ප‍්‍රන්සය: සේවා වියුක්ත කම්කරුවෙක් රැකියා මධ්‍යස්ථානය ඉදිරිපිටදී තම සිරුරට ගිනි තබා ගනී

France: Unemployed worker sets himself on fire outside job centre

By Antoine Lerougetel, 16 February 2013

හතලිස් තුන්වන වියේ පසු වූ රැකියා විරහිත ඇල්ජීරියානු ජාතික ජාමේල් චාබ්, සේවා වියුක්ති ප‍්‍රතිලාභ සදහා ඔහුගේ සුදුසුකම ප‍්‍රතික්ෂේප කල බටහිර ප‍්‍රන්සයේ නැන්ටස් හි පිහිටි රාජ්‍ය සේවා නියුක්ති ඒජන්සිය ඉදිරිපිට දී 13දා සවස, තම සිරුරට පෙට‍්‍රල් දමා ගිනි තබාගෙන දිවි නසා ගත්තේ ය.

ඊට පෙර දින උදේ ඔහු ප‍්‍රතිලාභ සදහා තමන්ට ඇති අයිතිය පිලිබඳව සදහන් කරමින් ප්‍රෙසි ඕෂන් නම් ජාතික පුවත්පතට ලිපියක් ලියා ඇත. "මම අද රැකියා ඒජන්සිය ඉදිරිපිට දී ගිනි තබා ගන්නා නිසා අද මට ඉතා වැදගත් දවසක්. මම පැය 720ක් වැඩ කර තිබෙන නමුත් නීත්‍යානුකූල එය ගනන් ගන්නේ පැය 610 ලෙස යි. එසේ ම ඒජන්සිය මගේ හිමිකම් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා."

"මම පෙට‍්‍රල් ලීටර් 5ක් රැගෙන ගිනි තබා ගැනීම සදහා පෝලි එම්ප්ලෝයි වෙත ගිය නමුත්, එය වසා තිබුනු බැවින් එය හෙට (13) හෝ අනිද්දා (14) සිදු වේවි. ඇයි ද කිවහොත් පෝලි එම්ප්ලෝයිහි දී දිවි නසාගැනීම වඩාත් ගැලපෙන නිසා ය" යනුවෙන් එදින ම සවස පත‍්‍රයට ඔහුගෙන් තවත් විද්‍යුත් ලිපියක් ලැබුනි.

"ඔහු වැඩ කරමින් සිටි කාලය සදහා සේවාවියුක්ති ප‍්‍රතිලාභ ලැබිය යුතුව තිබුනා. එම කාරනයේ දී ඔහු දෙවරක් පහර කෑමට ලක් ව තිබෙනවා. ඔහුට හිමි නොවන මුදලක් ඔහු ආපසු දිය යුතුව තිබෙන අතර, මෙම කාලයේ ඔහුට ප‍්‍රතිලාභ සදහා අයිතියක් හිමි නොවේ" යැයි සීජීසී (ජාතික කම්කරු සම්මේලනය) වෘත්තීය සමිති ප‍්‍රකාශකයෙක් වන ජුලියන් චයිලෝ සඳහන් කලේ ය.

13දා දහවල් 12ට පමන චාබ් තම සියදිවි නසාගැනීමේ පොරොන්දුව ඉටු කලේ ය. ගිනි තබාගැනීම වැලැක්වීමට ඉඩ නොතබමින් ඔහු ඒජන්සියට මීටර 50ක් දුරින් සිට ගිනි තබාගෙන, එක ආරක්ෂක නිලිධාරියෙකු පමනක් රාජකාරියේ යෙදී සිටි එහි පිවිසුම වෙතට දිව ගියේ ය. ඔහු බේරා ගැනීමට නො හැකි විය.

චාබ් විවාහක බවත් වසර 10ක පුරවැසි බලපත‍්‍රයක් ඔහු සතුව පැවති බවත්, අපරාධ වාර්තා කිසිවක් නොමැති බව මෙන් ම සාමාන්‍ය ජීවිතයක් ගත කල බවත් පොලීසිය ප‍්‍රකාශ කලේ ය. ඔහු මෑතක දී බොයිලේරු නිපැයුම් පාඨමාලාවක් සම්පූර්න කර ඇත.

ඔහුගේ අදිටන බැරෑරුම් බව හා ඔහු එය ක‍්‍රියාත්මක කරන්නේ කෙසේ කවදා කොතනදී ද යන්න දැන සිටියදීත්, බලධාරීන් එය වැලැක්වීමට පියවර නොගත්තේ මන් ද යන්න විස්තර කරන්නේ කෙසේ ද? පැහැදිලිව ම මංමුලා සහගත මෙම මිනිසාට සියදිවි හානි කර ගැනීමට ඉඩ හරිමින්, එය වැලැක්වීම සදහා ගනු ලැබ තිබුනේ අවම පියවරයන් බව පෙනී යයි. ඒඑෆ්පී පුවත් සේවය මෙසේ වාර්තා කලේ ය: "රැකියා ඒජන්සියට අනුව එයට අයවීමට තිබූ නය ලිහිල් කිරීම සදහා මූල්‍ය ආධාර ලබාගතහැකි විකල්ප මාවත් සොයා දීමට උපකාර කිරීම පිනිස කාර්ය මන්ඩලය ඉදිරිපත්ව සිටියේ ය. එහෙත් 13දා උදෑසන ඔහුගේ කුලී නිවස වෙතින් පොලීසියට කිසිදු පිලිතුරක් නොලැබුනි. ඒජන්සියේ ඇමතුම් වලට ද කිසිදු පිලිතුරක් නො ලැබිනි."

"ඔහු සිය දිවි නසා ගන්නවා ය යි ප‍්‍රකාශ කල විට අපි පොලීසිය සහ ගිනි නිවන හමුදා දැනුවත් කලෙමු. අපට ඔහු හා කථා කිරීමට හැකි වූ අතර මෙම ගැටලුව විසඳා ගත හැකි සෑම ක‍්‍රමයක් ම සොයා බැලීමට අපි ඉදිරිපත් වුනෙමු. එදින උදෑසන අපි ඔහු ඇමතීමට නැවත උත්සාහ කල නමුත් ඔහු පැමිනීමට එකග නොවී" යයි එම විස්තරය ප‍්‍රතික්ෂේප කල, ඒජන්සියේ මහජන අධ්‍යක්ෂක ජීන් බැසරෙස් තම නිදහසට කරුනු කියා පෑවේ ය. "මෙම ඛේදවාචකය වැලැක්වීමට හැකි සෑම දේ ම කර ඇති බව එහි කාර්ය මන්ඩලය සිතන්නේ" යයි ඔහු තවදුරටත් ප‍්‍රකාශයට පත් කලේ ය.

එහෙත් 13දා උදෑසන චාබ්ට බසයකට ගොඩ වීමට හැකි වූ අතර, ඔහු ඒජන්සියට මීටර 50ක් දුර තියා ඉන් බැස තම සිරුරට ගිනි තබාගෙන වැලැක්විය නො හැකි අයුරින් දොරටුව වෙත දිව ගියේ ය. ඒජන්සියෙන් පිටත සිටියේ එක් මුරකරුවකු පමනක් බව පුවත්පත් වාර්තාවක් සදහන් කරයි. ගොඩනැගිල්ල ඇතුලත කිහිප දෙනෙක් සිටි බව බැසරෙස් පවසයි.

14දා කම්කරු අමාත්‍ය මිචෙල් සැපින් පෞද්ගලිකව ම නැන්ටස් කරා ගොස් චාබ් සියදිවි නසා ගැනීම වැලැක්වීමට හැකි සෑම පියවරක් ම ගත් බව වාර්තාකරුවන්ට පැවසුවා ය. "සියලු දෙනා ම ඔවුන් ක‍්‍රියා කල යුතු ආකාරයට ක‍්‍රියා කර තිබේ. මියගිය අය කිසිවෙකුටත් තමා නැවැත්වීමට ඉඩ නොතැබීමට වග බලාගෙන තිබුනි," යනුවෙන් ද සැපින් පැවසුවා ය. නැන්ටෙස් හි හිටපු නියෝජ්‍ය නගරාධිපති වන සමාජවාදී පක්ෂයේ අග‍්‍රාමාත්‍ය ජෘන් මාර්ක් අයරෝල්ට් සිද්ධිය සම්බන්ධයෙන් තම බලවත් ශෝකය ප‍්‍රකාශ කලේ ය.

මහා පරිමාන දොට්ට දැමීම් හා වසා දැමීම් මගින් පීඑස්ඒ පර්ජෝ-සිට්‍රොන් හා රෙනෝල්ට් කර්මාන්තයන්හි කම්කරු ආරක්ෂක නීති විනාශ කරමින් හා වියදම් කප්පාදු කරමින් ප‍්‍රන්ස සංගතවල තරඟකාරීභාවය වර්ධනය කිරීමේ ආන්ඩුවේ පියවර ක‍්‍රියාවට නංවන පුද්ගලයින්ගේ මුවින් පිටවන මෙම ප‍්‍රකාශයන්ගේ කුහකත්වය සිත් කාවදින සුලු ය.

ඔවුන් මහත් උද්යෝගයෙන් සහයෝගය දෙමින් ක‍්‍රියාත්මක කරන යුරෝපා සංගමයේ කප්පාදු වැඩපිලිවෙල, ආර්ථිකයේ හැකිලීමටත් විශේෂයෙන් ග‍්‍රීසියේ හා ස්පාඤ්ඤයේ වාර්තගත විරැකියාවටත් මග පාදමින් සැලකිය යුතු ලෙස ඊට දායක වී ඇත. 2012 දී ප‍්‍රන්ස ආර්ථිකයේ වර්ධනය ශුන්‍යයට ලඟා වූ අතර විරැකියා අනුපාතය සියයට 10.5ක් විය රැකියා විරහිත පුද්ගලයින් මිලියන 3.13ක් හා අර්ධ කාලින සේවා නියුක්තිකයින් ඇතුලු වුවහොත් විරැකියා සංඛ්‍යාව මිලියන 4.6ක් පමන වෙයි.

ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල යටතේ කම්කරුවන්ට ඔවුනගේ රැකියා වියුක්ති ප‍්‍රතිලාභ සදහා ප‍්‍රවේශ වීම හැකිතාක් අපහසු කරයි.

රැකියා විරහිතයන්ගේ උපදේශකයෝ ජනයා දුගීභාවයට හෙලන නීති හා හුදු දඬුවම් දීම හා රැකියා විරහිතයන්ට අවමන් කිරීම හෙලා දැක ඇත. ප‍්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ඇති බොහෝ දෙනා තමන්ගේ අයිතීන් පිලිබඳ නොදැනුවත් වීම නිසා හෝ අවුල්සගත ක‍්‍රියාපටිපාටීන් මගින් ඊට උරුමකම් කීම මගහැරෙන නිසා රජයට යූරෝ බිලියන 5ක් ඉතුරු වන බවට ගනන් බලා ඇත. සේවායෝජකයන් ඔවුන්ගේ දායකත්වය ලබා දීම මග හැරීම නිසා ද අති මහත් ප‍්‍රමානයක් අහිමි වෙයි.

15දා වයස 40 ගනන් වල පසුවන තවත් රැකියා විරහිත කම්කරුවෙක් තව දුරටත් ප‍්‍රතිලාභ ලබා ගැනීම සදහා සුදුසුකම් නො ලැබීම නිසා, පැරීසියේ සෙයින් සෙන්ට් ඩෙනිස් නම් ප‍්‍රාථමික පාසල අසල වීදියක දී සිය දිවි නසා ගැනීමට උත්සාහ කල අතර දැනට ඔහු රෝහල්ගත ව සිටී.

2012 අගෝස්තුවේ දී 51 හැවිරිදි අයෙක් ප ැරිසියට කි.මී. 50ක් බටහිරින් පිහිටි මන්ටෙස්-ලා-ජොයිලේ නම් නගරයේ පිහිටි සුභසාධන ඒජන්සියක් අසල දී ගිනි තබා ගැනීමෙන් ඇති වූ තුවාල නිසා මරනයට පත් විය. චාබ්ගේ ඉරනමට සමාන වූ මෙය, සුභසාධන ප‍්‍රතිලාභ අවසාන වේ යයි අනාවරනය කර ගැනීමෙන් පසු ව ඇති වූ බලාපොරොත්තු සුන් වීමේ ප‍්‍රතිඵලය විය.

ජාමෙල් චාබ්ගේ ඛේදජනක අවසානය 2010 දෙසැම්බරයේ දී ටියුනීසියාවේ මොහොමඩ් බොආසිසිගේ සිය දිවි හානි කර ගැනීම සිහි ගන්වයි. එය ටියුනීසියානු විප්ලවය අවුලුවාලීය.

"පරහිතකාමී දිවි පිදීමක්" සේ සලකන සිය දිවි නසා ගැනීම් ගනයට චාබ්ගේ සිය දිවි නසා ගැනීම අයත් වන බව පෙනී යන්නේ යයි රේම්ස් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිලිබඳ මහාචාර්ය ගෙරාඩ් ස්මිත් එය විවේචනය කලේ ය. "තනි වූ පුද්ගලයකුගේ ක‍්‍රියාවක් ලෙස එය පිටස්තර පුද්ගලයින්ට පෙනී යා හැකි නමුත් එම පුද්ගලයා ඉතා බලගතු ලෙස විශ්වාස කර තිබුනේ අනෙක් අය වෙනුවෙන් පනිවුඩයක් ලබා දිය යුතු බව" යයි ද ඔහු පැවසීය.

Share this article: