ඊජිප්තු විප්ලවය හා විප්ලවවාදී නායකත්වයේ අර්බුදය

The Egyptian Revolution and the crisis of revolutionary leadership

2013 ජූලි 02

දිගු කලක් බලයේ සිටි ආඥාදායක හොස්නි මුබාරක් නෙරපා හැර වසර දෙක හමාරක පමන කාලයක් ගතවීමෙන් පසුව ඊජිප්තුවේ කම්කරුවන් හා තරුනයින් යලි වතාවක් දැවැන්ත විරෝධතා දක්වමින් වීදි වලට පැමින සිටිති. මෙවර ඔවුහු ඉස්ලාමීය ජනාධිපති මොහමඩ් මුර්සි හා මුස්ලිම් සහෝදරත්වය නෙරපා හරින ලෙස බල කරති.

දැන් දිගහැරෙමින් ඇති පෙලපාලි ඉතිහාසයේ දැවැන්තම විරෝධතාවන් අතරට වැටේ. ඊජිප්තු මිලිටරියට අනුව මුර්සිගේ පලමු සංවත්සරය පැවති පසුගිය 30දා වීදි හා චතුරස්‍රයන්ට එක්රොක්වූ විරෝධතාකරුවන්‍ දශ ලක්ෂ 17කි.

යන්තම් වසරක් බලයේ සිටීමෙන් පසුව මුස්ලිම් සහෝදරත්වයේ ප්‍රතිගාමී ස්වභාවය ඊජිප්තු ජනතාව ඉදිරියේ හෙලිදරව් වී ඇත. ඔහුගේ දක්ෂිනාංශික වැඩපිලිවෙල ඉස්ලාමීය පුරසාරම් මගින් වසා ගැනීමට උත්සාහ කල ද මූර්සිගේ පාලනය, අත්දකිමින් සිටින්නේ එන්ට එන්ටම වර්ධනය වන කම්කරු පන්තියේ ප්‍රතිරෝධයකටය. ආර්ථික හා සමාජ අයිතීන් පිලිබඳ ඊජිප්තු මධ්‍යස්ථානය විසින් පල කල වාර්තාවකට අනුව මුර්සි යටතේ වැඩවර්ජන හා විරෝධතා දෙගුනවී ඇති අතර 2013 පලමු කාර්තුව තුල විරෝධතා හා වැඩවර්ජන සංඛ්‍යාව 2400 දක්වා තියුනු ලෙස වැඩී ගියේය.

ඊට ප්‍රතිචාර වශයෙන් මූර්සි, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ වඩාත් සමීපව සම්බන්ධ වීමට උත්සාහ දරයි. මහජන විරෝධතා පැනනැඟීමට සති ගනනකට පෙර මූර්සි, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ වත්මන් සිරියානු කුලීකාර යුද්ධයට සිය සහාය ගොනු කලේය. එහි අරමුන ජනාධිපති බෂර් අල් අසාද් බලයෙන් පහකොට ඉරානයට එරෙහි යුද්ධය සූදානම් කිරීමයි. "සිරියාවට සහාය පිනිස” යන රැලියකදී මූර්සි ප්‍රකාශ කලේ තමා සිරියාවට එරෙහි පියාසර තහනම් කලාපයකට සහාය දක්වන බවත්, සිරියාවේ බටහිර පිටුබලය ලබන විපක්ෂයට "ද්‍රව්‍යමය හා සදාචාරමය” උපකාර කරන බවත්ය.

මෙය ඔහුගේ තන්ත්‍රයට විරුද්ධ මහජන වෛරය තවදුරටත් අවුලුවාලීය. මුර්සිගේ පිලිවෙත් වලට එරෙහි ජනතා විරෝධය පුපුරා යද්දී ඊජිප්තු විප්ලවයේ තීරනාත්මක ප්‍රශ්නය වන නායකත්වයේ අර්බුදය පිලිබඳ ප්‍රශ්නය දැවෙන හදිසි භාවයකින් ඉස්මතුව ඇත.

විරෝධතාවන් තුල දේශපාලනිකව අධිකාරය දරන්නේ "ටැමරොඩ්” හෙවත් "කැරලිකරුවා” බලවේගයයි. එයට පිටුබලය දෙන්නේ, විවිධ ලිබරලුන්, ව්‍යාජ වාම පක්ෂ හා මුබාරක් තන්ත්‍රයේ ඉතිරිවී ඇති කොටස් විසිනි. එයට මොහමඩ් අල් බරාඩේගේ ජාතික ගලවා ගැනීමේ පෙරමුන, ඉස්ලාම්වාදී දැඩි ඊජිප්තු පක්ෂය, අප්‍රෙල් 06 තරුන ව්‍යාපාරය, මිස්නාන්ඩ් විප්ලවකාරී සමාජවාදියෝ හා මුබාරක් තන්ත්‍රයේ අවසන් අගමැති වූ අහමඩ් සෆික් විසින් සහයෝගය දෙයි.

"ටැම්රොඩ්” ඊජිප්තු හමුදාවට කියා සිටින්නේ තාක්ෂනවේදී ආන්ඩුවක් මඟින් මුර්සි විස්ථාපනය කරන ලෙසයි. එය ඊජිප්තු හමුදාව විසින් සෘජුවම පාලනය කරනු ලබන ධනේශ්වර ගැති තන්ත්‍රයක් වනු ඇත. ටැමරොඩ් විසින් නිකුත් කල ප්‍රකාශයක "හමුදාව, පොලිසිය හා අධිකරනය ද ඇතුලු සියලු රාජ්‍ය ආයතන විරෝධතාකරුවන් නියොජනය කරන ජනතා කැමැත්තට පැහැදිලිවම අවනත විය යුතු” බව කියා ඇත.

තමන්ගේ පැත්තෙන් එක්සත් ජනපදය විසින් නඩත්තු කරන ඊජිප්තු මිලිටරිය, විරෝධතා කෙලින්ම පාගා දැමීමට තරම් තමන් ශක්තිමත් නැති බව ඒත්තු ගෙන සිටියි. එබැවින් මිලිටරිය, එක්සත් ජනපදය සමඟ කිට්ටුවෙන් සම්බන්ධ වෙමින්, ප්‍රධාන විනිශ්චයකරුවාගේ හා මූලෝපායඥයාගේ ක්‍රියාකලාපය ඉටුකිරීමට කැමැත්ත දක්වයි. ජූලි 01දා එක්සත් ජනපද ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානී ජෙනරාල් මාටින් ඩැම්ප්සේ සිය ඊජිප්තු සහචරයා වන ජෙනරාල් සෙඩ්කි සොබ්හිට කතා කල බව වාර්තා විය.

එදිනම ඊජිප්තු සන්නද්ධ හමුදා, දේශපාලන පක්ෂ වලට පැය 48ක් කල් දෙන අවසන් නිවේදනයක් නිකුත් කලේය. "දැනට ජාතිය මුහුනපා සිටින ‍ඓතිහාසික බාධකය ජයගැනීම සදහා අවසන් අවස්ථාව” මෙය බව එහි සඳහන් විය.

මුස්ලිම් සහෝදරත්වය, ප්‍රධාන ලිබරල් පක්ෂ, හිටපු මුබාරක්ගේ ආධාරකරුවන් හා සමහර කුඩා ව්‍යාජ වාම කන්ඬායම් ඇතුලත් සියලු පක්ෂවල සන්ධානය, විරෝධතා නීති විරෝධී කර දරුනු කඩා පැනීමක් සඳහා මිලිටරියට කල් ලබාදීම පිනිස කඩතුරාවක් ලෙස යොදාගැනීමට මිලිටරිය අදහස් කරයි.

මෙම අරමුනු වොෂින්ටනය ද බෙදාහදා ගනියි. එක්සත් ජනපදය හා ඊස්රායලය සමඟ දැඩි සම්බන්ධතා පවත්වන ඊජිප්තුවේ දුබලවී ඇති රාජ්‍ය සමග එරට කම්කරු පන්තිය විවෘත ගැටුමකට ඇදී යාමේ හැකියාව පිලිබඳව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය බියපත්ව සිටියි. එය ඊජිප්තුව තීරනාත්මක භූමිකාවක් ඉටුකරනු ලබන මැද පෙරදිග සමස්ත අධිරාජ්‍යවාදී පර්යායටම තර්ජනයක් විය හැකිය.

කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය හා සමාජ අපේක්ෂාවන් කෙරෙහි නැවත නැවතත් නොසතුටට පත්ව සිටින සියලු ධනපති පක්ෂ වලින් කැඩී වෙන් වෙමින් කම්කරු පන්තියේ අරගල ස්වාධීන දේශපාලන ප්‍රකාශනය සොයාගත යුතුය.

පසුගිය විප්ලවවාදී අරගලයන්ගේ කටුක අත්දැකීම් හෙලිදරව්කර ඇත්තේ මිලිටරිය, ඉස්ලාම්වාදීන් හා එල් බරාඩේ විසින් මෙහෙයවන ලිබරලුන් යන ඊජිප්තු ධනේශ්වරයේ කිසිදු කොටසකට කම්කරු පන්තියට දීමට කිසිවක් නොමැති බවය. කිසිදු මහජන පදනමකින් තොර ඔවුන් මුලුමනින්ම විශ්වාසය තබා ඇත්තේ අධිරාජ්‍යවාදී බලවතුන් දෙන සහයෝගය කෙරෙහිය. ඊජිප්තුවේ ක්‍රියාත්මක වන සියලු දේශපාලන බලවේගයන්ගේ බංකොලොත්කම යටින් ඇත්තේ ධනේශ්වර දේපල පදනම රැකගැනීමට ඇති කැපවීම, අධිරාජ්‍යවාදය සමග ඔවුන්ගේ බැඳීම් හා ඊජිප්තුවේ ධනේශ්වර රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ කැපවීමය.

පැහැදිලි විප්ලවවාදී ක්‍රියාමාර්ගයක් වර්ධනය කල හැක්කේ මාක්ස්වාදී පදනමක පමනි. අද දිනයේ මෙහි අර්ථය වන්නේ, "දුගී ගොවීන් හා නාගරික දුගීන් සමඟ සන්ධානගත කම්කරු පන්තියට පමනක්, බලය සියතට ගෙන, අධිරාජ්‍යවාදය හා ධනේශ්වරය අස්වාමික කර, සමාජය සමාජවාදී පිලිවෙත් ඔස්සේ පරිවර්තනය කල හැකි” යයි අවධාරනය කරන ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය සඳහා අරගලයයි.

ඊජිප්තු ධනවාදය පෙරලා එය සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් වදින කම්කරුවන්ගේ ආන්ඩුවක් මඟින් විස්ථාපනය කිරීමේ අරමුන සඳහා කම්කරු පන්තිය, 1917 ඔක්තෝබර් විප්ලවය තුලදී කම්කරු පන්තිය බලය අල්ලා ගැනීමේදී පාදක කරගත් සෝවියට් සභා, එනම්, කම්කරු සභා ආකෘතිය අනුගමනය කරමින් තම පන්ති අරගලයේ අව්‍යාජ සංවිධාන නිර්මානය කල යුතුය.

එවන් ඉදිරිදර්ශනයක් ආරක්ෂා කරන හා ඉදිරිපත් කරන එකම දේශපාලන ප්‍රවනාතාවය නම් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවයි. කම්කරුවන් ඊජිප්තුව තුල ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ගොඩනැඟීමේ අරගලයට පිවිසිය යුතුය. එය, ඊජිප්තු කම්කරුවන්ගේ අරගල, මැද පෙරදිග හා ලෝකය පුරා සිය පන්ති සහෝදරයින් හා සහෝදරියන් සමඟ සම්බන්ධ කරන අතර ආඥාදායකත්වයට, ධනේශ්වර සූරාකෑමට හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි පොදු විප්ලවවාදී අරගලයක් තුල කම්කරු පන්තිය ඒකාබද්ධ කරනු ද ඇත.

ජොහැනස් ස්ටර්න්

Share this article: