සයිප්‍රසය ජාතියක් ලෙස බංකොලොත් වීමට මුහුනපාද්දී යුරෝපය අර්බුදයේ ගිලී යයි

Europe in crisis as Cyprus faces national bankruptcy

ජෝර්ඩන් ෂිල්ටන් හා ක්‍රිස් මාස්ඩන් විසිනි, 2013 මාර්තු 21

සයිප්‍රස් පාර්ලිමේන්තුව මාර්තු 19දා සවස, යුරෝපීය සංගමය (ඊයූ) සමග 15දා එකඟවූ ඇප ගිවිසුමේ කොන්දේසි ප්‍රතික්ෂේප කරමින් දුන් ඡන්දය මගින් එරට ජාතියක් ලෙස බංකොලොත් වීමේ අවදානම මතු කරන අතර, යුරෝපය පුරා පැතිර යාමේ තර්ජනය මතු කර ඇති අර්බුදය උග්‍ර අතට හරවා තිබේ.

මන්ත්‍රීන් 36 දෙනෙක් එයට විරුද්ධව ඡන්දය දුන්හ. කිසිවෙකුත් පක්ෂව ඡන්දය නොදුන් අතර 19 දෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ. සයිප්‍රසයේ බැංකු ගිනුම් සතු ආයෝජකයින්ගේ තැන්පත් ගිනුමේ ශේෂය යුරෝ ලක්ෂයට වැඩි නම් සියයට 9.9ක බද්දක් ද, ශේෂය යුරෝ 25,000 හා 100,000 අතර නම් සියයට 6.75ක බද්දක් ද අයකිරීමට මුල් ඇප දිමේ සැලස්ම සකසා තිබුනි. මේ මගින් යුරෝ බිලියන 5.8ක් උපයා ගැනීමට හැකියාව තිබුනි. ඒ, සයිප්‍රසයේ බැංකු බේරාගැනීමට යෝජනා කර තිබුනු බිලියන 10ක යුරෝපීය සංගමයේ ඇප දීමට ආධාරකයක් ලෙස ය.

විරෝධය පෑම සඳහා දහස් ගනන් ජනතාව පාර්ලිමේන්තුව අවට රැස්ව සිටි අතර, යුරෝ 20,000කට අඩු තැන්පතුකරුවන් බද්දෙන් නිදහස් කිරීමට අවසන් මිනිත්තුවේ දී ගෙන ආ සංශෝධනයෙන් පලක් නොවී ය.

''බී සැලැස්මට" අනුව වැඩ කිරීම පිනිස ජනාධිපති නිකෝස් ඇනස්ටේසිආඩිස් සියලු දේශපාලන පක්ෂවල හදිසි රැස්වීමක් කැඳවීය. එහෙත් 20 දා එමගින් යෝජනා කල විකල්පය, යුරෝපීය කොමිසම, යුරෝපීය මහ බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ත්‍රිත්වය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිනි.

එලඹෙන 26 දා දක්වා එක දිගට බැංකු වසා තැබීම මගින් පමනි, සයිප්‍රසයේ මූල්‍ය ක්‍රමයෙහි පරිපූර්න බිඳ වැටීමක් වලක්වාගෙන ඇත්තේ. අයෝජකයින් විශාල මුදල් ප්‍රමානයන් ආපසු ඇද ගනු ඇතැයි යන බිය නිසා කොටස් වෙලඳපොල ද දින දෙකක් වසා තබන බව 19 දා නිවේදනය කලේ ය.

යුරෝපීය සංගමය සමග සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. එහෙත්, ඊයූ නිලධාරීහු, ඇපදීමට එරට දායකත්වය වශයෙන් සයිප්‍රසය යුරෝ බිලියන 5.8ක් සොයාගත යුතු බවට බලකරති.

ඡන්දයෙන් පසුව ජර්මානු මුදල් ඇමති වොල්ෆ්ගෑන්ග් ස්කෝබල් මෙසේ පැවසීය:''ප්‍රතිසංස්කරන වැඩසටහනකින් තොරව ආධාර දිගට ම සැපයිය නොහැකි බව යුරෝපීය මහ බැංකුව පැහැදිලි ලෙස ම කියා ඇත. යමෙක් මේ තත්වය සයිප්‍රසයට පැහැදිලි කල යුතුව ඇත. මා සිතන්නේ, ඔවුන්ට යලි කවදාවත් බැංකු විවෘත කිරීමට නොහැකි වීමේ අන්තරාය මතුව තිබෙන බව යි."

ඔහු මෙසේ ද කීවේ ය: ''යුරෝපීය මහ බැංකුවෙන් හදිසි අරමුදල් නොලැබුනහොත් ප්‍රධාන සයිප්‍රස් බැංකු දෙකක් බංකොලොත් වනු ඇත."

දිවයිනේ ප්‍රධාන බැංකු දෙක වන ලයිකි හා සයිප්‍රස් බැංකුව පන ගැටගසා ගන්නේ යුරෝපීය මහ බැංකුව (ඊසීබී) සපයන හදිසි නය මගිනි. ඇප දීමේ ගිවිසුම අනුමත කිරීමට අසමත් වුවහොත් මෙම ආධාරය නතරවනු ඇති බවට ඊසීබී නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

ඊයූවේ දැඩි ආස්ථානය ඇඟවුම් කරන්නේ, පුම්බා ඇති සයිප්‍රසයේ බැංකු ක්‍රමය බේරාගත නොහැකි බවට හා එය බිඳවැටෙන්නට ඉඩහැරිය යුතු බවට, ජර්මානු චාන්සලර් මර්කෙල්ගේ අනුචර පාක්ෂිකයින් වන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදීන් ද ඇතුලු යුරෝපීය පාලක කවයන්ගේ සමහර කොටස් අතර ඇති සිතුවිල්ල යි.

ඩොයිෂෙ වෙල්ලි පුවත් පතෙහි පලකල ප්‍රකාශයක සිරස්තලය වූයේ, ''යුරෝ කලාපය හැර යාමට සයිප්‍රසයට කාලය එලැඹ තිබේ," යන්න ය.

සයිප්‍රස් බැංකුවලට ඇප දී ගලවා ගැනීම සුලුපටු කාර්යයක් නොවේ. ෆිනැන්ෂල් ටයිම්ස්හි මාටින් වුල්ෆ් පෙන්වා දී ඇති පරිදි, ඇපදීමක් නොමැති වුවහොත් සයිප්‍රසයේ දල රාජ්‍ය නය, පසුගිය වසරේ පැවති දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 87 සිට 2017 වන විට සියයට 106 දක්වා වැඩි වනු ඇත. එරට බැංකු ක්ෂේත්‍රයේ වත්කම් ප්‍රමානය දදේනි මෙන් හත් ගුනයක් වන බැවින් සයිප්‍රසයේ රාජ්‍ය නය අනුපාතිකය ද ආයෝජන මට්ටමට පහත, සීසීසී+මට්ටමේ පවතියි.

ඔහු මෙසේ ලිවීය: ''තැන්පත්කරුවන්ගෙන් බදු අය නොකලහොත් යෝජිත ගලවා ගැනීමේ පැකේජය, යුරෝ බිලියන 10 නොව බිලියන 17.2ක් හෙවත් දදේනි සියයට 70කට ආසන්න වනු ඇත. මේ අනුව රාජ්‍ය නය, දදේනි සියයට 160ක් පමන දක්වා නඟිනු ඇත. එය තිරසාර කල නොහැකි විලංගුවක් වනු ඇත. නය අනුපාතය දදේනි සියයට 130ක මට්ටමට නංවනු ඇතැයි පෙනීයන බැවින් සැබවින් ම නියම ඇප දීමේ පැකේජය පවා තිරසාර නොවේ."

කෙසේ වෙතත්, බැංකු බිඳවැටීමට ඉඩ හැරීම දැඩි අවදානම් සහිත මූලෝපායකි. ව්‍යසනකාරී වර්ධනයන් යුරෝ කලාපයේ අස්ථාවරත්වය උග්‍ර කරයි. මහාද්වීපය පුරා ගැඹුරුවන පසුබෑමක් පැවතිද්දී, ඉතාලියේ ස්ථාවර ආන්ඩුවක් පිහිටුවීම පිලිබඳව සාකච්ඡා දිග්ගැසෙද්දී, යුරෝපීය බැංකුවල දැවැන්ත නය පිලිබඳ ගැටලු නොවිසඳී තිබිය දී, සිදුවීම්වල විභව බලපෑම මධ්‍යයයේ, පාලක කවයන් තුලින් පලවන්නේ, නැඟී එන භීතිය හා අවිනිශ්චිතභාවය යි.

අනෙකුත් ඊනියා පර්යන්ත යුරෝපීය ආර්ථිකයන්හි කොටස් අගය ලුහුටා ගියේ ය. ඉතාලි හා ස්පාඤඤ බැංකුවල කොටස් මිල 19 දා වන විට සියයට 5න් හා ඇතන්ස්හි කොටස් හුවමාරුව සියයට 3න් පමන පහත වැටුනි. නිසි කලට තමන් සයිප්‍රස් බැංකුවලට ආධාර කරන බවට ඊසීබී සහතික වීමෙන් පසුව, යුරෝව ඩොලර් 1.29 දක්වා සිව් මසකට පසු එය වැටුනු පහත ම අගයෙන් මඳක් ඉහල නැඟුනි.

බීබීසී මාධ්‍ය ජාලයේ ආර්ථික ලියුම්කාරිනිය ස්ටෙෆනි ෆ්ලෑන්ඩර්ස් 19දා පැවති මනෝභාවය මෙසේ සටහන් කලා ය: ''පසුගිය දින කිහිපය තුල සිදුවූ හානිය පිලිසකර කල හැකිදැයි අප තවමත් දන්නේ නැත. එහෙත් සියලු දෙනා ම බරපතල වැරදි ගනන් බැලීම්වලට යොමුවූ බව නම් අපට කිව හැකි ය."

ඊයූ ස්ථාවර ඇපදීමේ අරමුදලෙහි ප්‍රධානියා වන ක්ලාවුස් රෙග්ලිං ජර්මනියේ බයිල්ඩ් දිනපතා පුවත්පතට පැවසුවේ,සයිප්‍රසයේ අපාලිත නය පැහැරහැරීමක් සමස්ත යුරෝව ම අවදානමේ හෙලනු ඇති බව යි.

ෆිනෑන්ෂල් ටයිම්ස්හි ජේම්ස් මැකින්ටොෂ්, සයිප්‍රසයට ඇපදීම ප්‍රතික්ෂේප කිරීම මඟින් ''නව යුරෝ අර්බුදයක් පැනනංවයි ද?" යන ප්‍රශ්නය නඟා "නිසැකයෙන් ම" යයි පිලිතුරු දුන්නේ ය. මෙම කුඩා දිවයිනෙන් පැතිර යා හැකි වසංගතය පිලිබඳ භීතිය සේ ම, යුරෝපීය බලවතුන් කනස්සල්ලට පත්ව ඇත්තේ, සයිප්‍රසය අතහැර දැමීමෙන් එරට නොවැරදී ම රුසියාවේ කක්ෂය තුලට ඇදී යාමේ හැකියාව ගැන ය.

සයිප්‍රසයේ ආයෝජකයින්ගෙන් බදු අයකිරීමේ එකඟත්වය මොස්කව් කෝප ගැන්වීය. මක්නිසාද යත්, යුරෝ බිලියන 45කට වැඩි රුසියානු ආයෝජන එහි ඇති බැවින් ය. යුරෝ 100000ට අඩු තැන්පත් වලින් බදු අයකිරීම නතර කල හොත්, ඉහල තැන්පතුකරුවන්ගේ බද්ද සියයට 15 දක්වා ඉහල නඟිනු ඇත. එය රුසියානු ජාතික කතිපයාධිකාරයින්, මාෆියාකාරයින් හා තවත් අයට තදින් බලපානු ඇත. මෙය, දැවැන්ත මුදල් ආපසු ඇදීමකටත්, සමහර විට බැංකු බිඳ වැටීමකටත් තුඩු දෙයි.

එනයින් සයිප්‍රසය වඩ වඩාත් රුසියාව මත රැ‍ඳෙන අතර පැතිර යන ජාත්‍යන්තර ආතතීන් හමුවේ, යුරෝපීය බලවතුන් ද අවසානයේ එක්සත් ජනපදය ද කුපිත කරනු ඇත.

එරට මුදල් ඇමති මිකාලිස් සාරිස් 19දා මොස්කව් වෙත ලඟා විය. ඒ, 2011දී රුසියාව ලබාදුන් යුරෝ බිලියන 2.5ක නය මුදල ගෙවිය යුතු කාලය 2020 දක්වා දික්කර ගැනීමට හා පොලිය පහත දමාගැනීමට ය. වඩාත් වැදගත් වන්නේ ඔහු ඊයූ ඇපදීමට පොරොන්දුවූ මුදලට සමාන යුරෝ බිලියන 5ක අමතර අලුත් නයක් රුසියාවෙන් ඉල්ලා සිටීම යි.

ඊටත් වඩා, මොස්කව්, සයිප්‍රසයේ ලිමාසොල් වරාය නාවික කඳවුරක් ලෙස යොදාගැනීමේ අයිතිය ඉල්ලා සිටීම ගැන සමපේක්ෂන මෝදු වෙමින් තිබීම, යුරෝපීය බලවතුන්ගේ හිසරදයට හේතු වී තිබේ. දැනට රුසියාව මධ්‍යධරනී මුහුදට ප්‍රවිශ්ටයක් ලෙස විශ්වාසය තබා ඇත්තේ, සිරියාවේ ටාටුස් කඳවුර ගැන ය. කෙසේ වෙතත්, වත්මන් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්‍ තන්ත්‍රය, පාලන වෙනසක් පිලිබඳ එක්සත් ජනපදය ප්‍රමුඛත්වය දරන යුද්ධයේ ඉලක්කයක් බවට පත්ව ඇතිවාක් මෙන් ම, රුසියාවට හා චීනයට එරෙහිව ද යොමු වී තිබේ.

එමෙන් ම, නෝබල් එනජි සමාගම විසින් 2011 කරන ලද මූලික ගවේෂනයක් මත පදනම්ව කරන ලද තක්සේරුවකට අනුව, ප්‍රයෝජනයට නොගත් කියුබික් අඩි ට්‍රිලියන 5-8 අතර ගෑස් නිධි සයිප්‍රස් මුහුදු සී‍මාවේ තිබෙන අතර, ඒවා හෑරීමේ අයිතිය රුසියාවේ ගෑස්ප්‍රෝම් සමාගම විසින් ඉල්ලා සිටීමේ හැකියාව ද පවතියි. මුදල් ඇමති සාරිස් සමග සයිප්‍රසයේ බලශක්ති ඇමති ද මොස්කව්වලට ගොස් සිටී.

අප්‍රකාශිත එහෙත් බැරෑරුම් කමෙන් නොඅඩු, කනස්සල්ල දනවන තවත් කාරනයක් වන්නේ, යුරෝපීය සංගමයට හා වැඩකරන ජනතාවගේ වියදමින් මූල්‍ය ප්‍රභූව ඇප දී ගලවා ගැනීමේ එහි තල්ලුවට එරෙහි මහජන විරෝධය පුපුරා යාමේ හැකියාව යි.

කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට එරෙහි දැවැන්ත ප්‍රහාරයක් ඉල්ලා සිටින, ඇප දීමේ පැකේජයේ ස්වභාවයෙහි අති මූලික වෙනසක් බී සැලසුමට අවතීර්න වීමේ යෝජනා මගින් සිදු නොවනු ඇත. ඉතාලි මැතිවරනයේ දී ඊයූ විරෝධී විශාල ඡන්දයක් ප්‍රකාශවීම, පෘතුගාලයේ, ග්‍රීසියේ හා ස්පාඤඤයේ දැනට සිදුවන වැඩවර්ජන හා විරෝධතා, පසුගිය මාසයේ බල්ගේරියානු ආන්ඩුව පෙරලා දැමීම යන කාරනා මගින්, යුරෝපයේ පන්ති සම්බන්ධතා බිඳී යාමේ ලක්ෂයකට පැමින තිබීම ගැන පාලක කවයන් හොඳින් දැනුවත්ව සිටියි.

Share this article: