ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීන මූල්‍ය ක්‍රමයේ වැඩෙන අවදානම පිලිබඳව අනතුරු අඟව යි

IMF warns of growing risks to China’s financial system

ජොන් චෑන් විසිනි, 2013 ජූලි 25

පසු ගිය සතියේ ප්‍රසිද්ධ කෙරුනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ චීනය පිලිබඳ වාර්ෂික වාර්තාව, ලෝකයේ දෙවැනි විශාලත ම ආර්ථිකය බරපතල මූල්‍ය අවදානම්වලට මුහුන දෙන බවට අනතුරු අඟවයි.

චීනයේ සමස්ත නය නිකුතුව 2008 සිට එරට දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 129 සිට සියයට 195 දක්වා නැඟී තිබීම පිලිබඳව පුලුල්ව පලවුනු භීතීය කෙරෙහි ජාමූඅ අවධානය යොමු කලේය. එම වර්ෂයේ වෝල් වීදියේ කඩා වැටීමෙන් ඇතිවුනු ආරම්භක කම්පනයන් කෙරෙහි බීජීනයෙන් පලවූ මංමුලා සහගත ප්‍රතිචාරයේ ප්‍රතිඵලයක් වශයෙන් එම තත්වය නිර්මානය විය. චීන කම්කරුවන් මිලියන 23කගේ රැකියා අහිමි වූවාට පසු, සමාජ විරෝධතා පිපිරී යාමේ තර්ජනය මතුවීම හමුවේ බීජීනය, යුවාන් ට්‍රිලියන 4ක් හෙවත් අද එක්සත් ජනපද ඩොලර් බිලියන 650ක් තරම් දැවන්ත උත්තේජක පැකේජයක් මුදා හලේය.

ඉක්මනින්ම එම උත්තේජක පැකේජය, රජයට අයත් බැංකු පද්ධතියෙන් අසීමිත ලෙස නය මුදාහැරීමක් බවට පත් විය. කෙසේ නමුත් නය මුදල් වලින් වැඩි කොටස නිෂ්පාදනය කරා යොමු නොවුනේ, චීනයේ ප්‍රධාන අපනයන වෙලඳපොලවල් වන එක්සත් ජනපදය හා යුරෝපය පසුබෑමක ගිලී තිබුනු බැවිනි. ඒ වෙනුවට නය ගලා ගියේ, සමපේක්ෂන දේපල (ඉඩම්) සංවර්ධන වෙලඳපොලටයි. 2010දී බිජීනයේ ඇස්තමේන්තු ගත සැබෑ දේපල වටිනාකම ඇමරිකාවේ දදේනි ඉක්ම වී ය. එය සිහිගැන්වූයේ දශක දෙකක පල්වීම පසුපස පැමිනි 1990 මුල් භාගයේ ජපානයේ කඩාවැටීමට මග පෑදූ දේපල බුබුලු වැනි දෙයකි.

එම සන්දර්භය තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙසේ අනතුරු ඇඟවීය. “මෙතැන් සිට ඇති විය හැකි කම්පනයන් ජය ගැනීම පිනිස බලධාරීන් සතුව තවමත් අවශ්‍ය තරම් මෙවලම් හා මූල්‍ය අවකාශ තිබේ. කෙසේ නමුත්, ක්‍රියාදාමය වෙනස් කිරීමට හා ප්‍රතිසංස්කරන වේගවත් කිරීමට අසමත් වීම, හානිකර ප්‍රතිචාර වටයක් අවුලුවා ලිය හැකි අනතුරක හෝ කම්පනයක අවදානම වැඩි කරනවා ඇත.”

අන්‍යොන්‍ය වශයෙන් ශක්තිමත් වන සර්පිලයක් තුලට මූල්‍ය ක්‍රමය හා නිෂ්පාදන ආර්ථිකය යන දෙඅංශයම ඇද ගැනීමේ හැකියාව කෙරෙහි “හානිකර ප්‍රතිචාර වටය” අවධානය යොමුකරයි.

ජාමුඅ විශේෂයෙන් ම පෙන්වා දුන්නේ, ඉහල ඵලදායිතාවන් පොරොන්දු වන නමුත් ඒවායේ ආදායම් මාර්ග හෙලි නොකරන, හතු පිපෙන්නාක් මෙන් මෑත වර්ෂවල පැන නැඟි ඩොලර් ට්‍රිලියන දෙකක සැකසහිත “ධන නිෂ්පාදනයන්” පිලිබඳවය. සැබවින් ම මෙම නිෂ්පාදනයන්ගෙන් බොහොමයක් දේපල වෙලඳපොලේ සමපේක්ෂන යෝජනා ක්‍රමය. දැන් ඒවා බැංකුවල වෙස්වලාගත් දෙවැනි ශේෂපත්‍රය වන අතර ඒවා “කල්යාමේ දී මූල්‍ය ක්‍රමයට ක්‍රමානුකූල තර්ජනයක් බවට පත් විය හැක.” විශ්වාසයේ හදිසි බිඳ වැටීමකින්, “නිර්කර්ෂනයක් මුදා හල” හැකි අතර “බරපතල නය මිරිකීමකට” දොර විවර කල හැකි බවට ජාමූඅ අනතුරු අඟවයි.

පලාත් පාලන මූල්‍ය වාහකයන්ගේ හා අනෙකුත් නයවල වගකීම් සැලකිල්ලට ගත් විට රජයේ සැබෑ නය පසු ගිය වසරේ දී දදේනියෙන් සියයට 45කට ලඟා විය. නය බරිත යුරෝපීය රටවල් හා සසඳන විට එම මට්ටම් සාපේක්ෂව තවමත් පහත් වුවත්, චීනයේ මන්දගාමී ආර්ථික වර්ධනයේ අර්ථය වනුයේ වසර කීපයකට පෙර තිබුනාට වඩා ආන්ඩුවේ බදු ආදායම පහත වැටෙන බව යි. චීනයේ මෙම වසරේ ආර්ථික වර්ධනය යන්තම් සියයට 7.75 වන අතර වර්ෂ 2014 දී සියයට 7.7ක් වනු ඇති බවට ජාමූඅ පුරෝකතනය කරයි. එය විරැකියාව පාලනයේ තබා ගැනීමට අවශ්‍ය යැයි චීන තන්ත්‍රය විසින් සලකනු ලැබ ඇති සාම්ප්‍රදායික මිනුම වන සියයට 8ට වඩා පහල ය.

අපනයන හා ආයෝජන මත චීනයේ ව්‍යුහාත්මක යැපීම හේතු කොට ගත් ප්‍රධාන අර්බුදයක් සැබෑ අනතුර වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර යි. “ප්‍රති තුලනය සමග ප්‍රගතිය සීමිත වී ඇති අතර එය ඉතා හදිසි භාවයක් පෙන්වයි. වඩාත් පරිභෝජනය-පාදක කරගත් ආර්ථිකයක් දෙසට තීරනාත්මත වෙනසක් තවමත් සිදුවිය යුතුව තිබේ.”

තව මත් ආයෝජනය දදේනි සියයට 48ක් සඳහා (ලෝකයේ ඉහල ම ප්‍රතිශතය) වග කියන අතර පරිභෝජනය යන්තම් සියයට 35ක් ( ලෝකයේ පහලම මට්ටම) වන තතු හමුවේ, චීනය පවතින්නේ අන්තර්ජාතික සංගත සැපයුම් දාමයන් හරහා බටහිර රටවලට අපනයනය කිරීම මත යැපෙන යෝධ ලාභ ශ්‍රම වේදිකාවක් ලෙස ය. අනෙක් අතට, මීට පෙර ප්‍රසාරනයේ ගාමක බලවේගය, එනම් ග්‍රාමීය කම්කරුවන් නාගරික ප්‍රදේශවල නැවත ස්ථානගත කිරීම, අවසානයකට පැමිනෙමින් තිබේ. මේ දශකය අවසානය වන විට දැනට “මිලියන 160ක් වන “සංචිත ශ්‍රම බලකාය” ක්ෂයවී යනු ඇත.

ජාමූඅ හා චීන නිලධාරීන් නිතර ම කතා කරන්නේ “පරිභෝජනය පාදක” ආකෘතියක් දෙසට චීන ආර්ථිකය “ප්‍රතිතුලනය” කිරීමේ අවශ්‍යතාව ගැන යි. චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීසීපී) නිලධරය පසු ගිය නොවැම්බරයේ පැවැත්වූ එහි මෑත ම සම්මේලනයේ දී පොරොන්දු වූයේ, වෙලඳපොල ගැති ප්‍රතිසංස්කරනවල නව වටයකින් 2010 සිට 2020 වන විට ඒක පුද්ගල ආදායම දෙගුනයක් බවට පත්කිරීමටයි.

ධනවාදය යටතේ චීනය තුල පරිභෝජනය පාදක කරගත් සමෘද්ධිය කරා යන ආර්ථිකයක් නිර්මානය කිරීමේ අදහස දවල් සිහිනයකි. චීන කම්කරුවන් දරිද්‍රතා මට්ටමේ වැටුප් ලබන අතර ඒවා ද පවතින්නේ වියට්නාමය හා ඉන්දියාව වැනි ලාභ ශ්‍රම වෙලඳපොලවල තරඟයේ පීඩනය යටතේ ය.

චීනය තුල පරිභෝජනය වැඩිවී තිබේ නම් ඒ, පසු ගිය වසරවල දී විශාලත ම සුඛෝපභෝගී භාන්ඩ වෙලඳපොලවලින් එකක් දක්වා රට මෙහෙයවූ ඉහල මධ්‍යම පංතියේ කුඩා තට්ටුවක්, දූෂිත නිලධාරීන් හා ව්‍යාපාරිකයන්ට පින්සිදු වන්නටය. නාගරික කම්කරුවන්ගේ හා ග්‍රාමීය දුප්පතුන්ගේ අතිවිශාල බහුතරය දරිද්‍රතාවේ එරී සිටිද්දී උපයා ගැනුනු ඔවුන්ගේ වැඩි වන ධනය, චීනයේ කාර්මික නිමවුම උකහා ගත හැකි තරමේ දේශීය පරිභෝගික වෙලඳපොලක් ඇති කිරීමට ප්‍රමානවත් වී නො මැත.

ජාමූඅ හා සීසීපියේ සැබෑ න්‍යායපත්‍රය චීන මහජනතාවගේ ජීවන තත්වයන් ඉහල දැමීම නොව, නිෂ්පාදන ඵලදායිතාව වැඩි කිරීම හා රාජ්‍ය පාලිත අංශවල ඉතිරිව ඇති කොටස් පෞද්ගලික ප්‍රාග්ධනය සඳහා විවෘත කිරීමය. දැවන්ත රැකියා කප්පාදු, වැඩ වේගවත් කිරීම් හා මේ වන විටත් අගාධයේ පවතින වැටුප් කැපීමට පමනක් මෙය තුඩු දිය හැකිය.

පසු ගිය නොවැම්බරයේ බලයට පැමිනි තැන් පටන්, ජනාධිපති ෂී ජින්පින්ග් හා අගමැති ලී කෙකියැන්ග් යටතේ සීසීපී නායකත්වය, පසු ගිය වසරේ “2030 චීනය” නමින් ලෝක බැංකුව සමග ඒකාබද්ධ වාර්තාවක මුලින් සාරාංශ කෙරුනු මෙම න්‍යායපත්‍රය, ක්‍රියාත්මක කිරීම කරා වේගයෙන් ගමන් කර ඇත. කෙසේ නමුත් ගෝලීය මූල්‍ය කේන්ද්‍රයන්ට චීනය මුළුමනින් ම ඒකාබද්ධ කිරීමේ පියවර ගැනෙන්නේ, කලින් කිව නො හැකි වේගවත් කම්පන ඇති කල හැකි, අතිශයින් ම අවදානම් සහගත ජාත්‍යන්තර වාතාවරනයක් තුලය.

පසු ගිය ජූනියේ දී, “ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ” ප්‍රතිපත්තිය අවසන් කරමින් සිටින බව එක්සත් ජනපද මහබැංකුවේ පාලක මන්ඩලය විසින් කරන ලද ප්‍රකාශය පසුපසින් ප්‍රාග්ධනය ආසියාවෙන් පිටතට ගලායාම මධ්‍යයේ, එකී ප්‍රවෘත්තිය චීනය තුල නය මිරිකීමකට තුඩු දෙමින්, අන්තර්-බැංකු නය අනුපාත වාර්තා ගත ඉහල මට්ටම්වලට තල්ලු කලේය. නය දීමේ උන්මාදය අඩුකිරීම සඳහා ආරම්භයේ දී, සිය මැදිහත්වීම අවම කිරීමට උත්සාහ කල චීන මහ බැංකුවට සිදුවූයේ අර්බුදය අවම කිරීම පිනිස ඩොලර් බිලියන ගනන් යලිත් මූල්‍ය වෙලඳ පොලට නිකුත් කිරිමට ය.

22දා වාර්තා කල ජාමූඅ ගනනය කිරීම් වලට අනුව, ප්‍රාග්ධන පාලනය කඩිනමින් වෙනස් කලහොත්, දදේනියෙන් සියයට 15ක ප්‍රමානයක් හෙවත් ඩොලර් ට්‍රිලියන 1.35ක ශුද්ධ ප්‍රාග්ධනයක් චීනයෙන් පිටතට ගලායාමට තුඩුදෙනු ඇත. මෙය, 1997-98 ආසියානු මූල්‍ය අර්බුදයට සමාන ප්‍රධාන උනුවී යාමකට තුඩුදෙනු ඇත. චීන කම්කරුවන්ගේ අසහනයට හෝ චීනය හා එක්සත් ජනපදය නැත්නම් එහි මිතුරන් සමග මිලිටරි ගැටුමකට හෝ කුලප්පු සහගත ප්‍රතිචාරයක් ලෙස ප්‍රාග්ධනය පිටතට ගලා යාම වේගයෙන් සිදුවිය හැක.

මූල්‍ය ප්‍රතිසංස්කරන සඳහා වන තවත් පියවරක දී පසුගිය 19දා චීන මහ බැංකුව ප්‍රකාශ කලේ, තමන් චීන වානීජ පොලී අනුපාත සීමා ඉවත් කිරීමට ඉඩ ඇති බව යි. මෙම පියවර සැලැසුම් කරන ලද්දේ, කුඩා හා මධ්‍යම ප්‍රමානයේ පෞද්ගලික ව්‍යවසායන්ට ලාභ නය ලබා ගැනීම වඩා පහසු කරමින්, වෙලඳපොල තරඟකාරිත්වය ශක්තිමත් කිරීමට බව කියා ඇත. කෙසේ වෙතත්, පුලුල් වශයෙන් බලාපොරොත්තු වූ පරිදි තැන්පතු පොලී අනුපාතික මත පනවා තිබූ සීමාව, මූල්‍ය අස්ථාවරත්වයක් නිර්මානය කරනු ඇතැයි යන බිය නිසා මහ බැංකුව විසින් ඉවත් කලේ නැත. දීර්ග කාලයක් තිස්සේ තැන්පතු පොලී අනුපාත ප්‍රතිව්‍යුහගත කිරීම සලකනු ලැබ ඇත්තේ, චීනයේ යුආන් මුදලේ ජාත්‍යන්තර හුවමාරුව පහසු කිරීම සඳහා අත්‍යාවශ්‍ය දෙයක් ලෙස ය.

ජාත්‍යන්තර නය ශ්‍රේනි ගත කිරීමේ ඒජන්සියක් වන මූඩීස් සමාගමට කොටස් අයිති, ෂැන්හයිහි චයිනාස්කෝප් පිනෑන්ෂල් නම් පර්යේෂන සමාගම සඳුදා නිකුත් කල අධ්‍යයනයකින්, නය සැපයුම් අනුපාතයේ සීමා අවසන් කිරීම, ශුද්ධ පොලී අනුපාත ආදායම පහත වැටීම කරා යොමු වෙමින්, චීන බැංකු වලට ඉදිරි දෙවසර තුල ඒවායේ වර්තමාන ප්‍රාග්ධන පදනම පවත්වා ගෙන යාමට ඩොලර් බිලියන 100ක් දක්වා මුදල් ප්‍රමානයක් අමතරව සොයා ගැනීමට බල කරනු ඇති බවට අනතුරු ඇඟවීය. කෙසේ නමුත්, වෝල් ස්ට්‍රීට් ජර්නලයට අනුව, “චීන බැංකු ඉදිරියේදී තව තවත් පීඩාවට පත්වනු ඇතැයි යන ආයෝජකයන්ගේ විශ්වාසයේ සලකුන හමුවේ, බොහෝ ආරක්ෂක අරමුදල් හා අනෙකුත් විකල්ප අරමුදල් හොං කොං හි ලැයිස්තු ගත චීන බැංකුවලට එරෙහිව විශාල ඔට්ටු ඇල්ලීමට ඉදිරිපත්ව සිටී.”

වාර්තා වන පරිදි ආයෝජකයන් උත්සුක වන්නේ, චීනයේ දුර්වල වන ආර්ථික වෘද්ධිය, දැවන්ත කර්මාන්ත අධිධාරිතාව හා බැංකු, දේපල ආයෝජකයින් වැනි අවදානම් නය ගැනුම් කරුවන්ට පොදුවේ නිරාවරනය වීම පිලිබඳ ව ය.

Share this article: