එක්සත් ජනපදය නයිජර් රාජ්‍යයට හමුදා හා ඩ්‍රෝන් යාත්‍රා යවයි

US deploys troops, drones to Niger

By Barry Grey , 13 February 2013

දකුනු අප්‍රිකානු ජාතික රාජ්‍යයක් වන නයිජර්හි "දල වශයෙන්" යුද සෙබලුන් 100ක පමන ඇමෙරිකානු හමුදාවක් ගොඩබස්වා ඇතැයි ජනාධිපති බරක් ඔබාමා සිකුරාදා එක්සත් ජනපද කොන්ග්‍රසයට නිල වශයෙන් දැනුම් දුන්නේ ය.

නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ කථානායක ජෝන් බෝනර් හා එහි තාවකාලික සභාපති සෙනේට් මන්ත්‍රී පැට්‍රික් ලීහි වෙත වාක්‍ය හයක නොසැලැකිලිමත් ලිපියක් යවමින් ඔබාමා පැවසුවේ, "තොරතුරු එක් රැස් කර ගැනීම සඳහා සහාය දීමට" හා "මාලිහි මෙහෙයුම් පවත්වා ගෙන යන ප්‍රංශ හමුදාවන් සමඟ ද කලාපයේ සෙසු හවුල්කරුවන් සමඟ ද තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා පහසුකම් සැපයීමට" අවසාන භටයන් 40 දෙනා පසුගිය බදාදා එහි ලඟා වූ බව යි.

තොරතුරු රැස් කිරීම පිලිබඳ අපැහැදිලි කථාවෙන් ඔබ්බෙහි, හමුදාවන් යැවීම සාධාරනීකරනය කිරීමට දී ඇති අනෙක් එකම හේතුව වන්නේ, "එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව පිලිබඳ උත්සුකයන් තව දුරටත් වැඩි දියුනු කිරීම"යි. ඔබාමා මෙම ලිපියෙහි පවසා ඇත්තේ ප්‍රධාන අන දෙන්නා හා විධායක නිලධාරියා ලෙස ඔහු සතු බලතල ප්‍රකාර ව හා 1973 සම්මත වූ යුද බලතලවල අවශ්‍යතාවන්ට අනුකූලව කොන්ග්‍රසයට මෙම දැනුම් දීම සිදු කරන බව යි. 1973 යුද බලතල වූ කලී කොන්ග්‍රසයේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරයා විසින් සන්නද්ධ හමුදා යොදවනු ලැබීම වැලැක්වීම අරමුනු කොට ගත් නීතියකි.

ජනාධිපතිවරයාට විදේශයන්හි එරට හමුදා මෙහෙය විය හැක්කේ, එක්කෝ කොන්ග්‍රසයේ අවසරය මත, නැතහොත් "ඇමෙරිකා එක්සත් ජනපදයට, එහි භූමි ප්‍රදේශයන්ට හෝ දේපලවලට, හෝ එහි සන්නද්ධ හමුදාවන්ට එල්ල කෙරෙන ප්‍රහාරයක් හමුවේ ඇති වන ජාතික හදිසි තත්වයක් මත" පමනෙකැයි යුද බලතල අභියෝජනාව ප්‍රකාශ කරයි. ඊට අමතරව ජනාධිපතිවරයා හමුදා යෙදවීමෙන් පැය 48ක් ඇතුලත කොන්ග්‍රසයට ඒ පිලිබඳව දැනුම් දිය යුතු අතර කොන්ග්‍රසයේ අනුමැතියකින් තොර ව දින 60කට වඩා එසේ යොදවා තැබීම ඉන් තහනම් කෙරෙයි.

ඔබාමාගේ නරුම හා වංචනික ලිපියේ යථාර්ථය වන්නේ, උතුරු අප්‍රිකාව තුල අසීමිත හා දුරදිග යන ඇමෙරිකානු හමුදා මැදිහත්වීමක ආරම්භය යි. සිකුරාදා නිවේදනය කරන ලද ක්‍රියා මාර්ගයෙන් සනිටුහන් කෙරෙන්නේ, එක්සත් ජනපදය සහ සෙසු අධිරාජ්‍යවාදී බලවතුන් විසින් (අප්‍රිකානු) මහද්වීපය යලි යටත් විජිත බවට පත් කර ගැනීමටත්, ස්වභාවික ඛනිජ තෙල් හා ගල් අඟුරු සම්පත් වලින් සපිරි එහි ඍජු පාලනය දිනා ගැනීමටත්, දැරෙන ප්‍රයත්නය ඉමහත් ලෙස උත්සන්න කිරීමකි.

ඩ්‍රෝන් යොදා ගැනීම මඟින් ඉස්මතු කෙරෙන්නේ, නයිජර්හි මෙහෙයුමේ සාපරාධී ස්වභාවය යි. අප්‍රිකානු ජනගහනය ත්‍රස්ත කිරීමට ද, කෙටියෙන් කිවහොත් මහාද්වීපය අත්පත් කොට ගෙන සිය අනසක යටතට ගැනීමේ වොෂින්ටනයේ පරිශ්‍රමයේ විරුද්ධවාදීන් ලෙස පෙන්ටගනය හා සී අයි ඒ සංවිධානය විසින් හඳුනා ගැනෙන සියලු දෙනා ඝාතනය කිරීමට ද ඒවා යොදා ගැනෙනු ඇත.

මේ කොල්ලකාරී ප්‍රයත්නය, අල් කයිඩාව හා සම්බන්ධ ව මාලිහි හා සහරා කලාපයේ ක්‍රියාත්මක වන ඉස්ලාමීය සටන්කාමී කන්ඩායම් සමඟ යුද වැදීමේ "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ" කොටසකැයි යන රැවටිල්ලේ ඔතා සඟවා ඇත.

එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද ලිබියා රජය පෙරලා දැමීමේ යුද්ධය ද, එක්සත් ජනපදයේ හා නැටෝවේ සහාය ලබන සිරියාවේ නිකායවාදී සිවිල් යුද්ධය ද, නයිජර්හි බටහිරදිග අසල්වැසියා වන මාලි රාජ්‍යයට එල්ල වූ ඇමෙරිකානු සහාය ලද ප්‍රංශ ආක්‍රමනය ද පසුගිය දෙවසර තුල දක්නට ලැබුනු දේ ය. නයිජර්හි ඇමෙරිකානු හමුදා මෙහෙයුම් මූලස්ථානයක් පිහිටුවීම මඟින්, සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ හා මානව හිමිකම් රැකීමේ මුවාවෙන්, ලිබියාවට එරෙහිව කල යුද්ධයේ ද, ලිබියානු නායක මුවම්මර් ගඩාෆි ඝාතනය කිරීමට ගනන් බලා ගත් තීරනයේ ද සැබෑ අර්ථය එලිමහනට පැමින ඇත. ලිබියානු දාමරිකකම් අනුයන ලද සියලු මෙහෙයුම් දැනටමත් ක්‍රියාවේ යෙදවෙන අතර වඩාත් ලේ වැකි කොල්ලකාරී ක්‍රියාවන් ඉදිරියේ ඇතිවීමට නියමිත ය.

ඇමරිකානු හමුදා නයිජර් රාජ්‍යයය තුලට ගොඩබැස්වීමේ සැබෑ එල්ලය වන්නේ, වයඹදිග අප්‍රිකාවේ ඇමෙරිකානු ආධිපත්‍ය තහවුරු කිරීම, කලාපයේ ප්‍රංශ අධිරාජ්‍යවාදී අභිලාෂයන් පරීක්ෂාවට භාජනය කිරීම හා වැඩෙමින් පවත්නා චීන බලපෑම්වලට එරෙහි ව ක්‍රියාත්මක වීම යි.

ඇමරිකානු මැදිහත්වීමට නයිජර් රජයේ කැමැත්ත පල වී තිබිනැයි ඔබාමා කොන්ග්‍රසයට ලියූ සිය ලිපියෙහි කල ප්‍රකාශයට කිසිදු අර්ථයක් නැත. මක්නිසාදයත්, මෙම කලාපයේ සියලු ධනපති රාජ්‍ය ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ හා යුරෝපයේ සිය පැරනි යටත් විජිත හාම්පුතුන්ගේ බැලයන් ලෙස බැවිනි.

ඔබාමා සිය ලිපියෙන් ඩ්‍රෝන් යාත්‍රා පිලිබඳ ව සඳහන් නොකරන නමුත්, ඔත්තු බැලීම සඳහා යොදවන රැප්ටර් නිරීක්ෂන ඩ්‍රෝන් 2ක් ඇතුලු ව ඩ්‍රෝන් යාත්‍රා ඒ වනවිටත් "මුල් රැල්ල" සමඟින් මෙම දුබල රට තුලට යවා තිබූ බැව් නම හෙලි නොකල පෙන්ටගන නිලධාරීහු මාධ්‍යය වෙත පැවසූහ. ඔවුන් පැවසුවේ දුරස්ථ ගුවන් නැවියන් සහ ආරක්ෂක හා නඩත්තු කන්ඩායම් ද ඇතුලු 250ත් 300ත් අතර සංඛ්‍යාවක හමුදා කාර්ය මන්ඩලයක් අවසානයේ දී යොදවනු ඇති බව යි.

ඇමරිකානු නිලධාරීන් උපුටා දක්වමින් ඒබීසී ප්‍රවෘත්ති සේවය වාර්තා කලේ, ප්‍රංශ ආක්‍රමනයට දක්වන ඇමරිකානු මිලිටරි සහයෝගයේ කොටසක් ලෙස මාලි අහසේ ප්‍රිඩේටර් ඩ්‍රෝන් යාත්‍රා (පහර දීමට හැකිවන සේ මිසයිල සවි කිරීමට පහසුකම් ඇති ඔත්තු බැලීමේ යානා විශේෂයකි ) පියාසර කරවීම වොෂින්ටනය දැනටම ආරම්භ කොට ඇති බව යි. ප්‍රංශ හා ඔවුන්ගේ මිත්‍රපාක්ෂික අප්‍රිකානු හමුදා ගුවනින් ප්‍රවාහනය කිරීම ද, ඉස්ලාමීය කැරලිකරුවන්ගේ හා තුවාරෙග් බෙදුම්වාදීන්ගේ අනසක යටතේ ඇති නගරවලට බෝම්බ හෙලන ප්‍රංශ හමුදා ගුවන් යානයන්ට ඉන්ධන යලි පිරවීම ද මෙකී සහයෝගයට ම ඇතුලත් වේ.

මීට අමතර ව, මාලි මෙහෙයුමේ කොටසක් ලෙස, නයිජර්, නයිජීරියා, බුර්කිනා ෆාසෝ, සෙනෙගල්, ටෝගෝ හා ඝානාව වෙත ඇමෙරිකානු විශේෂ බලකායන් යවා ඇත.

වාර්තාවලට අනුව, නයිජර්හි වත්මන් හමුදා ක්‍රියාන්විතය නියාමි අගනුවර පදනම් කොට ගැනෙතත්, එය උතුරු දිග අගඩෙස් නගරය කරා ගෙන යා හැකි බව කියැවේ.

කොන්ග්‍රසයට යැවූ සිය ලිපියෙන් ඔබාමා, මෙම හමුදා මෙහෙයුමෙහි කාල සීමාව හා එහි පරාසය සීමාසහිත බවත්, ඒ සඳහා යොදවා ගැනෙන්නේ නිරීක්ෂක ඩ්‍රෝන් යාත්‍රා පමනක් බවත් ඇඟවීමට තැත් කොට ඇති නමුත්, සැබැවින් ම ක්‍රියාවට නංවා ඇත්තේ ප්‍රසාරනය කෙරෙන මෙහෙයුමකි. එය ඇමරිකානු පරිපාලනයේ ඝාතක වැඩ පිලිවෙලේ හස්තය පාකිස්ථානයේ, යේමනයේ සහ සෝමාලියාවෙහි සිට උතුරු අප්‍රිකාව කරා දිගු කිරීම සඳහා සන්නද්ධ ඩ්‍රෝන් යාත්‍රා භාවිත කිරීම සමඟ නොවැලැක්විය හැකි පරිදි ගැට ගැසී ඇත.

"සති කිහිපයකට ඉහත දී", අප්‍රිකාව තුල ඇමරිකානු හමුදා ආඥාපතීන් "බටහිර අප්‍රිකාව තුල දීර්ඝ කාලීන නිරීක්ෂන මෙහෙයුම් පැවැත්වීමට හැකිවන පරිදි, නයිජර්හි මූලස්ථානයක් ආරම්භ කිරීම යෝජනා කෙරෙන සැලසුමක් වර්ධනය කොට" තිබුනු බව ඒබීසී ප්‍රවෘත්ති සේවය වාර්තා කලේ ය. රාජ්‍ය නිලධාරියෙකු උපුටා දක්වමින් එය පැවසුවේ, "නව මෙහෙයුම් අප්‍රිකානු ආඥාපතිත්වය විසින් යෝජිත විසංයුක්ත සංකල්පය තුලට හැඩ ගැස්වීම සිදු විය හැක්කක්" බව යි.

වොෂින්ටන් පෝස්ට් පුවත්පත, "(ඇමරිකානු හමුදා) සංඛ්‍යාත්මකව වර්ධනය වීමට බොහෝ සෙයින් ඉඩ ඇතැයි පැවසීම වරදක් නැතැයි මම සිතමි" යනුවෙන් සඳහන් කල ඇමෙරිකානු ආරක්ෂක නිලධාරියෙකු උපුටා දැක්වී ය. එය, "අනාගතයේ දී ප්‍රිඩේටර් යානා මිසයිල වලින් සන්නද්ධ කිරීමට ඇති ඉඩකඩ" පරිපාලනය විසින් "බැහැර කොට නැතැ"යි කී අනෙකුත් නිලධාරීන් ද උපුටා දක්වා ඇත.

ඩ්‍රෝන් යාත්‍රා යොදා කෙරෙන සිය ඝාතන වැඩපිලිවෙල පුලුල් කිරීම සඳහා ඔබාමා පරිපාලනයේ ඇති සැලසුම් පිලිබඳ ව එක්සත් ජනපද මාධ්‍ය සති ගනනාවක් පුරා වාර්තා පල කොට ඇත. ජනවාරි අවසානයේ වාර්තා වූ පරිදි, ඇමෙරිකා එක්සත් ජනපදය නයිජර් දේශය තුල ඇමෙරිකානු හමුදා මූලස්ථානයක් තහවුරු කිරීම සඳහා එහි රජය සමඟ ගිවිසුමක් ගසා ඇත. ගාඩියන් පුවත්පත සිකුරාදා වාර්තා කලේ "හමුදා අතර සහයෝගිතාවයට බාධාකාරී වන කිසිවක්" එම ගිවිසුම තුල නොමැති බව යි.

ජනවාරියේ මුල් භාගයේ දී, ඇල්ජීරියාවේ ගෑස් නිෂ්පාදනාගාරයක දී 'ඉස්ලාමීය මග්රෙබයේ අල් කයිඩාව' ප්‍රාන ඇපකරුවන් රඳවා ගැනීමකින් පසුව, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලියොන් පැනෙටා, උතුරු අප්‍රිකාවේ ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වනු ලබන්නන්ට එරෙහි ව ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කෙරෙන බවට තර්ජනය ඇඟවුම් කලේ ය. "අල් කයිඩාව කොහේ සිටියත් ඔවුන් හඹා යාමට වගකීමක් අපට ඇතැ"යි පැවසූ පැනෙටා, එක්සත් ජනපදය පාකිස්ථානයේ, යේමනයේ හා සෝමාලියාවේ දී - මේ සියලු තැන් අඛන්ඩ ඩ්‍රෝන් මිසයිල ප්‍රහාරයන්හි ක්ෂේත්‍ර විය - "හඹා ගොස්" ඇතැයි ද, "උතුරු අප්‍රිකාවේ හා මාලිහි" අල් කයිඩාවට "මෙහෙයුම් සඳහා වූ මධ්‍යස්ථානයක් පවත්වා ගැනීමේ ඉඩකඩ" අසුරා ලීමට ක්‍රියාකරනු ඇතැයි ද සඳහන් කලේ ය.

උතුරු හා බටහිර අප්‍රිකානු සටන්කරුවන්ට එරෙහි ව "ප්‍රතිබාධකයන්ගෙන් තොර" යුද ව්‍යාපාරයක් පිලිබඳ ව වෝල් ස්ට්‍රීට් ජර්නලය ලියූ අතර, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙකු අනතුරු හැඟැවූයේ, මාලි හි ප්‍රහාරය "අවුරුදු ගනන් ගත විය හැකි බව" සහ මේ එහි "මුල් අවධිය" පමනක් බවයි.

දෙ සතියකට ඉහත දී ජර්නලය "එක්සත් ජනපදයේ 'ඝාතනය කල යුත්තන්ගේ ලැයිස්තුව' දීර්ඝ කිරීමට බල කෙරෙයි" යන මැයෙන් මුල් පිටුවේ ලිපියක් පල කලේ ය. මෙම ලිපිය, ඩ්‍රෝන් යානා මඟින් ඝාතනය කිරීමේ සිය වැඩ පිලිවෙල ඇල්ජීරියාව හා සහරාවේ අනෙකුත් රටවල් කරා ද වයඹදිග අප්‍රිකාව කරා ද දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඔබාමා පරිපාලනය තුල සිදු කෙරී ඇති සාකච්ඡා පිලිබඳව වාර්තා කලේ ය.

නයිජර් හි ඇමෙරිකානු හමුදා මැදිහත්වීම තුල වඩාත් පුලුල් ඝට්ටනයක බීජ ගැබ් වී පවතී. දශක ගනනාවක සිට මාලි මධ්‍යම රජයට එරෙහිව වරින්වර අරගල දියත් කරමින් සිටින සංචාරක ජනතාවක් වන තුවාරෙග් ජනයා නයිජර්හි නැගෙනහිර ප්‍රදේශයන් හි ද ජීවත් වෙති. එක්සත් ජනපද හමුදාව හා ඩ්‍රෝන් යානා හඳුන්වා දීම මඟින් තුවාරෙග් කැරැල්ල පැතිර යාමේ හා වාර්ගික පදනමක් මත ජාතීන් අතර සිවිල් යුද්ධයක් ඇවිලීමේ ඉඩකඩ විවර වී ඇත.

තව ද, නියාමි හි එක්සත් ජනපද රාජ දූතයන් හුවමාරුකරගත් හා විකි-ලීක්ස් මඟින් හෙලි කෙරුනු රාජ්‍ය තාන්ත්‍රික කේබල් පනිවුඩවලින් පැහැදිලි ව පෙනී ගිය පරිදි, කලාපය තුල චීනයේ ආර්ථික ක්‍රියාකාරකම් කෙරේ එක්සත් ජනපද සැලැකිල්ල නාභිගත වී ඇත. එවන් එක් කේබල් පනිවුඩයක් අනතුරු හැඟැවූයේ, "චීනය නයිජර් හි ස්වභාවික සම්පත් අංශයේ ප්‍රධාන පෙලේ ආයෝජන කලාපයක් ගොඩ නඟමින් සිටින අතර, එය නයිජර් දේශයේ ප්‍රමුඛ විදේශීය ආයෝජකයා ලෙස ප්‍රංශය විස්ථාපනය කොට ඉස්මතු වීමට බොහෝ සෙයින් ඉඩ ඇත...." යනුවෙනි.

එක්සත් ජනපදය නයිජර් තුලට පිවිසීම නිසා, ඔබාමාගේ "ආසියාවට හැරීමේ" වැඩපිලිවෙලෙහි කොටසක් ලෙස සිදු කරන ලද ප්‍රකෝපකරනයන් හේතුවෙන් දැනටමත් ගිනියම් වී ඇති එක්සත් ජනපදය හා ලෝකයේ දෙ වන විශාලත ම ආර්ථික බලවතා වන චීනය අතර සම්බන්ධතාවයන්ට තව දුරටත් ගිනි ඇවිලෙනු නිසැක ය.

Share this article: