පොලිස් රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින ලිබරල් උපදේශකයෝ එඩ්වඩ් ස්නෝඩන්ට එරෙහිව රුදුරු ලෙස කඩා පනිති

Liberal advocates of a police state turn savagely against Edward Snowden

ඩේවිඩ් නෝර්ත් හා එරික් ලන්ඩන් විසිනි, 2013 ජූනි 14

ඔබාමා පාලනයේ නීතිවිරෝධී දේශීය හා ජාත්‍යන්තර ඔත්තු බැලීමේ වැඩසටහන එඩ්වඩ් ස්නෝඩන් විසින් හෙලිදරව් කල තැන් පටන්, දේශපාලන සංස්ථාපිතය හා මාධ්‍යය තරුන ස්නෝඩන් අපකීර්තියට පත්කොට ඔහුගේ චරිතය හා ප්‍රසිද්ධිය කෙලෙසීම සඳහා නොනවතින ව්‍යාපාරයක නිරතව සිටිති. වෛරී සහගත ස්නෝඩන් විරෝධී ‍ව්‍යාපාරය පිටුපස ජනතාව ගාල් නොවීම ඔවුන්ගේ භීතියට කරුනක් වී ඇත. ඔහු දැකගෙන ඇත්තේ මූලධර්මාත්මක මිනිසෙකු ලෙසය. ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහි ආන්ඩුවේ දැවැන්ත කුමන්ත්‍රනය පිලිබඳ ඔහුගේ අනතුරු ඇඟවීම්, රාජ්‍ය ඔත්තු බලන්නන් සිය පෞද්ගලික ජීවිතය වැඩිවැඩියෙන් ආක්‍රමනය කිරීම පිලිකුල් කරන හා ඒ පිලිබඳ බිය පත් වී සිටින දශ ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ හැඟීම් හා මනෝ භාවයන් අවදිකර ඇත. වඩාත් විශ්වාස කල හැක්කේ හා ඇදහිය හැක්කේ ස්නෝඩන් ද, නැතහොත් ඔබාමා පරිපාලනයේ ඔහුගේ වධකයන්, කොන්ග්‍රසය හා මාධ්‍ය දැයි නිර්නය කිරීමට රට පුරා ඡන්දයක් විමසුවහොත් 29 හැවිරිදි එඩ් ස්නෝඩන් උඩින්ම දිනනු නිසැකය.

ස්නෝඩන් අපකීර්තියට පත්කිරීමේ ව්‍යාපාරය කිසිසේත් ම පුදුමයට කරුනක් නොවේ. එහෙත් මාධ්‍යය විසින් ගෙන යනු ලබන ව්‍යාපාරයේ ඇති සුවිශේෂී වැදගත්කම වන්නේ, ඔහු හෙලා දැකීමට නැඟෙන තර්කවල ඇති කැපී පෙනෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ඒකාධිපතිවාදී ස්වභාවයයි.

ඉදින් රජයේ ක්‍රියා මාර්ග අනීතික වුව, සහ එමඟින් ඇමරිකානු ජනයාගේ ව්‍යවස්ථානුකූල අයිතීන් උල්ලංඝනය වී ඇත්තේ වුව, ස්නෝඩන්, රජයට පූර්න ලෙස හා ප්‍රශ්න නොනඟා කීකරු වීමට බැඳී සිටියේය යන්න මාධ්‍යවල තර්කය වී ඇත. ඔවුන්ට අනුව, රජයට පක්ෂපාතී වීමට ඔහු සතු වගකීම් භාරය, ප්‍රජාතන්ත්‍රවාදය උඩු යටිකුරු කල රජයේ ක්‍රියා කලාපය පිලිබඳව තම රටේ සෙසු පුරවැසියන්ට දැනුම් දීමට තමා බැඳී සිටිතැයි ඔහු වටහාගත් සදාචාරාත්මක හා දේශපාලන වගකීම් භාරය ඉක්මවා යන්නකි.

මේ තර්කය වඩාත් බලගතු ලෙස ගෙන එනු ලබන්නේ කවුරුත් හොඳින් දන්නා ලිබරලුන් ය. ඔවුන්ගෙන් ඇතැමෙක් 9/11 සිද්ධීන්ගෙන් අනතුරුව බුෂ් පාලනය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හෝදාපාලු කිරීමට එරෙහිවූවන් ලෙස සිය කීර්තිය ඔප දමා ගත්තෝ වෙත්. උදාහරනයක් ලෙස, ජෙෆ්‍රි ටූබින් නිව්යෝර්කර්හි නවතම කලාපයේ පල කල ලිපියකින් ස්නෝඩන් "සිර ගෙයි ලීමට උචිත, මහත් උද්දාමයකින් තමාම පුම්බා ගත් ස්වරාගියෙකැ"යි විවෘතව හෙලා දකියි.

ජාතික ආරක්ෂක ඒජන්සියේ රට තුල ඔත්තු බැලීමේ වැඩපිලිවෙල සම්බන්ධයෙන් ස්නෝඩන්ගේ උද්වේගය ටූබින් ඉවත ලන්නේ පරිපූර්න නරුම භාවයකිනි. "ජාතික ආරක්ෂක ඒජන්සිය කුමක් කලේයැයි ස්නෝඩන් සිතුවේද යන්න පිලිබඳව යමෙකු මවිත වනු ඇත." ජාආඒජන්සියේ චරපුරුෂ කටයුතු ගැන ටූබින් තව දුරටත් කරදර නොවන හෙයින් ස්නෝඩන් ඒ පිලිබඳව ඒ සා විශාල කලබැගෑනියක් ඇති කල යුත්තේ මන්දැයි ඔහුට නොවැටැහේ.

ලිපියට ද වඩා කැපී පෙනෙන සුලු වන්නේ ජූනි 10වන දින හෆින්ටන් පෝස්ට්හි පල වූ චිකාගෝ සරසවියේ මහාචාර්ය ජ්‍යෙෆ්‍රි ආර්. ස්ටෝන්ගේ ලිපියයි. මෙම ලිපිය කැපී පෙනෙන දේශපාලන වැදගත් කමක් දරනුයේ, මහාචාර්ය ස්ටෝන් විසින්ම ඉහතදී මතු කෙරුනු ආස්ථානයන්ට මුලුමනින්ම පටහැනි ලෙස ඒකාධිපති පාලනයකට සහයෝගය පල කරන තර්ක එමඟින් ඉදිරිපත් කෙරෙන නිසාය.

යන්තම් දශකයකට ඉහත දී, එනම් 2004 දී, මහාචාර්ය ස්ටෝන් Perilous Times: Free Speech in War Time from the Sedition Act of 1798 to the War on Terror(උවදුරු සහිත කාල පරිච්ඡෙදයෝ: 1798 රාජ ද්‍රෝහී පනතේ සිට ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය දක්වා නිදහස් කථනය) මැයින් යුත් පොතක් ලිවීය. මේ කෘතිය, ඇමරිකානු ආන්ඩු විසින් යුද සමයන්හි දී ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ල කල ප්‍රහාර පිලිබඳ ඓතිහාසික වාර්තාවක් සම්පාදනය කලේය. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක දී ඔහුගේ පොත පිලිබඳ සාකච්ඡා කරමින් 1798 රාජ ද්‍රෝහී පනතේ බලපෑම පිලිබඳව විමසූ ස්ටෝන් මෙසේ අනතුරු ඇඟැවීය:

"වැදගත් පාඩම් අතරින් එකක් වනුයේ, තමන්ට සහතික කෙරී ඇති ස්වාධීනත්වයන් ලබා ගැනීමට ඇමරිකානු පුරවැසියාට අවශ්‍ය නම්, අකර්මන්‍යව වාඩි වී හිඳ තමන් විසින් තෝරා ගන්නා ලද නිලධාරීන් හා විනිසුරුවන් සිය අයිතීන් තමන් වෙනුවෙන් රැක දෙන තුරු බලා හිඳීමට ඔවුන්ට නොහැකි බවයි. තමන්ට තම ස්වාධීනත්වයන් අවශ්‍ය නම් - තම නිදහස අවශ්‍යනම් - ඒවා මේ කාල පරිච්ඡෙදයන්හිදී රැක ගැනීමේ වගකීම ඔවුන් භාර ගත යුතුය." (සම්මුඛ සාකච්ඡාව මෙතැනින් බලන්න)

මහාචාර්ය ස්ටෝන් අද ගයන්නේ සපුරා වෙනස් තනුවකි. ස්නෝඩන් "නිසැකව ම බරපතල දඬුවම් ලැබීමට නිසි අපරාධකරුවෙකැ"යි ස්ටෝන් නිවේදනය කරන්නේ හරියටම, ඔහු "අකර්මන්‍යව වාඩි වී නො සිට", ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකීමේ වගකීම භාර ගැනීමේ හේතුව නිසාමය.

ස්ටෝන්ගේ තර්කයේ හරය වී ඇත්තේ, ස්නෝඩන් රජයේ රැකියාව භාර ගැනීමේ දී රජයේ නීති විරෝධී කටයුතු හෙලිකිරීමේ වගකීම පමනක් නොව, ඒ සඳහා වූ සියලු අයිතීන් ද අත් හැර ඇති බවයි. මේ තර්ක පාදක වී ඇත්තේ නාසි ජර්මනියේ පැවැති ඒකාධිපතිත්වයේ තර්කාංගයන්ට වඩා මූලිකව නොවෙනස් වූ තර්කනයක් මතය.Hitler’s Justice: The Courts of the Third Reich (හිට්ලර්ගේ යුක්තිය: තුන්වන ජර්මන් රාජ්‍යයේ අධිකරනය) නම් කෘතියේ ජර්මානු ඉතිහාසඥ ඉන්ගෝ මලර් මෙසේ ලිවීය: නාසි ශ්‍රෙෂ්ඨාධිකරනය "පරිපාලන සේවයේ 'නෛතික ස්වභාවය' අර්ථ නිරූපනය කලේ 'පක්ෂපාතීත්වය, අවනතභාවය හා සවිඥානකව රාජකාරියේ නිරත වීම' ලෙසය. එ මතු නොව, පරිපාලන සේවකයෝ පරිපාලන ක්ෂේත්‍රය තුල 'නියමුවා'ගේ (හිට්ලර් සමයේ දී ඔහුගේ ද අනුදැනුම මත ඔහු ෆුයුරර් නමින් හඳුන්වන ලදී - ) දේශපාලන හේවා පන්නය ලෙස හඳුන්වනු ලැබූහ". (83 පිටුව)

නාසි ආචාර විධීන් හා ඉතා සමීපව සැසැඳෙන සේවක විනයක සංකල්පයක් ස්ටෝන් ඉදිරිපත් කරයි. ප්‍රජාතන්ත්‍රවාදයේ සාරභූත මූලධර්මයන් පිලිබඳ සිය ප්‍රතික්ෂේපනය හෙලිදරව් කෙරෙන ඡෙදයක ඔහු මෙසේ ලියයි:

"එහෙත් යම් සේවකයෙකු තමාගේම නැන නුවනින් විමසා, ඇතැම් (රහස්‍ය ලෙස) වර්ගීකෘත තොරතුරු, රහස්‍ය නො විය යුතු බව හෝ එම රහස්‍ය තොරතුරු දැන ගැනීම මහජන යහපතට හේතු වෙතැයි යනුවෙන් හෝ තීරනය කලහොත් කුමක් සිදුවේද? සේවකයාට එකී විනිශ්චය ගැනීමට ඉඩ හල යුතු ද? හුදෙක් ප්‍රශ්නය ඉදිරිපත් කිරීම මඟින්ම එහි පිලිතුර ලැබෙනු ඇත. ස්ව අභිමතය මත පිහිටා, ඇමරිකානු ජනතාවගේ තෝරා ගත් නියෝජිතයන්ගේ (ආන්ඩුවේ) විනිශ්චය ඉක්මවා යමින්, රහස්‍ය තොරතුරු සිය මිතුරන්ට හා සතුරන්ට එකසේ හෙලිදරව් කිරීමේ අධිකාරී බලයක් තනි රාජ්‍ය සේවකයෙකුට තිබිය යුත්තේ මන්දැයි යන්නට දිය හැකි කිසිදු හේතුවක් මේ මිහි මත නොමැත. එබඳු ක්‍රියාවක් නීතියේ පාලනය මුලුමනින් ඉක්මවා යාමකි. [අවධාරනය අපෙන්]

මේ වූ කලී විස්මය දනවන සුලු ප්‍රකාශයකි! මිහි මත කිසිදු හේතුවක් නැත..? වෙනත් වචනවලින් කිවහොත්, (රජයේ) අපරාධකාරී කටයුතු ඇමරිකානු මහජනයාගේ අයිතීන්ට කෙතරම් හානිදායී වුව, රජයේ සේවකයෙකු සිය කට පියා ගෙන එම කටයුතු හෙලිදරව් කිරීමෙන් වැලැකී සිටිය යුතුය. මිහි මත කිසිදු හේතුවක් නැත..! පුරවැසියෙකු ඝාතනය කිරීමට බලය පවරන රහස් සිහිපතක් යම් සිවිල් සේවකයෙකු විසින් සොයා ගන්නා ලද නම්? එසේත් නැතිනම් දේශපාලන විරුද්ධවාදීන් සමූහ ලෙස සිර ගත කිරීමේ සැලැස්මක් සොයා ගන්නා ලද නම්?

"ප්‍රශ්නයට භාජනය වී ඇති තොරතුරු රහස්‍ය විය යුතුදැයි විධිමත් හා වෘත්තියමය නිර්නයක් සිදු කල හැකි ස්වාධීන විශේෂඥ මන්ඩලයක් පිහිටුවීම මඟින්" සිවිල් සේවකයෙකුට සිය ප්‍රෝත්සාහයන් පල කිරීම සඳහා නිල සංසදයක් සම්පාදනය කල යුතුයැයි මහාචාර්ය ස්ටෝන් යෝජනා කරයි. රාජ්‍ය සේවකයන්ට රජයේ අපරාධ හෙලිදරව් කිරීමට යම් ක්‍රමයක් සම්පාදනය කරනු වෙනුවට ස්ටෝන් විසින් යෝජිත පටිපාටිය මඟින් ශ්‍රේනි අතර පවත්නා විසම්මුතියේ ගෙල සිර කිරීමට කැප වූ නව නිලධාරී තට්ටුවක් නිර්මානය කෙරෙනු ඇත. අකටයුතුකම් හෙලි කිරීමට ඉඩ ඇති යම් පුද්ගලයෙකු, ඉදින් ඔහු සිය ප්‍රෝත්සාහයන් ස්ටෝන් විසින් යෝජිත වර්ගයේ "විශේෂඥ මන්ඩලයක්" ඉදිරියට ගෙන ඒමට තරම් අඥාන වී නම්, තමන් ඔත්තු බැලීමට ලක් ව සිටින බැව් ඉක්මනින් ම වටහා ගනු ලැබ, සිය ජීවිතාරක්ෂාව පිලිබඳ භීතියෙන් මුසපත් වනු ඇත.

එබඳු "මන්ඩලයක්" වර්තමානයේ නොමැති බැව් පිලිගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්හි රාජ්‍ය උල්ලංඝනයන් පිලිබඳ හිටපු විවේචක ස්ටෝන් මෙම ප්‍රශ්නය නඟයි: එඩ්වඩ් ස්නෝඩන්ට කල හැකිව තිබුනේ කුමක් ද?" මහාචාර්ය ස්ටෝන් ඊට ලබා දෙන පිලිතුර මෙයයි: "බොහෝවිට, ඔහු සිය ප්‍රෝත්සාහයන් කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ, වගකිවයුතු සාමාජිකයන් වෙත ඉදිරිපත් කල යුතුව තිබිනි." [අවධාරනය අපෙන්] මන බඳින විලක්ෂනයක්! "කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ, වගකිවයුතු සාමාජිකයන්" යන්නෙන් කුමක් අදහස් කෙරේ ද? ඉදින් ස්නෝඩන් තමාගේ කනස්සල්ලට හේතු වූ දේ පිලිබඳව තේරී පත් වූ නිලදරුවෙකු සමඟ සාකච්ඡා කිරීමට අදහස් කලේ වී නම්, ඔහු කොන්ග්‍රසයේ කනිෂ්ඨ, වගකීම් විරහිත සාමාජිකයන් (එනම්, ඉහල පෙලේ ආරක්ෂක නිෂ්කාශනයන් නොලද්දවුන්) මඟ හැරිය යුතුව තිබිනි ද?

සිය පරිභවය නිගමනයක් කරා ගෙන එමින් ස්ටෝන් හඬ තලන්නේ, "ජාතික උත්සුකයන්ට හොඳින්ම සේවය කල හැක්කේ කෙසේදැයි රජයේ සිටින වෙනත් කවරෙකුට හෝ වඩා හොඳින්" තමා දැන සිටිතැයි තීරනය කිරීමට එඩ් ස්නෝඩන්ට කිසිදු අයිතියක් නොවූ බවයි. මෙහිදී ස්ටෝන් යලිත් වරක් තෙවන ජර්මන් රාජ්‍යයේ (තර්ඩ් රීච්හි) නෛතික මූලධර්ම හා මුලුමනින් සැසැඳෙන තර්කයක් ගෙන එයි. තර්ඩ් රීචය තනි තනි පුද්ගලයන් 'නියමුවා'ට යටත් විය යුතු බවට බල කොට සිටියේය. රාජ්‍යයේ අභිමතයට එරෙහිව සිය පෞද්ගලික මතය ප්‍රතිමුඛ කල සිවිල් සේවකයෙකු නාසි අධිකරනය විසින් නිල වශයෙන් හෙලා දුටු ආකාරය මලර් සිහිපත් කරයි. හරයෙන් ස්ටෝන්ගේ වචනවලට බියජනක සමානකමක් දැක්වෙන අයුරින් ෆැසිස්ට් අධිකාරීන්, අවාසනාවන්ත සිවිල් සේවකයා හෙලා දුටුවේ, "ලිබරල්වාදී දෘෂ්ටියේ මුග්ධතම ආකාරයන්ට අනුකූලව සිය නිදහස පිලිබඳ මත" දැරීම පිලිබඳව ය. ..."ඔහු සම්බන්ධයෙන් ගත් කල නිදහස යනු, නීතියෙන් නිශ්චිතව නිර්දේශ නොකෙරුනු සියලු රාජකාරි තමාට උචිතයැයි තමා විසින්ම දක්නා ලද අයුරින් ප්‍රතික්ෂේප කිරීමට ඔහුට පැවැති අධිකාරී බලයයි." [පි. 84]

රජය සිවිල් නිදහස උල්ලංඝනය කිරීම් පිලිබඳ විවේචකයෙකුගේ සිට අයිතිවාසිකම් පනත සුරැකීමට ඉදිරිපත්වන්නන්ගේ වධකයා බවට පත්වීම කරා සිදු වූ මහාචාර්ය ජ්‍යෙෆ්‍රි ආර්. ස්ටෝන්ගේ පරිවර්තනය යමෙකු පහදා දෙන්නේ කෙසේද? ජෙෆ් ටූබින්ගේ පරිනාමය සම්බන්ධයෙන් ද එම ප්‍රශ්නයම කෙනෙකුට නැඟිය හැකිය. පැහැදිලිව ම පෙනී යන පරිදි, තනි තනි පුද්ගලයන් සිය අදහස් උදහස් වෙනස් කර ගැනීමට වඩා වැඩි යමක් මීට සම්බන්ධය. මේ පුද්ගලයන් දෙදෙනාගේ පරිනාමය මඟින් පිලිබිඹු කෙරෙන්නේ වඩාත් පුලුල් සමාජ හා දේශපාලන ක්‍රියා සන්තතියකි. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බිඳ වැටීම සිදුවෙමින් පවතින්නේ, පාලක ප්‍රභූව තුලත්, ජනගහනයේ ධනවත්ම සියයට 5 අතර සිටින එහි විශ්වාසවන්ත අනුචරයන් තුලත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳව පැවැති යම් සැලැකියයුතු සහයක් වී නම් එය දිය වී යාමත් සමඟ අත්වැල් බැඳ ගනිමිනි. ජනගහනයේ පුලුල් කොටසක සමාජ උත්සුකයන්ගෙන් තමා දුරස්ථව සිටින බැව් වටහා ගෙන සිටින ඔවුහු, සිය ධනය හා වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමට බලා සිටින්නේ රාජ්‍යය දෙස ය.

ධනවත්හු හා වරප්‍රසාද ලද්දෝ ස්නෝඩන්ට ද්වේශ කරති. ඒ ඔවුන්ගේ උත්සුකයන් රක්නා රාජ්‍යයට ඔහු අකීකරු වූ නිසාය. ඔවුන්ගේ පර්යායට හා ඔවුන්ගේ රහස්වලට නිසි ආකාරයේ සැලැකිල්ල දැක්වීමට ඔහු අසමත් වූයේය. මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව වොෂින්ටනයේ සිට මෙහෙයවනු ලැබෙන අති මහත් වූ කුමන්ත්‍රනය ඔහු විසින් හෙලිදරව් කෙරී ඇත. එඩ් ස්නෝඩන් විනාශ කර දැමීමට ඔවුන් අධිෂ්ඨාන කොට ගෙන සිටින්නේ එබැවිනි.

ඔහුගේ ආරක්ෂාව සඳහා ඉදිරිපත්වීම කම්කරු පන්තියේ උදාරතර කර්තව්‍යය වෙයි.

Share this article: