අධිරාජ්‍යවාදය, සිරියාව හා ලෝක යුද්ධයේ තර්ජනය

Imperialism, Syria, and the threat of world war

2013 මැයි 31

සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් බලයෙන් පහකිරීම අරමුනු කර ගත් එක්සත් ජනපදයේ කුලීකාර යුද්ධය නව හා භයානක අවධියකට පිවිසෙමින් තිබේ. ලෝකයේ ජනගහනයට ගිනිය නොහැකි දුර්විපාක සහිතව ප්‍රධාන ජාත්‍යන්තර යුද්ධයක් ඇතිවීමේ හැකියාව මුලුමනින් ම යථාර්ථයකි.

30 දා ලෙබනනයේ අල්මනාර් රූපවාහිනිය අසාද්ගෙන් මෙසේ උපුටා දැක්වී ය, සිරියාවට "රුසියානු ගුවන් යානා නාශක එස්-300 පලමු රොකට් තොගය ලැබී ඇත. රුසියාව සමග අපගේ සියලු ගිවිසුම් ක්‍රියාත්මක කෙරෙනවා ඇති අතර ඉන් කොටසක් මේ වන විටත් ක්‍රියාත්මක කෙරී ඇත." එල්ලවිය හැකි එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් සිරියාව ආරක්ෂා කිරීම සඳහා රුසියාව සැපයීමට එකඟ වී ඇති මෙම මිසයිල ජාත්‍යන්තර අර්බුදයකට දොර විවර කර තිබේ. ඊස්රායල් නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රවාහනය කෙරෙන මිසයිල තොගයට ඔවුන් පහර දෙන බව යි.

එවැනි තර්ජනයක් ඊස්රායලය ක්‍රියාවට නගා රුසියානුවන්ගේ ජීවිත විනාශ වූයේ නම් හා ඊස්රායල් ඉලක්ක වෙත රුසියාව පලිගැනීමේ ප්‍රහාරයක් එල්ල කලේ නම්, ලෝකයට ඉතා ඉක්මනින් ම මුහුන දීමට ඉඩ තිබුනේ රුසියාව හා ඇමරිකාව අතර මිලිටරි ගැටුමකට ය. එය, 1962 කියුබානු මිසයිල අර්බුදයේ සිට වසර පනහකට වැඩි කාලයක නො පැවති තත්වයකි.

සිරියානු හමුදාවට සහාය පිනිස ලෙබනන් ෂියාවරුන්ගේ හෙස්බුල්ලා මිලීෂියාවන් මැදිහත්වීමට පසු - සමහර වාර්තාවන්ට අනුව ඉරාන හමුදා ද ඇතුලුව- දකුනු සිරියාවේ දී අත්කරගත් ප්‍රධාන ජයග්‍රහන ගැන ද අසාද් නිවේදනය කර තිබුනි. විරුද්ධ පාර්ශවයේ වැඩි පංගුව සැදුම්ලත් අල්කයිඩාවට සම්බන්ධ කන්ඩායම් සඳහා මහජන සහයෝගයක් නොමැතිකම අනාවරනය කරමින්, මෙම එක්සත් ජනපද පිටුබලය ලත් සුන්නි ඉස්ලාම්වාදී හමුදා වේගයෙන් පරාජය කිරීමට හැකිවී ඇත.

සුන්නි හමුදා හා ඉරාන සහාය ලත් ෂියා හමුදා අතර බිහිසුනු බෝම්බ ප්‍රහාර හා සටන්, සිරියාවේ සිට ලෙබනනය හා ඉරානය දක්වා පැතිරෙනවාත් සමග ම, සිරියානු යුද්ධය මතුවෙමින් පවතින්නේ පුලුල් නිකායික යුද්ධයක කේන්ද්‍රය ලෙසිනි. ඔබාමා පාලනය හා එහි සහචරයින් ඉතා ප්‍රතිගාමී හමුදා කන්ඩායම් ප්‍රයෝජනයට ගනිමින් සිටින්නේ, මුලු මැදපෙරදිග ම ප්‍රතිව්‍යුහගත කිරීමේ එල්ලය ඇතිව ය. ප්‍රතිඵල වශයෙන් ඇතිව තිබෙන ගැටුම් කවදාටත් වඩා ලේවැකි හා බියකරු වන අතර තමන්ගේ ම මැදිහත්වීම් තීව්‍ර කිරීම මගින් වැනෙනසුලු විරුද්ධ පාර්ශ්වයට මුක්කු ගසා නගා සිටුවීමට අධිරාජ්‍යවාදී බලවත්හු පියවර ගනිමින් සිටිති.

"සිරියාව තුල එක්කෝ පුලුල් ප්‍රහාර එල්ල කරනු නැත්නම් ගෙදර නවතිනු" යන හිසින් යුත් නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයේ අදහස් දැක්වීමක් තුල විදේශ සම්බන්ධතා පිලිබඳ එක්සත් ජනපද කවුන්සිලයේ රේ ටකේයි ප්‍රකාශ කලේ, ඇමරිකානු පාලක පංතියේ සැලකිය යුතු කොටසකගේ අදහස් ය: " තීරනාත්මක කැරැලිකාර ජයග්‍රහනයක් ගෙන ඒම සඳහා අවශ්‍ය මැදිහත්වීමේදී ඉල්ලා සිටිනු ඇත්තේ, පියාසර තහනම් කලාප හා ආයුධවලට වැඩි දෙයකි. එහි අර්ථය වන්නේ අසාද් මහතාගේ ගුවන් බලය අඩපන කිරීම හා හමුදා ගොඩ බැස්සවීම යි. තව ද, ඉරානය බියවැද්දීමට වඩා වෙනස් ව, තීරනාත්මක ඇමරිකානු මැදිහත්වීමකට අඩුදෙයකින් සිදුවනු ඇත්තේ ප්‍රතිවිරුද්ධ දෙයකි: (එනම්),කලාපය තුල ප්‍රමුඛ යුද්ධයක් ගෙන යාමට ඇමරිකාවට අභිලාෂයක් නොමැති බව ඉරාන නායකයින්ට ඒත්තු ගැන්වීම යි."

ටකේයිගේ අදහස් දැක්වීම හෙලි කරන්නේ, වොෂින්ටනය හා එහි ප්‍රමුඛ යුරෝපීය අනුචරයින් බෙදාහදා ගන්නා"න්‍යාය පත්‍රයට" යුද්ධය ඇතුලු සෑම විකල්පයක් ම ඇතුලත් බව ය. එනම්, ඉරාන, සිරියා හා අනෙකුත් මැද පෙරදිග තන්ත්‍රයන්ට අනවරතව තර්ජනය කරන ප්‍රතිපත්තියේ ඇඟවුම් ය. දශක ගනනාවක එක්සත් ජනපද යුද්ධයෙන් ඉරිතැලී ගිය, තෙල්වලින් පොහොසත් හා භූ-මූලෝපායිකව තීරනාත්මක කලාපය පාලනය කිරීමට මංමුලා සහගතව සිටින අධිරාජ්‍යවාදී බලවතුන් තල්ලු කෙරෙන්නේ පෙර නූ විරූ අපරීක්ෂාකාරී තර්ජනයන්ට හා යුද්ධයන්ට ය.

එක්සත් ජනපදය හා යුරෝපය තුල පාලක පංතියේ කොටස් ක්‍රියාකාරීව සලකා බලමින් සිටින්නේ ඔවුන්ගේ හමුදාවල මට්ටම් විශාල ලෙස ඉහල නැංවීමට ය."ඇමරිකානුවන් හා ඔවුන්ගේ හමුදා දෙපැත්තකට ඇදී යමින් සිටී" නම් තවත් නිව් යෝක් ටයිම්ස් ලිපියකින් උපදෙස් දෙන්නේ, අනිවාර්ය යුද සේවයට බඳවා ගන්නා‍ වැඩසටහනක් නැවත ආරම්භ කිරීමට ය. මෙම පියවරේ එල්ලය මැද පෙරදිග හා ඉන් ඔබ්බෙහි එක්සත් ජනපදය සැලසුම් කරන යුද්ධ සඳහා බිල්ලට දෙන සොල්දාදුවන් බලෙන් බඳවා ගැනීම ය. (වියට්නාම් යුද්ධයට තරුනයන් බලෙන් බඳවා ගැනීම සඳහා අනුපිලිවෙල තීරනය කර ගැනීමට මුලින් ම මෙම කෙටුම්පත් වැඩසටහන යොදා ගනු ලැබුවේ 1969 වසරේ දී ය-පරිවර්තක)

මැදපෙරදිග අල්ලා ගෙන එය රුසියාව හා චීනය යන ප්‍රධාන බලවතුන්ට එරෙහිව පිහිටුවීමට අපේක්ෂා කරන වොෂින්ටනය හා යුරෝපය, එමගින් යුද්ධයට හා පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ සිය පිලිවෙත ඒ දෙරටට ද අදාල කරගනු ඇත. එක ම ක්‍රමවේදය, එනම් රුසියාවේ චෙච්නියාව හා චීනයේ ටිබෙටය තුල වාර්ගික හා නිකායික ගැටුම් ඇවිලවීම මත පාදක වන ප්‍රකෝපකරනයන්, තමන්ගේ අවශ්‍යතාවන් වොෂින්ටනය හා එහි මිතුරන්ගේ අවශ්‍යතාවන් සමග හරස් කරන මෙම රටවල ආන්ඩුවලට හෝ වෙනත් ඕනෑ ම බලව‍තෙකුට විරුද්ධව පහසුවෙන් ම හැරවිය හැකි ය.

ජාත්‍යන්තර කම්කරු පංතිය මුහුන දෙන දැවැන්ත අනතුරු අවතක්සේරු කිරීම ගැඹුරින් ම උදාසීන වනු ඇත. වසර සීයකට පෙර මිනිසුන් කෝටි ගනනක් ඝාතනය කෙරුනු ලෝක යුද්ධ දෙකක් පුපුරුවා හල ඔවුන්ගේ සහචරයින්ගේ ප්‍රතිපත්තීන්ට ද වඩා වැඩියෙන් අද අධිරාජ්‍යවාදයේ කේන්ද්‍රයන් තුල ප්‍රතිපත්ති අන කරන සමාජ උත්සුකයන් (එවැනි කිසිවක් පවතී නම්) කොල්ලකාරී හා අන්තරායකාරී ය.

අධිරාජ්‍යවාදයට එරෙහි සටන රඳාපවත්නේ, ධනේශ්වර දේශපාලනයේ සියලු ම බලවේගයන්ට විරුද්ධව කම්කරු පංතිය ස්වාධීනව බලමුලු ගැන්වීම තුල ය. උතුරු ඇමරිකාව හා යුරෝපය තුල දේශපාලන සංස්ථාපිතය ඔප්පු කර ඇත්තේ, 2003 එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමනය කල තැන් පටන් වර්ධනය වී ඇති යුද්ධ කෙරෙහි පල වන මහජන කලකිරීම හා විරුද්ධත්වය කිසිසේත්ම ගනන් නො ගන්නා බව යි.

යුදවාදී දේශපාලන පෙරමුනේ තීරනාත්මක සංරචකයක් වන්නේ, ව්‍යාජ-වාම සංවිධානයන් ය. එක්සත් ජනපදය තුල ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය, ප්‍රංශයේ නව ධනපතිවිරෝධී පක්ෂය හා ලෝකය පුරා ඒ හා සමාන කන්ඩායම් ප්‍රචාරය කර ඇත්තේ, සිරියාව තුල යුද්ධය, "විප්ලවයක්" ලෙස ය. අධිරාජ්‍යවාදී ඔත්තු සේවාවන්ගේ හොරැනෑ ලෙස ක්‍රියාකරන අතර ම, ඉහල මධ්‍යම පංතියේ වරප්‍රසාදිත කොටස වෙනුවෙන් කතා කරමින් මෙම පක්ෂ ඉතා දැනුවත්ව වැඩ කර ඇත්තේ, යුද්ධය කෙරෙහි පලවන විරුද්ධත්වය දියකර හැරීමට ය.

සිරියාව තුල ඇමරිකාව මෙහෙය වන යුද්ධයට පෙරහුරුවක් ලෙස ප්‍රයෝජනවත් වුනු ලිබියාවට එරෙහි 2011 යුද්ධයට ඔවුහු සහයෝගය දැක්වූහ. කර්නල් මුවම්මර් ගඩාෆිගේ තන්ත්‍රයට එරෙහිව සටන් කල විරුද්ධ පාර්ශවයේ ඉස්ලාමීය මිලීෂියා හමුදාවන්ට සහාය පිනිස නේටෝ බලවතුන් මැදිහත්වූ අවස්ථාවේ දී ව්‍යාජ-වාම පක්ෂ මොරදුන්නේ අධිරාජ්‍යවාදී බලවතුන් විරුද්ධ පක්ෂය සන්නද්ධ කල යුතු බව යි.

ලිබියානු තෙල් කර්මාන්තය ඩැහැ ගැනීම, තෙල් ආදායම බලෙන් පැහර ගැනීම, ට්‍රිපොලි හා සිර්ටේ වැනි ප්‍රධාන ලිබියානු නගරවලට එකපෙලට බෝම්බ දැමීම හා අවසානයේ දී ගඩාෆි ඝාතනය හරහා ගඩාෆි තන්ත්‍රය විනාස කිරීමට ඔවුහු සහාය දුන්හ. නේටෝ බලවතුන් අසාද්ට එරෙහිව ඔවුන්ගේ තුවක්කු මෑනූ විට ඔවුන් පිම්ඹුවේ සිරියාව තුල ඒ සමාන ම ඉස්ලාමීය හමුදාවන් ය.

එහි අලුත් ම ප්‍රකාශනය තුල අයිඑස්ඕව ප්‍රසංශා කලේ සිරියාව තුල තීව්‍ර වන අධිරාජ්‍යවාදී මැදිහත්වීම "නිදහස හා ආත්මාභිමානය සඳහා මහජන විප්ලවය" ලෙස ය.

මෙම කන්ඩායම්වල පරිනාමය අවධාරනය කරන්නේ යුද්ධයට විරුද්ධ විය හැකි මූලික සමාජ බලවේගය ඇමරිකාව තුල, යුරෝපයේ හා ලෝකය පුරා විසිර සිටින කම්කරු පංතිය බව යි. 2008 බිඳවැටීමෙන් ආසන්න වශයෙන් වසර පහකට පසු වර්ධනය වන්නාවූ ධනවාදයේ අර්බුදය ජාත්‍යන්තර ආතතිය අතිවිශාල ලෙස තීව්‍ර කරයි.

එක්සත් ජනපදය විසින් නායකත්වය දෙන පාලක පංතිය නැවත වතාවක් ලෝකය විනාසයේ අද්දරට ගෙන එමින් සිටී. මෙය වැලක්වීමට අවශ්‍ය වන්නේ අධිරාජ්‍යවාදයට හා යුද්ධයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම යි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: