මාලි රාජ්‍යයට අත නොතබනු!

Hands off Mali!

15 January 2013

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මාලි රාජ්‍යය තුල ප්‍රන්සය ගෙනයන යුද්ධය අධිරාජ්‍යවාදයේ මංකොල්ලකාරී ක්‍රියාවක් ලෙස හෙලා දකියි. සිය ගනනක් සිවිල් වැසියන් මරා දමා හා තුවාල කරමින් උතුරු මාලිහි නගර වලට මහා පරිමානයෙන් බෝම්බ හෙලීමෙන් පසුව ප්‍රන්ස යුද ටැංකි සමූහයන් අයිවරි කෝස්ට්හි සිට 14දා මාලි රාජ්‍යයට ඇතුල් විය.

ලිබියාව, අයිවරි කෝස්ට් හා සිරියාවෙන් පසුව දෙවසරක් තුල ප්‍රන්සය පහර දුන් සිව්වන රට මාලි ය. ලිබියාව හැර මේ සියලු රටවල් පැරනි ප්‍රන්ස යටත් විජිතය. යුද්ධය තම රටේ "මූලික අවශ්‍යතා” වෙනුවෙන් නොව අල් කයිඩාවෙන් මාලි රටේ "ප්‍රජාතන්ත්‍රය” බේරාගැනිම සඳහා කරන්නක් බවට ජනාධිපති ප්‍රන්සුවා ඔලන්ද් හා අනෙකුත් ප්‍රන්ස නිලධාරීන් කල ප්‍රකාශ නරුම මුසාවන්ය.

සිය අවශ්‍යතා ඉටුකර ගැනිමට මිලිටරි බලය යොදාගනිමින් බටහිර අප්‍රිකාවේ සිය අධිකාරවත් තත්වය යලි පිහිටුවා ගැනීම දෙසට ප්‍රන්ස අධිරාජ්‍යවාදීහු නැඹුරුවී සිටිති.

මාලි යුද්ධය කෙලින්ම ඉස්මතු වන්නේ 2011 ලිබියානු යුද්ධය තුලින්ය. ප්‍රන්සය සටනේ පැටලී සිටින උතුරු මාලිහි කැරලිකාර හමුදාවන්ට ලිබියානු කර්නල් මුවම්මර් ගඩාෆි පෙරලා දමා ඔහු ඝාතනය කිරීමට නේටෝවට උදව් කල අල් කයිඩාවට සම්බන්ධ හමුදා භටයින් ද ලිබියාවේ හමුදාව තුල සේවය කරමින් සිට නේටෝ ජයග්‍රහනයෙන් පසුව මාලි වෙත පලාආ ටුආරෙග් සෙබලුන් ද අයත් වෙති. බැමකෝ අගනුවර අපකීර්තිමත් කුමන්ත්‍රන තන්ත්‍රයට එරෙහි කැරැල්ලට සම්බන්ධ වූ හමුදාව හැරගිය මැලියන් සෙබලුන් ද ඊට අයත්ය.

ගඩාෆිගේ පරාජයෙන් පසුව තමන්ට විවෘත වූ වාසිදායක තත්වය ‍ගසාකෑමට ප්‍රන්ස අධිරාජ්‍යවාදීහු උත්සුක වෙති. ගඩාෆි තන්ත්‍රය විනාශ කර ලිබියාවේ ඩොලර් බිලියන සිය ගනනක් වූ තෙල් සල්ලි බටහිර බැංකු විසින් අත්පත්කර ගැනීමත් සමග ගඩාෆි විසින් අරමුදල් සැපයූ අප්‍රිකාවේ ප්‍රාදේශීය සංවිධාන බිඳ වැටුනු අතර එක්සත් ජනපදය හා ප්‍රන්සය අප්‍රිකාව පුරා වේගයෙන් මිලිටරි කඳවුරු ගොඩනගමින් සිටිති. ප්‍රන්සයේ නේටෝ අනුචරයෝ මාලි රටට ආධාර දෙන බවට පොරොන්දුවී ඇති අතර කොල්ලයේ තම පංඟුව ඩැහැගැනීමට ලොල්ව සිටිති.

පැරිසිය, සිය යුද්ධයේ මූනිස්සම් බවට පත්ව සිටින, බටහිර අප්‍රිකාවේ ධනපති තන්ත්‍රයන්හි කුනුවීමේ වාසිය ද ඩැහැගෙන තිබේ. අයිවරි කෝස්ට් රාජ්‍යය තුල 2011 වසරේ පැවති යුද්ධයෙන් බලයට පත්කරන ලද ජනාධිපති අලසානි ක්වෝටරා මාලිහිදී පැරිසියට උදව් කරයි. ජනාධිපති ඇබ්ඩොලායි වේඩිට එරෙහි විරෝධතාවන්ට එක්සත් ජනපදය හා ප්‍රන්සය සැපයූ පිටුබලයෙන් පසුව පසුගිය වසරේදී බලයට පැනගත් සෙනගාලයේ ජනාධිපති මැකි සෝල් ද මාලි වෙත හමුදා යවනු ඇති අතර නයිජීරියාව, නයිජර් හා ගානාව ද ඒ පසුපස සිටිති.

බටහිර අප්‍රිකානු ධනපති පන්තීන් නව යටත් විජිත පාලනයට දක්වන මෙම යටහත්කමේදී වැදගත් භූමිකාවක් ඉටුකරන්නේ ඇල්ජීරියානු තන්ත්‍රයයි. 1990 ගනන්වල ඇල්ජීරියානු සිවිල් යුද්ධයේදී තමන් සටන් වැද සිටි අල්කයිඩාවට සම්බන්ධ හමුදාවන්ට බියෙන් හෝ 2011දී ටියුනීසියාවේ හා ඊජිප්තුවේ ජනාධිපතියන් පෙරලා දමනු ලැබූ ආකාරයට කම්කරු පන්තියේ පෙරලිකාරිත්වයක් කෙරෙහි ඇති බිය නිසා ඔවුහු තම පැරනි යටත් විජිත පාලකයා සමග ගනුදෙනුවකට බැසගැනීමට උත්සාහ කරති. පසුගිය මාසයේදී ඔලන්ද්ගේ රාජ්‍ය සංචාරය අතරතුර ඇල්ජියර්ස්, ප්‍රන්සය සමග යුරෝ බිලියන ගනනක කොන්ත්‍රාත්තු අත්සන් කලේය. දැන් ඔවුන් මාලි රටේ බෝම්බ දමන ප්‍රන්ස ප්‍රහාරක යානාවන්ට සිය ගුවන් පථය විවෘත කර දී ඇත.

ඉන්ධන අලෙවියෙන් ගොඩගසාගෙන සිටින ඩොලර් බිලියන 200ක මුදල් කන්ද මත වාඩිවී සිටින ඇල්ජීරියානු පාලක පන්තිය ප්‍රන්සය වෙත යෝජනාවක් ඉදිරිපත් කරයි. එනම්, ප්‍රන්ස අධිරාජ්‍යවාදය තම වරප්‍රසාද ආරක්ෂා කරන්නේ නම්, ජනාධිපති ඔල්න්ද්ගේ කම්කරු විරෝධී ප්‍රතිපත්ති දැඩි කිරීමත් සමග දැනට බිඳ වැටෙමින් තිබෙන ප්‍රන්ස පාරිභෝගික වෙලඳ පොලට විකල්පයක් ලෙස ඇල්ජීරියානු වෙලඳපොල පැරිසියට හිමිවනු ඇත.

අප්‍රිකානු ධනපති තන්ත්‍රයන්ගේ ප්‍රතිගාමී ක්‍රියාකලාපය මගින් යලි වතාවක් පෙන්නුම් කර ඇත්තේ, මහාද්වීපය පුරා ද ජාත්‍යන්තරව ද සමාජවාදය සඳහා අරගලයෙන් මෙපිට අප්‍රකානු රටවලට අධිරාජ්‍යවාදයෙන් ස්වාධීන විය නොහැකිය යන්නය.

ඔලන්ද්ගේ සමාජවාදී පක්ෂයෙහි කප්පාදු පිලිවෙත් හා බෙහෙවින් අපකීර්තියට පත්ව සිටි හිටපු ජනාධිපති නිකොලායි සාකෝසිගේ යුද්ධ අඛන්ඩව පවත්වාගෙන යාමට එය ගෙන ඇති තීරනය නිසා මැතිවරන වලදී පරාජයට පත්විය. දැන් එය තමන්ගේම ලේවැකි අධිරාජ්‍යවාදී යුද්ධය දියත් කර තිබේ.

පසුගිය මැතිවරනයේදී ඔලන්ද්ට කොන්දේසි විරහිතව ඡන්දය දිය යුතු බව කියා සිටි වාම පෙරමුන හා නව ධනපති විරෝධී පක්ෂය වැනි සුලු ධනපති පක්ෂ මාලිහි යුද්ධයේ දේශපාලන වගකිමට බැඳී සිටියි. අඛන්ඩව ඔලන්ද්ට දෙන සිය සහයෝගය ඉවත්කර නොගනිමින්ම නව ධනපති විරෝධී පක්ෂය සිය වෙබ් අඩවිය තුල යුද්ධය පිලිබඳව කෙටි හා නොබැරෑරුම් විවේචන පලකොට තිබුනි. දශක ගනනාවක ගමන‍් මගෙහිදී එම බලවේග හා තුන්වන ලේකයේ ජාතිකවාදීන් දැන් අධිරාජ්‍යවාදී යුද්ධයට සහාය දක්වන තරමටම දකුනට ගමන් කොට තිබේ.

එන්ට එන්ටම පැහැදිලිවන කාරනය නම් විජිතහරනයේ අවධිය හුදෙක් ඓතිහාසිකව අන්තර් ප්‍රපංචයක් පමනක් වූ බවයි. අධිරාජ්‍ය විරෝධී අරගලයේ බලගතු රැල්ලක් මුදාහල රුසියානු විප්ලවයේ දේශපාලන පසු කම්පනයන් සමග එය බැඳී තිබුනි. එහෙත් පශ්චාත් සෝවියට් අවධිය දැකගත හැකිවූයේ 1990 ගනන්වල ඉරාකය, සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය තුලත් 2000 ගනන්වල විශේෂයෙන්ම 2011දී ඊනියා "අරාබි වසන්තය” තුල කම්කරු පන්තිය විසින් ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් පහකිරීමෙන් පසුවත් හටගත් යුද්ධ දක්වා වන අධිරාජ්‍යවාදී යුද්ධ මාලාවක් ලෙසය.

1991 තරම් ඈතදීම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සෝසසසං බිඳවැටීමේ ඝෝෂාවට එරෙහිව මෙසේ පුරෝකථනය කලේය. "සිදුවෙමින් ඇති හා පවත්නා ඉරාකය බෙදීම සලකුනු කරන්නේ අධිරාජ්‍යවාදීන් විසින් ලෝකය අලුතෙන් බෙදීමේ ආරම්භයයි. ඊයේ පැවති යටත් විජිත යලිත් ඉලක්ක බවට පත්ව තිබේ. අධිරාජ්‍යවාදයේ අවස්ථාවාදී ක්ෂමාලාපකයින්ට අනුව ඉක්ම ගිය අවධියකට අයත්ව තිබුනු ජයගැනීම හා ඈඳාගැනීම යලි වතාවක් දවසේ න්‍යායපත්‍රය අරක්ගෙන තිබේ.”

පලමු ලෝක සංග්‍රාමයේ සියවන සංවත්සරය දැන් එලඹෙමින් තිබිය දී ලෝකය අත්දකිමින් සිටින්නේ ප්‍රන්ස හා ලෝක අධිරාජ්‍යවාදයේ නව පුපුරා හැලීමකි. කෙසේ වුවත් බටහිර අප්‍රිකවේ පටන් මැද පෙරදිග හා නැ‍ගෙනහිර ආසියාව දක්වා විහිද තිබුනු, මිලියන 100ක ජනතාවක් මත යටත් විජිත වහල්කම පවත්වාගෙන ගිය, සිය සෞභාග්‍යමත් අවධිය වූ විසිවන සියවසේ මුල් අදියරයන් කරා යලි සම්ප්‍රාප්ත වීමක් පැරිසියේ අවසන් අභිලාශය වන්නේය.

ඉස්ලාම්වාදීන්ට එරෙහිව යුද පිටියේදී විසිර යමින් ඇති හමුදාවක් සහිත අපකීර්තිමත් මලියන් තන්ත්‍රයට පැරිසිය දක්වන සහයෝගය හා උතුරු හා බටහිර අප්‍රිකාව පුරා ප්‍රන්සයේ බලය යලි තහවුරු කර ගැනීමේ එහි පුලුල් ආක්‍රමනික පිලිවෙත, ප්‍රන්සය වඩාත් ගැඹුරු ආගාධයක කිඳී යාමක් පමනි.

ප්‍රන්ස අධිරාජ්‍යවාදයට අප්‍රිකාවේ කම්කරුවන් හා පීඩිත ජනතාව මත යටත්විජිත විලංඟුව යලි සවිකිරීමට නොහැකිවාක් මෙන්ම යුද්ධය සඳහා ගෙවීම සඳහා ගෙනයන නිමක් නැති කප්පාදු පිලිවෙත් වලට යුරෝපීය කම්කරු පන්තිය ගැටගැසීමට ද නොහැකිය. මාලි රටට එරෙහි ආක්‍රමනික පියවර ගැනීම මගින් ප්‍රන්සය, විනාශයකින් සංකේතවත් කරන මාවතක් සකසාගෙන තිබේ. දේශපාලනිකව සවිඥානක කම්කරුවන්ගේ ආදර්ශ පාඨය විය යුත්තේ- ප්‍රන්ස හමුදා අප්‍රිකාවෙන් පිටවනු! යන්නයි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: