නිව් යෝර්ක් බස් වර්ජනය සහ රාජ්‍ය අධ්‍යාපනය ආරක්ෂා කිරීම

The New York bus strike and the defense of public education

13 February 2013

ප්‍රවෘත්ති මාධ්‍ය විසින් මුලුමනින් ම වගේ නොතකා හැර ඇති, වැදගත් අරගලයක් නිව් යෝර්ක් නගරයේ දැන් සිදුවෙමින් පවතී. වැටුප් හා ප්‍රතිලාබ රුදුරු ලෙස කප්පාදු කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය විනාශ කිරීමේ නගරාධිපති මයිකල් බ්ලුම්බර්ග් ගේ ප්‍රයත්නයට එරෙහිව 8,000 ක් පමන වූ පාසැල් බස් රියදුරන්ගේ වර්ජනයට දැන් සති හතරක් ගත වී තිබේ.

ගැටුම සමස්තයක් ලෙස ඇමරිකානු සමාජය අනුවලට කැඩීයාමේ ප්‍රතිපලයකි. ශුද්ධ වත්කම දල වසයෙන් ඩොලර් බිලියන 25 කට හිමිකම් කියන බ්ලූම්බර්ග්, ලෝකයේ වියදම් අධිකම නගරවලින් එකක ජීවත්වන හා වසරකට ඩොලර් 35,000 ක ආදායමක් උපයන කම්කරුවන්ගෙන් ජීවන තත්වයන්ගේ බරපතල කප්පාදුවක් පිලිගන්නා ලෙස ඉල්ලයි.

පරදුවට තැබී ඇති ක්ෂනික ගැටලු ඉක්මවා යන වඩාත් පෘතුල ගැටලු ඔවුන්ගේ අරගලය හා සම්බන්ධ බව කම්කරුවෝ මත් දනිති. කම්කරු පන්තියට එරෙහි සමස්ත ප්‍රහාරයක කොටසක් ලෙස, වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව අරගලය බිඳීමට බ්ලුම්බර්ග් උත්සාහ කරමින් සිටී.

විශේෂයෙන් ම, බ්ලුම්බර්ග් හා පාලක පන්තිය සම්බන්ධයෙන් ගත්කල බ්ලුම්බර්ග් කතාකරන්නේ රාජ්‍ය අධ්‍යාපනයට එල්ල කරන සමස්ත ප්‍රහාරයක කොටසක් ලෙස බස් කම්කරුවන් පරාජය කිරීම ගැන ය. ස්වකීය අයිතීන් කප්පාදුව පිලිගන්නා ලෙස නිමක් නැති ඉල්ලීම් ගුරුවරුන්ට ඉදිරිපත් කෙරෙන අතර බොහෝ පාසැල් වසා දැමීමට නගර පාලානාධිකාරය සැලසුම් කරයි. බ්ලුම්බර්ග් ගේ පාලනය යටතේ දැනටමත් පාසැල් 140ක් වසා දමා පුද්ගලික අනුග්‍රාහකයෙකු යටතේ පවත්වාගෙන යන පාසැල් ලෙස ඒවා යලි විවෘත කර තිඛෙන අතර ගුරුවරුන් 8,000ක ගේ රැකියා අහෝසි කර ඇත.

බ්ලුම්බර්ග් ක්‍රියාවට දමමින් සිටින්නේ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් දෙපක්ෂය ම විසින් සහයෝගය දෙනු ලබන රාජ්‍ය අධ්‍යාපනය වැනසීමේ ජාතික පරිමාන ව්‍යාපාරයක කොටසකි. එකකට පසු තවත් එකක ප්‍රාන්ත රාජ්‍ය හා නගරවල ගුරුවරු දහස් ගනනක් රැකියාවලින් නෙරපනු ලැබ සිටිති. ඩෙට්රොයිට්, චිකාගෝ, ෆිලඩෙල්ෆියා සහ වොෂින්ටන් ඩීසි වල පාසැල් ගනනක් වසා දැමීමේ සැලසුම් දැන් කි්‍රයාවට දමමින් සිටිති. සමහර දිස්ත්‍රික්කවල පාසැල් මුලුමනින් ම පුද්ගලීකරනය කිරීම ගැන සාකච්ඡා කරනු ලබති.

මුල සිටම පුද්ගල අනුග්‍රාහක පාසැල් දැඩිව ප්‍රවර්ධනය කල හා අධ්‍යාපනයේ අර්බුදය වෙනුවෙන් ගුරුවරුන් දඩයමට ලක්කල ඔබාමා ආන්ඩුව විසින් මෙම ප්‍රතිපත්ති සම්බන්ධීකරනය කරනු ලබයි. ඔවුන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඩිමොක්‍රටිකයන් සහ රිපබ්ලිකානුන් සර්වසම වන අතර සත්තකින් ම ඔබාමා, ඔහුගේ පුර්වගාමීන්ට වඩා වැඩියෙන් පාසැල් වසා දැමීම හා ගුරුවරුන් රැකියාවලින් නෙරපීම අධීක්ෂනය කර තිබේ.

ඇත්ත වශයෙන් ම සිදුවෙමින් පවතින්නේ රාජ්‍ය අධ්‍යාපනයට වින කැටීමේ හා අවසානයේ දී මුලුමනින් ම එම ආයතන විනාශ කර දැමීමේ දැනුවත් උත්සාහයකි. සියලුදෙනාටම මෙම තීරක අයිතියට හිමිකම තිබිය යුතුයි යන සංකල්පය පැත්තකට විසිකර ඇත. අධ්‍යාපන ක්‍රමයේ ඉතිරිව පවතින යමක් ඇත්නම් ඒ සියල්ල විවිධ ලාභ අවශ්‍යතාවයන්ට හා පාලක පන්තියේ නියෝගවලට වඩාත් ඍජුව යටත් කල යුතුය.

මෙය ඓතිහාසික පරිවර්තනයකි. එක්සත් ජනපදය තුල රාජ්‍ය අධ්‍යාපන ආයතනයේ මුල්, ශතවර්ෂ දෙකකට පෙර සිදු වූ ඇමරිකානු විප්ලවය දක්වා විහිද තිබේ.

ඇමරිකානු විප්ලවයේ නායකයන් අධ්‍යාපන ආයතනය දුටුවේ, මහජන පාලනය සඳහා අත්‍යවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුලුනක් ලෙස ය. එය තවමත් විප්ලවවාදී බලවේගයක් ලෙස පවතිත් දී, ඇමරිකානු ධනේශ්වරය රාජ්‍ය අධ්‍යාපනය බ්‍රිතාන්‍ය රදල පාලනයට හා පසුව දකුනේ වහල් හිමිකමට එරෙහි ප්‍රති බලයක් ලෙස දුටුවහ.

තෝමස් ජෙෆර්සන් 1796 දී සිය මිතුරෙකුට ලියු ලිපියක මෙසේ සඳහන් කලේ ය. "පොදු ජනයා අධ්‍යාපන ගත කිරීමේ නීති තහවුරු කර වැඩි දියුනු කරන්න. කාලකන්නිකමේ හා මර්දනයේ යක්ෂයන්ගෙන් මහජනයාට ගැලවීමට ඇති එකම මග එය බවත්, ඒ සඳහා බදු වසයෙන් ගෙවිය යුත්තේ අප මහජනයා අඥානකමට ඇද දැමුවොත් අප අතරින් මතු විය හැකි රජුන්, පූජකයන් හා ප්‍රභූන්ට ගෙවිය යුතු බදුවලින් දහසකින් එකක් බවත් අපගේ රටවැසියන්ට කියා දෙන්න" ඛෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් ඇමරිකානු සමුහාන්ඩුව පමනක් නොව; මහාද්වීපයේ ප්‍රථම දායක පුස්තකාලය ද නිර්මානය කිරීමට උපකාර කලේය.

වහල් සහ නිදහස් දෙකොට්ඨාශයේම අධ්‍යාපනික ජනතාවකට දකුනේ වහල් හිමියෝ බිය වුහ. ප්‍රතිචාරය හැමවිටම ගෙන ඇත්තේ නොතැකීමේ ස්වභාවයකි. අනෙක් අතින් තැඩොස් ස්ටීවන්ස් වැනි වඩාත් කැපී පෙනුන වහල් විරෝධීන් වහල් ක්‍රමය කෙරෙහි ඔවුන්ගේ වෛරය හේතුකොට ගෙන රාජ්‍ය අධ්‍යාපනය පෘතුල කිරීමට ඛෙහෙවින් ප්‍රයත්න දැරූහ.

දහනම වන සියවසේ අග භාගයේ හා 20 වන සියවසට එලඹෙද්දී එක්සත් ජනපදය තුල කේන්ද්‍රීය සමාජ ඝට්ටනය කම්කරු පන්තිය හා ධනේශ්වරය අතර ගැටුම බවට පරිවර්තනය විය. රාජ්‍ය අධ්‍යාපනයේ ප්‍රසාරනය නොවෙන් කල හැකි ලෙස කම්කරු පන්තියේ අරගල සමග ආබද්ධ වුයේ ය.

රුසියානු විප්ලවයේ උදාහරනය සමාජ විප්ලවය පිලිබඳ තර්ජනය යලි වතාවක් සිහිගැන් වූ විට ඇමරිකානු පාලක පන්තිය එයට ප්‍රතිචාර දැක්වුයේ සැලකියයුතු සමාජ සහන ප්‍රදානය කිරීමෙනි. ප්‍රධාන ගෝලීය ආර්ථික බලයක් ලෙස ඇමරිකානු ධනවාදයට පැවති තැන නිසා ලිබරල් ප්‍රතිසංස්කරනවල කොටසක් වූ ජනවාර්ගික වෙන්කර තැබීම අහෝසි කිරීම ඇතුලුව, රාජ්‍ය අධ්‍යාපනයට අවස්ථාව ප්‍රසාරනය කිරීමට හැකි විය.

නමුත් පාලක පන්තිය මෙම සියලු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් අතහැර දමා තිබේ. දසක ගනනාවක් තුල කම්කරු පන්තිය දිනාගත් අයිතීන් පමනක් නොව; ඇමරිකානු විප්ලවයේ හා සිවිල් යුද්ධයේ සමස්ත උරුමයමත් විනාශ කර දැමීමේ ක්‍රමානුකූල උත්සාහයක පසුගිය සිව් දසකය තුල එය නිරතව සිට ඇත.

සමපේක්ෂනය, මුල්‍ය පරපුටුකම සහ වංචාවෙන් උපයාගත් දැවැන්ත ධනයක් සහිත ඇමරිකානු පාලක පන්තිය එහි සම්පූර්න සමාජ පැවැත්ම තුල, රාජ්‍ය අධ්‍යාපනය හා සම්බන්ධ ප්‍රජාතාන්ත්‍රික හා සමාන අයිතිවාසිකම්වලට විරුද්ධ ය. එවැනි ආයතන දකින්නේ ලාබය මත නො ඉවසිය හැකි ඛාදනයක් ඇතිකරන, හැම දෙයක්ම පාලක පන්තියේ ධනවත් වීමට ඍජුව යටත් නොකල, අතීතයක පුජනීය වස්තුන් ලෙසය.

සංගත හා මුල්‍ය ප්‍රභූව, ඔවුන්ගේ දේශපාලන නියෝජිතයන් සමග නිශ්චිත හා නොහික්මුනු ප්‍රතික්ෂේප කිරීමක යෙදී සිටිති. එහි සියලුම ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදායන් සහ ඒ අනුව ඉතිරිව පවතින එහි දේශපාලනික සාධාරනත්වය කීතු කරමින් සිටී. රාජ්‍ය අධ්‍යාපනයට වින කටින එම පරිපාලනය ම, ශතවර්ෂ ගනනක් පැවති මූලික ව්‍යවස්ථාමය මූලධර්ම කිසිදු වගවිභාගයක් නැතිව ඉවත ලමින්, නියමිත නෛතික ක්‍රියාවලියකින් තොරව ඇමරිකානු පුරවැසියන් ඝාතනය කිරීමේ අයිතිය සහතික කර ඇත.

රාජ්‍ය අධ්‍යාපනය ආරක්ෂා කිරීම පවතින පාලක පන්තිය හා එය පදනම් වී සිටින ධනවාදය සමග නොගැලපෙයි. මෙම සමාජ පර්යාය දැඩිව ආරක්ෂා කරන ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂවලට ආයාචනය කිරීමෙන් කිසිවක් දිනා ගත නොහැකිය.

අනෙක් සියලුම සමාජ සහ ප්‍රජාතාත්‍රික අයිතීන් මෙන්ම, නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ වගකීම පැවරෙන්නේ සමාජය තුල තථ්‍ය සහ විප්ලවවාදී එකම සමාජ බලවේගය වන කම්කරු පන්තිය මතය.

සමාජ සමානතාවයේ පදනම මත සමාජය සම්පූර්නයෙන් ම යලි ගොඩ නැගීමට කරන අරගලයක් හරහා පමනි, රාජ්‍ය අධ්‍යාපනය ආරක්ෂා කර පවත්වාගෙන යා හැක්කේ. මූල්‍ය කතිපයාධිපතියේ බලය බිඳ, බැංකු සහ ප්‍රධාන සංගත ජනසතු කල යුතුය. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර පවත්වා ගෙන යාහැක්කේ කම්කරු පන්තියේ ස්වාධීන පක්ෂයක් විසින් සටන් කරනු ලබන සමාජවාදී ක්‍රියා මාර්ගයක් මගින් පමනි.

ඇන්ඩෘ ඩැමොන්

Share this article: