාරි 30දා නිකුත්කල දත්ත අනුව 2009 වසරෙන් පසුව පලමු වතාවට පසුගිය අවසන් කාර්තුවේ හැකිලීමක් සිදුවීම හා ආර්ථිකය ඇනහිට තිබීමේ කාරනය නොතකාය.

යුරෝපයේදී ජර්මනිය තියුනු පසුබෑමකට මුහුනපා සිටින අතර, ග්‍රීසිය හා ස්පාඤ්ඤය, මහා අවපාතයෙන් පසුව දක්නට නොලැබුනු කොන්දේසි හමුවේ බිඳී විසිරෙමින් තිබේ. බ්‍රිතාන්‍ය ආර්ථිකය, පසුබෑම ආරම්භයේ තිබුනාට වඩා සියයට 3.3ක් කුඩාවී ඇත. එහෙත් පාද සලකුන වන ෆුට්සි 250 දර්ශකය දෙගුනවී තිබේ. චීනයේ, බ්‍රෙසීලයයේ හා ඉන්දියාවේ නිර්යාත පහත වැටෙන තත්වය තුල ආර්ථික වර්ධන සංඛ්‍යා පෙන්නුම් කරන්නේ, තියුනු පහත වැටීමකි. එහෙත් පසුගිය වසරේ පමනක් ගෝලීය කොටස් අගය සියයට 10 සිට 20 දක්වා ඉහල ගොස් තිබේ.

පෙනී යන පරිදි, ඉහලට යොමුවුන මූල්‍ය වෙලඳපොලවල් හා ආර්ථික එකතැන පල්විම යන ප්‍රතිවිරෝධී සංසිද්ධිය, සමීපව බැඳී තිබෙන කාරනයකි. වෙලඳපෙලවල අඛන්ඩව සිදුවූ නැඟීම, නිරෝගී සලකුනක් නොවේ. එය වනාහි, ලෝක ධනේශ්වර ක්‍රමයේ රෝගී බවේ සුවිශේෂී ප්‍රකාශනයකි.

නිෂ්පාදනයේ හා ආයෝජනයේ ඓතිහාසික අර්බුදයකට මුහුනපා සිටින ලෝකයේ පාලක පන්තීන්, ධනය යලි බෙදාහැරීමේ ඓතිහාසිකව පෙර නොවූ විරූ පියවර ගනිමින්, තමන්ගේම ආදායම ද දේපොල වත්කම් ද ප්‍රති උද්ධමනයකට ලක් කරමින්, ප්‍රතිචාර දක්වා තිබේ.

සියල්ලටත් වඩා එක්සත් ජනපදයේ ෆෙඩරල් මහ බැංකුව හා අනෙකුත් මධ්‍යම බැංකු විසින් මූල්‍ය පද්ධතිය තුලට දැවැන්ත මුදල් පොම්ප කිරීමක් සිදුකොට තිබේ. එක්සත් ජනපද මහ බැංකුව දැනට සෑම මසකම, ඩොලර් බිලියන 85ක් වටිනා උකස් පිටුබලය සහිත සුරැකුම්පත් හා භාන්ඩාගාර බිල්පත් මිලට ගනු ලබයි. මෙය වනාහි, ආන්ඩුවේ නයකර හා බැංකු අතේ ඇති බුන්වත්කම් මිලට ගැනීම සඳහා අනිවාර්යයෙන්ම කරන මුදල් අච්චු ගැසීමකි. ෆෙඩරල් මහ බැංකුව සතු වත්කම්වල අගය 2008 තිබුනාක් මෙන් තුන්ගුනයකින් වැඩි, ඩොලර් ට්‍රිලියන 3.01ක් බවට පත්ව තිබේ.

ලෝකයේ ප්‍රධාන මහ බැංකු සියල්ලම ඒ හා සමාන පියවර ගෙන තිබේ. ජූලි මාසයේදී යුරෝපීය මහ බැංකුව, යුරෝවේ ඉතිහාසය පුරාවට පැවති පහතම මට්ටමට සිය පාදක පොලී අනුපාතය පහත දැමීමට කටයුතු කලේය. මේ අනුව ලෝකයේ ලොකුම මහ බැංකු හයේ සංචිතවල ප්‍රමානය 2012 වසරේදී තෙගුනයකට ආසන්න, යුරෝ ට්‍රිලියන 14ක් බවට පත්ව තිබේ.

මහ බැංකුවල කටයුතු, විරැකියාවට හා සමාජ ගැටලු වලට විසඳුම් වශයෙන් ගනු ලබන අත්‍යවශ්‍ය පියවර බව ජන මාධ්‍ය තුල අතොරක් නැතිව විස්තර කරනු ලැබේ. සැබවින්ම ඒවායේ මූලික අරමුන, මූල්‍ය සමපේක්ෂනය සඳහා මුලුමනින්ම පාහේ අසීමිත මුදල් සම්භාරයන් සංසරනයට යෙදවීමයි.

මෙම පිලිවෙත, ජාත්‍යන්තරව කම්කරු පන්තියට එල්ල කරන පෙරමුනු ප්‍රහාරයට සෘජුව ම සම්බන්ධය. මුදල් මත පීනන ව්‍යාපාරික හා මූල්‍ය ප්‍රභූව පුන පුනා කියන්නේ, සෞඛ්‍ය සේවයට, විශ්‍රාම ගෙවීම් වලට හා සාධාරන වැටුප් ගෙවීමට මුදල් නොමැති බවයි. බැංකු කරා අඛන්ඩව අරමුදල් ගලායාම සහතික කෙරෙන පරිදි සෑම මූලික අයිතියක්ම මුලිනුපුටා දැමිය යුතුය. මෙහි ප්‍රතිවිපාක වශයෙන් මිලියන ගනන් ජනතාව දුප්පත්කමට, විරැකියාවට හා කාලකන්නිකමට ඇද දමනු ලැබ තිබේ.

වේතන හා ජීවන තත්වයන් විනාශ කිරීම, මහ බැංකුවේ ප්‍රතිපත්තියෙහි ඓන්ද්‍රීය උද්ධමනකාරී බලපෑමට හරස් කපන අතිරේක බලපෑමක් ඇතිකර තිබේ. වෙනත් ඕනෑම අවස්ථාවක් යටතේ, මහා පරිමානයෙන් මුදල් අච්චුගැසීම, දුවන මිල උද්ධමනයකට තුඩුදෙන නමුත් පහත වැටෙන වේතන හා හැකිලෙන ආයෝජන මගින් මුදල් යොමුකරන්නේ භාන්ඩ මිලට ගැනීම ‍කරා නොව, වත්කම් අගයන් කරාය.

ඔබාමා පාලනය විසින් 2009දී මෝටර් රථ කර්මාන්තය තුල ක්‍රියාවට නගමින් පූර්වාදර්ශය සැපයූ පරිදි, ක්‍රමානුකූලව වැටුප් පහත හෙලීම, එක දිගට තුන් වසරක් තිස්සේ වාර්තා තබමින් මෙම වසරේ ද එසේම සිදුවීමට යන, ව්‍යාපාරික ලාභයේ දැවැන්ත උත්පාතයක් අවුලුවා තිබේ. එහෙත් මෙම ලාභ ප්‍රති ආයෝජනය කෙරෙන්නේ නැත. ඇමරිකානු සංගත ට්‍රිලියන 2ක් තරම් මුදල් කන්දරාවක් මත වාඩිවී සිටියි. ඉන් වැඩි කොටස සරලවම වෙලඳපොල තුලට පෙරී යයි.

සමස්ත ක්‍රියාවලියම පූර්න වශයෙන් අස්ථාවරය. පාලක පන්තීන් එක් අර්බුදයකින් තවෙකකට ලුහුටා යයි. එක් අර්බුදයකට එය දක්වන ප්‍රතිචාරය ඊලඟ අර්බුදය සඳහා වේදිකාව සකසයි. ආර්ථිකය එකතැන පල්වෙයි. නව සමපේක්ෂනාත්මක බුබුලු පුපුරා යාමට තර්ජනය කරයි. එමගින් 2008 පරයා යන මූල්‍ය බිඳ වැටීමක් නිර්මානය කරනු ඇත. අතිරික්තයෙන් තරවී සිටින ගමන්ම පාලක පන්තිය, අන්දුන් කුන්දුන්ව සිටිති. ඔවුන් ක්‍රියාවට නගන පියවර හුදු වේල පිරිමහගැනීමක් පමනි.

ඒ සමග ම ලෝක ආර්ථිකය තුලට කාන්දු කරන මුදල්, ගෝලීය විනිමය ක්‍රමයට වල කපමින් මූල්‍ය යුද්ධ හා තරඟකාරී මුදල් අවප්‍රමානයන් අවුලුවයි. මේ මාසයේදී ජපානය, යෙන් මුදල අවප්‍රමානය කිරීම මගින් අපනයන ප්‍රවර්ධනය සඳහා උත්සාහ දැරීමක් ලෙස පුලුල්ව සලකනු ලබන, සිය මුදල් සැපයුමේ ප්‍රසාරනයක් නිවේදනය කල, අලුත්ම ආර්ථිකය බවට පත් විය. ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයේ බිඳවැටීම හා සමග වෙලඳ යුද්ධයේ පියවර ගැනීම, මහා අවපාතයට ආන්ඩු විසින් දැක්වූ ප්‍රතිචාරය සංලක්ෂිත කරන අතර එය යලිත් සිදුවෙමින් තිබේ.

මානව වර්ගයා මුහුන දෙන සමාජ හා ඓතිහාසික ව්‍යසනය හුදෙක් වියුක්ත ආර්ථික අර්බුද‍යක නිමැවුමක් නොවේ. මෙම අර්බුදය තීරනය කරන්නේ පන්ති අවශ්‍යතා මගිනි. පන්ති අවශ්‍යතා නිශ්චිත ක්‍රියාවන් තුල ප්‍රකාශනය අත්කර ගනියි. මධ්‍යම බැංකු හා ආන්ඩුවලට පිටුපසින් ඇත්තේ, සමාජය සමග ඇති සම්බන්ධතාවය අති මූලිකව පරපුටු ස්වභාවයක් ගන්නා මූල්‍ය ප්‍රභූවකගේ අවශ්‍යතාය.

අර්බුදයට විසඳුම දේශපාලන ආකෘතියක් ගත යුතුය. පාලක පන්තීන්ගේ අවශ්‍යතාවන්ට ප්‍රතිවරුද්ධව ජාත්‍යන්තර කම්කරු පන්තිය තමන්ගේම ක්‍රියාමාර්ගය හා විසඳුම ඉදිරිපත් කල යුතුය. මෙම ක්‍රියාමාර්ගයේ හරි මැද පැවතිය යුත්තේ සමස්තයක් ලෙස සමාජය නව පදනම් මත පිහිටුවන පරිවර්තනයකින් පමනක් ඉදිරි මාවත සොයාගත හැකිය යන වැටහීමයි.

මෙම සමාජ පරපුට්ටන්ගේ දේශපාලන ගලග්‍රහනය බිඳ දැමිය හැකි එකම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තියයි. එය, ප්‍රමුඛ සමාගම් හා බැංකු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යටතේ තබමින්, ආර්ථිකය තාර්කික හා සමානාත්මතා පදනමක ප්‍රතිසංවිධානය කරන සමාජවාදී ක්‍රියාමාර්ගයකින් සන්නද්ධ විය යුතුය.

ඇන්ඩ්‍රි ඩෙමෝන්

Share this article: