සිරියාවට එරෙහි සීඅයිඒ යුද්ධය

The CIA war against Syria

2013 මාර්තු 26

ඉරාක ආක්‍රමනයේ දසවන සංවත්සරය හමුවේ පසුගිය සතියෙහි ඊස්රායලයට කල එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමාගේ ඊනියා ''සාම" සංචාරයෙන් පසුව වොෂින්ටනය, මැද පෙරදිග එහි ලේ වැකි මැදිහත්වීම උත්සන්න කරයි.

ඔබාමා ජෙරුසලමේ දී කල කථාව මගින් සිරියානු ජනාධිපති බෂර් අල් අසාද්ට හා ඔහුගේ ප්‍රධාන සහචරයා වන තෙල් සම්පතින් සපිරි ඉරානයට තර්ජනය කිරීමෙන් පසුව, සිරියාවට එරෙහිව කුලී හමුදාවන් යොදාගෙන කරන යුද්ධය උත්සන්න කර ඇත. ඔබාමාගේ සංචාරයෙන් ක්ෂනික ඉක්බිත්තෙහි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, ඉරාකයට ගිය අතර ඉරානය විසින් ඉරාකය හරහා සිරියාවට යවන බවට චෝදනා නැඟී ඇති අවි තොග ප්‍රවාහනය නතර කරන ලෙස වහා ම නියෝග කලේ ය.

නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය 25දා ''සීඅයිඒ ආධාර ඇතිව සිරියානු කැරලිකරුවන්ට ගුවනින් ආයුධ සැපයීම පුලුල් කර ඇත" යන සිරස්තලය යටතේ පලකල වාර්තාවකින්, තම පාර්ශවයෙන් මධ්‍යම රහස් ඔත්තු සේවය හෙවත් සීඅයිඒ විසින්, සිරියාව තුල අසාද්ගේ හමුදාවන්ට එරෙහිව සටන් වැදී සිටින බටහිර පිටුබලය සහිත හමුදාවන් සන්නද්ධ කරන්නේ කෙසේදැයි විස්තර සහිත චිත්‍රයක් සපයා ඇත.

එය මෙසේ ලිවීය: ''සීඅයිඒහි උදව් ඇතිව අරාබි ර‍ටවල් හා තුර්කිය මෑත මාසවල දී, සිරියාවේ විපාර්ශවීය සටන්කරුවන්ට සපයන සිය මිලිටරි ආධාර තියුනු ලෙස වැඩිකර තිබේ. ගුවන් ගමන් දත්ත, රටවල් ගනනාවක නිලධාරීන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡා හා කැරලිකාර හමුදාපතියන්ගේ තොරතුරුවලට අනුව, ජනාධිපති බෂර් අල් අසාද්ට එරෙහි කැරලිකරුවන්ට ගුවනින් රහසිගතව කෙරෙන අවි හා ආම්පන්න සැපයුම් වැඩිකර තිබේ."

"2012 මුල සුලු වශයෙන් ආරම්භවූ ගුවන් සැපයුම්, ජෝර්දාන, සවුදි හා කටාර් රාජ්‍යයන්හි මිලිටරි වර්ගයේ ප්‍රවාහන ගුවන් යානා මගින් අවි ප්‍රවාහන ගමන් වාර 160කටත් වැඩි සංඛ්‍යාවක් කරා වර්ධනයවී තිබේ. මේවා ගොඩ බා ඇත්තේ ඇන්කාරා අසල එසෙන් බොගා හා ඊට අඩු මට්ටමින්, අනෙකුත් තුර්කි හා ජෝර්දානියානු ගුවන් තොටුපලවල" යයි එය තවදුරටත් සඳහන් කලේ ය.

එක් නිලධාරියෙකුගේ වචනවලට අනුව, මෙම ''ආයුධ කොන්ත්‍රාත්තු" සංවිධානය කර අධීක්ෂනය කර ඇත්තේ සීඅයිඒ විසිනි. පුවත්පත මෙසේ ලිවීය: "රහසිගත ස්ථානයන්හි පිහිටුවා ඇති කාර්යාලවල සිට ඇමරිකානු බුද්ධි අංශ, ආයුධ ගැනීමේ සාප්පු සවාරි සඳහා අරාබි රටවලට උදව් කර ඇත. ඊට ක්‍රොඒෂියාවෙන් විශාල තොග මිලට ගැනීම ද ඇතුලත් ය. ආයුධ තොග ලඟාවූ කල, ඒවා ලැබිය යුත්තේ කාහට දැයි තීරනය කිරීම කැරලි නායකයින්ට හා කන්ඩායම්වලට පැවරේ."

ටයිම්ස් පත්‍රය විශ්ලේෂකයෙක් උපුටා දැක්වීය: ''හොඳින් සැලසුම් කල හා සම්බන්ධීකරනය කල රහසිගත මිලිටරි ප්‍රවර්ධන මෙහෙයුම්වල ගනන් බැලීම් අනුව, මෙම ගුවන් ප්‍රවාහන කටයුතුවල ප්‍රමානය හා වාර ගනන තීරනය කෙරේ." මෙම වාර්තා මගින් තමන් කැරලිකරුවන්ට සම්පාදනය කරන්නේ, ''විනාශකාරී නොවන" ආධාර පමනක් බවට ඔබාමා පාලනය කරන ප්‍රකාශයන් බොරු බව හෙලි කරයි. සිරියාවේ යුද්ධය සීඅයිඒ මෙහෙයුමක් බවට ලෝක සමාජවාදී වෙබ් අඩවිය කරන විශ්ලේෂනය මෙ මගින් සනාථ කෙරේ. ඒවායේ අරමුන කලාපය තුල එක්සත් ජනපදයේ අවශ්‍යතාවන්ට බාධකයක් ලෙස සලකන, ඉරානයේ සහචරයා වන අසාද් ඉවත් කිරීම යි.

දෙවසරක් තිස්සේ කෙරීගෙන යන සිරියාවේ යුද්ධයෙන් දැනටමත් 70,000ක් පමන මිනිසුන් මියගොස් ඇති අතර මිලියන ගනනකට උන්හිටි තැන් අහිමිවී තිබේ. ඉරාකයට බැඳුනු මානව ශිෂ්ඨාචාරයේ උපන් බිමක් වන සිරියාවේ විශාල කොටසක් විනාශවී ගොසින් ය. ආගමික සුලු කන්ඩායම් ඝාතනයේ හා සිවිල් වැසියන්ට එරෙහිව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ යෙදී සිටින අල් කයිඩාවේ සිරියානු අංකුරයක් වන ජබාට් අල් නුස්රා වැනි අතිශය දක්ෂිනාංශික ඉස්ලාමීය බලවේග සන්නද්ධ කිරීමට සීඅයිඒ සම්බන්ධව සිටියි.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නරුමත්වය හා සාපරාධිත්වය කියා නිමකල නොහැකි ය. අල් කයිඩා සංවිධාන හිසේ සිට දෙපතුල දක්වා ම සන්නද්ධ කරන අතර ඔබාමා, "සිරියාව අන්තවාදයේ වැයික්කියක් බවට පත්වීමේ" අන්තරාය ගැන අනතුරු අඟවයි. එසේ ම වොෂින්ටනය සටන් වදින්නේ, "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක" බවට නරුම ලෙස ඇඟවුම් කරයි.

ඔබාමා පාලනය හා එහි යුරෝපීය සහචරයින් ගෙන යන්නේ, වෛරයට පත් බුෂ්ගේ ඉරාක යුද පිලිවෙතට වඩා සපුරා වෙනස් ප්‍රතිපත්තියක් බවට කරන ඇඟවුම්, සිරියානු යුද්ධය මගින් හෙලිදරව් වී තිබේ. ඉරාක ආක්‍රමනයත් ඉන් පසුව සිදුවූ දස අවුරුදු වාඩිලෑමත් හමුවේ සිදුකල විනාශයෙන්, ඉරාක වැසියන් ලක්ෂ ගනනක් මිය ගොස්, මිලියන ගනනකට උන්හිටි තැන් අහිමි විය. යුද්ධය ගෙන ගියේ ඉරාකය සතුව "ජන ඝාතක අවි" ඇතැයි යන බොරුව පදනම්කර ගෙන ය.

එක්සත් ජනපද ගැති ඊජිප්තු හා ටියුනීසියානු ආඥාදායකයින් පෙරාලා දමනු ලැබූ 2011 වසරේ පලමු විප්ලවවාදී නැගිටීම් කෙරෙහි අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ප්‍රතිචාරය, බුෂ් විසින් ආරම්භ කල මැදපෙරදිග නව යටත් විජිතවාදී ආක්‍රමනික ක්‍රියාමාර්ගයේ විකාශනයක් විය. ලිබියාවට එරෙහි නේටෝ යුද්ධය, සිරියාවේ හමුදා යොදාගෙන කරන යුද්ධය හා ඉරානයට එරෙහි අඛන්ඩ යුද තර්ජන තුල ප්‍රකාශ කෙරෙන්නේ මෙය යි.

මෙම මෙහෙයුම් හමුවේ, එක්සත් ජනපද ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය, ප්‍රන්සයේ නව ධනපති-විරෝධී පක්ෂය, බ්‍රිතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂය, ජර්මනියේ වාම පක්ෂය හා මැද පෙරදිග ඔවුන්ගේ අනුචරයින් වැනි ව්‍යජ වාම කන්ඩායම් රොත්තක් ම අධිරාජ්‍යවාදයේ ආධාරකරුවන් ලෙස වැඩ කරති.

ඊජිප්තුවේ ආරම්භක විප්ලවවාදී නැගිටීම් කම්කරු පන්තිය බලය ගැනීමේ අරගලයක් බවට පත්වීම වලක්වා අවමංගත කිරීම පිනිස කම්කරු පන්තිය, අරාබි ධනේශ්වරයේ විවිධ කොටස්වලට යටත් කිරීමට ඔවුහු වැඩ කරති.

ලිබියාවට එරෙහි නේටෝ යුද්ධය හා සිරියාවේ ලේ වැකි සීඅයිඒ මැදිහත්වීම ''මානවවාදී" ක්‍රියාවක් නැත්නම් ''සමාජවාදී විප්ලවයන්" ලෙස පවා හුවා දැක්වීම මගින් ඔවුහු, සීඅයිඒ ප්‍රචාරකයින් ලෙස හා අධිරාජ්‍යවාදයේ ඒජන්තයින් ලෙස කටයුතු කරති. එක්සත් ජනපදය හා යුරෝපීය බලවතුන් පිලිබඳව ඔවුන් කරන විවේචන, තමන් ''විප්ලවවාදීන්" ලෙස හඳුන්වන විපක්ෂ හමුදාවන්ට, තව තවත් ආයුධ සැපයිය යුතු යයි කරන ඉල්ලීම් වලට සමාන ය.

අල්කයිඩාවට සම්බන්ධ කොටස් බලගතු ලෙස සන්නද්ධ කිරීමෙන් පසුව බටහිර බලවතුන්, ඔවුන් දේශපාලන බලය අල්ලාගතහොත් කුමකින් කුමක් සිදුවිය හැකි දැයි කනස්සල්ල පල කිරීමට පටන්ගෙන තිබේ. ගැටුම පුරාවට ම යොදාගනු ලැබූ බලවේග කොන් කිරීමට දරන උත්සාහයේ දී අධිරාජ්‍යවාදීහු ව්‍යාජ වම්මුන් විසින් ඔසවා තබන ලද එම සමාජ බලවේගයන් වෙත ම වාරු වෙති.

අධිරාජ්‍යවාදී ආක්‍රමනය නතර කිරීමට නම්, කම්කරු පන්තිය දෙවසරකට පෙර ආරම්භ කල විප්ලවවාදී නැගිටීම අලුත් කල යුතු ය. කෙසේ වෙතත්, මේ වතාවේ එය අධිරාජ්‍යවාදයට, අරාබි ධනේශ්වරයට හා ඔවුන්ගේ ව්‍යාජ වාම ක්ෂමාලාපකයින්ට එරෙහිව දැනුවත්ව ම හැරවිය යුතු ය.

අධිරාජ්‍යවාදී යුද්ධය හා ධනේශ්වර පරිපීඩාව අවසන් කිරීමේ දී කම්කරු පන්තියට ඇති ඉදිරි මාවත, තම අරගල තමන්ගේ ම ස්වාධීන දේශපාලන අවශ්‍යතා සපුරාලන ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පාදක කිරීම යි.

ජොහාන්ස් ස්ටර්න්

Share this article: