සමාරම්භක වාචාලය

Inaugural demagogy

22 January 2013

ඇමරිකාව තුල පවතින්නාවූ තත්වයන්ට හෝ ජනාධිපති බරක් ඔබාමා විසින් අනුගමනය කල හා සිය දෙවන ධුර කාලය තුල ද අඛන්ඩව ගෙනයනු ඇති ප්‍රතිපත්ති යන කිසිවකට මෙලොව සම්බන්ධයක් නැති ප්‍රජාතන්ත්‍රයේ හා සමානාත්මතාවයේ මූලධර්ම හුවා දක්වමින් 21දා පැවැත්වූ ඔහුගේ සමාරම්භක කථාව වාචාලකමේ හා පුරසාරමේ නව මුදුනකට නැඟීමක් විය.

"සියලු මිනිසුන් නිමවා ඇත්තේ සමානයන් ලෙසිනි” යනුවෙන් ප්‍රකාශිත නිදහසේ ප්‍රකාශනය ඔජවඩමින් ඔබාමා සිය කථාව පටන් ගත්තේය. ඔහු කිහිප වතාවක්ම මේ තේමාව කරා එලඹියේය. ඒ "හැකිලෙමින් යන සුලු පිරිසකට යහපත් තත්වයක් හා වර්ධනය වෙමින් තිබෙන බොහෝ සංඛ්‍යාවකට ජීවිතය අසීරුවී තිබිය දී” රටට "සාර්ථකත්වය අත්කරගත නොහැකිය” යනුවෙමින් පවසමිනි.

මෙම වචන වලට සවන් දෙන යමෙක්, ව්‍යාපාරික ලාභ පිම්මේ ඉහල යද්දී හා වෝල් වීදියේ බැංකුකරුවන් තරවෙද්දී, පසුගිය සිව් වසර පුරා ධවල මන්දිරය අරක්ගෙන සිටියේ කවුරුන් ද යන්න ඇසීමට පෙලඹෙනු ඇත.

ප්‍රජාතන්ත්‍රය පිලිබඳ දෘෂ්ටීන් පිලිබඳව ගතහොත් ඒවා, ඔබාමා මෙන්ම ඔහුගේ පූර්වගාමීන්, රිපබ්ලිකානු හා ඩිමොක්‍රටික් යන දෙවර්ගයම, විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. 1980 ගනන්වල මුල් අවධියේ පටන් ක්‍රියාත්මකව තිබුනු ධනය දැවැන්ත ලෙස යලි බෙදාහැරීම තුලින්, අදහස් කල පරිද්දෙන්ම සියවසකට ආසන්න කාලයක් තුල ධනවතුන් හා දුගීන් අතර පුලුල්ම ආගාධය නිර්මානය කර තිබේ. 2008 පුපුරා ගිය ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත පටවමින්, මූල්‍ය වංශාධිපතිත්වයේ ධනය සුරක්ෂිත කර පුලුල් කිරීම වෙත සිය ආර්ථික වැඩසටහන යොමුකරමින් පලමු ධුර කාලය තුල ඔබාමා මෙම ක්‍රියාවලිය වේගවත් කලේය.

සිය කථාව තුල ඔබාමා, ඉදිරි සිව් වසර සඳහා වන ඔහුගේ කප්පාදු න්‍යායපත්‍රය, සෞඛ්‍ය හා සමාජ ආරක්ෂනය වැනි මූලික සමාජ වැඩසටහන් ආරක්ෂාකිරීමක් ලෙස පෙන්නුම් කලේය. "මෙම රට ගොඩනඟනු ලැබූ පරම්පරාව හදාවඩා ගැනීම හා අනාගතයේ මේ රට ගොඩනැඟීමට ආයෝජනය කරනු ඇති පරම්පරාව අතර වරනය ඇමරිකාව විසින් තෝරාගත යුතුය යන විශ්වාසය අපි ප්‍රතික්ෂේප කරන්නෙමු” යයි ඔහු පැවසීය.

එහෙත් ඔහු සිය පලමු නිල කාලය තුල කිරීමට පටන්ගත්තේ හරියටම ඒ දෙයයි. සෞඛ්‍ය පහසුකම් ලැබිය හැකි වයස් සීමාව දීර්ග කිරීම හා සමාජ ආරක්ෂන සහන දරුනු ලෙස කපා හැරීම ද ඇතුලු රිපබ්ලිකානුවන්ට "අපූර්ව කේවලයක්” පිරිනමමින් ද ඔහුගේ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානයේ කොටසක් ලෙස, සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන සිය ගනනක් කපාහරිමින් ද ඔහු කලේ ඒ දෙයයි. නිර්ලජ්ජිතව දෙපිට කාට්ටුකම ප්‍රදර්ශනය කල මෙම සමාරම්භක කථාවේදී පවා ඔබාමා, "වැරහැලිවී ඇති වැඩසටහන්” අතහැර දැමීමේ අවශ්‍යතාවය යලි අවධාරනය කල අතර, "සෞඛ්‍ය සේවයේ පිරිවැය හා අපගේ හිඟයේ (අයවැය) ප්‍රමානය අඩුකිරීම පිනිස අප දැඩි තීන්දු ගතයුතු” බව පැවසීය.

"යුද්ධයේ දශකයක් දැන් අවසන් වෙමින් තිබේ. ආර්ථික ප්‍රකෘතියක් ඇරඹී තිබේ.” යනුවෙන් ඔහු පැවසූ කල ඔහුගේ කපටිකම අසික්ෂිත මට්ටම් කරා ගමන් කලේය.

ඔබාමා කථාකරමින් සිටින විට පවා ඔහුගේ අනුශාසකයෝ, එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් සිදුකල ලිබියානු යුද්ධයේ අංකුරයක් වන මාලි රටේ ප්‍රන්ස ආක්‍රමනය සඳහා එක්සත් ජනපද මිලිටරි සහාය පුලුල් කිරීම පිලිබඳ සාකච්ඡාවන්හි නිරතව සිටියහ. සිරියාවේ නිකායික සිවිල් යුද්ධය තුල ඔහුගේ පාලනය සිය මූලික භූමිකාව ඉටුකරමින් සිටින අතර ඉරානයට එරෙහිව මිලිටරි ප්‍රහාර සඳහා සූදානම් වෙමින් සිටියි.

ආර්ථික ප්‍රකෘතිය ගැන යමෙකු කථාකරනතාක් දුරට, එය සිමාවනු ඇත්තේ ජනගහනයේ ධනවත්ම ස්ථරයන්ටය. වැඩකරන ජනතාවගේ පුලුල් ස්ථරයන් මුහුනදී සිටින්නේ, අඛන්ඪ මහජන විරැකියාවට, පිරිහෙන වැටුප් මට්ටම් වලට, පැතිරයන දුප්පත්කමට හා සාගින්න හා නිවාස නොමැතිකමටය.

ඔබාමාගේ දෙවන ධුර කාලය තුල අනුගමනය කරනු ඇති යුද්ධය හා කප්පාදු ප්‍රතිපත්තීන්ගේ යථාර්තය ඔහුගේ කථාවෙන් ක්ෂනික ඉක්බිත්තෙහි, සීඅයිඒ අධ්‍යක්ෂක හා භාන්ඩාගාර ලේකම් වශයෙන් පත්කරන අය ගැන කොන්ග්‍රසයට කල නිල දැනුම්දීම තුල ගෙනහැර දැක්වුනි. පලමු තනතුර සඳහා ඔහුගේ තේරීම වූයේ බුෂ් පාලනය යටතේ වධබන්ධන ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනීසිටි හා ඔබාමාගේ ඩ්‍රෝන් ඝාතන වැඩසටහනෙහි ප්‍රධානියාවූ ජෝන් බ්‍රෙනන්ය. අනෙක් තනතුරට ඔහු නම් කලේ, රිපබ්ලිකානුවන් සමග ගෙනයන අයවැය කප්පාදු සාකච්ඡා මෙහෙයවන ඔබාමාගේ හෙංචයියාවූ වෝල් වීදියේ හිටපු බැංකුකරුවෙකු වන ජැකොබ් ලිව්ය.

සත්තකින්ම ධනපති දේශපාලන කටයුතු වලදී වාචාලකම ඉල්ලීමක් බවට පත්වෙයි. ධනපති සමාජයේ මංමුලා සහගත තත්වය වසංකල යුතුය. නොඑසේ නම් අඩුම තරමින් සුගන්ධයෙන් පිරි වැකි වලින් එය පිරවිය යුතුය. එහෙත් යථාර්තය මුලුමනින්ම යටපත් කල නොහේ. එය ජනාධිපති සිය සමාරම්භක කථාවේදී ගොඩනඟන ලද වාචාල දෙඩවිලිවල මාතෘකාවන්හි අනියමාර්ථයෙන් පමනක් පිලිබිඹු වන්නේය.

ඒවායින් ඇතිකරන දේශපාලන බලපෑම සඳහා තෝරාගත් සෑම වචනයක්ම ගත් විට මෙම කථාව, වෙහෙසකර සාකච්ඡාවක නිමැවුමකි. වාම ශබ්ද නඟන වාචාලය යොදාගැනීමේ තීරනය නිසැකයෙන්ම ඇඟවුම් කරන්නේ, ආර්ථික හා සමාජ තත්වයන් පිලිබඳ ජනතාවගේ බලාපොරොත්තු සුන්වීම, උතුරායන ලක්ෂයකට සේන්දු වෙමින් ඇති බවට රාජ්‍යයේ ඉහලම මට්ටම්වල ඇතිව තිබෙන නිසැක දැනුවත්කමයි.

ඒ සමග ම සැප්තැම්බර් 11 සිදුවීම්, "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” හෝ ඔබාමාගේ ප්‍රධාන කයිවාරු සිද්ධිය වන ඔසාමා බින් ලාඩ්න් මරා දැමීම ගැන පවා කිසිදු සඳහනක් නොමැතිවීමෙන් අදහස් කරන්නේ, ගෝලීය මිලිටරි ක්‍රියාන්විතයන් සඳහා පුලුල් සහයෝගයක් නොමැතිකම පිලිබඳ වැටහීමකි.

ඔබාමාගේ කථාවට ලින්කන්ගේ ප්‍රතිභාව කාවැද්දීමේ පැහැදිලි උත්සාහයක් දක්නට ඇත. සිය නිලයේ දිව්රුම්දීම සඳහා ලින්කන්ගේ බයිබලය යොදාගැනීමේ සංකේතනය හා 16වන ජනාධිපතිගේ කථා ගැන කරන ඔහුගේ බොහෝ සඳහන් කිරීම් තුල මෙය දැකගත හැක. ඒ අතර, ගැටිස්බර්ග් කථාව, කූපර් සමිතිය හමුවේ කල කථාව හා ලින්කන්ගේ දෙවන පදවි ප්‍රාප්ති කථාව ඇතුලත්ය. එහෙත් 1865 පැවැත්වූ කථාව හා 2013 ඔබාමා පැවැත්වූ කථාව අතර සැසඳීමක් සලකුනු කරන්නේ, ඒ දෙක අතර පවතින නොපෑහෙන කම පමනි.

ලින්කන් සිය දෙවන පදවි ප්‍රාප්ති කථාව කැපකරන ලද්දේ, ඇමරිකානු ජනතාව ඇදවැටී සිටි ඛේදාන්තයේ සමාජ හා ආර්ථික මූලය හඳුනා ගැනීමටය. වක්‍රෝත්තියෙන් හෝ බොඳකිරීමකින් තොරව ඔහු, සිවිල් යුද්ධයට හේතුව ලෙස වහල් ක්‍රමයට චෝදනා කලේය. ඒ සා වද වේදනාවන්ට වගකිවයුතු වූ පන්ති පරිපීඩනය ලින්කන්ගේ කථාව තුල හඳුනාගෙන තිබුනු අතර එය හෙලා දැකීමට ලක් විය. ලෝක සාහිත්‍යයේ අග්‍රගන්‍ය නිමැවුමක් සේ සලකන ලින්‍කන්ගේ විශිෂ්ඨ කථාවේ බලය රැඳී ඇත්තේ, එහි අන්තර්ගත නිර්භය දේශපාලන අවංකභාවය හා ප්‍රජාතන්ත්‍ර දෘෂ්ටියේ සංයෝජනය තුලය.

ලින්කන් කථාකලේ නැඟීඑන ප්‍රජාතන්ත්‍රවාදී හා ධනේශ්වර සමාජයක නායකයෙකු ලෙසය. වසර එකසිය පනහකට පසුව ඔබාමා කථාකරන්නේ, ආර්ථික වශයෙන් ජරපත් හා දේශපාලනිකව ප්‍රතිගාමී සමාජ ක්‍රමයක නියෝජිතයෙකු ලෙසය. පැතිර පවතින සමාජ කාලකන්නිකම සඳහා ධනවාදය වෙත මොනම හෝ වගකීමක් පැවරෙන වචනයක් හෝ නොදෙඩීමට ඔහු වග බලාගෙන තිබුනි.

දුප්පත්කමට හා යුද්ධයට හේතුව ධනවාදය බව හඳුනාගැනීමට අසමත්වූ ඔබාමාට, නූතන සමාජයේ පරිපීඩාවෙහි ප්‍රමුඛ රූපාකාරය, එනම්, කම්කරු පන්තිය සූරාකෑම, හඳුනාගැනීමට සත්තකින්ම නොහැකි විය.

උත්සවය හා කථාව යන දෙකම පිලිබිඹු කලේ, ඇමරිකාව තුල “වම” වශයෙන් කලකට පෙරම වියෝවී ගිය වරප්‍රසාදිත මධ්‍යම පන්ති වටපිටාවේ, විශේෂයෙන්ම වර්ගය, ලිංගිකත්වය හා ලිංගික දිශාවනතිය පිලිබඳ දේශපාලනය මගින් පරිපූර්නත්වයට පත්කල ක්‍රියාවලියක දේශපාලන පූර්ව නියුක්තීන්, පාලක පන්තියේ නිල දෘෂ්ටිවාදය සමග ඒකාග්‍රිතව පවතින්නේය යන්නයි. සමාජයේ පවතින පන්ති ප්‍රභේදයන් නොතකා හරින ඔබාමාගේ සමානාත්මතාවය පිලිබඳ සංස්කරනය, සුවිශේෂිතව මුලුමනින්ම පාහේ අනන්‍යතා දේශපාලනයේ අර්ථය ගනියි. මෙම වංචනික වෘත්තාන්තය තුල සූරාකැවෙන කම්කරු පන්තියක් ඇත්තේ නැත.

එබැවින්, සමකාලීන ධනපති දේශපාලනයේ නීති රීති වලට අනුව, කථාව තුල පන්තිය පිලිබඳ එකදු සඳහනක් හෝ අන්තර්ගත නොවේ. විරැකියාව පිලිබඳව ද කිසිදු සඳහනක් ඇත්තේ නැත.

ඇමරිකාව හැඩ ගැන්වූ සමාජ අරගල නොතකා හරින ඔබාමා, සෙල්මා හා ස්ටෝන්වෝල් ගැන සඳහන් කරයි. එහෙත් හේමාකට් විරුවන්, අයිඩබ්ලිව්ඩබ්ලිව්, ෆ්ලින්ට් වාඩිලාගැනීමේ වැඩවර්ජනය, අනුස්මරන දින ඝාතන හෝ ඇමරිකානු ජන සමූහයන්ගේ ජීවන තත්වයන් පරිවර්තනය කරමින්, කම්කරුවන්ගේ ලේවල වියදමෙන් මහා ව්‍යාපාරිකය වෙතින් සහන උදුරාගත් කම්කරු පන්තියේ ශ්‍රේෂ්ඨ අරගල ගැන කිසිදු සඳහනක් නැත.

පුපුරන සුලු සමාජ ප්‍රතිවිරෝධයන්, ප්‍රජාතන්ත්‍රය හා සමානතාවය පිලිබඳ වාචාල කථා උලුප්පාලීම මගින් කෙසේ හෝ සමහන් කල හැකිය යන ඔබාමාගේ කථාව පිටුපස ඇති බංකොලොත් සංකල්පය, ඇමරිකානු ධනවාදයේ ගැඹුරුවන දේශපාලන අර්බුදයේම ප්‍රකාශනයකි. වචන හා ක්‍රියාව අතර ආගාධය මුලුමනින්ම හෙලිදරව් වීමට වැඩිකලක් ගත නොවනු ඇත.

බැරී ග්‍රේ හා ඩේවිඩ් නෝර්ත්

Share this article: