ආන්ඩුවේ ”සපිරි පාසල්” වැඩසටහන නිදහස් අධ්‍යාපන අයිතියට එල්ල කෙරුනු ප‍්‍රබල ප‍්‍රහාරයක්

By Socialist Equality Party Teachers section, 28 January 2013

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත 2012 ජනවාරියේ ආරම්භ කෙරුනු රාජපක්ෂ ආන්ඩුවේ ”සපිරි පාසල්” වැඩසටහන කම්කරු පීඩිත මහජනතාව සටන් කර දිනා ගත් නිදහස් අධ්‍යාපන අයිතිය මුලූමනින්ම උදුරා ගැනීම එල්ල කර ගත් අති මූලික ප‍්‍රහාරයකි. ”ගුනාත්මක බවින් සපිරුනු” ද්විතීයික පාසැල් හෙවත් ”සපිරි පාසල්” සමූහයක් ගොඩ නැගීම තම අරමුන බව පවසමින් අධ්‍යාපන අමාත්‍යංශය දියත් කොට ඇති මෙම වැඩපිලිවෙලට රට පුරා ද්විතීයික පාසල් 1,400 ක් තෝරා ගෙන ඇති අතර එම පාසල්වල මෙතෙක් පැවති ප‍්‍රාථමික අංශ ක‍්‍රමානුකූලව ඉවත් කෙරේ. මීට අමතරව එක් එක් සපිරි පාසලට යාබද පාසල් 5 ක් එම පාසලේ ”පෝෂක පාසල්” ලෙස නම් කොට එම පාසල්වල 6 වසරෙන් ඉහල පන්ති ඉවත් කර ප‍්‍රාථමික පාසල් බවට කප්පාදු කෙරෙමින් පවතී.

පාසල් නඩත්තු කිරීමේ මුලු බර දෙමාපියන් මත පැටවීම ව්‍යාපෘතියේ එල්ලය බැව් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති 2012-15 චක‍්‍රලේඛය මගින් මනාව පිලිබිඹු වේ. ආරම්භයේදී ලබා දෙතැයි පැවසෙන රුපියල් ලක්ෂයක් වැනි සොච්චම් නඩත්තු මුදල ”දෙතුන්ගුනයක ප‍්‍රබල වටිනාකමක් ඇති ආයෝජනයක් බවට පත් කිරීමට” එක් එක් පාසලේ ”විදුහල්පතිවරයා ප‍්‍රමුඛ අදාල පාර්ශ්වයන්ගේ” කැපවීම ”අනිවාර්ය” බව චක‍්‍රලේඛය පවසයි. මෙම ”අදාල පාර්ශ්වයන්” යනු ප‍්‍රමුඛ වශයෙන්ම දෙමාපියන් වන අතර ඔවුන් විසින් දැනටමත් දරන නඩත්තු බර මෙම චක‍්‍රලේඛය හරහා නිල වශයෙන්ම දෙමාපියන් මත පැටවේ.

2012 වසරේදී සපිරි පාසැල් සියල්ලට මෙම ලක්ෂයක මුදල ලබා දෙන නමුත් ඉදිරියට ලබා දෙන මුදල නිර්නය කරනු ලබන්නේ පාසල හා පාසල් ප‍්‍රජාව එම මුදල් භාවිතයට ගෙන ඇති ඵලදායිතාව අනුව බවත් චක‍්‍රලේඛය තවදුරටත් පවසයි. මේ අනුව රුපියල් ලක්ෂයක් වූ මෙම සොච්චම් වාර්ෂික දීමනාව පවා දෙනු ලබන්නේ පෙර වර්ෂයේ කරන ලද ආයෝජනයේ ”කාර්ය සාධනය”, නැතහොත් ඵලදායිතාව, ”සියයට 95 ට වැඩි පාසල් වලට පමනි. ‘සියයට 50 කට අඩු ප‍්‍රගතියක් පෙන්නුම් කරන පාසල් ’ වලට කවර හෝ මුදලක් ප‍්‍රදානය නොකෙරේ. දුගී දෙමාපියන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන ගම්බද හා නගරබද පාසල් බොහොමයක් සියයට පනහේ ‘කාර්ය සාධනය’ සඳහා අපොහොසත් වන බැවින් කවර හෝ ප‍්‍රතිපාදනයක් ලබා නොදී එම පාසල් වසා දැමීම මෙම ගොරතර ප‍්‍රහාරයේ අරමුනයි.

මේ අතර පෝෂක පාසල් වශයෙන් නම් කරන පාසල්වල කප්පාදු කෙරෙන ඉහල පන්තිවලට සමාන ඉඩ ප‍්‍රස්තාවන් සපිරි පාසල තුල ස්ථාපිත කිරීමට කවර හෝ සැලසුම්ගත වැඩපිලිවෙලක් ආන්ඩුව විසින් යොදා නොමැති බව චක‍්‍ර ලේඛයෙන්ම අනාවරනය වේ. එයට අනුව ශිෂ්‍යයන්ට ඉඩකඩ සපුරා දීම පලාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ වගකීමකි. ගොඩනැගිලි, ලි බඩු සහ අනෙකූත් උපකරන දැවැන්ත ලෙස ආවශ්‍යක කෙරෙන මෙම ඉලක්කය එදා වේල පිරිමසා ගන්නා ක‍්‍රමයකින්, එනම් පාසල් අතර සම්පත් හුවමාරු ක‍්‍රමයකින් විසඳා ගන්නා ලෙස ආන්ඩුව අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දෙයි. සපිරි පාසල තුල පලමු අදියර ලෙස විද්‍යාගාරයක්, පරිගනක කාමරයක් හා වැඩ කාමරයක් අන්තර්ගත දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිවන බව පැවසුව ද බොහොමයක් සපිරි පාසල් තුල මෙතෙක් මෙම පලමු අදියරේ ගොඩනැගිල්ල පවා ඉදිකර නොමැත.

පසුගිය දශක කීපය පුරා විවිධ ආන්ඩු මගින් අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල කි‍්‍රයාත්මක කල සෑම ව්‍යාපෘතියක්ම එල්ල කෙරී පැවතුනේ අධ්‍යාපන වියදම් කප්පාදු කිරීමට බැව් මහජනතාව අත් දැකීමෙන්ම දන්නා කරුනකි. ආන්ඩුවේම සංඛ්‍යා ලේඛන මගින් මෙම කප්පාදුවේ පරිමාව පෙන්නුම් කරයි. 1997 දී 10,358 ක් වූ රජයේ පාසල් සංඛ්‍යාව 2011 වන විට 9,731 දක්වා කප්පාදු කෙරී ඇති අතර ඉතිරිව පවතින පාසල් 9,500 ක් පමන ප‍්‍රමානයෙන් සිසුන් 2,500 ට වැඩි පාසල් ඇත්තේ 187 ක් පමනි. ඒ අතර සිසුන් 50 අඩු පාසල් 1,552 කි. සමස්ත පාසල්වලින් සියයට 25 ක පලමු වසරට ඉදිරිපත් වන අයදුම්පත් සංඛ්‍යාව 10 ට අඩු වී තිබේ. රටේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 72 ක් තුල උසස් පෙල විෂය ධාරා සහිත එක් පාසලක් හෝ නොමැත.

පාසල් අතර පවත්නා මෙම අසමානතාවය නව ව්‍යාපෘතිය මගින් වඩාත් ගැඹුරු කෙරී සාපේක්ෂ වශයෙන් සම්පත් ඇති ”ජනපි‍්‍රය” පාසල් වල පලමු වසරට, හය වසරට සහ උසස් පෙලට ලමුන් ඇතුලත් කර ගැනීම සඳහා ඇති තරගය තව දුරටත් උග‍්‍ර කෙරේ. නිසි ගමනාගමන පහසුකම් නො මැති ගම්බද ප‍්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපනය සඳහා එම ප‍්‍රදේශයන්හි ස්ථාපිත කොට තිබූ පාසල් විශාල සංඛ්‍යාවක් ප‍්‍රාථමික පාසල් බවට පත්වන තතු යටතේ ද්විතීයික හා උසස් අධ්‍යාපනය සඳහා ඔවුනට ඇති අවස්ථා තවදුරටත් සීමා කෙරෙනු ඇත. එසේම පාසල් විශාල සංඛ්‍යාවක් වසා දැමීම හා කප්පාදු කිරීම හේතුවෙන් ගුරුවරුන්ගේ රැකියා ද අවදානමට ලක් කෙරේ.

2013 ජනවාරි නව පාසල් වර්ෂය ආරම්භයත් සමග ම සපිරි හා පෝෂක ලෙස නම් කෙරුනු පාසල් බොහොමයක දෙමාපියන් මෙම ප‍්‍රහාරයට එරෙහිව නැගී සිටියහ. මහනුවර දිස්ති‍්‍රක්කයේ වරාපිටිය ජාතික පාසලේ දෙමාපියන් උද්ඝෝෂනයේ යෙදුනේ එහි ප‍්‍රාථමික අංශය කුන්ඩසාලේ මහා විද්‍යාලයේ ”ගරා වැටුනු ගොඩනැගිලි” තුලට ගෙන යාමට එරෙහිවය. මේ අතර කටුගස්තොට නුගවෙල බාලිකා විද්‍යාලයේ දෙමාපියන් එම පාසල වෙනත් පාසල් සමග ඒකාබාද්ධ කිරීමට එරෙහිව විරෝධතා දැක්වූහ. හලාවත කොස්වාඩිය සරස්වතී විද්‍යාලයේ දෙමාපියන් දහසක් පමන එම පාසලේ 6 වසරට සිසුන් ඇතුලත් කර නොගැනීමටත් සාමාන්‍ය පෙල දක්වා පවතින තම පාසල ප‍්‍රාථමික පාසලක් කිරීමටත් එරෙහිව පාසල ඉදිරිපිට හලාවත කොලඹ මාර්ගය හරස් කොට උද්ඝෝෂනයේ යෙදුනු අතර පසුගිය සිකුරාදා කුරුනෑගල බිංගිරිය සරනංකර ජාතික පාසලේ දෙමාපියන් ද එහි ප‍්‍රාථමික අංශය ඉවත් කිරීමට එරෙහිව උද්ඝෝෂනයේ යෙදුනි.

විරෝධතා පැන නැගි පාසල්වලට මැදිහත් වූ එම බල ප‍්‍රදේශ නියෝජනය කරන ආන්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු, පලාත් සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් විසින් දෙමාපියන්ට දෙන ලද බොරු පොරොන්දු මත මෙම විරෝධතා වලින් සමහරක් තාවකාලිකව නතර කෙරී ඇති නමුදු ව්‍යාපෘතියට එරෙහිව දිවයින පුරා විරෝධතා වර්ධනය වත්ම අධ්‍යාපන ඇමති බන්දුල ගුනවර්දන පැවසුවේ යම් පාසලක දෙමාපියන් තම පාසල සපිරි පාසලක් බවට පත් කිරීමට විරුද්ධ වන්නේ නම් එය ව්‍යාපෘතියෙන් ඉවත් කරන බවයි. තර්ජනාත්මක ස්වරයෙන් ගුනවර්දන මේ පවසන්නේ සපිරි පාසල් වලට ලබා දෙතැයි කියන සොච්චම ද එම පාසල් වලට ලබා නොදෙන බව හා දෙමාපිය විරෝධය නොතකා ව්‍යාපෘතිය ඉදිරියටම ගෙන යන බවයිි.

මේ අතර සපිරි පාසල් ව්‍යාපෘතිය ඇතුලු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ”සංවර්ධනය” සඳහා අධ්‍යාපනයට වෙන් කෙරෙන මුදල සියයට 15කින් වැඩි කර ඇති බැව් 2013 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති රාජපක්ෂ ගැසූ පම්පෝරිය අමූලික ප්‍රෝඩාවක් බැව් ආසියාවේ ආන්ඩුවලට හා සංගතවලට අයත් ආයතන පිලිබඳ මූලෝපායික විශ්ලේෂක කන්ඩායමක් වන වෙරිතේ පර්යේෂකයෝ (Verité Research) වාර්තා කරති. අයවැය කතාවේ දී රුපියල් බිලියන 177.6ක් අධ්‍යාපනයට වෙන් කරන්නේ යයි ඔහු කියා සිටියත් අවසානයේ වෙන් කෙරී ඇත්තේ රුපියල් බිලියන 163.4ක් බවද එය සියයට 5.9 ක වැඩිවීමක් පමනක් බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. රුපියලේ අවප‍්‍රමානය ද භාන්ඩ හා සේවාවන්හි අධික මිල ඉහල යාම ද හේතුවෙන් ඇතිවන හානිය පූරනය කිරීමටවත් මෙම සොච්චම් වැඩි කිරීම නොසෑහේ.

රාජපක්ෂ ආන්ඩුව විසින් ක‍්‍රියාවට නගා ඇති අධ්‍යාපනය ඇතුලු සමාජ සුභසාධන වියදම් කප්පාදුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත සිදු කෙරෙන්නක් වන අතර එය 2008 න් ආරම්භ වී බිඳ වැටීමක් කරා ගමන් කරන ධනේශ්වර අර්බූදයේ බර කම්කරු පීඩිත මහජනයා මත පැටවීම සඳහා තම ජාත්‍යන්තර පාලක පන්තීන් ගෙන යන ලෝක පරිමාන වැඩපිලිවෙලේ අත්‍යන්ත කොටසකිි.

මේ වසරේ විසර්ජන පනතේ දැක්වෙන පරිදි අර්බුදයේ වෙලී සිටින රාජපක්ෂ ආන්ඩුව ආපසු ගෙවිය යුතු නය ප‍්‍රමානය රුපියල් බිලියන 1,154ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 26ක ඉහල යාමකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග අනුයමින් ආන්ඩුව 2012 දී දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.2ක් වන අයවැය පරතරය මේ වසරේ දී සියයට 5.8 දක්වා අඩුකිරීම සඳහා කැප වී සිටී.

නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය ඇතුලු සමාජ අයිතීන් ද ඒවා රැකගැනීම සඳහා ඉදිරියට එන කම්කරුවන් ඇතුලු මහජනතාවන්ගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන්ට ද එල්ල කරන බරපතල ප‍්‍රහාරයකින් තොරව මූල්‍ය අරමුදලේ එම ඉලක්කයන් කරා ආන්ඩුවට යා නො හැක.

ජනාධිපති රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත්කර ගැනීමෙන් අනතුරුව අධිකරනය ද තම අනසකට යටත් කරගැනීමට පියවර ගනු ලැබුවේ කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි මෙම ප‍්‍රහාරය සඳහා සමස්ත රාජ්‍ය යන්ත‍්‍රනය ම සූදානම් කරගැනීමේ අටියෙනි.

නිදහස් අධ්‍යාපනය වනසා දමා අධ්‍යාපනය පුද්ගලිකකරනය කිරීම ඇතුලු කම්කරු-පීඩිත මහජනතාවගේ සමාජ හා ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතීන්ට එල්ල කරන මෙම ප‍්‍රහාරයන් පරාජය කලහැක්කේ රාජපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන ප‍්‍රතිප‍්‍රහාරයක් දියත් කිරීම හරහා පමනි. ඒ සඳහා කම්කරු පන්තියේ ස්වාධීනත්වය අත්‍යවශ්‍ය වන අතර එය වැලැක්වීමේ අරමුනෙන් නිදහස් අධ්‍යාපනය වැනසීමේ පිඹුරුපත් සැකසූ එක්සත් ජාතික පක්ෂය පසුපස සියලූ මහජන විරෝධයන් ගාල් කිරීමට තතනන නව සම සමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම සංවිධාන හා ඒවායේ ක‍්‍රියාමාර්ග කම්කරු පන්තිය හා පීඩිත ජනයා විසින් ප‍්‍රතික්ෂේප කල යුතු ය.

ජනතා විමුක්ති පෙරමුනත් එයින් කැඞීගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් සපිරි පාසල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉඳ හිට දක්වන විරුද්ධත්වය නිශ්ශබ්දතාවයකට වෙනස් වන්නේ මඳ වශයෙනි. ජවිපෙ කම්කරු පන්තියට එරෙහිව මර්දන යන්ත‍්‍රනය සූදානම් කිරීමේ ප‍්‍රධාන මාධ්‍යය වූ සිවිල් යුද්ධයේ ප‍්‍රධාන උද්ඝෝෂකයකු වූ අතර අධ්‍යාපනය ඇතුලූ සුබසාධන කපා දමා යුද වියදම් දැවැන්ත ලෙස ඉහල දැමූ යුද අයවැය සියල්ලටම ඡුන්දය දුන්හ. ඉන් නොනැවතී කප්පාදුවලට එරෙහිව පැන නැගුනු අරගල යටපත් කිරීමට ද පූර්න පිටුබලය ලබාදුන් මොවුන් ආන්ඩුව එල්ල කරන මෙම ප‍්‍රහාරවලට වගකිව යුතු අතර නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ අරගලයේදී ඔවුනගේ වාගාලාප මත කිසිදු විශ්වාසයක් නො තැබිය යුතුය.

මෙම අරගලයේ දී කම්කරු පන්තිය ඉදිරියේ ඇති අනෙක් ප‍්‍රධාන බාධකය වන්නේ හාම්පුතුන්ගේ පොලිස්කාරයින් ලෙස කම්කරු පන්තිය තුල ක‍්‍රියාත්මක වන වෘත්තීය සමිති සංවිධාන යි. මෙම ප‍්‍රහාරයන් ධනේශ්වර පද්ධතියේ අර්බුදයෙන් ගලා එන බව වහංගු කොට ආන්ඩුවට බලපෑම් දැමීමේ සීමාව තුල කම්කරු පන්ති අරගල සිරකොට ධනේශ්වර පක්ෂවලට හා පෙරමුනුවලට කම්කරු පන්තිය බැඳ තැබීම සඳහා දැනුවත්ව ක‍්‍රියාත්මක වන මෙම සංවිධාන කම්කරු පන්ති ව්‍යාපාරය තුලින් පලවා හැරිය යුතු ය.

මෙහි ප‍්‍රමුඛ නියෝජිතයෙක් වන ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටැලින් පසුගිය 22 දා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ ආන්ඩුවේ සපිරි පාසල් වැඩපිලිවෙලට එරෙහිව සියලු විරුද්ධ පක්ෂ, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හා මහජනයා පෙරට ආ යුතු බව කියා ය. මෙහි අර්ථය වන්නේ මහජනයා අතර එම වැඩපිලිවෙලට එරෙහිව වැඩෙන විරුද්ධත්වය යලිත් වරක් මහජන පෙරමුනක් තුල වාෂ්ප කර දැමීම යි.

සැමට නිදහස් හා ගුනාත්මක අධ්‍යාපනයක් සඳහා බිලියන ගනන් මුදල් වෙන් කල යුතු අතර එය කල හැක්කේ අධ්‍යාපනය ලාභ ලබන කර්මාන්තයක් බවට පත් වී ඇති ධනපති ක‍්‍රමය යටතේ නොව සමාජ අවශ්‍යතා සඳහා නිෂ්පාදනය හා බෙදාහැරීම සිදු කරන සමාජවාදී සමාජ ක‍්‍රමයක් යටතේ පමනි. මහා බැංකු හා ව්‍යාපාර කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කරන කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා කම්කරුන් පීඩිත මහජනයා සටන් කල යුතු යයි සමාජවාදී සමානතා පක්ෂය (සසප* කියා සිටී.

මෙම වැඩපිලිවෙල සඳහා සටන් කිරීම සඳහා ගුරු සිසු හා දෙමාපිය ක‍්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් තම අරගලය සඳහා අවශේෂ කම්කරු පීඩිත මහජනයා ඒකාබද්ධ කරගැනීමට පෙරට එන ලෙස සසප සියලු හිතන මතන ගුරුවරුන්ට හා, දෙමාපියන්ට කැඳවුම් කර සිටී.

Share this article: