ජාතික ආරක්ෂක ඒජන්සියේ අකටයුතු හෙලි කරන්නා තම අනන්‍යතාව හා එක්සත් ජනපද ආන්ඩුවේ “හිංසනයේ සංකීර්න ව්‍යුහය” හෙලි කර යි

NSA whistleblower reveals identity, exposes US government’s “architecture of oppression”

තෝමස් ගෙයිට් විසිනි, 2013 ජුනි 10

ඔබාමා පාලනාධිකාරය යටතේ ජාතික ආරක්ෂක ඒජන්සිය (ජාආඒ) විසින් ගෙන යන ලද ක්‍රමානුකූල පොලිස් රාජ්‍ය අධි සෝදිසි කිරීම් හෙලිදරව් කරමින් ගාර්ඩියන් හා වොෂින්ටන් පෝස්ට් පත්‍රවලට මෑත තොරතුරු කාන්දුකිරීම්වල මූලාශ්‍රය (ආරංචි මාර්ගය) තමන් බව, හිටපු සීඅයිඒ සේවකයෙකු වන එඩ්වඩ් ජෝශප් ස්නෝඩන් 09දා ප්‍රකාශ කලේ ය.

රහස් ඔත්තු සේවා සේවකයෙකු ලෙස සේවය කර ඇති වයස අවුරුදු විසි නවයක් වන ස්නෝඩන්, දැවන්ත අධිසෝදිසි වැඩසටහන විස්තර කලේ, අසීමිත එල්ලයන් සහිත “හිංසනයේ සම්පූර්න ව්‍යුහය” ලෙසිනි: “ලෝකයේ සෑම කතාබහක් ම හා සෑම හැසිරීම් රටාවක් ම දැන ගැනීමට ඔවුන් අදිටන් කරගෙන සිටියි.”

එක්සත් ජනපදය තුල ආසන්න වශයෙන් හැම පුද්ගලයා ගැන ම දුරකථන වාර්තා රැස් කිරීම මෙන් ම, මයික්‍රොසොෆ්ට් හා ගූග්ල් වැනි තාක්ෂන සමාගම්වල කිට්ටු සහයෝගය ලබා ගන්නා අන්තර්ජාල ඔත්තු බැලීමේ වැඩසටහනක් ද ඇතුලත්, රජයේ ඔත්තු බැලීමේ වැඩසටහන් මාලාවක් මෙම කාන්දුවීම් මගින් හෙලිදරව් කර ඇත.

ගාඩියන් පත‍්‍රයේ ග්ලේන් ග්‍රීන්වෝල්ඩ් සමග සම්මුඛ සාකච්ඡාවක දී ස්නෝඩන්, එක්සත් ජනපද ආන්ඩුවේ ආයතන එකලස් කරන දැවන්ත ඔත්තු බැලීමේ ජාලයන් සවිස්තරව හෙලි කලේ ය. “ජාආඣ ගොඩ නගා ඇත්තේ, මුලුමනින් ම වාගේ හැම දෙයකට ම බාධා කිරීමට එයට අවසර දෙන අධස්ථ ව්‍යුහයකි. මෙම හැකියාව සමග මානව සන්නිවේදනයේ අතිමහත් බහුතරය ඉලක්ක කිරීමකින් තොරව ස්වයංක්‍රීයවම උකහා ගැනේ.”

“ජාආඒ විශේෂිතව සෑම අයෙකුගේ ම කතාබහ ඉලක්ක කර යි. මේසය අසල වාඩි වී සිටින මට, ඔබ හෝ ඔබගේ ගනකාධිකාරිගේ සිට, ෆෙඩරල් විනිශ්චයකාරවරයෙකු හෝ මට පෞද්ගලික විද්‍යුත් තැපල් ලිපිනයක් ඇත්නම් ජනාධිපති දක්වා වන ඕනෑ ම අයෙකුට රහසින් කන්දීමට අධිකාර බලයක් තිබුනි. .

“මේ දේවල් කරන සමාජයක ජීවත් වීමට මට අවශ්‍ය නැතැ ” යි ස්නෝඩන් පැවසී ය. “ මම කරන හා කියන හැම දෙයක් ම වාර්තා කරනු ලබන ලෝකයක මට ජීවත් වීමට අවශ්‍ය නැත. එයට සහාය වීමට හෝ ඒ තුල ජීවත් වීමට හෝ මගේ කැමත්තක් නැත.”

ස්නෝඩන් දැනට වැඩ කරන්නේ හවායි හි ආරක්ෂක කොන්ත්‍රාත්කරුවෙකු වන බූෂ් ඇලන් හැමිල්ටන් යටතේ වන නමුත් ඔහු හොංකොං වලට පලා ගියේ ය. ඔබාමා පාලනාධිකාරය යටතේ ක්‍රියාත්මක කෙරෙන දැවන්ත සමායෝජිත උපාය පද්ධතියක සාක්ෂි කාන්දු කිරීම පිලිබඳ ඔහුගේ අභිලාශය ගැන කතා කරමින් ස්නෝඩන් මෙසේ ද එකතු කලේ ය, “හැම තැනක හැම කෙනෙක්ම දැන් තත්වය කෙතරම් නරක අතට හැරී ඇත් ද යන්න වටහාගෙන සිටින අතර ඔවුන් ඒ ගැන කතා කරයි.”

ඔත්තු බැලීමේ වැඩසටහන් යොමු කෙරෙන්නේ විදේශ සන්නිවේදනයන් මත පමනක් ය යන ප්‍රකාශය ස්නෝඩන් ප්‍රතික්ෂේප කලේ ය: “ඇමරිකාව තුල සෝදිසි කිරීමේ සීමා පිලිබඳ කොන්ග්‍රස් මන්ඩල විමසීම්වලට ප්‍රතිචාර වශයෙන් ජආඒ පුරුද්දක් ලෙස කියන්නේ බොරු ය...අපි රුසියානුවන්ගෙන් එකතු කරනවාට වඩා වැඩියෙන් ඇමරිකානුවන්ගෙන් ඩිජිටල් සන්නිවේදන එකතු කරනවා.”

“අපි සෑම අයෙකු වෙතම හා සෑම තැනකටම හොරෙන් රිංගන්නෙමු (hack).”

සෝදිසියට එරෙහි ප්‍රති පියවර ගැනීමේ හැකියාව පිලිබඳව ඇසූ විට ස්නෝඩන් මෙසේ කියා සිටි‍යේය. “ කල හැක්කේ කුමක්දැයි ඔබට වැටහී නෑ. ඔවුන්ගේ හැකියාවන්හි පරාසයේ විශාලත්වය භයානකයි. අපිට පුලුවන් යන්ත්‍රයක බැක්ටීරියා රඳවන්නට. ඔබ ජාලයට පිවිසෙනවාත් එක්ක ම මට පුලුවන් ඔබගේ යන්ත්‍රය හඳුනා ගන්න. මොන ආරක්ෂාව යෙදු වත් ඔබට කිසි දා බේරෙන්ට බෑ.”

ස්නෝඩන් පැවසුවේ රාජ්‍ය බලයේ දැවන්ත ව්‍යාප්තියට එරෙහිව මහජනයා ආරක්ෂා කිරීමේ කැමත්ත විසින් ඔහු පොලඹවන ලද බව යි. “වැරද්දක් හෙලි කිරීම නිසා එල්ල වන පලිගැනීමේ තර්ජන හේතුවෙන් මහජනයා බිය වැද්දීමට එක්සත් ජනපද ආන්ඩුවට ඉඩ දීම මහජන මතයට පටහැනිය” යි ඔහු පැවසී ය. “මිනිසුන් බිය වැද්දිය නොහැකි යයි ආන්ඩුවට පනිවුඩයක් යැවී ම වැදගත්.”

ස්නෝඩන් පැවසුවේ, තමන් “ඉතා සැපවත් ජීවිතයක්” ගත කරන නමුත් “අව්‍යාජ හෘදය සාක්ෂියකින් යුක්තව ඔවුන් රහසේ ගොඩ නගමින් සිටින මෙම දැවන්ත සෝදිසි යන්ත්‍රය සමග ලෝකය වටා මහජනතාවගේ පුද්ගලිකත්වය, අන්තර් ජාල නිදහස හා මූලික නිදහස විනාස කිරීමට එක්සත් ජනපද ආන්ඩුවට ඉඩ දීමට මට කල නොහැකි ය” යනුවෙනි.

තම ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස සිය ජීවිතය ගැන බිය වන බව ස්නෝඩන් පැහැදිලි කලේ ය: “ සීඅයිඒ සංවිධානය විසින් මා අල්ලා බාර දෙනු ඇත. මා පසු පස එලවන පුද්ගලයන් සිටිය හැක. නැත්නම් තුන්වැනි පාර්ශවයේ මිනිසුන් (ඔත්තු සේවා ඒජන්තයින්) ආ හැක.ඔවුන් තවත් ජාතීන් කීපයක් සමග වැඩ කරනවා. ඔවුන්ට ට්‍රයඩ්ස්හි (චීනයේ සංවිහිත අපරාධ සංවිධානයක්) සහාය ගන්න පුළුවන්. ඔවුන්ගේ කුමන හෝ ඒජන්තයන් නැතිනම් වෙනත් හවුල්කරුවන යොදා ගන්න පුලුවනි” ඔහු පැවසී ය.

ඔබාමා පාලනාධිකාරය විසින් අකටයුතු හෙලිකරන්නන්ට දෙනු ලබන දඬුවම් සලකන විට, ස්නෝඩන්ගේ බිය මුලුමනින් ම යුක්තිසහගත ය. එක්සත් ජනපද මිලිටරිය මේ වන විට බ්‍රැඩ්ලි මෑනින්ට එරෙහිව නඩුවක් ගෙන යන්නේ විදේශවල දැවන්ත අපරාධ පිලිබඳව විකීලීක්ස් වෙත සාක්ෂි සැපයීම නිසා ය.

මෙම ප්‍රවෘත්ති පලකරන්නා හා හෙලිකරන්නා අතුරුදහන් කල යුතු යයි ඔත්තු සේවා නිලධාරීන් තර්ක කරනවා තමාට ඇසුන බව මාධ්‍යවේදී ස්ටීව් ක්ලෙමන්ස්ගේ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ස්නෝඩන් පැවසීය. “මම ඔත්තු කරුවෙක්, එහෙම යි ඔවුන් කතා කරන්නේ. අපරාධයක් සංවිධානය කරන්නේ කෙසේ දැ යි අප සලකා බලන ඕනෑ ම විටක ඔවුන් නියමිත පටිපාටිය අනුගමනය කරන්නේ නෑ. ඔවුන් තීරනාත්මක ක්‍රියාවන් ආරක්ෂා කරයි. මේ මිනිසුන්ට උසාවියේ දවසක් දෙනවාට වඩා ඔවුන් අතුරුදහන් කිරීම වඩා හොඳ යි කියල යි ඔවුන් කියන්නේ. ‍මෙය පොදුවේ අත්තනෝමතික මානසිකත්වයක්”

තමා විදේශීය ආන්ඩුවක ආරක්ෂාව පතන බව ස්නෝඩන් ප්‍රකාශ කර ඇත. “භාෂනයේ නිදහස විශ්වාස කරන හා ගෝලීය පුද්ගලිකත්වයට හානි කිරීමට වරුද්ධ වන ඕනෑ ම රටකින් මම රැකවරනය ඉල්ලීමට බලාපොරොත්තු වෙනවා” යි ස්නෝඩන් වොෂින්ටන් පෝස්ට් පත්‍රයට පැවසී ය.

දේශීය ඔත්තු බැලීම ගැන තොරතුරු කාන්දු කල අය අත්අඩංගුවට ගෙන නඩු පවරන බවට ඔබාමා පාලනාධිකාරියේ නිලධාරීන් මේ වන විටත් තර්ජනය කර ඇත. එන්බීසීයට කතා කරමින් ජාතික ඔත්තුකරුවෙකු වන ජේම්ස් ක්ලැපර් පැවසුවේ, “මෙය, කවුරු හරි මොකක් හෝ හේතුවක් නිසා රටේ ශුද්ධ වූ විශ්වාසය උල්ලංගනය කිරීමක්... මෙය කරන්නේ කවුරු වුනත් මම හිතනවා අපට පුලුවන් ඔහු අල්ලා ගන්න.”

මෑත කතාවක දී ඔබාමා සෝදිසි කිරීමේ වැඩසටහන පිලිබඳ මාධ්‍ය ආවරනය “රැවටිල්ලක්” ලෙස පැත්තකට ගසා දැමීය. දුරකතන වාර්තා හා අන්තර්ජාල පාවිච්චිය පිලිබඳව ක්‍රමානුකූල ඔත්තු බැලීම එක්සත් ජනපද ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කෙරෙන අයිතීන් තුලට “මධ්‍යස්ථ ඇතුල්වීමකට” වඩා වැඩි දෙයක් නොවන්නේ යයි ඔහු පැවසීය.

බුෂ් පාලනය අවසන් වීමත් සමග, ඔබාමා ඒ පිලිවෙත් පාලනය කරනු වෙනුවට එවාම ක්‍රියාත්මක කිරීමට පටන් ගැනීමෙන් පසුව “මම දරදඬු වුනා” යයි ස්නෝඩන් පැවසීය.

“ඔවුන් කරන්නේ කුමක් ද? ” ඔවුන් “ප්‍රජාතන්ත්‍රවාදයේ පැවත්මට තර්ජනයක්” එල්ල කරන්නේ යයි ස්නෝඩන් පැවසී ය.

Share this article: