බදු එකඟතාවෙන් අනතුරුව, වොෂිංටනයේ න්‍යාය පත‍්‍රය මත වියදම් කප්පාදු අධිකාරිය දරයි

After tax deal, spending cuts dominate Washington agenda

7 January 2013

"රාජ්‍ය මූල්‍ය ප‍්‍රපාතය” මගහැරවීම පිනිස ඩිමොක‍්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් අතර ඇති කරගත් එකඟතාවෙන් අනතුරුව, ප‍්‍රධාන මහා ව්‍යාපාරික පක්ෂ දෙක ම නව වසරට පා තැබුවේ තම දේශීය න්‍යාය පත‍්‍රය මත එක් කරුනක්, එනම් මිලියන සංඛ්‍යාත මහජනයා යැපෙන සෞඛ්‍ය ආරක්ෂනය, විශ‍්‍රාම වැටුප හා අනෙකුත් සුභසාධන වැඩසටහන්වලට කෙරෙන වියදම් කප්පාදු, අන්තර්ගත කර ගනිමිනි.

සුලු අඬදබර හා දේශපාලන නාටකයට පිටුපසින් මූල්‍ය කතිපයාධිකාරියේ නියෝජිතයෝ මාධ්‍යය සමග එක්ව පූර්වයෙන් දේශපාලනිකව ක‍්‍රියාත්මක කල නොහැකියැයි සලකනු ලැබූ සමාජ ප‍්‍රහාර ක‍්‍රියාත්මක කිරීම සඳහා කොන්දේසි නිර්මානය කිරීමට වැඩකරති. සෞඛ්‍ය ආරක්ෂනය කපා දැමීම, දැනටමත් ලේෂමාත‍්‍රයක්ව පවතින විශ‍්‍රාමික දීමනා කප්පාදු කිරීම, දීමනාවක් ලබා ගැනීම සඳහා දීර්ඝ කාලයක් වැඩ කිරීමට ජනතාව පෙලඹවීම වැනි පියවරයන් දැන් ඉදිරිපත් කරමින් ඇත්තේ මග නොහැරිය හැකි ඒවා ලෙස යි.

එක්සත් ජනපද භාන්ඩාගාරය විසින් ඇති කර ගත් එකඟතාව උල්ලංඝනය කරමින් කි‍්‍රයාවට දැමීමට ආසන්න රාජ්‍ය නය සීමාව ඉහල නැංවීම සම්බන්ධයෙන් කොන්ග‍්‍රස් රිපබ්ලිකානුවන් සමග කිසිදු සාකච්ඡාවක් නොපවත්වන බව කීමට ජනාධිපති ඔබාමා පසුගිය 05 වෙනි දින පැවැති රේඩියෝ හා අන්තර්ජාල සාකච්ඡාව යොදා ගත්තේ ය. වසර දහයක කාලපරිච්ඡේදයක් පුරා නය සීමාවේ වැඩිවෙන සෑම ඩොලරයක් සඳහා ම එක ඩොලරය ගනනේ වියදම් වලින් කප්පාදු කරන්නැයි ඉල්ලා සිටිමින් පාර්ලිමේන්තුවේ කතානායක ජෝන් බොහ්නර් සඳහන් කලේ සමාජ වැඩසටහන්වලට කෙරෙන වියදම් කප්පාදු ඉදිරියට ගෙනයාමට රිපබ්ලිකානුවන් විසින් නය සීමාව ලීවරයක් ලෙස යොදා ගනු ඇති බව යි.

පාලක පන්තිය පැත්තෙන් ගත්කල, නය සීමාවේ ප‍්‍රශ්නය වනාහී උපායාත්මක ප‍්‍රශ්නයකි. කප්පාදු හරහා ඉදිරියට යාමේ ලීවරයක් වසයෙන් නය සීමාව අනවරතව යොදාගැනීමේ දී එක්සත් ජනපද නය රේට්ටුව හා ඩොලරයේ තත්වය අන්තරායට පත් වෙතැයි එක් කන්ඩායමක් උත්සුක වෙයි. අවසන් අරමුනේදී, එනම් සමාජ ආරක්ෂනය, මෙඩිකෙයා හා සෞඛ්‍ය ආධාර කැපීමේ දී සියල්ලන්ම එකඟ ය.

05 වෙනිදා පැවැති තම සාකච්ඡාවේදී, සෞඛ්‍ය ආධාර වැඩසටහනට හා අනෙකුත් හිමිකම් මත "ප‍්‍රතිසංස්කරන" පැනවීමට ඔහුගේ සූදානම සඳහන් කරන අතරම, අයවැය පරතරය අවම කිරීම සඳහා තම පාලනාධිකාරිය යටතේ ක‍්‍රියාත්මක කල පියවර හරහා පරතරය ඩොලර් ටි‍්‍රලියන 2.4 කින් අඩු කර ගැනීම පිලිබඳව ද ඔබාමා සඳහන් කලේ ය. "මම තවත් බොහෝ දෑ කිරීමට කැමැත්තෙමි," යි ඔබාමා තවදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුවේ සුලුතර කන්ඩායම් නායිකා නැන්සි පෙලොසි "ෆේස් ද නේෂන්" නම් සීබීඑස් වැඩසටහනට පැවසුවේ, අනෙකුත් අයවැය හිඟය-අඩු කිරීමේ පියවරයන් අතර, සෞඛ්‍ය ආධාර ලබා දීමේ දී එම ප‍්‍රතිලාභීන්ගේ වත්කම් පෙරට වඩා පරීක්ෂා කිරීමේ ක‍්‍රමයක් පිලිබඳ සලකා බැලීමට තමන් සිතමින් සිටි බවයි.

රිපබ්ලිකානුවන්ගෙන් පැත්තෙන්, රාජ්‍ය මූල්‍ය ප‍්‍රපාත ගනුදෙනුවත් සමග ම "බදු ප‍්‍රශ්නය කෙලවර වූ" බව පුනරුච්ඡාරනය කිරීමට සෙනෙට් සභික මිච් මැක්කොනල් පසුගිය 6 වෙනි දින උදෑසන අන්තර්ජාල සම්මුඛ සාකච්ඡා කීපයක පෙනී සිටියේ ය. ඔහු තවදුරටත් මෙසේ කියාගෙන ගියේ ය, "දැන් ප‍්‍රශ්නය වන්නේ, අපගේ රට හා අපගේ අනාගතය මුහුනලා සිටින දැවැන්ත ම ප‍්‍රශ්නය, එනම් අපගේ වියදම් කිරීමේ ඇබ්බැහිය පිලිබඳව, අප කුමක් කරන්නට යන්නේද යන්න යි."

මුලුමනින් බිඳ වැටුනු, 2011 ජූලි මාසයේදී ඔබාමා හා බොහ්නර් අතර සිදුවූ "මහා කේවලයේ" සාකච්ඡාවන්හි අඩංගු කරගත් සමාජ දීමනා කප්පාදු බොහොමයක් යලි ක‍්‍රියාත්මක කිරීමට ධවල මන්දිරය සැලසුම් කරමින් සිටින බව 5 වෙනිදා වොෂිංටන් පෝස්ට් පුවත්පත වාර්තා කලේ ය. නෛතිකව ලැබිය යුතු සුභසාධක වැඩපිලිවල් වලින් බිලියන 600ක් ද ඇතුලත්ව සමස්තයක් ලෙස ඩොලර් බිලියන 900ක් වියදම්වලින් කපා දැමීමට පාලානාධිකාරිය සලකා බලමින් සිටින බව පුවත්පත සඳහන් කලේ ය. මෙඩිකෙයා දීමනාව ලබා ගැනීමට යෝග්‍ය වයස් සීමාව අවුරුදු 65 සිට 67 දක්වා නැංවීමටත් සමාජ ආරක්ෂන දීමනාවන්ගෙන් ජීවන වියදම් සඳහා වැඩිකල මුදල් අඩු කිරීමත් කප්පාදුවලට ඇතුලත් විය හැකි ය.

පාලක පන්තිය පැත්තෙන් ගත්කල එවැනි පියවර සැලකෙන්නේ මූලික ගෙවීමක් වසයෙනි. වඩා බලගතු වැඩසටහන් ඔවුන්ගේ මනසේ තිබේ. විශේෂයෙන් ම හෙලිදරව්කාරී විශ්ලේෂනයක් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ සන්ඩේ රිවීව්හි පලවිනි. ලිපිය ලියා තිබුනේ ආර්ථිකඥයින් දෙදෙනෙකු වන ජෙරී කින්ග් හා සමීර් සොනෙජි විසිනි. සමාජ ආරක්ෂනයන්හි අයවැය අර්බුදය "ඔබ හිතනවාට වැඩියෙන් බිහිසුනු" බවට විවාද කරමින් විශ‍්‍රාම ගන්වන වයස 69 හෝ 70 දක්වා වැඩි කිරීම, සෑම ක්‍ෂේත‍්‍රයකම දීමනාවල් අඩු කිරීම සහ වසරකට ඩොලර් 43,000කට වඩා ආදායම් ලබන කම්කරුවන් සඳහා නව, ලේෂමාත‍්‍ර, දීමනා රේට්ටුවක් හඳුන්වා දීම වැනි ක‍්‍රියාමාර්ග පිලිබඳ සාකච්ඡාවක් සඳහා ලිපිය කැඳවුම් කලේ ය.

විශ‍්‍රාම ගැනීම සාධනීය නපුරක් යැයි යෝජනා කරමින් ද විශ‍්‍රාම වැටුපට "පිටුබල" නොදෙන ලෙස රාජ්‍ය ප‍්‍රතිපතිත්තිය ප‍්‍රතිව්‍යුහගත කිරීම කල යුතුයැයි ද එහෙත් එය "විකල්පයක්" පමනක් යැයිද තර්ක කරමින් වයෝවෘධ අය කෙරෙහි එයින් ප‍්‍රකාශිත එදිරිවාදිකම සම්බන්ධයෙන් ගත් කල කල එම විශ්ලේෂනය මවිතකර එකක් විය. ලේඛකයන් දෙදෙනාගෙන් අයෙක් සෞඛ්‍ය පිලිවෙත ස`දහා ඩාර්මවුත් ආයතනය නියෝජනය කිරීම අහම්බයක් නොවේ. මෙම ආයතනය වනාහි, වියදම් අඩු කර ගැනීම යටතේ "අනවශ්‍ය" වෛද්‍ය පියවර කපා දැමීම සඳහා කෙරෙන කැඳවුම්වල පෙරමුනේම සිටින ඔබාමා පාලන තන්ත‍්‍රය සමග සමීපව අත්වැල් බැඳගත් එකකි.

එය, පසුගිය සතියේදී ටයිම්ස් තීරුලිපි රචක ඩේවිඩ් බෲක් ඉදිරිපත් කල ආකාරයට, "ඔවුන්ගේ දරුවන් හා මුනුපිරි මිනිපිරියන් මත බර පටවමින්", "තමන් සඳහා වැඩිපුර වියදම් කරවා ගැනීමට" අවශ්‍ය නිසා වියපත්වූවන් සමාජයේ රුහිරු උරාබොන බව අප විස්වාස කරන්නා සේ ය.

ඇමෙරිකානු මූල්‍ය කතිපයාධිකාරිය සමපේක්ෂනය හා පරපෝෂිත මෙහෙයුම් හරහා හැකිතාක් මුදල් ඉපැයීමේ පරමාර්තයෙන් මෙහෙයවන ලද දශක කීපයක් ගෙවා දමා ඇත. එය වනාහි, තමන් විසින් පෝෂනය කරන ලද ආර්ථික අර්බුදය විසින් තම වාසනාව හීන නොකෙරන බවට ධනවතුන්ට සහතික කිරීම පිනිස පසුගිය සිව්වසරේදී අති මහත් අවධානයක් ලබා දුන් කර්තව්‍යයකි.

නමුදු එයට ගෙවිය යුත්තේ වියපත් අය හා දුර්වලයන් මිස බහු මිලියනපති හෙජ් අරමුදල් කලමනාකරුවන් හෝ සංගත විධාකයන් නොවේ. දක්ෂිනාංශික මාධ්‍ය අටුවා ප‍්‍රවාහය ම පදනම් ව ඇත්තේ එහි ජනගහනය වයසට යාම හෝ රෝගී වීම සමාජයට තවදුරටත් දැරිය නොහැකිය යන්න ප‍්‍රශ්න නොකර ම පිලිගැනීම මත ය.

කප්පාදු සඳහා කෙරෙන මෙම ඉල්ලීම් මධ්‍යයේ, 2008 වසරේ මූල්‍යමය බිඳ වැටීමේ පාඩුවලින් දැවැන්ත වසයෙන් ප‍්‍රකෘති තත්වයට පත් වෙමින් එක්සත් ජනපදයේ කොටස් වෙලඳපොල වසර පහක වර්ධනයක් වාර්තා කරයි. ඩොලර් ටි‍්‍රලියන ගනනක් මුදල් කන්දක් මත අමෙරිකානු සංගත හරිබරි ගැසෙමින් සිටියි.

ධනය හා ආදායම් යෝධ ලෙස අසමානව බෙදීයෑම දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතය විසින් සලකන්නේ දිවියේ වෙනස්කල නොහැකි කාරානාවක් ලෙසිනි. පාලක පන්තීන් විසින්් දැවැන්ත ලෙස මුදල් කඳු ගොඩ ගසා ගැනීම පදනම් කෙරී ඇති කොල්ලකාරී මෙහෙයුම කවර හෝ වියදමකින් අඛන්ඩව පවත්වා ගත යුතුය. ලාභයෙන් හා පෞද්ගලික ධනයෙන් සමාජයට ගලා යන ඇල මං වලින් ඉතිරිව පවත්නා සියල්ල, එනම් පශ්චාත්-යුද කාලීන සමාජ හා දේශපාලන පර්යායේ පදනමක් වන සමාජ ප‍්‍රතිසංස්කරන වැඩපිලිවෙල් ඇතුලු සියල්ල විනාශ කිරීම සඳහා ඉලක්ක කර තිබේ.

එවැනි කොන්දේසි කතා කරන්නේ, සමස්ත ඓතිහාසික යුක්තිසහගතභාවය ම අහිමිකරගෙන තිබෙන සමාජ පද්ධතියක්, එනම් ධනවාදය පිලිබඳව ය. මිලියන සංඛ්‍යාත විශ‍්‍රාමික කම්කරුවන් වසර ගනනාවක් තිස්සේ දහදිය වගුරමින් උපයා තිබෙන විශ‍්‍රාමික වැටුප හා සුවාරක්ෂනය මෙම සමාජ පද්ධතියට තවදුරටත් දැරිය නොහැකිය යන කාරනය වයෝවෘධ අයට එරෙහි තර්කයක් නොව ලාභ පද්ධතියට එරෙහි තර්කයකි.

විශ‍්‍රාමික කම්කරුවන්ගේ අවශ්‍යතාවන් සැපිරීමට මෙන්ම, රැකියා, මනා ආදායම්, අධ්‍යාපනය, සුවාරක්ෂනය, සංස්කෘතිය හා අනෙකුත් සමාජ ප‍්‍රතිලාභයන්ට ප‍්‍රවේශය ඇතුලු සමස්ත මහජනතාවගේ අවශ්‍යතා සැපිරීමට සම්පත් අත්කර ගත යුත්තේ, බිලියනපතියන් හා යෝධ සංගත පෙරලා දැමීමෙන් සහ මුදුනේ සිටින ධනවත් පරපෝෂිතයන් අතලොස්සකගේ නොව, සමස්ත ධනය නිෂ්පාදනය කරන වැඩකරන ජනතාවගේ අවශ්‍යතා සැපිරෙන පරිදි ආර්ථික ජීවිතය ප‍්‍රතිසංවිධානය කිරීමෙනි.

පැටි‍්‍රක් මාටින්

Share this article: