බිඩෙන් මියුනිච් නුවර: අධිරාජ්‍යවාදයේ කැත මුහුනුවර

Biden in Munich: The ugly face of imperialism

05 February 2013

යන්තම් දෙසතියකට පෙර ජනාධිපති ඔබාමා, වොෂින්ටනයේ දී සිය දෙවන සමාරම්භක දේශනය පවත්වමින් ඇමරිකානුවන්ට පැවසුවේ, "දශක දෙකක යුද්ධය දැන් අවසන් වෙමින් ඇති” බවයි.

වාර්ෂික මියුනිච් ආරක්ෂක සමුලුවේ දී 02දා කථාවක් පවත්වමින් උප ජනාධිපති ජෝසෆ් බිඩෙන් වාර්තාව කෙලින්ම ඉදිරිපත් කලේය. ඒ අනුව දශකයක් තිස්සේ ගෙනයන එක්සත් ජනපද මිලිටරිවාදයේ අභ්‍යාසය අවසාන වී නැතුවා පමනක් නොව, නිමක් නැති මිලියන ගනනක් මිනිසුන්ගේ ජීවිතවලට තර්ජනය කරමින් ලෝක ගෝලය පුරා නව ප‍්‍රදේශ ගනනාවක එය පුපුරා යාමට නියමිතව තිබේ.

ආන්ඩු ප‍්‍රධානීන්, විදේශ ඇමතිවරු, මිලිටරි නිලධාරීන් හා මිලිටරි කාර්මික සංකීර්නයේ නියෝජිතයින් ද සහභාගී වූ 1962 ප‍්‍රථම මියුනිච් ආරක්ෂක සමුලූව, එක්සත් ජනපදය හා එහි බටහිර යුරෝපීය සහචරයින් අතර පශ්චාත් දෙවන ලෝක සංග‍්‍රාම අන්තර් අත්ලාන්තික සබඳතා පිලිබඳ අදහස් විකාශනය කිරීමේ සම්ප‍්‍රදායික සංසදයක් විය.

කෙසේ නමුත් මේ වසරේ සමුලු කටයුතු සිදුවන්නේ, විවෘත අධිරාජ්‍යවාදී හා නව විජිතකරනයේ පැහැදිලිව ම වෙනස්වූ වාතාවරනයක් තුලය. වොෂින්ටනය මෙන්ම "පැරනි යුරෝපයේ” බලවතුන්, ආර්ථික පරිහානිය මගහරවා ගැනීමටත්, භූ මූලෝපායිකව වැදගත් භූමිභාග හා වෙලඳපොලවල් බලහත්කාරයෙන් ඇද බැඳ ගැනීම සඳහාත්, මිලිටරි බලය යොදාගැනීමේ අභිලාෂයන් හමුවේ මුසපත්ව ඇති බව පෙනී යයි.

ප‍්‍රන්ස ජනාධිපති ප‍්‍රන්සුවා ඔලන්ද්ට සමුලුවට සහභාගී විය නොහැකි විය. ප‍්‍රන්ස ප‍්‍රහාරක යානා හා විදේශ හමුදා භටයින් එල්ල කල ප‍්‍රහාරයන්ගෙන් පසුව, පැරනි ප‍්‍රන්ස යටත් විජිතයක්ව පැවති මාලි රට යටත් කර ගනු ලැබූ අතර ජයග‍්‍රහනයේ අවසන් අදියර පිලියෙල කිරීමේ ඔහු යෙදී සිටියේය. ප‍්‍රන්ස හමුදා ඉවත් වීමට සූදානම් නොවන බව ඔහු පැහැදිලි කලේය.

මිහියුනිච්හි පැවැත්වූ බිඩෙන්ගේ කථාව ආරක්ෂක සමුලුවේ යුදවාදී තානය සැකසුවේය. යුද්ධයේ රැල්ල බැසයමින් තිබීම පිලිබඳ පුරසාරම තුල ගිලෙමින් ඇමරිකානු උප ජනාධිපති සංඥා කලේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ලෝක ගෝලයේ අස්සක් මුල්ලක් නෑර යුද්ධය වර්ධනය කරන බවය.

බිඩෙන් සිය වට වංගු සහිත කථාව ආරම්භයේ සැලකිය යුතු ප‍්‍රකාශයක් කලේය. එහිදී ඔහු, විදේශයන්හි මිලිටරිවාදයේ පුපුරන සුලු වර්ධනය සමග ඔබාමා පාලනය හා කොන්ග‍්‍රසය ක‍්‍රියාවට නැගීමට සූදනම් වෙමින් සිටින පුලුල් කප්පාදු පියවර එකට සම්බන්ධ කලේය. "මහා අවපාතයෙන් මෙපිට ඇතිව තිබෙන ගැඹුරුම ආර්ථික පසුබෑම” හමුවේ එක්සත් ජනපද පාලනය "දුෂ්කර නමුත් තීරනාත්මක පියවර” ගනිමින් සිටීම ගැන එහිදී ඔහු සඳහන් කලේය. "අපගේ මූලෝපායික අරමුනු අවශේෂ ලෝකය හමුවේ තැබීමේ” වොෂින්ටනයේ හැකියාව සහතික කර ගැනීම පිනිස රටතුල කප්පාදු මාලාවක අවශ්‍යතාවය උප ජනාධිපති ප‍්‍රකාශයට පත් කලේය. වෙනත් වචනවලින් කිවහොත් එක්සත් ජනපද මිලිටරිවාදයේ ඉමහත් පිරිවැය කෙලින්ම ඇමරිකානු කම්කරු පන්තියේ කරමතට පාත්කරන බවයි.

එක්සත් ජනපද හා බටහිර යුරෝපීය අධිරාජ්‍යවාදයේ නව යොමුව දෙසට බිඩෙන් ඇඟිල්ල දිගු කලේය. ඒ, උතුරු අප‍්‍රිකාවයි. එහිදී ඔහු, ලිබියාවේ පාලන තන්ත‍්‍රය වෙනස් කිරීම සඳහා එක්සත් ජනපද-නේටෝ යුද්ධයෙන් පසුව අතහැර දමන ලද ආයුධ තොග අත්පත්කර ගැනීමට සූදානම් වන "අන්තවාදීන් විසින්” අධිරාජ්‍යවාදය විසින් ම නිර්මානය කල කොන්දේසි යටතේ නිර්මානය වී ඇති ආන්ඩු පාලනය බිඳ වැටීම, ජනතා දරිද්‍රතාවය හා විරැකියාව "ගසාකෑමට උත්සාහ කරන” බව පැවසීය.

එම වර්ධනයන් මගින් "බටහිර අවශ්‍යතාවන්ට” එල්ල කෙරෙනවා යයි කියන තර්ජනය අතුගා දැමීම පිනිස "අපගේ මිලිටරිය ද ඇතුලු අප සතුව ඇති සියලු වර්ගයේ මෙවලම් භාවිතයට ගන්නා පුලුල් ප‍්‍රවිෂ්ටයක් ගනු ඇති” බව ඔහු කියා සිටියේය.

මාලි රටේදී වොෂින්ටනය "ප‍්‍රන්සය සමග එකට සිටිමින් එයට ප‍්‍රශංසා කරන” බව කියමින් බිඩෙන් මෙසේ ද පැවසීය. ලිබියාවේ ගඩාෆි පෙරලා දැමූ සිය යුද්ධයේදී එක්සත් ජනපදය හා නේටෝව කෙලින්ම සන්ධානගතව සිටි ඉස්ලාමීය මාග්‍රෙබ් ව්‍යාපාරයේ අල් කයිඩාව හෙවත් "ඒකිව්අයිඑම්ට එරෙහි සටන ඇමරිකාවේ දේශසීමාවන්ගෙන් බොහෝ ඈත විය හැකි නමුත් ඒ ව්‍යායාමය අති මූලිකව ම ඇමරිකාවේ අවශ්‍යතාවන්ට ගැලපෙයි.” මෙම පුරාජේරු ආචාර කිරීමේ වඩාත් අව්‍යාජ පරිවර්තනය වන්නේ, ප‍්‍රන්සය පලමුව එහි ගියා විය හැකිය. එහෙත් අප‍්‍රිකාව හා එහි පොහොසත් බලශක්ති හා ඛනිජ සම්පත් සඳහා වන පොරයේ දී, වොෂින්ටනය හා පෙන්ටගනයේ ඇෆ්රිකොම්, අතහැර නොදැමෙනු ඇත, යන්නයි.

පැරනි සෝවියට් සමූහාන්ඩු තුල "බලපෑම් දැමීමේ කිසිදු ඉඩක්” වොෂින්ටනය විසින් නොඉවසනු ඇතැයි කියමින් බිඩෙන් මොස්කෝව වෙත සැඟවුනු තර්ජනයක් එල්ල කලේය. එසේම ඔහු "එක්සත් ජනපදය සමග මිලිටරි තරගයට දුරින් හෝ පිවිසෙන කිසිවකට සම්බන්ධ නොවීම” ඇඟට ගුන වනු ඇතැයි බීජිනයට ද අනතුරු ඇඟවීය.

එක්සත් ජනපදය "ද්විපාක්ෂික පදනමකින් ඉරාන නායකත්වය හමුවීමට සූදානම්ව” සිටින බවට කල බිඩෙන්ගේ ප‍්‍රකාශය කෙරේ සමුලුව ආවරනය කල මාධ්‍යයේ වැඩි අවධානය යොමු විය. මෙයින් ඇඟවුම් කෙරෙන්නේ, වොෂින්ටනයේ නව හා වඩා සාධාරන ප‍්‍රවිෂ්ටයක්ය යන සමපේක්ෂනයේ ඉඩකඩ උප ජනාධිපති හිතාමතාම පාගා දැමීය. ඔහු ජර්මනියේ පලවන සුදේත්ෂෙ සේටුං දිනපතා පුවත්පතට පැවසුවේ රාජ්‍යතාන්ත‍්‍රික කවුලුව "අනියමිත කාලයක් විවෘතව නොතිබෙනු ඇත” යනුවෙනි. විකල්පය පැහැදිලිව ම යුද්ධයයි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන "එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්” බව පවසමින් ඔහු, එක්සත් ජනපදය "න්‍යෂ්ටික අවියක් හිමි කර ගැනීමෙන් ඉරානය වලක්වනු ඇතැයි” අනතුරු ඇඟවීය. දශකයකට පෙර ඉරාක යුද්ධය දියත් කිරීමේ දී යොදාගත් කඩතුරාව පුනරුච්චාරනය කරමින් බිඩෙන්, තමන් න්‍යෂ්ටික අවි නිපදවන්නේ නැති බව ඔප්පු කිරීම ටෙහෙරානය වෙත පැවරෙන බව අවධාරනය කලේය.

පලමු පර්සියානු ගල්ෆ් යුද්ධය කෙරේ ප‍්‍රතිචාර දක්වමින් 1991 නොවැම්බරයේ දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, අධිරාජ්‍යවාදී යුද්ධයට හා යටත්විජිතවාදයට එරෙහිව කම්කරුවන්ගේ ලෝක සමුලුවක් පැවැත්වීය. මෙම සමුලුව කැඳවුම් කරමින් ජාත්‍යන්තර කමිටුව නිකුත් කල ප‍්‍රකාශයෙන් පැහැදිලි කලේ, මෙම යුද්ධය "අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයේ නව පුපුරා හැලීමක් සලකුනු කරන” බවය. "විසිවන සියවස ආරම්භයේ දී කම්කරු පන්තිය හා පීඩිත ජනතාවන් මුහුන පෑ සියලු දැවැන්ත ඓතිහාසික හා දේශපාලන කර්තව්‍යයන්, ඒවායේ නග්න ම ස්වරූපයෙන් දැන් මතුපිටට පමුනුවා ඇත.”

සෝවියට් සංගමය බිඳ වැටීම මත පදනම් වෙමින් වයෝවෘද්ධ ජෝජ් බුෂ් නිවේදනය කල "නව ලෝක පර්යාය”, අන්තර්ගත කරගන්නේ, යුද්ධය, යටත්විජිත වහල්කම හා මහා විරැකියාව” යයි එම ප‍්‍රකාශනය සඳහන් කලේය. එයට මුහුන දිය හැක්කේ, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගයක පදනම මත කම්කරු පන්තිය විප්ලවවාදී ලෙස බලමුලු ගැන්වීමෙන් පමනක් යයි එය අවධාරනය කලේය.

පලමු ඉරාක යුද්ධය සංඥා කරන්නේ, "අධිරාජ්‍යවාදීන් විසින් ලෝකය අලුතෙන් බෙදාගැනීමේ ආරම්භය” බවට එය අනතුරු ඇඟවීය. එය මෙසේ ද පැවසීය. "ඊයේ පැවති යටත් විජිත යලි අත්පත් කරගත යුතුය. අධිරාජ්‍යවාදයේ අවස්ථාවාදී ක්ෂමාලාපකයින්ට අනුව අතීත අවධියකට අයත් අත්කර ගැනීම හා ඈඳා ගැනීම, යලි වතාවක් දවසේ නියාමය බවට පත්ව තිබේ.”

"සමාජවාදයේ අසාර්ථකත්වය” හා, ධනවාදය ද නිදහස් වෙලඳපොල ද මානව සංවර්ධනයේ කූටය බවට තෙමේම පත්වීමත් සමග මානව වර්ගයා, "ඉතිහාසයේ අවසානයට” එලඹ තිබෙන බවට ධනපති දෘෂ්ටිවාදීන් කල ප‍්‍රකාශයන්ට එරෙහිව මෙම ඉදිරිදර්ශනය වර්ධනය කරන ලදී. "සියවසේ මධ්‍යම රාත‍්‍රිය” බව පවසමින් තමන් එල්ලී සිටි ස්ටැලින්වාදී නිලධාරි තන්ත‍්‍රයන්ගේ මලගම හමුවේ වැලපුනු දිරිසුන් සුලු ධනපති ව්‍යාජ වම්මුන්ට ද එය සෘජුව ම ප‍්‍රතිවිරෝධී විය.

දශක දෙකකට පසුව ජාත්‍යන්තර කමිටුව ගෙනහැර දැක්වූ පුරෝකතනය දැවැන්ත සිදුවීම් මගින් බරපතල ආකාරයකින් සනාථ කර තිබේ. කුඩා හා අනාරක්ෂිත රටවල් යලි වතාවක්, 1914 හා 1939 වසරවලට පූර්වයෙන් සිදුවුන ආකාරයට ප‍්‍රචන්ඩත්වයට ගොදුරු කිරීම, ලෝක ධනවාදයේ නොවිසඳිය හැකි අර්බුදය හා ලෝක යුද්ධය දෙසට යොමුව තිබෙන ප‍්‍රධාන බලවතුන් අතර වර්ධනය වන ආතති හා ගැටුම් සමග බැඳී ඇත.

ධනවාදයට හා එය විසින් යල් පිනූ ජාතික රාජ්‍යයන් තුලට ලෝකය බෙදාලීමට අවසන් තිත තබමින්, නව ලෝක ගිනි ජාලාවක් වැලැක්විය හැක්කේ, ලෝක කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයකින් පමනි. මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් වදින්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනි.

බිල් වෑන් ඕකන්

Share this article: