ආසියාව තුල යුද්ධයේ අන්තරාය

The danger of war in Asia

12 February 2013

ආසියාව තුල පුපුරා යා හැකි නව ලෝක යුද්ධයක අන්තරාය පිලිබඳව ජාත්‍යන්තර වශයෙන් පාලක කවයන් තුල වැඩෙමින් තිබෙන නොසංසුන්කම මෑතක පලවූ ප්‍රකාශ දෙකක් මගින් ඉස්මතු කර පෙන්වයි. දෙකම පෙන්නුම් කරන්නේ, කලාපය තුල, විශේෂයෙන්ම චීනය හා ජපානය අතර පවතින නාවික කටයුතු පිලිබඳ අතිශය ආතති සහගත මතභේදයන්ය. එසේම 1914දී නොවැලැක්විය හැකි පරිදි පලමුවන ලෝක සංග්‍රාමය පුපුරා යාමට තුඩුදුන් ප්‍රතිවිරෝධී අවශ්‍යතා ද තරගකාරී සන්ධානයන් ද ගොඩනැ‍ඟෙමින් තිබිය දී එදා හා මෙදා අතර සමාන්තරයන් අඳිනු ලබයි.

"21 වන සියවසේ නාවික කටයුතු පිලිබඳ බෝල්කන් ප්‍රදේශයක්” යන හිසින් විදේශ ප්‍රතිපත්ති ජර්නලය පල කල ලිපියක ජනවාරි 30දා හිටපු ඕස්ට්‍රේලියානු අගමැති කෙවින් රඩ් මෙසේ පැවසීය. "නැ‍ෙගනහිර ආසියාවේ ඇත්තේ සාමාන්‍ය කාලයක් නොවේ. නැ‍ෙගනහිර හා දකුනු චීන මුහුදු ප්‍රදේශවල භූමිභාගයන් පිලිබඳව මතභේදාත්මක ප්‍රකාශයන් සමඟ මතුව තිබෙන ආතතීන්, ජලය මතුපිට වෙඩිබෙහෙත් හෙප්පුවක් බවට පත්ව තිබෙන කලාපයේ තත්වය 21වන සියවසේ බෝල්කන්හි නාවික කටයුතු පිලිබඳ අර්බුදයට එන්ට එන්ටම සමානකම් දක්වයි. කලාපය පුරා ජාතිකවාදී මනෝගතීන් හිස ඔසවමින් තිබේ. එමගින් දේශීය දේශපාලන අවකාශය තුල වඩාත් සාමකාමී ප්‍රවිෂ්ටයන් සඳහා පවතින ඉඩ ප්‍රස්ථා අවම කරයි. ආරක්ෂක අංශයෙන් ගත් කල කලාපය 1975 සයිගොන් වැටීමේ තැන් පටන් කිසිවිටෙක දක්නට නොලැබුනු තරම් බි‍ඳෙන සුලුය.

වාර්තාකාර ගිඩියොන් රැක්මන් පෙබරවාරි 04දා ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයේ සිය ලිපිය තුල ලියා තිබුනේ ද එම කාරනය ම ය. "පැසිෆික් කලාපය උඩින් 1914 හෙවනැල්ල වැටී ඇත” යන සිරස්තලය යටතේ ඔහු මෙසේ පවසයි. "ප්‍රථම ලෝක සංග්‍රාමය තුල 'මුදුන තරනය කරන' සුදු හා කලු මිනිසුන්ගේ විටින් විට දිස්වන සේයා පටල බොහෝ දුර විය නොහැකිය. එහෙත් මහා බලවතුන් 1914 මෙන් අද දිනයේ යලිත් යුද්ධයකට නොපිවිසෙනු ඇතැයි යන අදහස ඕනෑවට වඩා බොහෝ සෙයින් සන්සුන් වීමකි. චීනය, ජපානය හා එක්සත් ජනපදය අතර වැඩෙන ආතතීන් ප්‍රතිරාවය කරන්නේ සියවසකට තරම් පෙර ඇවිල ගිය බිහිසුනු ගැටුමයි.”

ලිපිවල තානය උමතු සහගත නොවේ. එක් ලේඛකයෙකු හෝ ලෝක යුද්ධය අනිවාර්ය බව කියන්නේ නැත. එහෙත්, ඔවුන්ගේ මැදහත් තක්සේරු අනුව එක් අයෙකු හෝ එය බැහැර කරන්නේ ද නැත. වඩාත් සමීප ගැටුම්කාරී ස්ථානය, චීන බසින් ඩයෝයු හා ජපන් බසින් සෙන්කාකු ලෙස හඳුන්වන නැ‍ෙගනහිර චීන මුහුදේ ඇති ගල්පර සමූහය පිලිබඳව මතුවී තිබෙන භූමිභාගයන් පිලිබඳ ගැටුමයි. ටෝකියෝව එම දිවයින් "ජනසතු” කල පසුගිය සැප්තැම්බරයේ පටන් චීන හා ජපන් නැව් හා ගුවන් යානා මතභේදාත්මක මුහුදු ප්‍රදේශයේ හා ගුවනෙහි ගෙන යන එන්ට එන්ටම අවදානම් සහිත සංචාර, විවෘත ගැටුමක් ඇවිලී යා හැකි සිදුවීමක අවදානම මතු කරයි.

පසුගිය දෙසැම්බරයේ ජපාන මැතිවරනයෙන් පසුව අවදානම උග්‍ර අතට හැරී තිබේ. රැක්මන් සඳහන් කරන පරිදි "නව ජපන් කැබිනට්ටුව දැඩි මතධාරී ජාතිකවාදීන්ගෙන් පිරී තිබේ. ඔවුන් චීනය වැලැක්වීම සදහා වඩාත් අධිෂ්ඨානශීලීය.” පසුගිය සතියේ හටගත් නවතම සිදුවීම තුල ටෝකියෝව, ජපන් ඉලක්ක වෙත යොමුකර තිබෙන තම අවි පද්ධතීන් චීන නාවික යාත්‍රා විසින් දෙවරක්ම වසා දැමූ බවට චෝදනා කිරීමත් සමග ප්‍රසිද්ධියේම තවත් පරුෂ හෙලාදැකීම් හා ප්‍රති චෝදනා වටයක් ඇවිල ගියේය.

රඩ් හා රැක්මන් යන දෙදෙනාම ගැඹුරුවන ගෝලීය ආර්ථික බිඳ වැටීම තුල වැටී ඇති වැඩෙන භූ දේශපාලනික ආතතීන් හා උතුරා යන ජාතිකවාදයේ සැබෑ හේතු පිලිබඳව සඳහන් කලේ නැත. සියල්ලටත් වඩා, ඔවුහු ඔබාමා පාලනයේ ක්‍රියාකලාපය හා එහි "ආසියාව වෙත හැරීම” වසං කලහ. ඒ යටතේ චීනයට එරෙහිව ඉදිරිපත් කරන භූමි භාගයන්ට හිමිකම් පෑම වඩාත් දැඩි කිරීමට ජපානය හා ෆිලිපීනය වැනි සිය සහචරයින් හිතාමතාම දිරිගන්වනු ලැබේ. වොෂින්ටනය, බීජිනය ඉලක්ක කරමින් ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුනු කොරියාව හා ජපානය ඇතුලු කලාපය පුරා මිලිටරි සන්ධාන, කඳවුරු හා මූලෝපායික හවුල්කාරිත්වයන් ගොඩනඟමින් සිටියි.

දශක දෙකකට පෙරාතුව සෝවියට් සංඟමය බිඳවැටීමෙන් පසුව, සාමය හා සමෘද්ධියේ නව යුගයක් උදාවී ඇති බවට ධනපති කවයන් අතර පැවති ජයග්‍රහනවාදය අ‍හෝසි වී කලක් ගතව තිබේ. සීතල යුද්ධයේ නිමාව පැරනි මහා බලවතුන්ගේ ප්‍රතිවිරෝධතා හා එදිරිවාදීකම් සියල්ල විවර කර ඇති අතර ඒවා මගින් ලෝකය පුරා අමුද්‍රව්‍ය, වෙලඳපොලවල් හා ලාභ ශ්‍රමය සඳහා නව යටත්විජිතවාදී කාකොටාගැනීම් අවුලුවා තිබේ. ලෝක දේශපාලන කරලියේ වඩාත්ම අස්ථාවරකාරී සාධකය බවට පත්ව ඇත්තේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයයි. එය, තම ආර්ථික පරිහානිය ජයගැනීමේ මංමුලා සහගත ව්‍යායාමයක් ලෙස එකකට පසුව තවෙකක් වශයෙන් යුද්ධ දියත් කිරීමේ දී සිය මිලිටරි බලය යොදාගනු ලබයි.

ඔබාමාගේ "ආසියාව වෙත හැරීම” එකිනෙකා සමග තරඟයක යෙදී සිටින ලෝකයේ මහා සංගත සඳහා යෝධ ලාභ ශ්‍රම වේදිකාවක් බවට කලාපය, සියල්ලටත් වඩා චීනය, පරිවර්තනය කිරීම සමඟ බැඳී තිබේ. චීන බලපෑමට වල කැපීම සඳහා ආසියාව පුරා ගෙනයන වොෂින්ටනයේ මූලෝපායික තල්ලුව, තම අන්තර් පැසිෆික් හවුල්කාරිත්ව කන්ඩායම හරහා වෙලඳ කොන්දේසි පැනවීම මගින් සිය ආර්ථික ආධිපත්‍යය පවත්වා ගැනීමේ එහි උත්සාහයන් සමඟ බැඳී ඇත.

රැක්මන් 1914 ලෝක තත්වයට වර්තමානය සම කරමින් මෙසේ ලිවීය. "වසර සීයකට පෙර ජර්මනිය මෙන් දැන් චීනය නැ‍ඟෙන බලවතෙකු වීම පිලිබඳව සම්ප්‍රධායික මහ බලවතා තුල (එක්සත් ජනපදය) බියක් ජනිත කර තිබෙන අතර එහි නැඟීම අවහිර කිරීමට අදහස් කර සිටී.” වෙලඳපොලවල් හා අමුද්‍රව්‍ය සොයා ලොව පුරා කරක්ගසද්දී චීනය, ජර්මනිය කලාක් මෙන්ම අධිකාරවත් බලවතුන්, සියල්ලටත් වඩා එක්සත් ජනපදය, සමඟ ගැටුමකට එලඹ තිබෙනවාය යන්න සත්‍යයකි. එහෙත් ජර්මනිය මෙන් නොව චීනය අධිරාජ්‍යවාදී බලවතෙකු නොවේ. එරට දැවැන්ත බලශක්ති හා ඛනිජ ආනයන, එක්කෝ ගෝලීය ව්‍යාපාරික යෝධයින්ට අයිති නැතිනම් සපයනු ලබන දැවැන්ත නිෂ්පාදන ව්‍යවසායන්ගේ පාරිභෝජනය පිනිසය. එරට ආර්ථිකයේ ප්‍රමානය තිබිය දී ම එය විදේශ ආයෝජන, විදේශ තාක්ෂනය හා ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් අධිකාරය දරන ලෝක ධනපති පර්යාය මත මුලුමනින්ම රඳා පවතියි.

රඩ් හා රැක්මන් යන දෙදෙනාම සිය ලිපි තුලින් නිගමනය කරන්නේ, තාර්කිකත්වය හා බෙදා හදා ගන්නා ආර්ථික අවශ්‍යතා යුද්ධයට පටහැනිව පවතිනු ඇති බවටය. කෙසේ වෙතත් රැක්මන් සඳහන් කල මෙම බලාපොරොත්තු සුන් කරමින් ඔක්තෝබරයේදී බීජිනයට හා ටෝකියෝවට ගිය ඉහල පෙලේ එක්සත් ජනපද දූත මන්ඩලයකට සම්බන්ධ වූ හාවඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝසෆ් නයීගේ ප්‍රකාශ නිකුත් විය. " අපි 1914 සමාන්තරයන් අප අතර සාකච්ඡා කලෙමු. මා හිතන්නේ කිසිදු පාර්ශවයකට යුද්ධය අවශ්‍ය නොවන බවයි. එහෙත් අපි දෝෂ සහිත සන්නිවේදනයේ හා හදිසි සිදුවීම් පිලිබඳව දෙපාර්ශවයටම අනතුරු ඇඟවූයෙමු. සාමාන්‍යයෙන් වැලකී සිටීම තාර්කික පාර්ශවකරුවන් අතර ක්‍රියාත්මක වන නමුත් 1914 ප්‍රමුඛ ක්‍රියාකාරීන් ද තාර්කික නලුවන් විය.”

නයීගේ ප්‍රකාශ පෙන්නුම් කලේ, යුද්ධය ආත්මීය කාරනයක් නොවේය යන කාරනයයි. එය මෙහෙයවන්නේ, වෛෂයික සමාජ හා ආර්ථික බලවේගයන් මගින්ය. එවකට සිටි බෙහෙවින් දුරදක්නා මාක්ස්වාදී විප්ලවවාදීන් වූ ලෙනින් හා ට්‍රොට්ස්කි 1914න් පසුව නිගමනය කලේ, අධිරාජ්‍යවාදී යුගය එනම් යුද්ධයන්ගේ හා විප්ලවයන්ගේ නව යුගයක් විවෘත කර ධනවාදයේ බිදවැටීමේ සංඥාව නිකුත්කර ඇති බවයි. යුද්ධය පුපුරා යාම 1917 ඔක්තෝබරයේ රුසියානු විප්ලවය සඳහා කොන්දේසි නිර්මානය කල අතර එය පලමු කම්කරු රාජ්‍යය පිහිටුවමින් ජාත්‍යන්තරව කම්කරු පන්තියේ අරගල සඳහා දැවැන්ත ගතිකයක් සම්පාදනය කලේය.

ප්‍රගාඪ ආර්ථික, තාක්ෂනික හා දේශපාලන විපර්යාස පසුගිය සියවස පුරාවට සිදුව තිබේ. එහෙත් ධනවාදයේ අතිමූලික ප්‍රතිවිරෝධයන් ඉතිරිව තිබේ. එනම්, ලෝක ආර්ථිකය හා යල්පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය ද සමාජීය වූ නිෂ්පාදනය හා සියලු ආර්ථික කටයුතු පෞද්ගලික ලාභයට යටත් කිරිම ද අතර ප්‍රතිගතිතාවයි. ලෝක යුද්ධය හා ම්ලේච්ඡත්වය කරා ලුහුටා යාම වැලැක්විය හැකි එකම සමාජ බලවේගය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියයි. ඒ, ලාභ පද්ධතිය අහෝසිකර දැමිම හා ලෝක පරිමානව සැලසුම්ගත කල සමාජවාදී ආර්ථිකයක් නිර්මානය කිරීම මගිනි. ඒ සඳහා 20වන සියවසේ කම්කරු පන්තිය ලබාගත් මූලෝපායික අත්දැකීම් හා පාඩම් උකහා ගැනීම අවශ්‍ය කෙරේ. සියල්ලටත් වඩා, මාක්ස්වාදී ක්‍රියාමාර්ගය සඳහා සටන් වැදුනු ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දිග්ගැස්සුනු අරගලයේ පාඩම් ඒ සඳහා තීරනාත්මකය.

පීටර් සිමන්ඩ්ස්

Share this article: