ලිබර් මගඩිය

The Libor swindle

22 December 2012

මූල්‍ය නියාමකයන් "මහා කාව්‍යය” ලෙස විස්තර කරන සාපරාධී කි‍්‍රයාකාරකම් සම්බන්ධිත කාරනාවක් අරබයා ප‍්‍රධාන ජාත්‍යන්තර බැංකුවක් සමග ඇතිකරගැනුනු මෑතම පේ‍්‍රම සම්මුතිය, ලෝක මූල්‍ය පද්ධතිය ලෙස ප‍්‍රසිද්ධ, දූෂන අශූචි වලේ මූඩිය යලිත් වරක් ඉහලට ඔසවා තිබේ.

ඩොලර් ටි‍්‍රලියන සිය ගනනක මූල්‍ය කොන්ත‍්‍රාත්තු ගැටගැසී ඇති, සම්මත ගෝලීය පොලී අනුපාතිකය වන ලන්ඩන් අන්තර්-බැංකු පොලී අනුපාතිකය (ලිබර්) වංචනික ලෙස සැකසීමට තමන් ක‍්‍රමානුකුලව කටයුතු කල බව ස්විට්සර්ලන්තයේ විශාලතම බැංකුව වන යූබීඑස් මේ සතියේ දී පිලිගත්තේය. එය එසේ කලේ සිය ලාභ ඉහල දමා ගැනීම හා තම මූල්‍ය ගැටලු යටගැසීම පිනිස ය.

යූබීඑස් හි කි‍්‍රයාවන් උකස්කර, ක්‍රෙඩිට් කාඩ්, ශිෂ්‍ය නය හා මොටර් රථ වෙනුවෙන් පොලී ගෙවන මිලියන සිය ගනනක් ජනයාට මෙන්ම විශ‍්‍රාමික අරමුදල්වලට සහ ප‍්‍රාන්ත හා පලාත් ආන්ඩු වැනි ආයතනික ආයෝජකයන්ට ද ස්ථාවර ආයෝජනවලින් ලැබෙන ආදායම මත යැපෙන මිලියන සංඛ්‍යාත විශ‍්‍රාමිකයන්ට ද වංචා කලේය. මහා සොරකම යන පදය මෙම මංකොල්ලයේ පරිමානය විස්තර කිරීම ඇරඹීමට වත් ප‍්‍රමානවත් නො වේ.

පසුගිය ජූනියේ දී බාර්ක්ලේස් සමග ඇතිකරගැනුනු සම්මුතියට පසුව, ජාත්‍යන්තර ලිබර්-වංචා මෙහෙයුමකට සම්බන්ධිත බව පිලිගෙන කිසිදු බැරෑරුම් ප‍්‍රතිවිපාකයකින් තොරව ගැලවී යාමට ඉඩදීමට හිලව් වසයෙන් සාමාන්‍ය දඩයක් ගෙවූ දෙවන බැංකුව බවට යූබීඑස් පත්ව ඇත. සිද්ධි දෙකේදීම, එකදු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට වත් එරෙහිව චෝදනා ඉදිරිපත් නොකෙරුනු අතර, බැංකුවලට ම කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් වරදකරු බවට පිලිගැනීමට සිදු වූයේ නැත.

එක්සත් ජනපදයේ, යුරෝපයේ හා ආසියාවේ තවත් බැංකු හා බ්‍රෝකර් ආයතන දුසිමකට වඩා ලිබර් සහ එහි යුරෝ හා යෙන් ප‍්‍රතිරූප වන යුරිබර් හා යෙන් ලිබර් වංචනික ලෙස සැකසීම සම්බන්ධයෙන් පරීක්ෂනවලට ලක්වෙමින් තිබේ. ජේපීමෝරගන් චේස්, සිටිගෲප් හා ඇමරිකානු බැංකුව මේවාට ඇතුලත්ය.

ලිබර් වංචනික ලෙස සැකසීම වනාහි, විවිධාකාර ගිනුම් චංචා, අභ්‍යන්තරිකයන් අතර කරන වෙලඳාම, උකස් ලියවිලි වංචා කිරීම හා 2008 මූල්‍ය කඩාවැටීම අවුලුවා ලූ උකස්කරවල පිටුබලය ලබන සුරැකුම්පත් වංචනික ලෙස නිකුත් කිරීම ඇතුලූ, ලෝකයේ විශාලතම බැංකු සම්බන්ධිත, නිමක් නැති සෝලි මාලාවකින් එකක් පමනි.

මේවා, මහජන මුදල් ටි‍්‍රලියන ගනනින් යොදවා ඇපදී ගලවා ගැනුනු සහ ලෝකයේ මහ බැංකුවල ශුභාශිංසන ලෙස නොමිලේම පාහේ ලැබෙන නයවලින් දිගටම සහනාධාර ලබන, ආයතන ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස සිදු වන ජාතික ආන්ඩු බංකොලොත්වීමේ බර සමාජ වැඩපිලිවෙලවල් විනාශ කිරීම හා කම්කරු පන්තිය දරිද්‍රතාවට ඇදදැමීම මගින් පියවාගත යුතු යයි ඉල්ලා සිටින්නන්ගේ පෙරමුනෙහිම සිටින්නේ ද ඔවුන්ය.

මෙක්සිකෝවේ යෝධ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් ඩොලර් බිලියන සිය ගනනක කලු සල්ලි ඇපිල්ලීමේ යෙදුනු බවට බි‍්‍රතාන්‍යයේ පාදක එච්එස්බීසී බැංකුව පිලිගත්තේ පසුගිය සතියේය. මෙක්සිකානු මත් ද්‍රව්‍ය යුද්ධය තුල දසදහස් සංඛ්‍යාත ජනයාගේ මරනයන්ට මෙන්ම එක්සත් ජනපදයේ හා සෙසු රටවල කම්කරු පන්තික නිවහන් ප‍්‍රදේශ මත් ද්‍රව්‍යවලින් පුරවාලීමට ද තුඩු දී ඇති මෙම කි‍්‍රයාවන් සම්බන්ධයෙන්, යලිත් වරක් කිසිදු අපරාධ චෝදනාවක් ගොනු කෙරී නැත.

යූබීඑස් ලිබර්-වංචාව පිලිබඳ කාරනයේ දී, එක්සත් ජනපදයේ අධිකරන දෙපාර්තමේන්තුව යූබීඑස් බැංකුවට එරෙහිව අපරාධ චෝදනා එල්ල නොකිරීමට හිතාමතාම තීන්දු කලේය. ඒ වෙනුවට, එය කලේ, සාපේක්ෂව සුලු මට්ටමේ පනිවිඩ හුවමාරු වංචාවක් පිලිබඳ වරද පිලිගැනීමකට බැංකුවේ ජපාන ඒකකය එකඟ කරගැනීමයි. වෝල් ස්ටී‍්‍රට් ජර්නල් වාර්තා කල පරිදි, "සුරිච්-පාදක සමාගමට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමක් එහි ස්ථාවරත්වය අනතුරේ හෙලනු ඇතැයි භීතියෙන්, එසේ නොකිරීමට තමන් තීන්දු කල බව අධිකරන දෙපාර්තමේන්තුවේ නිලධාරිහු පැවසූහ”.

මෙය වනාහි, ප‍්‍රධාන බැංකු කුමන අපරාධයක් කලත් ඔවුන් ප‍්‍රායෝගිකව නඩු පැවරීමකට ලක්වීමෙන් නිදහස් වන බව, පිලිගැනීමකි. සෑම දිනකම පරපුටු, සමාජීයව ව්‍යසනකාරී හා නීති විරෝධී කි‍්‍රයාකාරකම්වල යෙදෙන මූල්‍ය මාෆියාව නීතියට ඉහලින් සිටී.

වඩවඩා සමාජය අර්ථදැක්වෙන්නේ වංශාධිපති මූලධර්ම මගිනි: එනම්, හුදු මනුෂ්‍යයන්ට අදාල නීති මූල්‍ය වංශවතුන්ට අදාල නොවේ. ඇමරිකාව -- ඊට අමතරව යුරෝපය, ජපානය හා සෙසු වැඩිදියුනු ආර්ථිකයන් ද -- ප‍්‍රජාතාන්ති‍්‍රක වන්නේ නමට පමනි. ඔක්ස්ෆර්ඞ් ඉංගී‍්‍රසි ශබ්දකෝෂය "plutocracy” යන්න අර්ථදක්වන්නේ "ධනවතුන් විසින් ගෙනයනු ලබන පාලනය” යනුවෙනි. මෙම අර්ථදැක්වීම එක්සත් ජනපදයට අදාලය යන්නට කෙනෙකුට බැරෑරුම් ලෙස අභියෝග කල හැකිද?

යූබීඑස් සමග ඇතිකරගැනුනු සම්මුතිය නිවේදනය කරමින්, අධිකරන දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ ප‍්‍රධානි ලැනි බෘවර් එම සම්මුතිය බැංකුවලට වේදනාකාරී තරවටුවක් ලෙස පින්තාරු කිරීමට උත්සාහ කලේය. "අපට වෝල් වීදියේ විෂමාචාරයන් ඉවසිය නොහැකිය, අපි ඒවා ඉවසන්නේ ද නැත,” යයි ඔහු ප‍්‍රකාශ කලේය.

මොන තරම් විකාරයක්ද. ලිබර් මගඩිය බැංකුවල සාපරාධී ස්වභාවය එලිදරව් කර ඇතිවා පමනක් නොව, එය ලොව පුරා ආන්ඩු හා මූල්‍ය නියාමකයන් ඇතුලත් දූෂනයේ හා සහයෝගිතාවයේ බන්ධනය එලිමහනට ගෙනවිත් තිබේ.

බැංකු සහ ඒවා නියාමනය කරනවා යයි කියන නියාමකයන් අතර පවත්නා ව්‍යභිචාරී සම්බන්ධය පිලිබඳව නිදසුන් කිහිපයක් දැක්වීම ප‍්‍රමානවත්ය:

*ස්විස් මූල්‍ය වෙලඳ පොලේ අධීක්ෂන අධිකාරියේ බැංකු අධීක්ෂනය භාර, මාක් බ‍්‍රැන්සන් යූබීඑස් පිලිබඳ පරීක්ෂනයෙන් තමන්වම ගලවාගෙන ඇත. ඒ මන්ද? යූබීඑස්හි ජපාන ඒකකය දැන් වරද පිලිගෙන ඇති ලිබර්-වංචාව සිදු කල වසර කිහිපය තුල දී ම එම ඒකකයේ ප‍්‍රධානියා වූයේ බ‍්‍රැන්සන් මහතාය.

* එක්සත් ජනපද සුරැකුම්පත් හා විනිමය කොමිසමේ (එස්ඊසී) බලාත්මක අංශයේ අධ්‍යක්ෂ රොබර්ට් ඛුසාමි ඩොච් බැංකුවේ ඩොලර් බිලියන ගනනක ගිනුම්කරන වංචාව සම්බන්ධයෙන් එස්ඊසී කල පරීක්ෂනයෙන් තමන්ව ගලවාගෙන ඇත. ඒ මන්ද? සිය එස්ඊසී තනතුර දැරීමට පෙර ඛුසාමි ඇමරිකාව සඳහා ඩොච් බැංකුවේ නීති උපදේශක විය.

*සමාගමේ ප‍්‍රධාන නීතිඥයා ලෙස, පැහැදිලි නොකල හා සඟවනු ලැබූ බිලියන ගනනක සමපේක්ෂන පාඩු ගැන කෙරෙන පරීක්ෂනයකට සම්බන්ධිතව, ජේපීමෝරගන් චේස් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කන්ඩායමට වර්තමානයේ නායකත්වය දෙන ස්ටීවන් කට්ලර්, එස්ඊසී හි බලාත්මක අංශයේ හිටපු ප‍්‍රධානියාය.

*මෑත මාසවල මුදාහැරුනු ලියවිලිවලට අනුව, තිමොති ගීත්නර්, නිව් යෝර්ක් ෆෙඩරල් රිසර්ව් බැංකුවේ සභාපති ලෙස, අඩු ගනනේ 2007 තරම් ඈතදී ලිබර් වංචාව ගැන දැන සිටියේය, නමුත් එය නතර කිරීමට කිසිවක් නොකලේය. ඔබාමා සිය භාන්ඩාගාර ලේකම් ලෙස ගීත්නර් පත් කලේය. එම තනතුර ඔහු තවමත් දරයි.

* එංගලන්ත බැංකුවේ අධිපති මර්වින් කිංට ද සහ ඔහුගේ දෙවැනියා වන පෝල් ටකර්ට ද එමෙන්ම ලිබර් වංචනික මෙහෙයුම ගැන අනතුරු අඟවන ලදි. ඔවුහු ද අහක බලාගෙන කිසිවක් නොකර සිටියහ. ලිබර් අනුපාතය සැකසීමෙහි ලා "චංචනික කි‍්‍රයාවක් සිදු වී ඇති බවට කෙරෙන චෝදනා ගැන” මීට යන්තම් සති කිහිපයකට පෙර වන තෙක්ම ”අපි දැන නොසිටියෙමු,” යනුවෙන් පසුගිය ජුලියේ දී පාර්ලිමේන්තු කමිටුවක් ඉදිරියේ ටකර් පැවසුවේ බොරුවකි. ටකර් එංගලන්ත බැංකුවේ නියෝජ්‍ය අධිපති ලෙස තවමත් සේවය කරයි.

හිටපු බැංකු විධායකයන්ගෙන් පිරුනු, බැංකු නියාමන ඒජන්සි බැංකුවල සාපරාධී කි‍්‍රයාකාරකම් නතර කරනවා හෝ වලක්වනවා වෙනුවට ඒවාට පහසුකම් සලසයි.

තමන් ආධිපත්‍යය දරන අතිශයින්ම අල්ලසින් දූෂිත දේශපාලන පද්ධතියක් මගින් තමන්ව ආරක්ෂා කෙරෙනු ඇති බව දැන සිටින, ගෝලීය මූල්‍ය වංශාධිපතියන්ට දන්ඩනයට ලක්වීමේ තර්ජනයකින් තොරව චංචාන්හි, සොරකමේ හා මංකොල්ලයේ යෙදිය හැකිය. ධනපති මූල්‍ය පද්ධතියේ දිනපතා කි‍්‍රයාකාරිත්වය මහජනතාවට එරෙහි සාපරාධී ක‍්‍රමන්ත‍්‍රනයක රූපාකාරය ගෙන ඇත.

මෙය ප‍්‍රතිසංස්කරනය කල හැකි පද්ධතියක් නොවේ. එහි පුලුල්ව පැතුරුනු සාපරාධිත්වය "නරක ඇපල් ගෙඩි කිහිපයක” ප‍්‍රතිඵලයක් නොවේ. නීති විරෝධී ස්වභාවය හා දූෂනය පද්ධතියටම ආවේනික වී ඇත.

මිලියනපති මූල්‍යකරුවන් ආර්ථික යෝධයන් ලෙස ගරු බුහුමන් දක්වනවා වෙනුවට බන්ධනාගාරයට ඇද ගෙන යාමට වටනේය. මෙම තත්වයට පවත්නා එකම විසඳුම විප්ලවකාරී එකකි. කම්කරු පන්තිය බැංකු අස්වාමික කොට ඒවා පොදු අයිතිය හා මහජන ප‍්‍රජාතන්ත‍්‍ර පාලනය යටතේ තැබීම පිනිස සිය අතිමහත් ශක්තිය බලමුලූ ගැන්විය යුතුය.

අන්ඩෙ‍්‍ර ඩෙමොන්

Share this article: