ආන්ඩුව ශිෂ්‍ය සංගම් නායකයා රක්ෂිත බන්ධනාගාර ගත කරයි

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2013 ජූලි 15

අධ්‍යාපන කප්පාදුවට, පුද්ගලීකරනයට හා රාජ්‍ය මර්දනයට එරෙහිව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර පැන නැගී තිබෙන විරෝධතාවන් මධ්‍යයේ, පොලීසිය පසුගිය සතියේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු සංජීව බන්ඩාර අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මෙය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව සරසවි තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අහෝසි කිරීමට ගෙනයන ප‍්‍රහාරයක තවත් ඉදිරි පියවරකි.

බන්ඩාර රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සිදු කරනු ලැබුවේ, මීට පෙර අවස්ථාවක ඔහු අත් අඩංගුවට ගෙන ඇප මත නිදහස් කිරීමේදී පනවා තිබු කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් කොලඹ අපරාධ විමර්ශන ඒකකය කොටුව මහේස්ත‍්‍රාත් අධිකරනයට කල පැමිනිල්ලකට අනුවය. ජූලි 8 දා අධිකරනයට ඉදිරිපත් කෙරුනු බන්ඩාර ලබන 15 දා දක්වා බන්ධනාගාර ගත කර තිබිනි.

මර්දනය දැඩි කරමින්, "නීති විරෝධී” සිසු පාගමන් සංවිධානය කලේ ය යන චෝදනාව බන්ඩාරට එල්ල කරමින්, නුගේගොඩ මිරිහාන පොලීසිය කල තවත් පැමිනිල්ලකට අනුව ඔහු මේ මස 26 දා දක්වා බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරනයෙන් නියෝග කෙරී ඇත.

අධිකරනය විසින් පනවා තිබූ කොන්දේසියක් උල්ලංඝනය කලේය යන චෝදනාව මත ජූලි 9 දා අධිකරනයට ඉදිරිපත් කෙරුනු අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමන්ඩලයේ (අවිභිබම) කැඳවුම්කරු කිඹුල්ලෑවේ චන්දානන්ද භික්ෂුව ද රක්ෂිත බන්ධනාගාරයේ දින තුනක් රඳවා ගෙන සිට ඇප මත නිදහස් කොට ඇත.

ශිෂ්‍යයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහිව රාජපක්ෂ ආන්ඩුව මෙම පියවරයන් ගෙන ඇත්තේ සිසුන් බිය ගන්වා ඇවිලෙමින් පවතින සිසු විරෝධතා මැඩීමේ අරමුනෙනි. කෙසේ වුවද, බන්ඩාර සහ චන්දානන්ද නිදහස් කරන ලෙස ඉල්ලා සරසවි කිහිපයක පැවැත්වූ විරෝධතාවලට සිසුන් සිය ගනනක් සහභාගි වී ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි තරුන හා ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි), බන්ඩාර සහ චන්දානන්ද අත්අඩංගුවට ගැනීම තරයේ හෙලා දකින අතර කොන්දේසි විරහිතව ඔවුන් නිදහස් කල යුතු යයි කියා සිටී. පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) හා එමගින් මෙහෙයවෙන අවිශිබම හා අවිභිබම සමග පෑහිය නොහැකි දේශපාලන මතභේද සසපට හා සසජාතශි සංවිධානයට ඇති බවද මෙහි ලා සඳහන් කල යුතු ය.

මීට පෙර සැප්තැම්බර් මාසයේ දී බන්ඩාර අත්අඩංගුවට ගෙන තිබුනේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය මධ්‍යයේ දී පැවති සිසු විරෝධතාවයකදී ය. පොලිස් නිලධාරීන්ට පහරදීම, පොදු දේපලවලට හානි කිරීම හා අයුතු ජන රාශිය යන ව්‍යාජ චෝදනා ඔහුට එල්ල කොට තිබු අතර ඇප මත නිදහස් කිරීමේ දී පැන වු කොන්දේසි දේශපාලනික වූ අතර මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් උල්ලංඝනය කිරීමකි. යලි සිසු විරෝධතාවලට සහභාගී නොවීම, සංවිධානය නොකිරීම හා මහජනයාට බාධාකාරීවන අයුතු ජනරාශියට අනුබලදීමෙන් වැලකීම එම කොන්දේසි අතර විය.

පසුගිය මස 26 දා ජයවර්ධනපුර සරසවියේ සිට නුගේගොඩ දක්වාත් මේ මස 04 දා එම සරවියේ සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වාත් අවිශිබමය විසින් පැවැත් වු විරෝධතා පා ගමන් හේතුවෙන් බන්ඩාර ඉහත ඇප කොන්දේසි උල්ලංඝනය කොට ඇතැයි පොලිසිය පවසයි. පවත්නා නීතියට අනුව, අයුතු ජන රාශිය යන චෝදනාවට වරදකරු වුවහොත් මාස 6 ක සිර දඩුවම් ලබාදිය හැකිය.

බන්ඩාර හා චන්දානන්දට එල්ල කර ඇති මහජනයාට බාධාකාරීවන අයුතු ජනරාශිය යන චෝදනාව, කම්කරුවන් හා සිසුන් ඇතුලු ආන්ඩුවට එරෙහිව විරෝධතාවන් හි යෙදෙන කවරෙකුට හෝ එරෙහිව එල්ල කරන බව ආන්ඩුව හා පොලීසිය නිකුත් කල තර්ජනයකි.

එනමුදු, ආන්ඩුවට සහ ආන්ඩුවේ පූර්න පිටුබලය සහිතව වැඩට බැස සිටින "බොදු බල සේනා”, "සිහල රාවය” වැනි සිංහල-බෞද්ධ වර්ගවාදී නඩ වලට මෙම නීතිය වලංගු නොවේ. මුස්ලිම් ජනයාට එරෙහි වර්ගවාදී විලෝපනයක අරමුනෙන් ඔවුන් සංවිධානය කරන පා ගමන් ඇතුලු අනෙකුත් ප‍්‍රකෝපකරනයන් මෙම "අයුතු ජනරාශිය” ට අයත් නැත.

බන්ඩාර අත්අඩංගුවට ගැනීම, නිදහස් අධ්‍යාපනයට එල්ල කෙරෙන ප‍්‍රහාරය හමුවේ ශිෂ්‍යයන්, ආචාර්යවරුන් හා කම්කරු-පීඩිත දෙමාපියන් අතර වැඩෙන විරෝධතාවන්ට එරෙහි පලල් මර්දනයක කොටසකි. පසුගිය මාස කිහිපය තුල පමනක් සරසවිවල පැන නැගි විරෝධතා හේතුවෙන් සිසුන් 300 ට අධික සංඛ්‍යාවකගේ පන්ති තහනම් කර ඇති අතර තවත් කිහිප දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කර තිබේ. විරෝධතා විසුරුවා හැරීම සඳහා ආන්ඩුවේ පොලිස් කඳුලු ගෑස් හා බැටන් ප‍්‍රහාරවලට අමතරව ශිෂ්‍යයන් බිය වැද්දීම සඳහා වෑන් රථ වලින් පැමිනි මැරයන් සබරගමුව සරසවිය ඉදිරිපිට අහසට වෙඩි තබා ගිය අතර කැලනිය හා රුහුනු සරසවි ශිෂ්‍යයන්ට බයිසිකල් චේන්, පොලු මුගුරු වලින් පහර දුනි.

මෙම මර්දනයේම කොටසක් ලෙස, පසුගිය සතියේ කොලඹ විශ්ව විද්‍යාලයේ පීඨ සමාජ ශාලාවේ පැවැත්වීමට නියමිතව තිබූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය හමුවක්, ආන්ඩුව විසින් වලකන ලද්දේ එයට එරෙහිව සරසවි ආරක්ෂක භටයන් මෙහෙයවීමෙනි.

මෙම මර්දනය දිගේලි වන්නේ සරසවි තුල ආරක්ෂක අංශයන්, ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ‘රක්නා ලංකා’ ආයතනයට පවරා ගනිමින් හා ආන්ඩුවේ දේශපාලන හෙන්චයියන් සරසවි තුල ඉහල පරිපාලනයේ රඳවා කෙරුනු පෙර සූදානම් යටතේ ය.

සිසු විරෝධතාවලදී මහජනයාට බාධා කිරීම පිලිබඳව නගන චෝදනා අභූතයකි. මහජන අධ්‍යාපනය ඇතුලු සුභසාධනය අතුගා දමමින් මහජනයාට ප‍්‍රහාර එල්ල කොට ඇත්තේ ආන්ඩුවයි. සෑම විශ්ව විද්‍යාලයකම පාහේ ශිෂ්‍ය සංගම් තහනම් කර, නවක වද පනත නමින් මර්දන නීති පටවා සිසුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උදුරාගෙන ආන්ඩුව, බලධාරීන් හා ආරක්ෂක අමාත්‍යාංශය සිසු විරෝධතා නීති විරෝධී ලෙස හංවඩු ගසා මැඩලීමට දියත් කර ඇති ප‍්‍රහාරයට කම්කරු පන්තිය එක හෙලා විරුද්ධ විය යුතු ය. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කරන පලල් ප‍්‍රහාරයක කොටසකි.

ආන්ඩුවේ නියෝජ්‍ය මුදල් ඇමති හා ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිලිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සරත් අමුනුගම පසු ගිය දා ශී‍්‍ර ලංකා වානිජ මන්ඩල සමුලුවක් අමතමින් කියා සිටියේ දැනට අධ්‍යාපනයට හා සෞඛ්‍යයට යොදවන මුදල් වලින් ඵලදායී ප‍්‍රතිඵලයක් නොලැබෙන බවයි. ශ‍්‍රම වෙලඳ පොල එල්ල කර ගත් පාඨමාලා සහ විෂය නිර්දේශයන්ගෙන් සමන්විත වන අයුරින් සමස්ත අධ්‍යාපනයේ‘ ප‍්‍රතිව්‍යුහකරනයක් අවශ්‍ය බැව් ඔහු තවදුරටත් පැවසීය. අමුනුගම මේ වමාරන්නේ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාව මත, සමස්ත මහජන අධ්‍යාපනයම වල දමා එය ලාභ ගරන කර්මාන්තයක් බවට පත් කිරීමට රාජපක්ෂ ආන්ඩුව ගෙන යන වැඩපිලවෙලයි.

අමුනුගමගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාලක ප‍්‍රභූවේ හඬ ප‍්‍රකාශයට පත් කෙරෙන කතුවැකියක් පසු ගිය සිකුරාදා ද අයිලන්ඩ් පුවත්පතේ පල විය. "ඔහුට දැවැන්ත අත්පොලසන් නාදයක් දිය යුතුව තිබුනි, නොඑසේ නම් නැගිට සිට ආචාර දැක්විය යුතුව තිබුනි.”

රාජපක්ෂ ආන්ඩුව අනුයමින් සිටින්නේ ලොවපුරා සිය පාලක සගයන්ගේ පිලිවෙතයි. එනම් 2008 සිට අවපාතයක් දිශාවට වර්ධනය වන ලෝක ධනේශ්වරයේ පද්ධතිගත අර්බූදය හමුවේ අධ්‍යාපනය ඇතුලු සමාජ සුභසාධන කපා දමමින් අර්බුදයේ බර කම්කරුවන් තරුනයන් වෙත පටවා පැන නගින අනිවාර්ය පන්ති අරගල මර්දනය සඳහා පොලිස් මිලිටරි රාජ්‍ය සැලසුම් ක‍්‍රියාත්මක කිරීමයි.

අවිශිබම නායකයන් හා එය සම්බන්ධ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ආන්ඩුවට බලපෑම් දැමීමෙන් සිසු මර්දනය හා නිදහස් අධ්‍යාපනය උපුටා දැමීමට ආන්ඩුව ගෙන යන ප‍්‍රහාර නතර කර ගත හැකි යයි ඉදිරිපත් කරන වැඩ පිලිවෙලේ බංකොලොත් කම බන්ඩාරට එරෙහි මර්දනයෙන් යලි ප‍්‍රදර්ශනය කෙරී ඇත.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහි රාජ්‍ය මර්දනය නතර කරනු!

Share this article: