යාපනයේ රැස්වීම තහනම් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය ගත් පියවර ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය හෙලා දකියි

Sri Lankan SEP condemns defence ministry ban on Jaffna meeting

By the Socialist Equality Party (Sri Lanka), 25 January 2013

සමාජවාදී සමානතා පක්ෂයේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ප්‍රහාරයක් එල්ල කරමින් ආරක්ෂක අමාත්‍යංශය, පසුගිය 20දා යාපනයේ පැවත්වීමට නියමිතව තිබූ සසප ප්‍රසිද්ධ රැස්වීම අවලංගු කිරීමට නීති විරෝධීව, වීරසිංහම් ශාලාවේ කලමනාකරනය මෙහෙයවී ය. කෙසේ නමුත් සසප ශාලාවෙන් පිටත රැස්වීම පැවැත්වී ය. ““මිලිටරි තර්ජන නොතකා සසප යාපනයේ රැස්වීම පවත්වයි””( ලිපිය බලන්න)

දෙමල, සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් පොතක් ලෙස මෑත දී ප්‍රකාශයට පත් කල ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් යන ඉදිරිදර්ශන ලියවිල්ල හඳුන්වාදීමේ ප්‍රසිද්ධ රැස්වීම සසප හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ විසින් සංවිධානය කරන ලදී. යාපනයේ රැස්වීම ලියවිල්ල පිලිබඳ සසප සංවිධානය කරනු ලබන දේශන මාලාවකින් එකකි.

ආරක්ෂක අමාත්‍යංශය යාපනයේ සසප රැස්වීම් අවහිර කල දෙවන වතාව මෙයයි. සියලු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කිරීමට බලකරමින් පක්ෂයේ දේශපාලන උද්ඝෝෂනයෙහි කොටසක් ලෙස පසුගිය ජනවාරියේ දී සංවිධානය කල ප්‍රසිද්ධ රැස්වීම සඳහා ශාලාව ලබා නොදෙන ලෙස ඔවුහු වීරසිංහම් ශාලාවේ කලමනාකරනයට බල කලේය.

පක්ෂය විසින් ජනවාරි 20දා රැස්වීම සඳහා ශාලාව වෙන් කර ගෙන තිබුනේ දෙසැම්බර් මාසයේ දී ය. සසප සාමාජිකයන් යාපනය හා වෙනත් තැන්වල දේශනය සඳහා පුලුල් උද්ඝෝෂනයක් ගෙන යමින් සිය ගනනක් පෝස්ටර් ඇල වූ අතර ලෝක සමාජවාදී වෙබ් අඩවියේ දෙමල හා සිංහල භාෂා වෙබ් අඩවිවල දැන්වීම් ද පල කලේ ය. අවසාන මොහොත වෙන තුරු රැස්වීමට කිසිදු නිල හෝ නොනිල විරුද්ධත්වයක් පලවී තිබුනේ නැත.

පසුගිය 19දා උදේ වීරසිංහම් ශාලාවේ සේවකයෙකු සසපට පැවසුවේ 513 දරන බලඇනියේ හමුදා නිලධාරියෙකු වන මේජර් ජයසූරිය සසප රැස්වීම සඳහා ශාලාව වෙන්කිරීම අවලංඟු කරන ලෙස කලමනාකරනයට උපදෙස් දී ඇති බව යි. සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් අදාල බලඇනියෙන් මේ පිලිබඳව විමසූ විට ස්ථාන භාර නිලධාරී ඔහුට පැවසුවේ එවැනි නිලධාරියෙකු එහි නොමති බවත් රැස්වීම අවලංගු කිරීම සමග තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ය.

ඉන් පසුව වීරසිංහම් ශාලවේ සමුපකාර සමිති සභාපති ආර්. රාජරාම් සසපට දැන්වූයේ තමන්ට ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝගයක් ලැබී ඇති බවකි. සෙබලුන් දෙදෙනෙක් සිය කාර්යාලයට පැමිනි බව ඔහු පැවසීය. “ඔවුන් සීඩීඑම්ඒ ජංගම දුරකථනයක් මා අතට දී ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙකු අමතන ලෙස පැවසුවා. ඇමතුමක් ගත් පසුව රැස්වීම සඳහා ශාලාව ලබා නොදෙන ලෙස ඔවුන් මාහට පැවසුවා.”

මේ පිලිබඳව පක්ෂයට ලිඛිත පැහදිලි කිරීමක් දෙන ලෙස ඉල්ලූ විට රාජරාම් මුල දී එයට එකඟ වූ නමුත්, සසප නීතිමය පියවරක් ගත හොත් ආරක්ෂක අමාත්‍යංශය උපදෙස් දුන් බවට ඔහු සතුව සාක්ෂි නොමති බව පවසමින් 21දා ඔහු මග හැරියේ ය.

සසපයේ දේශපාලන අයිතීන්ට මෙම ප්‍රහාර එල්ල වන්නේ උතුරු පලාතේ, විශේෂයෙන් ම යාපනය අර්ධවීපයේ ආරක්ෂක හමුදා විසින් යලි අරඹන ලද දේශපාලන මර්දනය සහ 2009දී පරාජය කල එල්ටීටීඊයේ නැවත මතුවීම ගැන වාර්ගික භීතිය අවුස්සන ආන්ඩුවේ ව්‍යාපාරය මැද්දේ ය.

නොවැම්බරයේ දී, යාපන විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් දිවයිනේ දිග්ගැස්සුන සිවිල් යුද්ධයෙන් විපතට පත්වූවන් සිහිපත් කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ හමුදාව විශ්වවිද්‍යාල පරිශ්‍රයට කඩා පැන රැස්වීම කඩාකප්පල් කලහ. ඊ ලඟ දිනයේ දී ශිෂ්‍යයන් විරෝධතාවක් පැවත්වීමට උත්සාහ ගැනීමත් සමග හමුදාව ඔවුනට පහර දුන්හ.පසුව පොලීසිය හා යුධ හමුදාව “එල්ටීටීඊ ආධාරකරුවන්” ලෙස ශිෂ්‍යයින් හයදෙනෙකු ඇතුළු තරුනයින් 45කු අත්අඩංගුවට ගත් අතර “පුනරුත්ථාපනය සඳහා” ඔවුන් වැලිකඩ යුද හමුදා කඳවුරට භාර කලහ. විභාගයකින් තොර ව ඔවුන් රඳවා තැබීමට එල්ල වූ පුලුල් විරුද්ධත්වය නිසා ශිෂ්‍යයින් දෙදෙනෙකු පසුව නිදහස් කර ඇත.

ආසන්න වශයෙන් සිව් වසරකට පෙර එල්ටීටීඊය පරාජය කරනු ලැබුව ද උතුරු හා නැගෙනහිර පලාත් තවමත් දැඩි මිලිටරි පාලනයක් යටතේ පවතී. උතුරේ සිවිල් පාලනය පිලිබඳ ආන්ඩුවේ කියාපෑම නොතකා මිලිටරිය පලාත පාලනය කිරීමේ ආධිකාරය දරන අතර තව තවත් මිලිටරි කඳවුරු ගොඩනඟමින් සිටියි.

උතුරේ පැරා මිලිටරි කන්ඩායම් ගනනාවක් ප්‍රකෝපකරන ක්‍රියා, ඔත්තු බැලීම්, පැහැරගෙන යාම් හා වෙනත් ආකාරයේ මැරවරකම් සඳහා ආරක්ෂක හමුදා සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වෙති. පසුගිය වසරේ මුල දී, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙමල ක්‍රියාකාරීන් දෙදෙනෙකු මිලිටරි ඔත්තුකරුවන් විසින් පැහර ගන්නා ලදී. ප්‍රවෘත්ති පත්‍රවලට හා මාධ්‍යවේදීන්ට පහරදීම, යාපන අර්ධවීපයේ හා උතුරේ අනෙකුත් ප්‍රෙද්ශවලින් මල මිනී සොයාගැනීම පිලිබඳව නිතර වාර්තා පලවෙයි.

සසප හා එහි පූර්වගාමි විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය යුද්ධයට එරෙහිව සහ දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ගෙන ගොස් ඇති දීර්ග හා ප්‍රතිපත්තිමය අරගලය නිසා ඉලක්ක බවට පත්ව සිටිති. කොන්දේසි විරහිතව උතුරෙන් හා නැගෙනහිරින් ආරක්ෂක හමුදා ඉවත් කිරීමට බල කරන එක ම පක්ෂය එය යි.

එල්ටීටීඊයේ බෙදුම්වාදී දේශපාලනයට විපක්ෂව, දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා හා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැඟීම සඳහා දෙමල, සිංහල හා මුස්ලිම් කම්කරු පංතිය එක්සත් කිරීම සඳහා සසප සටන් වැදුනි.

මෙම සම්මුති විරහිත අරගලය නිසා 26 අවුරුදු සිවිල් යුද්ධය අතරතුර දී විකොස හා සසප පිලිවෙලින් බලයට පත් ආන්ඩු යටතේ මර්දනයට මුහුන දුන්හ. 2007 මාර්තුවල දී, සසප සාමාජික නඩරාජා විමලේස්වරන් මිතුරෙකු ද සමග කයිට්ස්හි දී අතුරුදහන් වූ අතර එතැන් සිට ඔහු දැකගන්නට නැත. සියලු ම සාක්ෂි යොමු වන්නේ මෙම අපරාධයට නාවික හමුදාවේ ඇති සම්බන්ධය වෙත ය.

එල්ටීටීඊය ද පක්ෂයේ ක්‍රියාමාර්ගයට හතුරු විය. දේශපාලන කටයුතුවල යෙදීම නිසා 1998දී, එල්ටීටීඊය වවුනියාවේ විකොස සාමාජිකයින් හතර දෙනෙකු රඳවා ගත් අතර පක්ෂය හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ගෙන ගිය පුලුල් ජාත්‍යන්තර උද්ඝෝෂනයකින් පසුව ඔවුන් නිදහස් කීරීමට බල කෙරුනි.

එල්ටීටීය යලි හිස ඔසවන බවට ගෙන යන බොරු ප්‍රචාරය සමග රාපක්ෂ ආන්ඩුව දෙමල විරෝධී වර්ගවාදය අවුස්සන්නේ නිශ්චිතව ම ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහිව කම්කරුවන්ගේ හා ග්‍රාමීය පීඩිතයින්ගේ වර්ධනය වන විරුද්ධත්වය කෙරෙහි ඇති බිය නිසා ය. වැඩ කරන ජනතාව බෙදීම හා ධනේශ්වර පාලනය නඟාසිටුවීම සඳහා ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව දීර්ග කාලයක් වර්ගවාදී දේශපාලනය ගසා කෑහ. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි රැකියා, සෞඛ්‍ය හා අධ්‍යාපනය ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට නව ප්‍රහාරයන් සූදානම් කෙරෙමින් තිබේ.

සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට රාජක්ෂ ආන්ඩුව එල්ල කරන ප්‍රහාරය හෙලා දකින අතර සසප, පක්ෂය ආරක්ෂා කරන ලෙස කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් හා පීඩිතයින්ගෙන් ඉල්ලා සිටියි. සියළු ම ආකාරයේ ජාතිකවාදයන් හා වර්ගවාදයන් ප්‍රතික්ෂේප කරන ලෙස ද එය ඉල්ලා සිටියි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා ජීවන තත්වයන් ආරක්ෂා කල හැක්කේ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නඟන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටනේදී පීඩිත මහජනතාවගේ නායකයා ලෙස කම්කරු පන්තිය එක්සත්ව හා ස්වාධීනව බලමුලු ගැන්වීම තුලින් පමනි.

Share this article: