මැදපෙරදිග තුල එක්සත් ජනපද පිලිවෙතේ කුනු වූ පදනම්

The rotten foundations of US policy in the Middle East

16 January 2013

බහරේන් අගනුවර වන මනමා හි අබලන් ගොඩ නැගිල්ලක පිහිටි අධික ලෙස කම්කරුවන් පිරවූ ශ‍්‍රම කඳවුරක් තුල ජනවාරි 11 හටගත් ගින්නකින් කම්කරුවන් දහතුන් දෙනෙකු මිය ගියහ. ඔවුහු සියලලු දෙනා ම නොවේ නම්, ඉන් බහුතරයක් බංග්ලාදේශ කම්කරුවෝ වූහ.

බහරේන්හිත්, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට අයත් සෙසු වැඩවසම් පාලන තන්ත‍්‍රයන් තුලත් එවැනි රුදුරු සිද්ධීන් සාමාන්‍ය තත්වයකි. පසුගිය මාසයේ මනමා හි පිහිටි අධික ලෙස කම්කරුවන් ගෙන් පිරුන තවත් ශ‍්‍රම කඳවුරක ඇති වූ ගින්නකින් බංග්ලාදේශ කම්කරුවන් දස දෙනෙකු මිය ගියහ.

නිවාස හා කර්මාන්තය තුල ආරක්ෂක ප‍්‍රමිතීන් අවශ්‍ය ආකාරයට වැඩි දියුනු කිරීමේ උත්සාහයන් බහරේන් රජු හා පුද්ගලික ගොඩනැගිලි සමාගම් විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

බහරේනයේ මාරක ගින්න ඇති වුයේ ලෝක පරිමාන විරෝධයක් අවුලුවා ලූ ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවක් වන රිශානා නෆීක් සෞදි අරාබියේ දී හිස ගසා මරා දැමීමෙන් දෙදිනකට පසුව ය. සිය නියම වයස වසන් කර, හොඳ වැටුපක් ලබා ගැනීම සඳහා සෞදි අරාබියට ගිය ශී‍්‍ර ලංකාවේ නැගෙනහිර පලාතේ දුප්පත් පවුලක දැරියක වූ රෆීක්ට, 17 වැනි වියේ දී පුහුනුවකින් හෝ පලපුරුද්දකින් තොරව රැක බලා ගැනීමට බල කෙරුනු ලදරුවෙකු මිය යාම නිසා මරන දඬුවම නියම විය. සෞදි බලධාරියෝ බලහත්කාරයෙන් ඇගෙන් පාපොච්චාරනයක් ලබා ගත්තෝ ය. කිරි බෝතලයෙන් කිරි පෙවීමේ දී දරුවාගේ උගුරෙහි කිරි හිර වූ බවත්, දරුවා ඉන් මුදා ගැනීමට කල උත්සාහය අසාර්ථක වූ බව අවධාරනය කරමින් ඇය පාපොච්චාරනය පසුව ප‍්‍රතික්ෂේප කලා ය.

බාල වයස් කරුවන් විසින් කරනු ලබන අපරාධවලට මරන දඬුවම පැමිනවීම වලකන ජාත්‍යන්තර ගිවිසුම් උල්ලංඝනය කරමින් කල ම්ලේච්ඡ ඝාතනය පිලිබඳ ජාත්‍යන්තර හෙලා දැකීම් ''අධිකරනයේ කටයුතුවලට හා එහි තීන්දුවලට මැදිහත් වීමක්'' යයි කියමින් සෞදි රජු විසින් දැඩිව ප‍්‍රතික්ෂේප කලේ ය.

යලිත් කිවහොත්, මෙම පිලිකුල් සහගත කි‍්‍රයාව අසම්මත එකකි. සෞදි රජය පසුගිය වසරේ මිනිසුන් 79 ක ගේ හා ඊට පෙර වසරේ 82ක ගේ හිස ගසා දැමී ය.

රිශානා නෆීක් ගේ මරනයෙන් පසු පලවූ ප‍්‍රවෘත්ති වාර්තාවලට අනුව, හිස ගසා දැමීමට නියම වූ ඉන්දුනීසියානු ගෘහ සේවිකාවන් 45 දෙනෙකු සෞදි අරාබියේ සිටිති. එම ඉරනමට ම ගොදුරු වූ ශී‍්‍ර ලාංකික, පිලීපීන, යුරෝපීය හා ඉන්දියානු ගෘහ සේවිකාවන් සිටින බව විස්වාස කරන නමුත් ඔවුන්ගේ සංඛ්‍යාව නොදනී.

මෙයින් බොහොමයක් කාන්තාවන්ට දඬුවම් පමුනුවනු ලැබ තිබෙන්නේ සිය හාම්පුතුන්ගේ කායික පහර දීම් හෝ දූෂනයන්ට එරෙහිව ආරක්ෂාවීමට කල උත්සාහයන් නිසා ය. සෙසු කාන්තාවෝ, සතියේ දින හත ම පැය 15-20 ක් විවේකයකින් තොරව, නිවාඩු නැතිව හෝ බොහෝවිට වැටුපක් නැතිව වසර ගනනාවක් වැඩ කිරීම නිසා මානසික රෝගවලට ගොදුරු වූ අය වෙති.

සෞදි අරාබියේ සිටින මිලියන 1.5 ක් වන ගෘහ සේවිකාවන්ට කරන බරපතල හා මාරක අපචාරයන්ට දඬුවම් පැමිනවීම බෙහෙවින් විරල ය. එවන් අතිශයින් ම අපකීර්තිමත් සිද්ධීන්ගෙන් එකක් වන්නේ සිය හාම්පුතා විසින් කතුරකින් දෙතොල් කපා, රත් වූ ඉස්ති‍්‍රක්කයකින් ඇගේ හිස මතුපිට පුලුස්සා සහ පිහියකින් ඇනීමෙන් සිදු වූ අපමන තුවාල සහ අස්ථි බිඳීම ඇතුලු දිගු කාලයක් පුරා වධබන්ධන වලට ලක්වූ ඉන්දුනීසියානු ගෘහ සේවිකා සුමායිති බින්ටි සලාන් මුස්තාපාගේ නඩුව යි.

වධ හිංසා කිරීම ගැන සාක්ෂි නැති බව ප‍්‍රකාශ කරමින් සෞදි උසාවියක් හාම්පුතා නිදොස් කොට නිදහස් කලේ ය. කාන්තාවන් ගොඩනැගිලිවලින් පහලට තල්ලු කල බොහෝ අවස්ථාවල දී ඒවා සිය දිවි නසා ගැනීම් ලෙස ලැයිස්තුගත කෙරුනි.

මෙම දුෂ්ට කි‍්‍රයාවන්ගේ, එනම්, මාරක ගිනි ගැනීම් හා හිස ගසා දැමීම යන දෙකරුන ම නුතන වහල් සේවයේ ක‍්‍රමයකි. වහල් භාන්ඩයක් ලෙස මිනිසුන් මිල දී ගැනීමේ හා විකිනීමේ සම්ප‍්‍රදායික වහල් ක‍්‍රමය 1962 දක්වා ම පැවතුනි.

උප සහරාන් අප‍්‍රිකානුවන් පැහැර ගෙන ගොස් වහල් සේවයේ යෙදවීමට වෙනස්ව, නව ක‍්‍රමය පෝෂනය වන්නේ ගෝලීයව ඒකාග‍්‍ර වූ ධනපති ක‍්‍රමය හා විදේශයන්හි රැකියා කිරීමට බල කෙරෙන, විශේෂයෙන් ම ආසියාවේ දරිද්‍රතාවයට පත් බිලියන ගනන් මිනිසුන් මගිනි.

මෙම කම්කරුවෝ රැකියාවක් ලබාදීම සඳහා විශාල මුදලක් අය කරන, සෞදි අරාබියට හා සෙසු ගල්ෆ් රාජාන්ඩු රටවලට ඔවුන් ආ විට නිදහසක් නැති ගිවිසුම් ගත රැකියාවල යෙදීමට සංක‍්‍රමනිකයන්ට බලකරන රැකියා නියෝජිත ආයතනවල ගොදුරු බවට පත්වෙති. එහි ගිය වහා ම ඔව්හු, සංක්‍රමනික කම්කරුවන් සම්බන්ධයෙන් අසීමිත බලයක් සහිත අනුග‍්‍රාහක හාම්පුතුන්ගේ කෆාල හෙවත් අනුග‍්‍රාහක ක‍්‍රමයට යටත් කෙරෙති. ඔවුන්ට ආපසු සිය රටවලට ඒමට නොහැකි ආකාරයට හාම්පුත්තු කම්කරුවන්ගේ විදේශ ගමන් බලපත් තමන් සන්තකයේ තබා ගනිති.

අනතුරුදායක හා සූරාකන රැකියාවලින් ඉවත් වීමට උත්සාහ කරන අයට කිසිම තැනක රැකියාවක් ලබා ගැනීමට ඉඩ නොදෙන අතර සාමාන්‍යයෙන් කෙරෙන්නේ, බොහෝවිට වැටුප් ගෙවීමකින් තොරව ආපසු සිය රටවලට එවීම ය. මෙම කම්කරුවන්ට වෘත්තීය සමිති අකැප වන අතර ජීවන වියදම වේගයෙන් ඉහල ගොස් ඇතත් දසක දෙකක් පුරා වැටුප් එකතැන පල් වේ. ලාබ ඉපයීම සඳහා හාම්පුතුන් ඔවුන්ගේ කම්කරුවන් සෙසු අයට ''කුලියට'' දීම සාමාන්‍ය දෙයකි.

ගල්ෆ් රාජ්‍යවල මෙම කම්කරුවෝ මිලියන 15 පමන සිටිති. ඔව්හු සමස්ත ශ‍්‍රම බලකායෙන් හරි අඩක් වන අතර පුද්ගලික අංශය තුල බහුතරය වෙති. පරපුටු පාලක පවුල් තෙල්වලින් උපයන මුදල්වලින් ගෙවන, මනමා, ඩුබායි සහ රියාද් නගරවල උස කුලුනු, සුඛෝපභෝගී මාලිගා සහ අධිවේගී මාර්ග ගොඩ නගා ඇත්තේ මෙම කම්කරුවෝ ය.

ඔවුන් මුහුන දෙන අතිශයින් ම රුදුරු කොන්දේසි රහසක් නොවේ. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු බියුරෝව විසින් මෙම කොන්දේසි ඒත්තු ගෙන තිබේ. බහරේන් ගෘහ සේවකයන් පිලිබඳ වාර්තාව මෙසේ සඳහන් වේ: ''ඔවුන්ට සිය අනන්‍යතා ලියවිලි හාම්පුතුන්ට භාර දීමට සිදු වී තිබුනි... ඔවුන්ට තිබුනේ අඩු විවේක කාලයකි, මන්දපෝෂනයෙන් පෙලුනු අතර ලිංගික අතවර ඇතුලුව වාචික හා කායික අතවරවලට ගොදුරු කෙරුනි'' එය තවදුරටත් මෙසේ සඳහන් කරයි, ''බොහෝ අවස්ථාවල දී හාම්පුත්තු විදේශ සේවකයන්ගේ වැටුප් මාස හෝ අවුරුදු ගනන් රඳවා ගන්නා අතර රටෙන් පිටවීමට ඔවුන්ට අවසර නොදෙති." මෙය වහල් ක‍්‍රමයක කොන්දේසි පිලිබඳ විස්තරයකි.

මිලියන 8.5 ක් විදේශ කම්කරුවන් සිටින සෞදි අරාබියේ ඒ හා සමාන කොන්දේසි පවතින බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සොයා ගෙන තිබේ. රටවල් දෙකේ ම දේශපාලන පක්ෂ තහනම් කරනු ලැබ තිබේ. වධ හිංසා පැමිනවීම සාමාන්‍ය දෙයකි. ප‍්‍රවෘත්ති තහනම ක‍්‍රියාත්මකව ම දමා තිබේ. ආගමික සුලුතරයන් (බහරේන්වල නම් ෂියා බහුතරය) රුදුරු ලෙස මර්දනය කරනු ලබති. දේශපාලන විසංමතිකයෝ ඝාතනය කිරීම හා සිරගත කිරීම කරති.

කෙසේ නමුත් මෙම වාර්තා ප‍්‍රදර්ශනය සඳහා පමනි. වොෂින්ටනයේ ප‍්‍රධාන සගයා වන සෞදි අරාබියේ, ඇමරිකාවේ පස්වන බලකායට සත්කාර සපයන බහරේනයේ සහ පෙන්ටගනයේ මධ්‍යම අනදෙන මූලස්ථානය හා ඒකාබද්ධ ගුවන් මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටා ඇති කටාර් හි ආඥාදායක පාලනයන් මත රඳා තිබෙන කලාපයේ එක්සත් ජනපද පිලිවෙතට ඒවායේ බල පෑමක් නැත.

''මානව හිමිකම්'' සහ ''ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ'' නමින් සිරියාව තුල නිකායවාදී සිවිල් යුද්ධයක් අවුලුවාලීමේ හා සේනා සන්නද්ධ කිරීමේ දී හා ඉරානයට විරුද්ධ යුද්ධයක් සුදානම් කිරීමේ දී ඔබාමා පාලන තන්ත‍්‍රයේ ප‍්‍රධාන සගයෝ මොව්හු ය.

මෙම රටවල සිටින සුවිසාල සංක‍්‍රමනික කම්කරුවන්ගේ හා අර්ධ වහල් කම්කරු පන්තියේ කොන්දේසි සහ එම රටවල් පාලනය කරන තන්ත‍්‍රයන්ගේ අති-ප‍්‍රතිගාමී හා මධ්‍යකාලීන ස්වභාවය තරම් මැද පෙරදිග කොල්ල කෑමේ එක්සත් ජනපද පිලිවෙත සම්බන්ධයෙන් දෝශාභියෝගයක් වන වෙනත් කිසි‍වක් නැත.

මෙම අධිරාජ්‍යවාදී පිලිවෙත රඳා පවතින පදනම් අතිශයින් ම කුනු වී තිබෙන අතර ඉතා ඉක්මනින් විප්ලවවාදී පිපිරීම් නිෂ්පාදනය කලයුතු ය.

බිල් වෑන් ඕකන්

Share this article: