ලෝක මූල්‍ය වෙලඳපොලවල තැතිගැන්ම උත්සන්න වෙයි

Panic deepens on world financial markets

ආන්ද්‍රේ ඩැමොන් විසිනි , 2013 ජූනි 21

ඉදිරි මාස හය ඇතුලත මූල්‍ය වෙලඳපොල තුලට සිය මුදල් කාවැද්දීම ක්‍රමානුකූලව අඩු කිරීමට එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුව සලකා බැලීමට ඉඩ ඇතැ යි සභාපති බෙන් බර්නාන්කේ පැවසීමෙන් අනතුරුව වසරේ මේ තාක් විශාලතම එක් දින කොටස් විකිනීම හමුවේ 20දා‍ ගෝලීය කොටස් වෙලඳපොල ගිලී ගියේය.

ෆෙඩරල් මහ බැංකුව මසකට ඩොලර් බිලියන 85ක වත්කම් මිල දී ගැනීම ක්‍රමානුකූලව අඩුකිරීම ආරම්භ කරනු ඇතැ යි 19දා බර්නන්කේ කල සඳහන මගින් අවුලුවන ලද කොටස් හා බැඳුම්කර වෙලඳපොල තුල සන්ත්‍රාසය, 20දා චීන නිෂ්පාදන කටයුතු මාස නවයක් අතුලත එහි අඩු ම මට්ටමට ලඟා වී ඇතැ යි පෙන්වන දත්ත නිකුත් කිරීම සමග සම්පාත විය.

මෙම වර්ධනයන් වර්තමාන ආර්ථික තත්වය පිලිබඳ අතිමූලික කාරනා දෙකක් වෙත ඇඟිල්ල දිගු කරයි. එනම් සමස්ත ආර්ථිකය තුල දිගට ඇදෙන අවපාතය සහ ෆෙඩරල් මහබැංකුවේ හා අනෙකුත් මහබැංකුවල නිදහස් නය නිකුතුවට ගෝලීය මූල්‍ය වෙලඳපොල අත්‍යන්තයෙන් ම ඇබ්බැහිවී සිටීම ය.

2011 නොවැම්බරයෙන් පසු එක්සත් ජනපද වෙලඳපොලෙහි විශාල ම වැටීම හමුවේ ඩව් ජෝන්ස් කාර්මික අනුපාතය ඒකක 353කින් නැතහොත් සියයට 2.34කින් පහත වැටුනේ ඊට කලින් දිනයේ ඒකක 206ක වැටීමෙන් පසුවය. ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් 500 දර්ශකය සියයට 2.5කින් වැටුන අතර නැස්ඩැක් කොම්පසිට් දර්ශකය සියයට 2.3කින් වැටුනි. එස්ඇන්ඩ්පී සියලු ම අංශ සියයට දෙකකට වඩා වැඩියෙන් වැටුනි.

මූල්‍ය වෙලඳපොලේ වැටීම පිටුපස දවස ආරම්භයේ දීම යුරෝපයේ හා ආසියාවේ විකුනා දැමීම් පැමිනියේය. එක්සත් රාජධානියේ ෆුට්සි 100 දර්ශකය සියයට 2.98ක පාඩුවක් ද ජර්මන් ඩැක්ස් සියයට 3.28ක පාඩුවක් ද පෙන්වී ය. ආසියාව තුල හොංකොං හැන්ග් සෙන්ග් සියයට 2.88කින් ද ජපාන නිකේ දර්ශකය සියයට 1.1කින් ද වැටුනි.

20දා උදෑසන විවෘත කිරීමත් සමග ආසියානු වෙලඳපොල තවත් පහතට ලුහුටා ගිය අතර නිකේ සියයට 2කින් ද, හැන්ග් සෙන්ග් සියයට 1.2කින් ද වැටුන අතර ඕස්ට්‍රෙලියානු ඕල් ඕඩිනරීස් ඉන්ඩෙක්ස් 0.70කින් වැටිනි.

20දා විකුනා දැමීම් මගින් සියලු ම ප්‍රධාන භාන්ඩවලට පහර වැදුනි. රත්‍රන් ඉදිරි ගනුදෙනු දර්ශකය අවුන්සයකට ඩොලර් 1300 සීමාවෙන් ද පහත වැටුනේ අවුරුදු දෙක හමාරක් තුල අවම මට්ටම සලකුනු කරමිනි. සුලු වශයෙන් ප්‍රකෘතිමත් වීමට පෙර, 2010ට පසු පහල ම මට්ටමට ලඟාවෙමින් දවස තුල රිදී අගය සියයට 9.7කින් වැටුනි. 20දා විකුනා දැමීම්වලට පෙර රත්‍රන් මිල ගනන් ඒ වන විටත් සියයට 18කින් වැටී තිබුන අතර එය 2000න් පසු රත්‍රන් වටිනාකම වාර්ෂිකව පහත වැටීමේ ආරම්භය විය හැක.

සෑම කාල සීමාවක හා වර්ගයක බැඳුම්කර ඇතුලුව සෑම වත්කම් කාන්ඩයක් ම තියුනු ලෙස වැටුනි. දවස තුල දස අවුරුදු එක්සත් ජනපද භාන්ඩාගාර බිල්පත් මැයි මාසයේ සියයට 1.61 සිට සියයට 2.7ක් තරම් ඉහල නැඟුනු අතර කොටස් විකුනා දැමීම් තීව්‍ර වීමත් සමග පසු බැස්සේය.

නැගී එන වෙලඳපොලවල මුදල් ඩොලරයට සාපේක්ෂව දිගට ම ඇද වැටුනි. ඉන්දියානු රුපියල සියයට 2කින් නව පහල මට්ටමකට ද තුර්කි ලීරාව සියයට 1.8කින් ද වැටුනි. කොරියානු, රුසියානු , පෝලන්ත හා දකුනු ඇමරිකානු මුදල්වලට සාපේක්ෂව ඩොලරය සියයට එකකට වඩා ඉහල ගියේ ය.

නිෂ්පාදන කටයුතු පිලිබඳ මිනුමක් වන එච්එස්බීසී මැනේජර්ස් ඉන්ඩෙක්ස් ෆෝර් චයිනා (පීසීඅයි) ප්‍රාරම්භක සංඛ්‍යා මැයි මාසයේ 49.2 සිට මෙම මාසයේ දී සියයට 48.3කට වැටුනි.මෙය මාස නවයක් තුල අඩු ම සංඛ්‍යාව යි. පලමු කාර්තුවේ දී සියයට 7.7ක වර්ධන අනුපාතයක මන්දගාමී තත්වයක පැවති චීන ආර්ථිකය දෙවැනි කාර්තුවේ දී ද දිගට ම මන්දගාමී වේ යැයි අපේක්ෂා කෙරේ.

20දා ම නිකුත් කෙරුනු මාර්කිට් ප්ලෑෂ් යුරෝ සෝන් පීඑම්අයි දර්ශකය සුළු වශයෙන් යහපත් වූ නමුදු අඟවන්නේ යුරෝපා ආර්ථිකය දිගට ම ඇන හිට පවතින බව යි.

ආර්ථික මන්දගාමිත්වය හා බැඳුම්කර විකුනා දැමීම චීනය තුල ප්‍රාග්ධන හිඟයක් අවුලුවා ඇත. මෙහි එක් රැයකින් අන්තර්-බැංකු නය දීමේ අනුපාතය සියයට 13.1ට ලඟා වීම ඉහල ම වාර්තාවක් වන අතර එය ඊට පෙර දිනට වඩා සියයට 5.98කින් ඉහල යාමකි.

එක්සත් ජනපදය තුල දත්ත යහපත් වූයේ නැත. ෆෙඩරල් මහබැංකු සභාපති බර්නාන්කේ එක්සත් ජනපද ආර්ථිකය හා රැකියා වෙලඳපොල සඳහා යහපත් වර්ධනයක් වාර්තා කලාට පසු දින කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ, විරැකියා ප්‍රතිලාභ සඳහා ආරම්භක ඉල්ලුම්පත් සංඛ්‍යාව පසුගිය සතියේ 354,000 දක්වා 18,000න් නොසිතූ ලෙස ඉහල ගිය බව යි.

ගිලෙන බැඳුම්කර වෙලඳපොල කසල බැඳුම්කරවලට විශේෂයෙන් තදින් බලපාන්නේ අර්බුද ග්‍රස්ත සමාගම් බංකොලොත්වීමේ හැකියාව ඉහල නංවමිනි. විශාලත ම කසල බැඳුම්කර අරමුදල වන ඉෂාරෙස් අයිබොක්ස් හයි යීල්ඩ් කෝප් බොන්ඩ් බැඳුම්කර සියයට 1.5කින් වැටුනි.

“අතිරේක ලාභ පසුපස පමනක් දුවමින් මෙම සමාගම් නයෙහි ගුනාත්මක තත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකල, ඉහල ආදායම් බැඳුම්කර මිල දී ගැනීමට පෙල ගැසුනු සියලු ම පුද්ගලයන් දැන් උත්සාහ කරන්නේ එයින් ‍ෙගාඩ ඒමට” යයි ජීඑම්පී සෙකියුරිටි හි ඒඩ්‍රියන් මිලර් ෆියිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයට කීවේ ය.

ආර්ථික තත්වයන් දිගට ම වර්ධනය වන්නේ නම් “ඊ ලඟ රැස්වීම් කීපයේ දී” ෆෙඩරල් මහ බැංකුව වත්කම් මිල දී ගැනීම අඩු කිරීමට ඉඩ ඇතැයි බර්නාන්කේ කොන්‍ග්‍රස් මන්ඩලයට ප්‍රකාශය හමුවේ මැයි 22දා සිට බැඳුම්කර මිල ගනන් ගිලෙමින් පවතී.

19දා නිකුත් කල සංශෝධිත ආර්ථික පුරෝකතනයක් තුල, ෆෙඩරල් මහ බැංකු ප්‍රතිපත්ති සම්පාදක ෆෙඩරල් විවෘත වෙලඳපොල කමිටුව (එෆ්ඕමසී) එහි 2013 විරැකියා අනුපාතය සියයට 7.4 සිට සියයට 7.25 දක්වා පහත හෙලූ අතර නිගමනය කලේ, ආර්ථික වෘද්ධිය 2013දී සියයට 2.45ක් හා 2014දී සියයට 3.25ක් වනු ඇති බව යි. එය වර්තමාන වෙලඳපොල අපේක්ෂාවන්ට වඩා සැලකිය යුතු තරම් ඉහල ය.

ෆෙඩරල් මහ බැංකු නිල පුරෝකතන ශුභවාදී වූ අතර එක්සත් ජනපද පාලක පන්තියේ සැලකිය යුතු කොටසක් උත්සුක වන්නේ ගෝලීය අවපාතයක, විශේෂයෙන් ම ආසියාවේ හා යුරෝපයේ අවපාතයක සංඥා හා එක්සත් ජනපද ආර්ථිකය තුල අවපාතයේ හොල්මන ගැන ය. අනෙක් අතට, වෝල් වීදිය ආර්ථික වර්ධනය හා රැකියා අපේක්ෂාවන් මත මොනයම් හෝ සැලකිය යුතු දියුනුවක් ගැන බිය මුසුව බලන්නේ සුපිරි ලාභ සහනාධාර සපයන හා විධායක වැටුප් පොට්ටනි නංවන සීමාරහිත හා ආන්තික ලාභ තටාකයේ කරාමය වසති යි යන බිය නිසා ය.

වත්කම් මිල දී ගැනීමේ වැඩ සටහන ක්‍රමනානුකූලව පහත හෙලනු ඇතැ යි යන ෆෙඩරල් මහ බැංකුවේ ඇඟවුම් පිටුපස පවතින්නේ මූල්‍ය පද්ධතිය තුලට පොම්ප කර ඇති දැවන්ත මුදල් කන්දරාව 2008 අර්බුදය අඟුටුමිටි කල හැකි මූල්‍ය බිඳවැටීමක තර්ජනය ගෙනෙන විශාල පරිමාවක සමපේක්ෂන බුබුලක් නිර්මානය කරනු ඇතැ යි යන කනස්සල්ල යි.

19දා හා 20දා ගෝලීය වෙලඳපොල තුල වැටීම, වත්ක‍ම් බුබුලු පිපිරීමට පටන් ගනු ඇතැ යි වැඩෙන කනස්සල්ල මධ්‍යයේ මූල්‍ය වෙලඳපොලවල් මත පැලපදියම්ව ඇති භිතියේ හා සන්ත්‍රාසයේ ප්‍රකාශනයකි.

පසු ගිය දින දෙකේ වෙලඳපොල සන්ත්‍රාසය ප්‍රදර්ශනය කරන්නේ 2008 මූල්‍ය දියවීමට මග පෑදූ අධස්ථ කාරනා කිසිවකට අවධානය යොමු කර නැති බව යි. විසඳීම ගැන කවර කතා ද? මොන යම් හෝ සැබෑ ආර්ථික ප්‍රකෘතියක් පන ගැන්වීමකින් තොර ව ආන්ඩු හා මහ බැංකු කර ඇත්තේ, එක් අතකින් මූල්‍ය ප්‍රභූව තවදුරටත් පොහොසත් කරන අතර අනෙක් අතින් ම්ලේච්ඡ ලෙස කම්කරු පන්තියට පහර දෙමින් ගෝලීය ආර්ථිකයේ ප්‍රතිවිරෝධන් හුදෙක් කඩදාසිවලින් වැසීම පමනි.

මූල්‍ය අර්බුදයේ මෑත ම අර්බුදයට පාලක පන්තියේ ප්‍රතිචාරය වන්නේ සමාජ වැඩසටහන්, කම්කරුවන්ගේ රැකියා, වැටුප් හා විශ්‍රාම වැටුප් මත ප්‍රහාරයන් තීව්‍ර කිරීම යි.

Share this article: