ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යාවත් කාලීන කිරීම මගින් ගෝලීය ආර්ථිකයේ පල්ලම් බැසීම ඉස්මතු කරයි

IMF update highlights global economic slide

2013 ජූලි 11

ගෝලීය මූල්‍ය අර්බුදය පැන නැඟී වසර 05 සම්පූර්න වෙමින් තිබිය දී, කලෙක "සාමාන්‍යය” ලෙස සලකන ලද තත්වයෙන් ලෝක ආර්ථිකය තව තවත් ඈත් වෙමින් තිබේ.

මෙම සතියේදී ජාමූඅ, පසුගිය වසර ආරම්භයේ පටන් පස්වන වතාවටත් ලෝක ආර්ථිකය පිලිබඳව තමන් පල කල පුරෝකථන බාල්දු කලේය. යාවත් කාලීන කිරීමත් සමග නිකුත්කල ප්‍රකාශය වැදගත් වන්නේ, පසුගිය දෙවසරේ වර්ධන බලාපොරොත්තු පිලිබඳව අධි තක්සේරුවක් පවත්වාගෙන යාම, ලෝක ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් සැලකිල්ලට ගැනීමට අසමත් වීමේ ප්‍රතිපලය බවට ඇඟවුම් කර තිබීම නිසාය.

අප්‍රේල් මාසයේදී 2013 වසර සඳහා සියයට 3.3ක වර්ධනයක් පිලිබඳව අනාවැකි පල කිරීමෙන් පසුව ජාමූඅ දැන් එය 3.1 දක්වා පහත හෙලන ලද අතර 2014 සඳහා සිය පුරෝකථනය සියයට 4 සිට 3.8 දක්වා පහත දැමීය.

පසුබෑමට හේතු වශයෙන් එය සාධක තුනක් ගැන සඳහන් කර තිබුනි. එනම්, නැඟී එන ආර්ථිකයන්හි බලාපොරොත්තු සුන් කරන ආර්ථික වර්ධන අනුපාතිකය, අඩු ඉල්ලුම හා විශ්වාසය පහත වැටීමේ ප්‍රතිපල වශ‍යෙන් යුරෝ කලාපයේ පසුබෑම අපේක්ෂා කලාට වැඩි මට්ටමක පැවතීම හා ආන්ඩුවේ වියදම් කප්පාදුව නිසා එක්සත් ජනපද ආර්ථිකයේ වර්ධනය බලාපොරොත්තු වූ මට්ටමට වඩා පහත වැටීමය.

යාවත් කාලීන කිරීම සඳහන් කල පරිදි ගෝලීය වර්ධනය කෙරෙහි බලපෑ "පැරනි අවදානම්” එලෙසම පවතිද්දී, "නැඟී එන වෙලඳපොල ආර්ථිකයන්හි දිගුකාලීන වර්ධනයේ හැකියාවන් ද ඇතුලු නව අවදානම් හිස ඔසවා තිබේ.” වෙනත් වචන වලින් කිවහොත්, යුරෝපයේ පසුබෑම හා එක්සත් ජනපදයේ පහල වර්ධනය අඛන්ඩව පවතිද්දී, මෙම ආර්ථිකයන්ගේ වර්ධනයට වාසිදායක බලාපොරොත්තු කිසිවක් නොමැති වීමයි. යුරෝ කලාප‍ය 2013දී සියයට 0.6න් හැකිලී යන අතර 2014දී යන්තම් සියයට 1 වර්ධනයක් පමනක් අපේක්ෂා කෙරේ.

යුරෝපයේ හැකිලීම ඊනියා පර්යන්තයේ රටවල පසුබෑමේ නිමැවුමක් පමනක් නො වේ. ජාමූඅ ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ ඔලිවර් බ්ලැන්චාර්ඩ් පැවසූ පරිදි අරටුව වශයෙන් පවතින ජර්මනිය හා ප්‍රන්සය යන රටවල පවා ඇත්තේ, "අනාගතය පිලිබඳව පොදු විශ්වාසය පහත වැටීමකි” යනුවෙනි. එම ප්‍රකාශය ඊලඟ දිනයේ ජර්මානු කාර්මික නිමැවුම මැයි මාසයේදී සියයට 1න් පහත වැටීමත් සමග සනාථ විය. එය බලාපොරොත්තුවූ මට්ටමට වඩා දෙගුනයක පහල යාමකි.

චීනයේ, ඉන්දියාවේ හා බ්‍රසීලයේ අඩු වර්ධන වේගයට නිශ්චිත හේතු පවතින්නේවී නමුත්, සමස්ත ප්‍රවනතාවේ යටින් දිවෙන මන්දගාමිත්වය හුදෙක් චක්‍රීය සංසිද්ධියක් නොවන බව බ්ලැන්චාර්ඩ් පෙන්නුම් කලේය. "මෙම රටවල් අර්බුදයට පෙරාතුව පෙන්නුම් කල වේගයෙන් වර්ධනය නොවන බව පැහැදිලි” යයි ඔහු කියා සිටියේය.

යාවත්කාලීන කිරීමත් සමග චීනයේ වෙලඳාම පිලිබඳ සංඛ්‍යා ෙල්ඛන සටහන් කලේ ජූනි මාසයේදී එරට නිර්යාත පෙර වසර හා සසඳන කල සියයට 3.1න් පහත වැටී ඇති බවය. ඒ, 2013 වසරේ පලමු කොටසේදී සියයට 10.4ක සාමාන්‍යයකින් වර්ධනය වීමෙන් පසුවය.

කෙසේ හෝ චීනය ඇතුලු ඊනියා "නැඟීඑන වෙලඳපොලවල්” තම ප්‍රධාන අපනයන වෙලඳපොලවල් ලෙස එක්සත් ජනපදය හා යුරෝපය මත රඳා පැවති තතු හමුවේ, ලෝක ආර්ථිකයේ ප්‍රසාරනය සඳහා එම රටවල් නව පදනමක් සම්පාදනය කරනු ඇති බවට පැවති මතිය හැම විටම ප්‍රබන්ධයක් විය. එහෙත් මූල්‍ය අර්බුදයෙන් ඉක්බිත්තේ, විශේෂයෙන්ම චීන ආන්ඩුව විසින්, ක්‍රියාවට නැඟූ අසාමාන්‍ය මුදල් හා මූල්‍ය පිලිවෙත් හේතුකොටගෙන එය යම් කාලයක් පවත්වාගෙන යා හැකි විය.

චීන බලධාරීහු, ඩොලර් බිලියන 500ක් පමන වන උත්තේජක පැකේජයක් ලිහා හැරිය අතර විශේෂයෙන්ම ප්‍රාදේශීය බලධාරීන් විසින් ක්‍රියාත්මක කල, ආයෝජන ව්‍යාපෘතීන් වේගවත් කිරීම පිනිස, නය ප්‍රසාරනයක් ද ආරම්භ කලහ. මෙහි ප්‍රතිපල වශයෙන් චීන ආර්ථිකයේ දල දේශීය නිෂ්පාදිතයට නයෙහි අනුපාතය 2008දී තිබුනු සියයට 115 සිට 173 දක්වා ඉහල ගියේය. ඒ සමගම, 2007දී සියයට 42ක්ව පැවති දල දේශීය නිෂ්පාදිතයෙන් ආයෝජනයේ පංඟුව, 2013දී සියයට 47 දක්වා ඉහල නැඟුනි.

උත්තේජක පියවර පාදක වූයේ අවසානයේදී යුරෝපය හා එක්සත් ජනපදය, අපනයනයේ නව ප්‍රසාරනයක් ඇති කල හැකි අයුරින් ප්‍රකෘතිමත් වනු ඇතැයි යන උපකල්පනය මතය. එහෙත් එක්සත් ජනපද ආර්ථිකයේ එකතැන පල්වීමේත්, යුරෝපයේ හැකිලීමේත් අර්ථය වූයේ චීනයේ ප්‍රසාරනාත්මක නය ප්‍රතිපත්තිය තවදුරටත් තිරසාර නොවන බවයි. දැන් ඔවුන් එය මුරිච්චි තද කිරීමේ පිලිවෙතකින් විස්ථාපනය කර ඇත.

ජාමූඅ යාවත්කාලයේ සමස්ත වැදගත්කම නම්, පොදු ප්‍රසාරනයක් සදහා පදනම සම්පාදනය කිරීමේ කිසිදු ක්ෂේත්‍රයක් ලෝක ආර්ථිකය තුල නොමැති බව හා අනාගතයේදී වත් එවැන්නක් වර්ධනය වීමේ ‍කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව එයින් ඉස්මතු කෙරෙන බැවින්ය.

තව ද මුදල් වෙලඳපොල තුලට මාසයකට ඩොලර් බිලියන 85 බැගින් පොම්ප කරන එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුවේ ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ පිලිවෙත ආපසු හැරවීමේ පියවර ගැනීමත් සමග නව මූල්‍ය අර්බුදයක් හටගැනීමේ වැඩෙන අවදානමක් පිලිබඳ පැහැදිලි ඇඟවුම් පවතියි.

අධස්ත ආර්ථිකයේ එකතැන පල්වීම නැත්නම් ඉතා පහත් වර්ධන අනුපාතිකයන් හමුවේ එක්සත් ජනපද කොටස් වෙලඳපොල වාර්තාගත මට්ටම් කරා නැගීමේදී මුඛ්‍ය ක්‍රියාකලාපයක් ඉටුකලේ මෙම අතිශයින් ලාභ මුදල් සම්පාදනයයි. මේතාක් දුරට ඉහල කොටස් මිල ගනන් පවත්වාගෙන ගොස් ඇත්තේ ඉහල ලාභ මඟිනි. එය, ප්‍රසාරනය වන වෙලඳපොලවල ප්‍රතිපල වශයෙන් ආදායම වර්ධනය වීමට වඩා දරුනු වියදම් කප්පාදුවේ ප්‍රතිපලය විය.

එහෙත් වෝල් ස්ට්‍රීට් ජර්නලයේ මෑත වාර්තාවකට අනුව, ව්‍යාපාරයන්ට ලාභ තිරසාර කිරීම සඳහා ආදායමේ වැඩිවීමක් අවශ්‍ය කෙරෙන තතු තුල මෙම ක්‍රියාවලිය අවසානයකට පැමිනිය හැක. එස්ඇන්ඩ්පී 500 දර්ශකයට අයත් සමාගම්වල ආදායම දෙවෙනි කාර්තුව තුල වසරකට පෙර පැවති තත්වය හා සසඳන කල වැඩිවේ යයි බලාපොරොත්තු වන්නේ යන්තම් සියයට 1න් පමනි.

පසුගිය මාසයේදී ‍ෆෙඩරල් මහ බැංකු සභාපති බෙන් බර්නන්කේ ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැඩ සටහන අඩු කිරීමට බලපොරොත්තු වන බව ඇඟවීමත් සමඟ වෙලඳපොලවල් බිඳ වැටීමෙන් පසුව යලි ඉහල යාමට පටන්ගෙන තිබෙන අතර එම පිලිවෙත සැබවින්ම ක්‍රියාවට නැඟීමේදී ප්‍රකම්පනය යලිත් පනගැන්විය හැකිය.

මූල්‍ය උත්තේජනය සීමිත අයුරින් හෝ ආපසු හැරවීම, ඊනියා නැඟී එන හා සංවර්ධනය වන ආර්ථිකයන් කෙරෙහි මූලික බලපෑමක් ඇතිකල හැකිය. එම රටවලින් ඉවත් වන මුදල් ප්‍රවාහය ආපසු එක්සත් ජනපදය වෙත හැරීමට පටන්ගැනීමෙන් එසේ විය හැක. යම් ආකාරයක ප්‍රවේසම් සහගත භාෂාවක් යොදා ගනිමින් ජමූඅ අනතුරු අඟවන්නේ, "දිගු කාලයක් අල්ලා සිටි නයෙහි වේගවත් වර්ධනය තුල, නැඟී ආ බෙලහීන වර්ධනයක් පිලිබඳ බලාපොරොත්තු හා උරුමයේ විභව ගැටලු, මූල්‍ය ස්ථාවරත්වයේ අවදානම්” ඉහල නැඟීමට තුඩුදිය හැකි බවටයි.

මහ බැංකුව ප්‍රමානාත්මක ලිහිල් කිරීම් ඉවත් කිරීමට පටන් ගතහොත්, නැඟී එන වෙලඳපොලවල මුදල් අවප්‍රමානයන් හා ඒවායේ ප්‍රාග්ධනය වේගයෙන් ඉවතට ගලායාමට තුඩුදෙනු ඇති අතර එවන් තත්වයක්, ආපසු හැරී එක්සත් ජනපදයේ වෙලඳ පොලට පහරදීම නිසා මූල්‍ය අර්බුදයක් පුපුරා යාමට හෙඳටම ඉඩ තිබේ.

ආර්ථික වාතාවරනයේ ක්ෂනික හැරීම් කුමක් වුවත්, ජාමූඅ අලුත්ම වාර්තාව, දුරදිග යන දේශපාලන වැදගත්කමක් අන්තර්ගතකර ගනියි. කිසිදු පැත්තකින් අර්ථවත් ආර්ථික ප්‍රකෘතියක් පිලිබඳ බලාපොරොත්තුවක් නොමැති තත්වයන් තුල එය සලකුනු කරන්නේ, වැඩෙන විරැකියාව, වැටුප් කප්පාදු හා සමාජ සේවාවන් කැපීම නිත්‍ය පිලිවෙතක් බවට පත්වෙන බවයි.

පාලක පන්තීන් විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ ප්‍රතිවිප්ලවයේ මෙ‍ම ක්‍රියාමාර්ගයට එරෙහිව, පොදු අයිතිය හා බැංකුවල ද ප්‍රමුඛ සංගතයන්ගේ ද ප්‍රජාතන්ත්‍ර පාලනය පිහිටුවීමෙන් අරඹා, සමාජවාදී වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරන කම්කරුවන්ගේ ආන්ඩුවක් පිහිටුවීම අරමුනු කරගත් තමන්ගේම ස්වාධීන අවශ්‍යතා හා දේශපාලන ක්‍රියාමාර්ගයක් සඳහා කම්කරු පන්තිය සටන් වැදිය යුතුය.

නික් බීම්ස්

Share this article: