හමුදා කුමන්ත‍්‍රනයට එක්සත් ජනපදය සහාය දීමත් සමග ඊජිප්තුවේ ප‍්‍රචන්ඩ ගැටුම් පැතිර යයි

Violent clashes spread in Egypt as US backs army coup

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2013 ජූලි 6

03දා කුමන්ත‍්‍රනයකින් බලයෙන් පහ කෙරුනු මුස්ලිම් සහෝදරත්වයේ (එම්බී) ජනාධිපති මොහොමඞ් මෝර්සිගේ ආධාරකරුවන් විසින් පවත්වන්නට යෙදුනු විරෝධතාවන්ට ආරක්ෂක හමුදා ප‍්‍රහාර එල්ල කිරීමත් සමග ඊයේ ඊජිප්තුව පුරා ගැටුම් පැතිර ගියේය. මෝර්සිට එරෙහි මහජන විරෝධතා අවසන් කිරීම හා කම්කරු පන්තිය තුල දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය වීම පූර්ව භංග කිරීම සඳහා එක්සත් ජනපදයේ සහායෙන් දියත් කෙරුනු හමුදා කුමන්ත‍්‍රනයෙන් දැන් ඉස්මතු කෙරී ඇත්තේ ඊජිප්තුව සිවිල් යුද්ධයක ගිල්වා දැමීමේ තර්ජනයයි.

මුල් වාර්තාවලින් කියැවුනේ කයිරෝවේ, ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ හා සිනායි අර්ධද්වීපයේ පැවැති විරෝධතා වලදී දුසිම් ගනනක් මිය ගොස් අඩුම තරමින් 400 දෙනෙකුට තුවාල සිදු වී ඇති බවයි.

ඊජිප්තුවේ ජෙනරාල්වරුන්ගේ ප‍්‍රහාරය වොෂින්ටනය සමග ඉතා සමීප සම්බන්ධීකරනයකින් යුතුව එල්ල කෙරෙන්නකි. එක්සත් ජනපදයේ ඒකාබද්ධ හමුදාපති මඩුල්ලේ සභාපති ජනරාල් මාර්ටින් ඩෙම්සේ 04දා ඊජිප්තු හමුදාපති ලූතිනන් ජෙනරාල් සෙඞ්කි සෝභි සමග කථාබහ කලේ ඊස්රායල් හමුදා නිලධාරීන් සමග ද සම්බන්ධ වෙමිනි. මේ බැඳීම් වලින් පෙනී යන්නේ, මර්දනයේ ප‍්‍රාරම්භක ඉලක්කය මුස්ලිම් සහෝදරත්වය වන අතර ම, හමුදා රජය සිය අවසාන ඉලක්කය මානා ඇත්තේ වොෂින්ටනය ඉල්ලා සිටින නිදහස් වෙලඳපොලට හා අධිරාජ්‍ය-ගැති පිලිවෙත්වලට එරෙහි කම්කරු පන්තියේ විරෝධය වෙත බවයි.

කුමන්ත‍්‍රනයට කම්කරු පන්තියෙන් එල්ල වන විරෝධයේ වර්ධනය අවහිර කිරීමට හමුදාව රැඳී සිටින්නේ තමරොඞ් (”කැරලිකාරී”) සන්ධානයට සහාය දෙන මොහොමඞ් එල් බරාදෙයිගේ ජාතිය ගලවාගැනීමේ පෙරමුන (එන්එස්එෆ්) හා විප්ලවවාදී සමාජවාදීන් (ආර්එස්) බඳු ලිබරලූන් හා බොරු - වම්මුන්ගේ බලවේග මතය. හමුදා නායක ජෙනරාල් අබ්දුල් ෆාටා ඛලීල් අල්-සිසි 3දා නව හමුදා රජයක් පිහිටුවීම නිවේදනය කල කල්හි කුමන්ත‍්‍රනයට සහාය දුන් තමරොඞ් නිලධාරීහු ඔහුගේ පසෙකින් පෙනී සිටියෝය. වීථිවල විරෝධතා දක්වමින් රජය "ආරක්ෂා කරන” මෙන් ඊයේ එන්එස්එෆ් සංවිධානය ඊජිප්තු වාසීන්ට කැඳවුම් කලේය.

මෝර්සි රඳවා සිටින කයිරෝවේ සමූහාන්ඩු ආරක්ෂක බැරැක්ක අසල දී ඔහුට පක්ෂව පැවැති විරෝධතාවකට හමුදාව විසින් වෙඩි තැබීම නිසා තිදෙනෙක් මිය ගිය අතර අවම වශයෙන් 65 දෙනෙකුට තුවාල සිදු විය. මෝර්සිවාදී හා මෝර්සි විරෝධී විරෝධතාකරුවන් අතර ගැටුම්වලට ආරක්ෂක හමුදා මැදිහත්වීමත් සමග තහ්රිර් චතුරස‍්‍රය අසල ඔක්තෝබර් 6 පාලම මත 05දා සවස බිහිසුනු සටන් පැතිර ගියේය.

එදින ම ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ මෝර්සිවාදී හා මෝර්සි විරෝධී පෙලපාලිකරුවන් අතර වෙඩි හුවමාරුවූ අතර පොලිසිය මෝර්සි විරෝධීන්ගේ පාර්ශ්වය ගෙන තිබිනි. වෙඩි තැබීම්වලින් අවම වශයෙන් 12 දෙනෙක් මිය ගිය බව තහවුරු වී ඇත.

ඉස්ලාම්වාදී බලවේගයන්ට සැලකිය යුතු සහායක් පවතින සිනායිහි දී අල් අරිෂ්, ෂීක් සුවේඞ් හා රෆාහි ස්ථාපිත හමුදා කඳවුරුවලටත්, අල් අරිෂ් ගුවන් තොටුපලටත් ප‍්‍රහාර රැල්ලක් එල්ල වීමෙන් පසුව හමුදාව හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කොට ඇත. වාර්තාවලින් පෙනී යන්නේ මෝර්සි බලයෙන් පහ කල තැන් පටන් හටගත් ගැටුම්වලින් ඉස්ලාම්වාදී සටන්කරුවන් 20ක් මෙන්ම සෙබලූන් හා පොලිස් භටයන් ගනනාවක් ද මරනයට පත් වී ඇති බවයි.

සිනායි ගෝත‍්‍ර සමූහයේ නායක ෂීක් ඊබ්රාහිම් එල්-මානි පැවසුවේ එම ප‍්‍රදේශය "යුද පිටියකට” සම වූ බවයි. සිවිල් යුද්ධයක අවදානම පිලිබඳව ව්‍යංගයෙන් හඟවමින්, "ඇල්ජීරියාවේ හා සිරියාවේ සිද්ධි දාමයන් පිලිබඳව තමා කල්පනාකාරීව පසුවූ බව ද” ඔහු පැවසීය. ඔහු මෙසේ සඳහන් කලේ 1991-2002 සමයේ ඇල්ජීරියාවේ පැවති ලේ වැකි සිවිල් යුද්ධයත්, දැන් සිරියාවේ එක්සත් ජනපදය විසින් රූකඩ හමුදා යොදා මෙහෙයවනු ලබන යුද්ධයත් පිලිබඳව ය. මේ අවස්ථා දෙකෙහිදී ම සිදු වූයේ ඉස්ලාම්වාදී කැරැලිකරුවන් ජාතික හමුදාව හා යුද වැදීමයි.

ඊජිප්තු රජය විසින් පවත්වා ගෙන යනු ලබන අල් අහ්රාම් දිනපතා පුවත්පත අමතා ජනරාල් අලා එසදින් ප‍්‍රකාශ කලේ සිනායිහි විරෝධතා මැඞීමට හමුදාව ඉක්මනින් ම "මහා පරිමාන මෙහෙයුමක්” ආරම්භ කරන බවයි.

හමුදාව ගමන් කරන්නේ ප‍්‍රාන්තය තුල මුස්ලිම් සහෝදරත්වයේ බලය පවත්නා ස්ථාන වනසා දැමීමට ය. අලුතින් ධුරයේ පිහිටවූ ජනාධිපති ඇඩ්ලි මන්සූර්, පාර්ලිමේන්තුවේ ඉස්ලාම්වාදීන්ගේ ආධිපත්‍යයෙන් යුත් ඉහල සභාව වන ෂූරා කවුන්සිලය සිය අනින් 05දා විසුරුවා හැරීය.

එමෙන්ම හමුදාව මුස්ලිම් සහෝදරත්වයේ උත්තරීතර නායක මොහොමඩ් බඞී හා එහි කෝටිපති උපනායකයා වන ඛයිරත් අල්-ෂාටර් ද ඇතුලූ ඉහල පෙලේ නිලධාරීන් 300ක් පමන දෙනා අත් අඩංගුවට ගත් බව ද වාර්තා වී ඇත.

වොෂින්ටනයේ පූර්න සහාය ඇතිව කුමන්ත‍්‍රනය සිදුවෙමින් පවතී. ඊජිප්තුවේ සිදුවෙමින් පවතින්නේ කුමන්ත‍්‍රනයකැයි පිලිගැනීමෙන් පවා වැලැකී සිටීමට ඔබාමා පාලනය නරුම ලෙස ප‍්‍රයත්න දරා ඇත්තේ, එසේ පිලිගැනීමෙන් ඊජිප්තු හමුදාවට වාර්ෂිකව ලබා දෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3 ආධාර ලබා දීමට නීතියෙන් පැමිනෙන බාධා මග හැර යාමටය.

එක්සත් ජනපද කොන්ග‍්‍රස් සභිකයන් ද හඟවා ඇත්තේ කුමන්ත‍්‍රනයට දිගටම සහාය දැක්වීම සඳහා නීතිය නොතකා හැරීමට සිය අනුග‍්‍රහය දක්වන බවයි. "නීතිය එහි වගන්ති මගින් එක් දෙයක් අනවන අතර, සිහිබුද්ධියෙන් යුත් පිලිවෙතකින් අනවනු ලබන්නේ අප එය නොකල යුතු බවයැ”යි ඩිමොක‍්‍රටික් නියෝජිත හොවාර්ඩ් බර්මන් නිව්ර්ක් ටයිම්ස් පුවත්පත අමතා පැවසීය. "එය කුමන්ත‍්‍රනයක් ද නැද්ද යන්න පිලිබඳ තීරනය විධායකය විසින් ගත යුතු වන්නේ එබැවිනි. නීතියේ සරල අරුතින් ගත් කල කුමන්ත‍්‍රනයක් ඇති විය.” කෙසේ වෙතත් බර්මන් තවදුරටත් පැවසුවේ ඊජිප්තු හමුදාවට දෙන ආධාර කපා හැරීමට තමන් විරුද්ධ බවයි.

වොෂින්ටනයේ සහාය ලබන ඊජිප්තු හමුදා ජුන්ටාව වූ කලී, අන් සියල්ලටම වඩා කම්කරු පන්තියේ විරෝධය කුඩුපට්ටම් කර දැමීම සඳහා කැප වූ ගැඹුරින් ම ප‍්‍රතිගාමී පාලනයකි.

ඊජිප්තු හමුදාව ලවා ක‍්‍රියාත්මක කරවා ගැනීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට අවශ්‍ය වී ඇති ප‍්‍රතිගාමී පිලිවෙත් පිලිබඳ ව පැහැදිලි ම ඇඟැවීම ලැබී ඇත්තේ වෝල් ස්ට්‍රීට් ජර්නලයේ පල වූ කොලමකිනැයි ඇතැම්විට සිතිය හැක. එම කොලම මගින් නව ජුන්ටාවට කැඳැවුම් කොට තිබුනේ චිලී ආඥාදායක සමූහ ඝාතක ජනරාල් ඔගස්ටෝ පිනොෂේගේ ආදර්ශය අනුගමනය කිරීමට ය.

ජර්නලය වොෂින්ටනයෙන් ඉල්ලා තිබුනේ "වෙලඳ පොලවල්, ජාත්‍යන්තර නය සහ ආයෝජන ප‍්‍රාග්ධනය කරා ප‍්‍රවිෂ්ඨවීමට ඊජිප්තුවට ආධාර කරන” ලෙසය. ”වඩාත් හොඳ ප‍්‍රතිඵලයක් සඳහා තමා සතු ලීවරය භාවිතා කිරීමට දෙවන අවස්ථාවක් ද එක්සත් ජනපදයට දැන් ලැබී ඇත. ඊජිප්තුව දැන් පාලනය කරන ජනරාල්වරුන් චිලියේ ඔගස්ටෝ පිනෝෂේගේ අච්චුවේම අය වෙත් නම්, ඊජිප්තුවාසීන් වාසනාවන්ත පිරිසකි. වියවුල් මධ්‍යයේ බලය ගත් නමුත් පිනෝෂේගේ නිදහස් වෙලඳපොල ප‍්‍රතිසංස්කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා සංක‍්‍රමනයට වින්නඹු කම් කලේය.”

පිනෝෂේ බලයට පත් වූයේ, 1973 සැප්තැම්බර් 11 දින එක්සත් ජනපද සහාය ලද කුමන්ත‍්‍රනයක් මගින් සැල්වදෝර් ඇලන්ඬේගේ මහජන සභාග රජය බලයෙන් පහ කර දමමිනි. ඔහුගේ රාජ්‍ය තන්ත‍්‍රය යටතේ ලක්ෂ ගනන් චිලියානුවෝ ඝාතනයට, වධ බන්දනයන්ට හා පිටුවාහල් කරනු ලැබීමට පාත‍්‍ර වූහ.

ධාන්‍ය හා ඉන්ධන මිල සඳහා රාජ්‍ය සහනාධාර කපා හැරීමේ ගැඹුරින් ම මහජන අප‍්‍රසාදයට පාත‍්‍රවන පියවර කරා පියවර ගැනීමේ දී එක්සත් ජනපදයේ මූල්‍ය සම්පාදකයන්, ඊජිප්තුව සඳහා වූ ආදර්ශයකැයි සලකන්නේ චිලී දේශයෙහි දී කම්කරු පන්තියේ ජීවන මට්ටම් වනසා ලූ පිනෝෂේගේ ප‍්‍රතිගාමී නිදහස් වෙලඳ ප‍්‍රතිපත්තීන් ය. ආහාර සහ ප‍්‍රවාහන මිල ගනන් ඊජිප්තුවේ කම්කරු පන්ති පවුල්වලට දැරිය හැකි මට්ටමට පවත්වා ගෙන යාම සඳහා මේ සහනාධාර තීරනාත්මක ලෙස අත්‍යවශ්‍යය.

ලෝක බැංකුවේ හිටපු මැද පෙරදිග පිලිබඳ ප‍්‍රධාන ආර්ථික විශේෂඥ කැරොලින් ෆ්රෙවුන්ඞ් ලියූ පරිදි: "ඊජිප්තුවේ ආර්ථික ගැටලූ සම්බන්ධයෙන් නිවැරදි ප‍්‍රවේශය වනු ඇත්තේ නාස්තිකාර වියදම් - විශේෂයෙන් ම ඉන්ධන සහනාධාර - නවතා දැමීම් වශයෙන් වන වේදනාකාරී පියවර කල් නොයවා දැන් ම ගැනීමයි. ඊජිප්තුවේ අයවැය හිඟය දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 10 ද ඉක්මවා තව දුරටත් වැඩෙමින් පවත්නා අවස්ථාවක මෙම වියදම්වලට රජයේ ආදායමෙන් හරි අඩක් පමන ම වැය කරන්නට සිදු වී ඇත.”

තමන්ගෙන් ඉල්ලා සිටින පිලිවෙත් ක‍්‍රියාත්මක කරන බවට, ඊජිප්තු හමුදා රජය ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයට ප‍්‍රචන්ඩ ආකාරයකින් සංඥා කරමින් සිටී. ඊජිප්තු මහ බැංකුවේ හිටපු අධිපති ෆාරුක් එල්-ඔක්දා දැන් අගමැති පදවිය සඳහා යෝජනා කොට ඇත. එම ධුරයට තවත් යෝජිත අපේක්ෂකයෙකු වන්නේ මෝගන් ස්ටැන්ලි බැංකුවේ හිටපු බැංකුකරුවකු වූ, දැන් බහරේන්හි අහ්ලි යුනයිටඞ් බැංකුවේ ඉහලම විධායකයෙකු වන අදෙල් එල්-ලබාන් ය. හමුදා රජය "රටින් පලා ගිය ඇතැම් ආයෝජකයන් හා මුදල්” යලි ඇද ගැනීමට උත්සුක වන "වඩාත් තාක්ෂන තාන්ත්‍රික පාලනයක්" ගැන ව්‍යාපාරිකයන් උද්දාමයට පත් ව ඇතැයි ඇමරිකානු හඬ ගුවන් විදුලිය සඳහන් කලේය. එය ඒඞීඅයි කැපිටල් ආයෝජන බැංකුවේ සභාපති කරීම් හෙලාල්ගෙන් මෙසේ උපුටා දැක්වී ය: "කැබිනට්ටුවට එක් වීමට ආරාධනා ලබන කවරෙකු හෝ ඊට නොපැකිලෙනු ඇතැයි මම විශ්වාස කරමි.”

Share this article: