සෞදි අරාබිය ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාව ගෙල සිඳ මරා දමයි

Saudi Arabia executes young Sri Lankan housemaid

By Vilani Peiris, 11 January 2013

ගෘහ මූලිකයාගේ බිලිඳු දරුවා ඝාතනය කිරීම පිලිබඳ චෝදනාවට ලක්කර සිටි 24 හැවිරිදි ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවක වු රිසානා නාෆීක් පසුගිය 09 දින සෞදි අරාබි බලධාරීන් විසින් ගෙල සිඳ මරා දමනු ලැබී ය.

නාෆීක් චෝදනා ප‍්‍රතික්ෂේප කරයි. ශ‍්‍රී ලංකාවේත් ජාත්‍යන්තරවත් ඇය මුහුන දුන් අවාසනාවන්ත තත්වය පුලුල් ලෙස හෙලා දැක තිබේ. මෙම ඝාතනය පෙන්නුම් කරන්නේ හුදෙක් සෞදි තන්ත‍්‍රයේ ප‍්‍රතිගාමී ස්වභාවය පමනක් නොව මැදපෙරදිග සේවයේ නියුතු ලක්ෂ ගනනක් සංක්‍රමනික කම්කරුවන්ගේ ඉරනම සම්බන්ධයෙන් ආන්ඩුව දක්වන නොතැකීමයි.

විදේශ අමාත්‍යාංශය ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් සංකේත හෙලා දැකීමේ නිවේදනයක් නිකුත් කලේය. "මෙරට මෙන්ම ලෝකය පුරා ජනතාව පල කල විරෝධය හා ආන්ඩු මට්ටමින් දරන ලද ඉහලම ප‍්‍රයත්නය නොතකා හරිමින් සිදු කල රිසානාගේ ඝාතනය අපි හෙලා දකිමු.” යනුවෙන් එය ප‍්‍රකාශ කලේය. පාර්ලිමේන්තුව 09දා විනාඩියක නිෂ්ශබ්දතාවක් පවත්වා ඉන්පසු අනෙක් ගනුදෙනුවලට බැසගත්තේ ය.

යථාර්ථය නම් රාජපක්ෂ ආන්ඩුව නෆීක්ගේ නීතිමය ආරක්ෂාව වෙනුවෙන් ආධාර කිරීමට කිසිදු උත්සාහයක් නොගත් බවයි. 2007 වර්ෂයේ දී සෞදි අධිකරනය ඇයට මරන දර්ඬුවම පැනවීමෙන් පසුව පවා අභියාචනයක් සඳහා මූල්‍යමය ආධාරදීම ආන්ඩුව විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී. විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන ආමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල "සෞදි අරාබියේ අභ්‍යන්තර නීති උල්ලංඝනය නොකිරීම වැදගත්” යයි පැවසීය. ආන්ඩුවේ ප‍්‍රමුඛතාවය යොමුවන්නේ සෞදි තන්ත‍්‍රය සමග හොඳ හිත පවත්වා ගැනීම හා සංක‍්‍රමනික කම්කරුවන්ගෙන් මෙරටට ගලා එන විදේශ විනිමය සුරක්ෂිත කර ගැනීමටත් ය.

නාෆීක් නැගෙනහිර පලාතේ දිලිඳු පවුලක උපත ලත් තරුනියකි. මැදපෙරදිග රැකියාවට 2005 වර්ෂයේ දී පිටත්ව යන විට ඇය අවුරුදු 17ක බාලවයස්කාරියක් වූවා ය. රැකියාව ලබාගැනීමට සුදුස්සියක් වීමට නම් වයස වෙනස් කල යුතු බවට රැකියා නියෝජිතයා ඇය පොලඹවා තිබුනි. ගෘහ සේවිකා රැකියාවක් ඇයට කලින් පොරොන්දුවී තිබුන ද බල කරන ලද්දේ පෙර පුහුනුවීම්වලින් තොරව කුඩා බිලිඳකු රැකබලා ගැනීමටයි. එහෙත් සති කිහිපයකට පසුව අයට සිදුවූයේ තමා බෝතලයෙන් කිරී පොවමින් සිටි දරුවාගේ මරනය වෙනුවෙන් චෝදනා ලැබීමටයි.

සෞදි අධිකරනය ඇයට විරුද්ධ චෝදනා ගොනු කරනු ලැබුවේ පොලිසිය විසින් ලබාගත් ඊනියා පාපොච්චාරනයක් පදනම් කරගෙනය. ඇයට උසාවිය ඉදිරියේ පෙනී සිටීමට සිදු වූයේ නිතීඥයෙකුගේ හෝ වෘත්තීය පරිවර්ථකයෙකුගේ ආධාරය නොමැතිවයි. ආසියානු මානව හිමිකම් කොමිසමේ දායකත්වයෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ ගොනු කෙරෙනු අභියාචනයේ දී ඇය පැවසුවේ තමාගේ පෙර පාපොච්චාරනය සිරගත කර සිටිය දී එල්ල වූ තර්ජන හමුවේ සිදු කල එකක් බවයි. කිරි පෙවීම සිදු කරන අතරතුර ලදරුවාගේ කිරි හිරවූ අතර අයට බිලිඳාව බේරා ගැනීමට නොහැකි වූ බව ඇය පැවසුවාය. ශ්‍රේෂ්ඨාධිකරනය ඇයගේ අභියාචනය ප‍්‍රතික්ෂේප කරන ලද අතර ඇයට නියමව තිබූ මරන දඬුවම අනුමත කරන ලදී. සිද්ධිය වන අවස්ථාවේ ඇගේ වයස යන්තම් අවුරුදු 17 ක් වීමේ කාරනය උසාවිය විසින් නො තකා හරින ලදී.

නාෆික්ට ආධාර කිරීමේ රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රයත්නය, අමාත්‍යාංශ නියෝජිතයින් හා ආන්ඩුවේ නිලධාරීන් සෞදියට කල සංචාර කිහිපයකටත්, සිරගතව සිටින දුව බැලීමට දෙමාපියන් එහි රැගෙන යෑමට හා සෞදි රජුට රාජපක්ෂ කල ඉල්ලීමට සීමා විය. මෙම පියවරයන්ගේ ප‍්‍රධාන එල්ලය වූයේ නාෆීක්ගේ මරන දන්ඩනය සම්බන්ධයෙන් පල වන විවේචන හා කොලඹදී සිදුකරන විරෝධතා වාෂ්ප කර දැමීමයි.

අන්තීම මොහොත දක්වාම, සෞදි බලධාරීන් සමග කල සාකච්ජා හේතුවෙන් රිසානා නාෆික්ට සමාව ලැබෙන බවට ආන්ඩුව බොරු දෙසා බෑවේ ය. ශ‍්‍රි ලංකාෙවේ සෞදි තානාපතිට අනුව නාෆික්ට ”සමාව ලැබෙන්ට යන බව” ආන්ඩුවේ ඬේලි නිව්ස් ජනවාරී 05 දා වාර්තා කලේ ය. නාෆික්ගේ ඝාතනයෙන් පසුව, ජනාධිපති රාජපක්ෂ හා ආන්ඩුව ඇයට සමාව ලබා ගැනීමට කල හැකි සියල්ල කල බව අධිකරන ඇමති රාව්ෆ් හකීම් ප‍්‍රකාශ කලේ ය.

”ශ‍්‍රී ලංකාවේ අහිංසක තරුන කාන්තාවගේ මරනය සම්බන්ධයෙන් ප‍්‍රධාන වගකිව යුත්තා වන්නේ එරට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා” බව තරයේ කියා සිටින අතර ”ඔහුගේ කාර්යාලය සහ ඔහු නායකත්වය දෙන ආන්ඩුව නිර්ලජ්ජිත ලෙස මෙම අසරන කාන්තාවගේ ජීවිතය පිලිබඳ කාරනය නො තකා හැරියා.” යනුවෙන් ආසියා මානව හිමිකම් කොමිසම ආන්ඩුවට චෝදනා කලේ ය. ”සිද්ධියට අදාල නොවටිනා ප‍්‍රකාශ නිකුත් කිරීම හැර කිසිවක් සිදු කලේ නැත”යි ද මැදිහත් වන ලෙසට ශ‍්‍රි ලංකා අන්ඩුවෙන් කල ඉල්ලීම් නොතකා හැරි බව ද කොමිසම ප‍්‍රකාශ කලේ ය.

එක්සත් ජනපදයේ හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ පරීක්ෂකවරයෙක් ප‍්‍රකාශයක් නිකුත් කරමින් "ලදරුවා මරුමුවට පත් වන විට රිසානා ද ලමයෙක්... ලෝකයේ අන් ඕනෑම තැනකදී මෙන්ම ලමා වරදකරුවන්ට කිසිදාක මරන දන්ඩනය නියම කල නො හැකිය යන්න සෞදි අරාබිය පිලිගත යුතු ය.”

වයස අවුරුදු 18 අඩු ලමුන් සිදුකරන අපරාධවලට මරන දඬුවම පැනවීම තහනම්වන බව ප්‍රකාශිත ලමා අයිතිවාසිකම් පිලිබඳ සම්මූතියේ වගන්ති සෞදි අරාබිය විසින් උල්ලංඝනය කර ඇති බව හියුමන් රයිට් වොච් ප‍්‍රකාශය අවධාරනය කරයි. සෞදි ආරාබිය නිල වශයෙන් මෙම සම්මුතීන් පිලිගෙන ඇතත්, එය ඉස්ලාම් නීතිය සමග ගැටෙන අවස්ථාවලදී වෙනස් ලෙසකින් කටයුතු කිරීමේ ඉඩ විවෘතව තබාගෙන සිටී. හියුමන් රයිට් වොච් සංවිධානයට අනුව ගිය වසරේ දී සෞදි බලධාරීන් විසින් 69 දෙනෙකු මරා දමා තිබේ.

ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් (ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය) වාර්තා කරන ආකාරයට වසරක් පාසා සෞදි අරාබියේ දී ඝාතනය කරන ලද ජනතාවගෙන් අඩක්ම සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්වල ජනතාවය.

මිලියන ගනනක් වන විදේශ කම්කරුවන්ගෙන් බහුතරය දකුනු ආසියාවේ සිට සෞදි අරාබියට පැමිනෙන අතර ඔවුන්ට සෞදි නීතිය යටතේ ඇත්තේ සුලු අයීතීන් කිහිපයක් පමනකි. ඔවුහු නිතරම කෙනහිලිකම්වලට ලක් වෙති. නියමිත වැටුප් නොලබති. නිවාසවල මෙහෙකරුවන් ලෙස සේවය කරන තරුන කාන්තාවන්ට වහලුන්ට මෙන් සලකන අතර පැය ගනන් වැඩ කිරීමටත් මානසික වේදනාවන්ට හා ශාරීරික අපචාරයන්ට මුහුන දීමටත් බල කෙරී ඇත. කම්කරුවන්ගේ ශ‍්‍රමයෙන් ගලා එන විදේශ විනිමය සඳහාත් සෞදි තන්ත‍්‍රය සමග හොඳහිත පවත්වා ගැනීම සඳහාත් දකුනු ආසියාවේ ආන්ඩු නිහඬ පිලිවෙතක් අනුගමනය කරති.

ගෙවුම් ශේෂ අර්බූදයකට මුහුන දී සිටින ශ‍්‍රී ලංකා ආන්ඩුව රටේ ප‍්‍රධාන විදේශ විනිමය මාර්ගයක් වන මැදපෙරදිග කම්කරුවන්ගෙන් ලැබෙන මුදල් ගලාඒමට කිසියම් හෝ බාධාවක් ඇතිවීම වැලැක්වීමට වියරු සහගතව සිටී. මැදපෙරදිගින් ගලා එන මුදල් 2012 අවසානයේ දී පෙර නොවූවිරු ආකාරයට ඩොලර් බිලියන 6 ක මට්ටම ඉක්මවා යනු ඇතැයි ඩේලි නිව්ස් පත‍්‍රය ජනවාරී 02 දා වාර්තා කලේ ය. පසුගිය වසරේ පලමු මාස 8 ආදායම ඩොලර් බිලියන 3.9 ක් වු අතර එය "දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 8.2 කටත් ආන්ඩුවේ ආදායමෙන් සියයට 25 කට හා විදේශ හුවමාරු ආදායමෙන් සියයට 35 කට සමාන වන” බව ඩේලි නිව්ස් වැඩිදුරටත් පවසයි.

Share this article: