ජපන් මිලිටරිවාදයේ යලි මතුවීම

The re-emergence of Japanese militarism

ජෝන් චෑන් විසිනි, 2013 ජූලි 13

09දා නිකත් කෙරුනු අලුත් ම ආරක්ෂක ධවල පත්‍රිකාව, අගමැති ෂින්ෂෝ අබේගේ දක්ෂිනාංශික ආන්ඩුව යටතේ මිලටරිවාදය නැවත මතුවීම පිලිබඳ තවත් නොවරදින සංඥාවකි. පත්‍රිකාව චීනය සම්බන්ධයෙන් යුදවාදී පිලිවෙතක් අනුගමනය කරන අතර වොෂින්ටනය සමග ජපානයේ මිලිටරි හැකියාවන් හා සම්බන්ධතා පුලුල් කිරීම මත දැඩි අවධාරනයක් යොද යි.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එල්පීඩී) පසු ගිය දෙසැම්බරයේ බලයට පැමිනියේ ජපාන ජාතිකවාදය හා මිලිටරිවාදය අධිකාරවත්වූ මැතිවරනයක දී ය. විවාදිත සෙන්කාකු/ ඩියාඕයු දුපත් මත චීනය පිලිබඳව දැඩි ආස්ථානයක් ගැනීමට අසමත්වීම පිලිබදව අබේ කලින් පැවති ජපාන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඩීපීජේ) හෙලා දුටු අතර "ශක්තිමත් ජාතියක් ” හා "ශක්තිමත් හමුදාවක්” ගොඩනැගීමට පොරොන්දු විය.

එක්සත් ජනපදයේ ඔබාමා පාලනය ජපාන මිලිටරිවාදය යලි හිසඑසවීම හිතාමතාම දිරිමත් කර ඇත්තේ චීනය වටකිරීම වෙතට යොමුවුනු එහි "ආසියාවට හැරීමේ” කොටසක් ලෙස ය. ඊසාන දිග ආසියාව තුල වඩා ආක්‍රමනකාරී ආස්ථානයක් ගැනීමට, එහි මිලිටරි හැකියාවන් ශක්තිමත් කිරීමට හා එහි ව්‍යවස්ථාවේ සාමවාදී වගන්තිවල මොන යම් හෝ බාධාවන්ගෙන් ඔවුන් නිදහස් කිරීමට ධවල මන්දිරය ජපානය දිරි ගන්වා ඇත.

ධවල පත්‍රිකාව ජපාන ආරක්ෂක ප්‍රතිපත්තිය පෙර තත්වයට පත් කිරීමේ අබේගේ පොරෙන්දුවේ ප්‍රතිඵලය යි. පත්‍රිකාව එලිපිට ම ප්‍රහාරාත්මක ස්වභාවයේ පියවර දෙකකට ඇඟිල්ල දිගු කර යි. එනම්, පලමුව විදේශවල හතුරු කඳවුරුවලට එරෙහිව පූර්වභංග ප්‍රහාරාත්මක හැකියාව වර්ධනය කිරීමේ අවශ්‍යතාව, දෙවනුව, එක්සත් ජනපද නාවුක සේනාංකයට සමාන ජපාන හමුදාවක් නිර්මානය කිරීම යි.

රටේ "ස්වයං ආරක්ෂ හමුදා” ජපන් සීමා ආරක්ෂා කිරීමට සීමා කරන ව්‍යවස්ථාව මග හැරීමේ උත්සාහයක් තුල අබේ, පූර්වභංග ප්‍රහාරයන් යුක්තිසහගත කර ඇත්තේ, විභව මිසයිල ප්‍රහාරයන්ට එරෙහිව "ස්වයං ආරක්ෂාව” ලෙස ය. ඒ ආකාරයනේ ම, ජපන් නාවික හමුදා වර්ධනය කෙරෙමින් පවතින්නේ එහි දූපත් පෙල, විශේෂයෙන් ම චීනය සමග විවාදිත කුඩා දූපත ආරක්ෂා කිරීමට හමුදාවට හැකියාවක් තිබිය යුතු ය යන කඩතුරාව මත ය.

ජපන් මිලිටරි හැකියාවන් ගොඩනැගීම, චීනයට එරෙහිව යුද්ධය සඳහා එක්සත් ජනපද සූදානම සමග ගැලපෙන්නේ ය. චීනයේ හමුදා කඳවුරු හා සන්නිවේදන ජාලයන්ට එරෙහිව විනාසකාරී ගුවන් හා මිසයිල ප්‍රහාරයන් දියත් කිරීමට වන පෙන්ටගනයේ "ගුවන්/මුහුදු සටන්” සැලසුම්වල අංගයක් බවට මේ වන විටත් පත්ව ඇති ජපානය තුල එක්සත් ජනපද කඳවුරු ඌනපූරනය කෙරෙන්නේ බල බිඳින නාවික අවහිර කිරීමක් මගිනි.

මීට පෙර ගෙනආ ආරක්ෂක පත්‍රිකාවලට වෙනස් ආකාරයකට මෙම පත්‍රිකාවේ එල්ලය වෙනස් කර ඇත. උතුරු කොරියාව වෙතින් එය චීනයෙන් එල්ල වන "තර්ජනය” වෙත මාරුකර තිබේ. පත්‍රිකාව චීනයට හා චීන හමුදාවට පිටු 20ක් කැප කරන්නේ "ජාත්‍යන්තර නීතියේ පවතින පිලිවෙල සමග නොපෑහෙන එහි ම තක්සේරුව මත පදනම් ව, බලහත්කාරයෙන් පවත්නා තත්වය වෙනස් කිරීමට” උත්සාහ ගැනීම සම්බන්ධයෙන් පලමු වරට බීජීනයට දෝෂාරෝපනය කරමිනි. යතාර්ථයේ දී, මීට පෙර පැවති ඩීපීජේ ආන්ඩුව ම චීනය සමග සෙන්කාකු/ඩියාඕයූ ගැටුම හිතාමතා ගිනි දැල්වූයේ පසුගිය වසරේ දූපත "ජනසතු කිරීම” මගිනි.

ජ‍පන් හමුදාව ශක්තිමත් කිරීමට අබේ වහා ම පියවර ගෙන ඇත. මෙම වසර මුල දී, ඔහු නිවේදනය කලේ දශකයකට වැඩි කාලයක් තුල ආරක්ෂක වියදම්වල පලමු වැඩි කිරීම යි. ඔහු ව්‍යවස්ථාව නවීකරනය සදහා පියවර ගනිමින් සිටින අතර "ස්වයං ආරක්ෂක හමුදා” "සාමාන්‍ය හමුදා” බවට පත් කිරීම එහි එල්ලයයි. සාංකල්පික පෙරමුනේ දී, ලිංගික වහල් සේවයට කාන්තාවන් බලෙන් ඇද දැමීම වැනි ජපානයේ යුද කාලීන ම්ලේච්ඡත්වයන් පිලිබඳ ස්ථාපිත ඓතිහාසික කාරනාවලට ඔහු අභියෝග කරයි.

ධවල පත්‍රිකාව නිකුත් කෙරුනේ චීනය සමග වැඩෙන ආතතිය මධ්‍යයේ ය. විශාල හෙලිකොප්ටර් යානා ඇතුලු ව ජපන් හමුදා එක්සත් ජනපදයේ බටහිර වෙරලට යවන ලද්දේ චීනය සමග ගැටුම්වලට යොමුවන සිද්ධි සමුදායක් යටතේ ගොඩ බැසීමේ අභ්‍යාස පැවත්වීමට ය. ඒ අතර ම චීනය හා රුසියාව ජපන් මුහුදේ ඔවුන්ගේ පෙර නො වූ විරූ විශාල ම ඒකාබද්ධ නාවික අභ්‍යාසය මෑතක දී පැවැත්වීය. එය ජපානයට හා එක්සත් ජනපදයට පැහැදිලි අනතුරු ඇඟවීමකි.

1930 හා 1940 ගනන් වල චීනය තුල ජපානයේ ම්ලේච්ඡ වාඩිලා ගැනීම සිහි ගන්වමින් චීනය රට තුල ජාතිකවාදය ඇවිස්සීමට ජපන් ධවල පත්‍රිකාව ඩැහැගෙන ඇත. ජපානයේ "යුද සූදානම, හමුදා ශක්තිමත් කිරීම හා නිරන්තර හමුදා අභ්‍යාස එහි සැබෑ අභිප්‍රායන් හා එහි අනාගත දිශානතීන්” ගැන උත්සුකයන් මතු කරන බවට බීජීනය අනතුරු ඇඟවීය.

ජපන් ධවල පත්‍රිකාව තුල චීනය විස්තර කරන්නේ, පලල් වන ආදායම් විෂමතාව, වාර්ගික අසන්තෘප්තිය හා දූෂනය ඇතුලු අභ්‍යන්තර අර්බුද වලින් ඉරී ගිය, ඒ නිසා ම රට තුල සමාජ ආතතීන් ඉවතට හැරවීමේ මාධ්‍යයක් ලෙස වඩාත් බලහත්කාරී විදේශ ප්‍රතිපත්තියකට තල්ලු වන රටක් ලෙස ය.

ජපන් ධනවාදය පිලිබඳව ද එය ම කිව හැක. ආර්ථික පල්වීමේ දශක දෙකකට පසු අබේ උත්සාහ දරමින් සිටින්නේ වඩාත් ආක්‍රමනකාරී ආර්ථික හා මිලිටරි ප්‍රතිපත්ති හරහා එහි ප්‍රතිමල්ලවයන්ගේ වියදමින් ජපාන වැටීම නැවත්වීමට ය. ඔහු ජාතිකවාදී මනෝගතිය කලඹන්නේ ඔහුගේ ආන්ඩුව කප්පාදු පියවර ක්‍රියාත්මත කිරීමත් සමග අනිවාර්යයෙන් ම නරකිනුත් නරකට හැරෙන පොහොසත් දුප්පත් සමාජ බෙදීම්වලින් (අවධානය) අහකට හැරවීමට ය.

1930 ගනන්වල මහා අවපාතයට ප්‍රතිචාර වශයෙන් ජපානයේ මිලිටරි තන්ත්‍රය ආසියාව ජයගැනීමේ යුද්ධවලට හැරුන අතර රට තුල කම්කරු පන්තියේ හා ග්‍රාමීය දුප්පතුන්ගේ විරුද්ධත්වය නිර්දය ලෙස කුඩු කලේ ය. අබේගේ ආන්ඩුව ද උත්සාහ කරමින් සිටින්නේ එහි දක්ෂිනාංශික, ව්‍යාපාර ගැති න්‍යායපත්‍රය කෙරේ පල වන මහජන විරෝධය මර්දනය කිරීමට සූදානම් වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාස කිරීමට ය.

එල්ඩීපීයේ යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳ විධිමත් සහතිකය මකා දමා ඇත්තේ ඒ වෙනුවට ජපානයේ "සම්ප්‍රධායානුකූල වටිනාකම්”, එනම් රාජ්‍යයට අවනතවීමේ පුරවැසි යුතුකම වැනි දෑ අවධාරනය කරමිනි. තව ද, යුද්ධ මෙන් ම "අභ්‍යන්තර ගැටුම් හේතු කොට ගෙන සමාජ කැලඹීම්” අවස්ථාවක දී "හදිසි නීති තත්වයක්” පැනවීමට අගමැතිට බලය ලැබෙනු ඇත.

ජපානයේ සමස්ත දේශපාලන සංස්ථාපිතය ම පෙල ගැසෙන්නේ යුද්ධය සඳහා අබේගේ සූදානම්වීම සමග ය. පසු ගිය වසරේ මැතිවරන ව්‍යාපාරය තුල දී සියලු ම පක්ෂ ඉල්ලා සිටියේ ජපාන වැයික්කියේ කොටසක් ලෙස සෙන්කාකු/ ඩියාඕයු දූපතේ ආරක්ෂාව යි. හිටපු ඩීපීජේ අගමැති යකිඕ හටෝයාමා මෑත දී "ද්‍රෝහියෙකු” ලෙස හෙලා දකිනු ලැබ ඇත්තේ දූපත සම්බන්ධයෙන් ජපානයට චීනය සමග ආරවුලක් ඇතැ යි ජපානය පිලිගත යුතු බව අඩුවශයෙන් යෝජනා කිරීම නිසාය.

ජපාන මිලිටරිවාදය හා යුද්ධය නැවත පන ගැන්වීමට සාමාන්‍ය කම්කරුවන් අතර ගැඹුරු ලෙස කාවැදුනු විරෝධයක් ඇති නමුත් මෙය කිසිදු දේශපාලන මාධ්‍යයක් හරහා ප්‍රකාශනයක් සොයා නො ගනී. එක්සත් ජනපදය සමග ජපානයේ සන්ධානය නැවත නැවතත් ප්‍රධාන විරෝධතා පොලඹවා ඇති අතර ඉතාමත් මෑතක විරෝධය පැවත්වුනේ ඉරානය තුල නීතිවිරෝධී එක්සත් ජනපද වාඩිලා ගැනීමට සහාය පිනිස හමුදා යැවීමේ තීරනයට එරෙහිව විය.

එක්සත් ජනපද "හැරීම” ආසියාව තුල ප්‍රහාරක යුද අවි තරඟයක් පොලඹවන අතර කොරියානු අර්ධද්වීපය මෙන් දීර්ගකාලීන ජ්වලනාංක දැල්වීම හා භයානක අලුත් තත්වයන් ඇතිකිරීමත් සමග ගැටුමේ අනතුර වැඩෙමින් පවතී. ජපානය තුල කම්කරුවන්ට හා තරුනයන්ට යුද්ධයට විරුද්ධ විය හැකි එක ම මාවත නම් යුද්ධයේ මූල හේතුව වන ධනවාදය අහෝසි කිරීමේ අරගලය තුල දී චීනයේ, එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරව තම පන්ති සහෝදරයන් හා සහෝදරියන් සමග එක්සත් වීම යි.

මෙහි අර්ථය වන්නේ ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජපන් ශාඛාවක් ගොඩනැගීම යි, යුද්ධය, කප්පාදු හා ඒකාධිපතිත්වය දෙසට ආන්ඩුවල තල්ලුව අවසන් කිරීමට සමාජවාදී ජාත්‍යන්තරවාදය මත පදනම් ව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සටන් කරන්නේ ජාත්‍යන්තර කමිටුව පමනි.

Share this article: