එඩ්වර්ඩ් ස්නෝඩන් ආරක්ෂා කරනු! සසප/සසජාතශි කොලඹදී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි

SEP/IYSSE meeting in Colombo: Defend Edward Snowden!

සමාජවාදී සමානතා පක්ෂය විසිනි , 2013 ජූලි 04

ඇමරිකානු බුද්ධි අංශවල දැවැන්ත ඔත්තු බැලීමේ මෙහෙයුම් ගැන එලිදරව් කල එඩ්වර්ඩ් ස්නෝඩන් ආරක්ෂා කිරීමේ ප්‍රසිද්ධ රැස්වීමක් කොලඹ දී පැවැත්වීමට සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාවය සඳහා වූ ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය විසින් කටයු යොදා ඇත.

ජාතික ආරක්ෂක ආයතනයේ හිටපු සේවක ස්නෝඩන් අපරාධකරුවෙකු ලෙස සලකා අත්අඩංගුවට ගැනීමේ එක්සත් ජනපද, ගෝලීය මෙහෙයුමක ඉල්ලක්කය බවට පත්ව සිටී. ඔහු කල එකම "අපරාධය" වන්නේ ජාතික ආරක්ෂක ආයතනය විසින් එක්සත් ජනපදයේ හා ලොවපුරා ජනතාව දැවැන්තව සහ නීති විරෝධීව විද්‍යුත් නිරීක්ෂනයන්ට භාජනය කිරීම එලිදරව් කිරීම ය. දුරකථන ඇමතුම්, ඊමේල් හා අනෙකුත් විද්‍යුත් පනිවුඩ සහ අන්තර්ජාල ක්‍රියාකාරීත්වයන් ක්‍රමානුකුලව පරීක්ෂාවට ලක් කිරීම ඊට ඇතුලත්ය.

ඔහුගේ නිර්භීත ක්‍රියාව නිසා ස්නෝඩන් මුහුන දී සිටින්නේ බරපතල අන්තරායකට ය. කොන්ග්‍රස් සභාවේ සහ මාධ්‍යවල පිටුබලය ලබන ඔබාමා ආන්ඩුව ඔත්තු බැලීමේ චෝදනා ඔහුට ඉදිරිපත් කර ඇති අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අවලංගු කොට ඇත. ඔහු දැන් මොස්කව් ගුවන් තොටුපොලෙන් එලියට යාගත නොහැකිව සිර වී සිටින අතර දේශපාලන රැකවරනයක් අපේක්ෂා කරයි. තවදුරටත් තොරතුරු එලි දරව් කිරීම වැලැක්වීම සඳහා ඔහු නිහඬ කිරීමට සහ සෙසු අය ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීමෙන් වැලැක්වීම සඳහා ඔවුන්ව ත්‍රස්ත කිරීම සඳහා ද කල හැකි හැමදෙයක් ම එක්සත් ජනපදය කරයි.

එඩ්වර්ඩ් ස්නෝඩන් මෙන් ම, ඒ හා සමානව එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සාපරාධී ක්‍රියාවන් එලිදරව් කල බ්‍රැඩ්ලි මැනින් සහ ජුලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමේ වගකීමක් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියට තිබේ. ඔවුන් ආරක්ෂා කිරීම ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහි අරගලයෙන් වෙන් කල නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකීමට උත්සුකවන කම්කරුවන්, තරුනයන් සහ සෙසු කවර හෝ අයගෙන් මෙම වැදගත් රැස්වීමට සහභාගිවන ලෙස අපි ඉල්ලා සිටිමු.

රැස්වීම පැවැත්වෙන ස්ථානය: මහජන පුස්තකාල ශ්‍රවනාගාරය, කොලඹ 7.

දිනය සහ වේලාව: ජුලි 12 වෙනි සිකුරාදා සවස 4 ට

Share this article: