ඊජිප්තුව තුල ප්‍රකම්පනය අඟවන්නේ ලෝක විප්ලවයේ නව අවධියකි

Convulsions in Egypt signal new era of world revolution

2013 ජූලි 05

ජනාධිපති මූර්සි නෙරපා හල මිලිටරි කුමන්ත්‍රනයෙන් කූඨප්‍රාත්ත මෙම සතියේ ඊජිප්තුව තුල ඇතිවූ ප්‍රකම්ප සිදුවීම් ලෝකය පුරා කම්කරු පන්තියට ඉමහත් වැදගත් කමක් දරයි.

මෙම සිදුවීම්වල ආකර්ෂනීය ලක්ෂනය වන්නේ මූර්සිගේ ඉස්ලාමීය තන්ත්‍රයට එරෙහිව සමාජ විරෝධයේ පිටාර ගැලීමේ ඉමහත් පරිමාව යි. නගර මධ්‍යස්ථානවලට ගලන ජනසන්නිපාතය දස දහස් හෝ සිය දහස් ගනන් නො ව මිලියන ගනනකි. මුලු රට පුරා මිලියන ගනනාවක් (විරෝධතාවන්ට) සහභාගී වූහ.

"ඓතිහාසික ක්‍රියාවේ පරිපූර්නත්වය සමග එක්වගත් ජනතාවගේ ප්‍රමානය ඔවුන්ගේ ක්‍රියාව වර්ධනය කරනු ඇතැ යි” කාල් මාක්ස් හා ෆ්‍රෙඩ්රික් එංගල්ස් 1844 දී සඳහන් කලේ යුරෝපීය කම්කරු පන්තියේ පලමු මහා විප්ලවවාදී අරගල (1848-49) ආසන්නයේ දී ය. මිලියන ගනනාවක් අරගලයට ඇදගන්නා වූ නව "ඓතිහාසික ක්‍රියාව” ගෝලීය වශයෙන් ඒකාබද්ධ ධනවාදයට එරෙහිව නැගී එන ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවය වන්නේ ය. මෑත වසරවල දී ලෝකය පුරා, එනම් කප්පාදුවලින් විනාස කෙරුනු ග්‍රීසිය, පෘතුගාලය හා ස්පාඤ්ඤය වැනි යුරෝපීය රටවල ද; චීනය හා බංග්ලාදේශය වැනි ආසියාවේ කාර්මික කලාපයන්හි ද; ඊස්රායලය තුල දැවන්ත කම්කරු පන්තික විරෝධතාවන් ඇතුලු ව මැද පෙරදිග ද; වඩාත් මෑතක තුර්කියේ හා බ්‍රසීලයේ ද මහා වැඩවර්ජන හා විරෝධතාවන් දක්නට ලැබුනි. ඊජිප්තුව තුල ජනතා අරගලයන්ගේ එක පිට එක හටගන්නා රල පෙල ජාත්‍යන්තර ක්‍රියාදාමයක වඩාත් ම තීව්‍ර ප්‍රකාශන වේ.

1991දී සෝවියට් සංගමයේ ඇදවැටීම ඉතිහාසයේ අවසානය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහනය සංඥා කලේ ය යන ප්‍රකාශයන් ගෝලීය ආර්ථික අර්බුදය හා කම්කරු පන්තියේ නව නැගිටීම් මගින් පුපරුවා හැරෙමින් තිබේ. ඊජිප්තු නැගිටීම් සිදුවිය හැක්කේ කුමක් ද යන්න පිලිබඳ අවබෝධයක් ලබා දෙයි: එනම් මුල් කාලයේ විප්ලවයන් අඟුටුමිටි කරනු ඇති විප්ලවවාදී අරගලයන් තුලට මිලියන සිය ගනනක් කම්කරුවන් හා පීඩිත මහජනතාවගේ පිවිසීම යි.

පන්ති අරගලය මතුවී ඒම පිටුපස ඇති ගාමක බලවේගයන් වන්නේ ලෝක ධනේශ්වර පද්ධතියේ ප්‍රතිඝතිතාවන් ය. ඕනෑ ම දෙන ලද රටක කම්කරු පන්තිය අරගලවලට තල්ලු කෙරෙන ගැටලු ජාතික ස්වභාවයකට වෙනස් ලෙස මූලිකව ම ජාත්‍යන්තර ස්භාවයක ඒවා ය. නිෂ්පාදන මාධ්‍යයන්ගේ ධනේශ්වර පෞද්ගලික අයිතිය හා ජාතික ආන්ඩු පද්ධතියේ සීමා තුල ආර්ථික පැවත්ම ගෝලීයකරනය වීම මඟින් නිර්මානය කර ඇත්තේ කවදාවත් නො වූ තරම් ආර්ථික පරපුටුභාවය, සමාජ අසමානතාව, යුද්ධය හා ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම යි.

මෙම තත්වයන්, "ධනවාදයේ මරලතෝනිය” පිලිබඳව ලියූ 20වැනි සියවශේ ශ්‍රේෂ්ඨත ම විප්ලවවාදී නායකයා වන ලියොන් ට්‍රොට්ස්කි විසින් හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භක ක්‍රියාමාර්ගය වන සංක්‍රමනීය ක්‍රියාමාර්ගය තුල සපයන ලද ගුනාංගිකරනය පිලිබඳ සත්‍යේක්ෂනයකි. දෙවැනි ලෝක යුද්ධයේ විධාරනයට වසරකට පෙර, 1938දී ට්‍රොට්ස්කි පැහදිලි කලේ සමාජවාදී විප්ලවය සඳහා පූර්වකොන්දේසි පරිනත වී තිබුනු බව යි. ඔහු ප්‍රකාශ කලේ මනුෂ්‍ය වර්ගයාගේ ඓතිහාසික අර්බුදය "විප්ලවවාදී නායකත්වයේ අර්බුදය බවට සිඳී ඇති” බව යි.

එම අවස්ථාවේ දී, ට්‍රොට්ස්කි ලියමින් සිටියේ තම සම්පූර්න ශක්තිය සමාජවාදී විප්ලවය අවහිර කිරීමට කැප කල ස්ටැලින්වාදී, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී හා කම්කරු නිලධාරී තන්ත්‍රයන්ට එරෙහිව ය. ඔවුන්ගේ පාවාදීම්වල ප්‍රතිඵලය වූයේ කම්කරු පන්තියේ විනාසකාරී පරාජයන් මාලාවක්, ෆැසිස්ට්වාදය හා යුද්ධය යි.

අද මහජන අරගල නැවත වතාවක් පෙරමුනට ගෙනවිත් ඇත්තේ කම්කරු පන්තිය තුල නායකත්වයේ අර්බුදය යි. සමාජවාදී විප්ලවය සඳහා වෛෂයික කොන්දේසි වේගයෙන් ඉස්මතු වෙමින් පවතී. නමුත් නව විප්ලවවාදී කාල පරිච්ඡේදයක ඉල්ලීම්වලට සරිලන දේශපාලන නායකත්වය පිලිබඳ අර්බුදය විසඳීමට ඉතුරුව ඇත.

ඊජිප්තුව තුල මහජන නැගිටීම් තනි තනි පාලකයන් පෙරලා දමා හා දේශපාලන ප්‍රභූව අස්ථාවර කර ඇතත් හමුදාව පලවා හැරීම, ධනේශ්වර සූරාකෑම හා මර්දනය අවසන් කිරීම හෝ ධනේශ්වර රාජ්‍යයට අවසාන තිත තැබීම සම්බන්ධයෙන් ඔවුන් සාර්ථක වී නොමත.

ඊජිප්තුව තුල මහජන බලමුලුගැන්වීමේ රල පෙල 2011දී මුබාරක් නෙරපා හල නමුත් සමාජවාදී විප්ලවයක් මෙහෙයවීමට සූදානම් කෙරුනු පක්ෂයක් එහි නොවී ය. ඒ වෙනුවට එහි වූයේ එක්සත් ජනපදයට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන්ට බැඳුනු බංකොලොත් ධනපති පක්ෂ හා අනන්‍යතා දේශපාලනයේ ආත්මකාමී ඉදිරිදර්ශන මත පදනම් වූ හා කම්කරු පන්තියේ මොනයම් හෝ ස්වාධීන ව්‍යාපාරයකට හතුරු සුළුධනේශ්වර ව්‍යාජ -වාම පක්ෂවල හිස් තීරුවකි. මෙම සංවිධාන කිසිවකට මහජනතාගේ අවශ්‍යතාවන් විසඳීමට මොන යම් හෝ දේශපාලන-සමාජ ක්‍රියාමාර්ගයක් නො වූ හෙයින් බලය මිලිටරි ජුන්ටාව අතට පත්වුනි.

කම්කරු පන්තිය පෙරමුන ගත්, ජුන්ටාවට එරෙහිව මහජන විරෝධය 2011 හා 2012 පුරා ඉහල ගියේ ය. නමුත් ධනේශ්වර විරුද්ධ පක්ෂයේ හා එහි ව්‍යාජ වාම-පිලිලවල බංකොලොත්කම, ආරම්භකත්වය ගැනීමට හා ආන්ඩු බලය අල්ලාගැනීමට දක්ෂිනාංශික මුස්ලිම් සහෝදරත්වයට හැකියාව ලබා දුන්නේය. වැරදි නමක් පටබැඳගත් විප්ලවවාදී සමාජවාදීන් 2012 මැතිවරනය තුල මුස්ලිම් සහෝදරත්වයේ ජයග්‍රහනයට ප්‍රශංසා කලේ එය විප්ලවය සඳහා විජයග්‍රහනයක් ලෙස පෙන්වමිනි.

යන්තම් වසරකට පසු, ජාතික පරිමාන මහජන ව්‍යාපාරයක් තරීර් චතුරස්‍රයෙන් බොහෝ ඈතට ගමන් කරමින් සහෝදරත්වයට හා ජුන්ටාවට වඩා ඒකාධිපතිත්වයෙන් අඩු නො වූ ජනාධිපති මූර්සිට විරුද්ධව මතුවිය. කෙසේ නමුත් විප්ලවවාදී කම්කරු පක්ෂයක් නොමති තත්වයක් තුල මිලිටරිය, ධනේශ්වර හා සුලුධනේශ්වර පක්ෂ සමඟ කල කැලඹුනු සාකච්ඡා මාලාවක් තුල දී මූර්සි නෙරපීමට හා ධනේශ්වර නායකයින්ගේ පෙරමුනක් විසින් නායකත්වය ගන්නා නව ජුන්ටාවක් ඇටවීමට එකඟ වූහ. මෙය කම්කරු පන්තියේ විප්ලවවාදි ව්‍යාපාරයක මතුවීමට එරෙහිව පූර්වභංග ප්‍රහාරයක් විය.

විප්ලවය තුල මහජනතාවට ඍජු ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් තමන් සවිමත් නොවන බව අවබෝධ කරගත් මිලිටරිය, සභාගයක ව්‍යාජය පිටුපසින් වැඩ කරන්නේ, කම්කරු පන්තියට එරෙහිව ප්‍රචන්ඩ යුද්ධයක් සූදානම් කිරීමට ය. එය දැවන්ත මර්දනයක් සඳහා සූදානම් වන අතරතුර උත්සාහ කරනු ඇත්තේ, සමාජ කප්පාදු ප්‍රතිපත්තිවලට හා එක්සත් ජනපදය සමග ඊජිප්තු හමුදාව පවත්වන සම්බන්ධකම් කෙරෙහි කම්කරු පන්තිය තුලින් පල වන විරුද්ධත්වය බිඳහෙලීමට ය. ඊජිප්තු කම්කරුවන් ද නාගරික හා ග්‍රාමීය දුගී ජනතාව ද මෙම අබලන් තන්ත්‍රය සමග නව ගැටුමකට මුහුන දෙන බව පෙර දැකීම අපහසු නැත.

ඊජිප්තුව තුල පමනක් නො ව ලෝකය පුරා ම මෙම තීරනාත්මක අත්දැතීම්වල පාඩම් උකහා ගතයුතු ය. 20වෙනි සියවසේ හා 21වෙනි සියවසේ ආරම්භක වසරවල ඓතිහාසික පාඩම් මත පදනම් වෙමින් කම්කරු පන්තිය තුල අවංක විප්ලවවාදී නායකත්වයක් වර්ධනය කිරීමේ අරගලය තුල දී , ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ මූලික සංකල්ප ග්‍රහනය කර ගත යුතු ය:

•ධනේශ්වර පන්තියේ කිසියම් කොටසකට හෝ එහි දේශපාලන නියෝජිතයන්ට ප්‍රගතිශීලී කාර්යභාරයක් පවතින කිසි ම රටක් ලෝකය තුල හෝ අඩු වශයෙන් සියළු ම පීඩිත පැරනි යටත් විජිත රටවල හෝ නොමත.

•සියලු ම රටවල අතිමූලික විප්ලවවාදී බලවේගය කම්කරු පන්තිය වන අතර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට හා ආරක්ෂා කිරීමට සම්මුතියකින් තොර ව සටන් කල හැක්කේ එයට පමනී.

•ඕනෑ ම රටක් තුල අරගලයට මග පෙන්විය යුත්තේ ජාත්‍යන්තර මූලෝපායක් මගිනි. ඊජිප්තු කම්කරුවන් සම්බන්ධයෙන් ගත් විට විප්ලවය ජයග්‍රාහී විය හැක්කේ කලාපීය පාලක ප්‍රභූව සහ එක්සත් ජනපදය හා යුරෝපය තුල ඔවුන්ගේ හාම්පුතුන්ට එරෙහිව පොදු අරගලය තුලට ඊස්රායෙල් නිර්ධන පන්තිය ද ඇතුලු සමස්ත මැද පෙරදිග කම්කරු පන්තිය රැලිකර ගන්නා තාක් දුරට පමනී.

මැද පෙරදිග මහජනතාව මත තම අභිප්‍රාය පැටවීමේ දී අධිරාජ්‍යවාදීන් කිසි ම තැනක නතර වන්නේ නැත. ඊජිප්තුව තුල විප්ලවය පිපිරී යාමෙන් ඉක්බිතිව, ලිබියාව හා සිරියාව තුල දියත්කරන ලද ලේවැකි යුද්ධ අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය. විකල්ප වශයෙන් පවතින්නේ එක්කෝ සමාජවාදී විප්ලවය නැත්නම් අධිරාජ්‍යවාදී බලවතුන් විසින් මැද පෙරදිග අලුතෙන් යලි කැබලි කිරීම හා කම්කරු පන්තිය වහලුන් බවට පත් කිරීම යි. ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව ඉදිරිදර්ශනය මත පදනම්ව මැද පෙරදිග හා ජාත්‍යන්තරව නව මාක්ස්වාදී පක්ෂ ගොඩනැගීමෙන් තොරව සමාජවාදී මූලෝපායක් ක්‍රියාත්මක කිරීම සිතා ගැනීමට වත් නොහැකි ය.

ඇලෙක්ස් ලැන්ටියර් හා ඩේවිඩ් නෝත්

Share this article: