ඇන්ටන් මාකස්ගේ නිවෙක සමිතිය කම්කරු අරගල දිය කර හැරීමේ තැතක

සුජීව අමරනාත් විසිනි, 2013 මාර්තු 30

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කර ගනිමින් නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමය (නිවෙක හා පොසේසේස) විසින් මාර්තු 10 දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී රැස්වීමක් පැවැත් වී ය. දහසක් පමන වූ කාන්තා සහ පිරිමි කම්කරු නියෝජිත පිරිසක් සහභාගි වූ මෙම රැස්වීමේ තේමාව “වූයේ හොර ආයෝජකයන් රට පනී, ආන්ඩුව ඇඟලුම් අතහරී, කාන්තා කම්කරුවන්ගේ රැකියා වැනසීමේ කුමන්ත්‍රනය පරදවමු” යන්න යි.

සිය රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි වැඩි දියුනු කර ගැනීමේ හා ප්‍රජාතාන්ත්‍රික අයිතීන් රැක ගැනීමේ අරගලයක් සංවිධානය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයක් සාකච්ඡා කර තීන්දු ගැනීමේ අවස්ථාවක් වනු ඇතැයි රැස්වීමට සහභාගි වූ නියෝජිතයන්ගෙන් බහුතරය නිසැකව ම බලාපොරොත්තු වන්නට ද ඇත. කාන්තා කම්කරුවන් කිහිපදෙනෙකු ම සිය වැටුප් හා රැකියා කොන්දේසිවල පිරිහීම ගැන රැස්වීම තුල කල කතා අවධාරනය මගින් පෙන්නුම් කලේ එවන් ක්‍රියාමාර්ගයක් පිලිබඳව පොදුවේ නිවෙක කම්කරුවන් අතර පවතින උවමනාව යි.

එහෙත් රැස්වීමේ ප්‍රධාන කථිකයා වූ නිවෙක හා පොසේසේ සංගමයේ ලේකම් ඇන්ටන් මාකස්ගේ පුහු වාගාලාප හැර, අව්‍යාජ අරගලයකට මග පෙන්වන කිසිදු ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් කෙරුනේ නැත. තමන් කිසිවිටෙක ලංකාවේ කාන්තා කම්කරුවන්ගේ රැකියා අහිමි කිරීමට ඉඩ නොතබන බව ප්‍රකාශ කල මාකස්, අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට කම්කරුවන් “ආන්ඩුවට පීඩනය යෙදිය" යුතු බව කීවේ ය. මෙය අයිතීන් සඳහා සටන් කිරීමේ ක්‍රමයක් නොව, කම්කරුවන් ඉදිරියේ ඇති සැබෑ අන්තරායන් වසන් කොට ඔවුන්ගේ අරගල දුර්මුඛ කොට විසුරුවාලීමේ බංකොලොත් හා ප්‍රතිගාමී පිලිවෙතකි.

විදේශ ආයෝජන කැඳවා ගැනීමේ අපේක්ෂාව ඇතිව ඇඟලුම් නිෂ්පාදනය කරන බංග්ලාදේශය, වියට්නාමය, චීනය, ඇතුලු රටවලට වඩා ලංකාවේ වැටුප් මට්ටම් පහල මට්ටමක තබා ගැනීමට ආන්ඩුව තීන්දු කොට ක්‍රියාකරන බව මාකස් නොදන්නවා නොවේ. බංග්ලාදේශය වැනි රටවල වැටුප් අඩු නිසා ලංකාවේ වැටුප් වැඩි කලහොත් ඉන් ලංකාවේ කර්මාන්තකරුවන් දුෂ්කරතාවට පත්වනු ඇතැයි ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෑත දී කල ප්‍රකාශයෙන් එය තව දුරටත් තහවුරු කෙරෙයි. එමෙන් ම ලෝක වෙලඳ පොල තුල තරඟයේ දී ලාභ මට්ටම් රැක ගැනීමට උත්සාහ කරන හාම්පුතුන්ගේ පිලිවෙතත් එය ම බව මාකස් දන්නෙහි ය.

අතිශයින් ම අඩු වැටුප් ලබන කම්කරු කොට්ඨාසයට අයත් වන නිවෙක කම්කරුවන් අතර වැටුප් පිලිබඳ ඉල්ලීම දැවෙන ඉල්ලීමක් ලෙස පසුගිය වසර කිහිපය තුල යලි යලිත් ඉස්මත්තට ආවේ ය. මාකස් “බීබීබී” හෙවත් “බීඕඅයි සමග වඩා හොඳ වැටුපක් වඩා හොඳ ලාබයක්” යන ප්‍රතිගාමී පාඨයක් ඉදිරියට දමා ගෙන සුදු ඇඳගෙන වැඩ කිරීම සහ කහ පටි බැඳීම වැනි ක්‍රියාවන් ඇතුලුව ආන්ඩුවට සහ හාම්පුතුන්ට බලපෑම් දැමීමේ නිස්සාර උද්ඝෝෂනවලට කම්කරුවන් යොමු කරමින් වැටුප් ඉල්ලීම් සඳහා වූ ඔවුන්ගේ අරගලයන් ගබ්සා කර දැමුවේ ය.

2011 පෙබරවාරි මාසයේ පැන නැගි කටුනායක බ්‍රාටෙක්ස් කම්කරුවන්ගේ අරගලය මාකස්ගේ ද්‍රෝහීත්වය පිලිබඳ එක් උදාහරනයකි. ඔහු මෙම අරගලය හුදකලා කලා පමනක් නොව, පොලිසියේ ලැයිස්තුවලට අනුව වර්ජනයට සම්බන්ධිත කම්කරුවන් පොලිසියට භාර දීමට ද කටයුතු කලේ ය.

2005 වසරේ දී බහුතන්තු (මල්ටි ෆයිබර්) එකඟතාව අවසන් වීමත්, 2008 සිට ගැඹුරුවන ලෝක ආර්ථික අර්බුදයත් නිසා, ලංකාව තුල ඇඟලුම් කම්හල් 400ක් පමන මේවන විට වැසී යාමේ ප්‍රතිඵලයක් ලෙස දහස් ගනනක් කම්කරුවන්ගේ රැකියා අහිමි වී ඇත. පවතින කම්හල් තුල වැඩ ඉලක්කයක් තීව්‍ර කිරීම මගින් ශ්‍රම සුරාකෑම උග්‍ර කර ඇති අතර කම්කරුවන් භුක්ති විඳි ප්‍රතිලාභ කප්පාදු කර තිබේ.

මෙම ප්‍රහාරවලට එරෙහිව කම්කරුවන් අතර නොසන්සුන්තාව වර්ධනය වන විට වසර ගනනක් අක්‍රීයව පැවති කම්කරු අමාත්‍යංශයේ, හාම්පුතුන්ගේ හා සමිති නිලධරයේ නියෝජිතයන්ගෙන් සැදුම් ලත් ජාතික කම්කරු කවුන්සිලයට යලි පන දුන් ආන්ඩුව සමිති නිලධරයේ සෘජු උපකාරය ඇතිව රැකියා අහෝසි කිරීමේ සහ සේවක ප්‍රතිලාභ කප්පාදුව ක්‍රියාවට දැමීමට හාම්පුතුන්ට ඉඩ සැලසීය.

පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ අර්ථසාධක මුදල් ඩැහැගැනීම සඳහා ආන්ඩුව ප්‍රෝඩාකාරී විශ්‍රාම වැටුප් පනතක් ගෙන ආ විට, 2011 මැයි මාසයේ 40,000 පමන වූ කටුනායක නිවෙක කම්කරුවෝ වෘත්තීය සමිතිවලට පිටින් අරගලයට ආහ. රාජපක්ෂ ආන්ඩුව පොලිසිය හා හමුදාව මුදා හරිමින් කම්කරුවන්ට එරෙහි මෘග ප්‍රහාරයක් එල්ල කලේ ය. රොෂාන් චානක කම්කරුවා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය අතර තවත් සියගනනක් කම්කරුවෝ තුවාල ලදහ.

මෙම මෘග ප්‍රහාරයට එරෙහිව අවසේස කම්කරුවන් බලමුලු ගැන්වීමට නිවෙක කිසිදු සමිතියක් පියවර නොගත්තේ ය. මාකස් තමන්වම හුවා දක්වා ගන්නා ආකාරයට කම්කරුවන්ගේ අයිතීන් සඳහා සටන් කරන සටන්කරුවකු නොව, ධනපති රාජ්‍ය හා හාම්පුතුන් වෙනුවෙන් කම්කරුවන් මෙල්ල කර දෙන කාර්මික පොලිස්කාරයෙකි. සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේත්, ජාත්‍යන්තරවත් වෘත්තීය සමිති නිලධරයේ ප්‍රධාන භූමිකාව එය යි.

කම්කරුවන් දහස් ගනනකට රැකියා අහිමිකොට, හාම්පුතුන් විසින් සිය ව්‍යාපාර වෙනත් රටවලට ගෙන යාමේ උත්සාහයක් පවතින බව මාකස් සිය කතාවේ දී සඳහන් කලේ ය. එහෙත් එම උත්සාහය වලකාලීමට කම්කරුවන් සටන් කල යුත්තේ කෙසේදැයි පැහැදිලි නොකල ඔහු, ඒ වෙනුවට කලේ මෙම රටවල කම්කරුවන්ගේ තත්වය ලංකාවේ කම්කරුවන්ට වඩා යහපත් යයි අමු බොරුවක් ඇද බෑම ය.

මාස කීහිපයකට පෙර පකිස්ථානයේ සහ බංග්ලාදේශයේ ඇඟලුම් කම්හල් දෙකක් ගිනි ගැනීමෙන් පිලිවෙලින් කම්කරුවන් 300 ක් සහ 112 ක් මරනයට පත්වීම ම මේ රටවල ඇඟලුම් කම්කරුවන්ගේ රැකියා කොන්දේසි පිලිබඳ බියකරු උදාහරනයකි. මාකස් මේ සත්‍යය අමු අමුවේ වසන් කරන්නේ ලාභය සඳහා වූ ධනවාදී නිෂ්පාදන ක්‍රමය තුල හැම රටක ම කම්කරුවන් එක හා සමාන කොන්දේසිවලට මුහුන දී සිටින බව යට ගැසීමට ය. ඒ පිටුපසින් කම්කරුවන්ට ගිල්වීමට කැස කවන්නේ වෘත්තීය සමිති මගින් ආන්ඩුවලට පීඩනය දමා ඒ ඒ රටවල කම්කරුවන්ට කම්කරු අයිතීන් දිනා ගත හැකිය යන ප්‍රතිගාමී මිත්‍යාවකි.

“වසර 25කට අධික සටන් ඉතිහාසයක්” තමන්ට ඇතැයි මාකස් සිය කතාවේ දී පම්පෝරි ගැසුව ද එය ඔහු විසින් කම්කරුවන්ගේ අරගල පාවාදීමේ ඉතිහාසයකි. 1970 ගනන් අගභාගයේ ඔහු සිය වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය ඇරැඹුවේ තමන් ට්‍රොට්ස්කිවාදියෙකැයි ව්‍යාජ ලෙස කියාපාන, ප්‍රමුඛ පෙලේ දේශපාලන අවස්ථාවාදියෙකු වන බාලා තම්පෝගේ ලංකා වෙලඳ හා වානිජ වෘත්තීය සමිතියේ (සීඑම්යූ) ක්‍රියාධරයෙකු ලෙස ය. ඉන් පසු ඔහු දැන් අක්‍රීයව පවතින තම්පෝගේ විප්ලවීය මාක්ස්වාදී පක්ෂයේ සාමාජිකයෙක් බවට පත් විය. 1980 රාජ්‍ය අංශ කම්කරුවන්ගේ මහා වැඩවර්ජනයේ දී තම්පෝ ඉටුකල හොරිකඩ ක්‍රියාකලාපයෙන් පසු කම්කරුවන් අතර සීඑම්යු ව කෙරෙහි ඇති වූ වෛරය නිසා පමනක් ම මාකස්, තම්පෝගෙන් වෙන් වුව ද ඔහු ඉදිරියට ගෙන යමින් සිටින්නේ තම්පෝගේ පන්ති සහයෝගිතාවාදී දේශපාලනය ම වේ.

මාකස් විධායක සභිකත්වයක් දරන කාර්මික ගෝලීය වෘත්තීය සමිතියේ නියෝජිතවරියක් ද රැස්වීම ඇමතීය. තමන් ලංකාවේ කම්කරුවන්ගේ කොන්දේසි කෙරෙහි “අතිශය සංවේදී” බවත් ඔවුන් ගෙනයන සෑම අරගලයකට ම අවශ්‍ය “ජාත්‍යන්තර සහයෝගය” ලබා දෙන බවත් ඇය පැවසුවා ය.

මෙම කාර්මික ගෝලීය වෘත්තීය සමිතිය සමග පවතින සම්බන්ධය ඇඟලුම් කම්කරුවන්ට ලොකු ගැම්මක් ලෙස පෙන්වීමට මාකස් උත්සාහ කරයි. එහෙත් එහි භූමිකාව මාකස්ගේ නිවෙක සමිතිය ඉටුකරන භූමිකාවෙන් වෙනස් නොවේ. මෙම සංවිධානයේ කර්තව්‍ය වන්නේ ද කම්කරු අරගල යටපත් කොට ධනපති ආන්ඩුවල හා හාම්පුතුන්ගේ අත් ශක්තිමත් කිරීම ය.

මෙම සංවිධානයට සම්බන්ධ නැමීබියාවේ ටිටෝ රියෝ පතලේ පතල් කම්කරු සමිතිය විසින් වන්දියකට යටත් කර කම්කරුවන් දොට්ට දැමීමේ සමාගමේ සැලැස්මට කම්කරුවන් කරබදු කිරීම ඒ සම්බන්ධ මෑත ම උදාහරනකි. එහි වෙබ් අඩවියේ මාර්තු 21 පලවූ වාර්තාවකට අනුව සමාගමේ දොට්ට දැමීමේ පැකේජය පිලි ගනිමින් කම්කරුවන් 276ගේ සේවය අහෝසි කිරීමට පතල් කම්කරු සමිතිය එකඟ විය. ඔවුන්ට අනුව එය ජයග්‍රහනයකි. “මෙම කාරනයේ දී දොට්ට දැමීම් කලමනාකරනය කරන්නේ කෙසේදැයි නැමීබියාව තුල දී ආදර්ශයක් පෙන්වා ඇත්තෙමු” යයි පතල් කම්කරු සමිතියේ ලේකම් ජැකී කරුම්බෝ ප්‍රකාශකල බව වෙබ් අඩවිය උපුටා දක්වයි.

කම්කරු පන්තිය ජාත්‍යන්තර පන්තියකි. සෑම රටක දී ම කම්කරුවන් මුහුන දෙන්නේ සිය සමාජ හා ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට ද ජීවන කොන්දේසිවලට ද එකදිගට ම එල්ල වන ප්‍රහාරයන් මාලාවකට ය. එහි දී කම්කරුවන්ගේ අතිමූලික හිමිකම් පවා පවත්නා ධනේශ්වර පර්යාය යටතේ ආරක්ෂා කරගත නොහැකි වීමේ තත්ත්වයක් උද්ගත වී තිබේ. එලෙස ම කම්කරු පන්තියේ දෛනික අරගල පවා ජාත්‍යන්තර පරිමානයෙන් ඒකාබද්ධ කරගැනීමේ වෛෂයික අවශ්‍යතාව පැන නැගෙන්නේ ව්‍යාජ වම්මු හා වෘත්තීය සමිති නිලධරය එම අරගල ජාතික සීමාවලට කොටු කොට, ලාභ ගරන පද්ධතියට අභියෝග නොකරන බවට තහවුරු කරමින් අවමංගත කරන තත්ත්වය තුල ය.

ලංකාවේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිවලට හා ආයෝජකයන්ගේ අවශ්‍යතාවලට අනුව රාජපක්ෂ ආන්ඩුව වැටුප් කැටි කිරීම ඇතුලුව කප්පාදු පිලිවෙතක් ක්‍රියාවට දමනු ලබයි. කටුනායක කම්කරුවන්ට එල්ල කල පොලිස් ප්‍රහාරයෙන් පෙන්නුම් කලේ, මෙම පිලිවෙතට එරෙහිව පැන නගින කවර හෝ විරුද්ධත්වයක් මැඩීම සඳහා කිසිදු පැකිලීමකින් තොරව පොලිස් රාජ්‍ය විධික්‍රම යොදා ගැනීමට ආන්ඩුවේ ඇති සුදානම යි. එම නිසා මාකස් කියන ආකාරයට ආන්ඩුව මත පීඩනය යෙදීම මගින් නිවෙක හෝ සෙසු කම්කරුවන්ට තම අයිතීන් රැක ගත නොහැක.

ජීවත්වීමට සරිලන වැටුපක්, යහපත් සේවා කොන්දේසි හා කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සඳහා සටන රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙත්වලට එරෙහි දේශපාලන සටනකි. නිවෙක හා සෙසු මූලික ධනපති කර්මාන්ත කම්කරු පාලනය යටතේ ජනසතු කිරීම ඇතුලු සමාජවාදී වැඩ පිලිවෙලක් ක්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් මගින් ධනපති ආන්ඩුව විස්ථාපනය කිරීමේ අරගලයක් එමගින් ඉල්ලා සිටියි.

මෙම දේශපාලන අරගලය ධනපති ආන්ඩුවේ ඍජු උපකරන ලෙස ක්‍රියාකරන වෘත්තීය සමිති මගින් කල නොහැක. කම්කරුවන් වෘත්තීය සමිතිවලින් බිඳී නිවෙක හා සෙසු කම්කරුවන් ඒකාබද්ධ කරන ක්‍රියාකාරී කමිටු නිවෙක ඇතුලු සෑම වැඩ පොලක ම පිහිටුවිය යුතු ය. ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග සිය එකමුතුව ගොඩනගා ගැනීම එහි අනෙක් අත්‍යාවශ්‍ය අංගය යි. මාකස් ඇතුලු නිවෙක සමිති අටවන උගුල්වල නොවැටී මෙම මාවත ගන්නා ලෙස අපි නිවෙක කම්කරුවන්ට යෝජනා කරමු.

Share this article: