සිරගත කිරීමට නොපුලුවන් තරම් ලොකු ය

Too big to jail

12 March 2013

පසුගිය සතියේ ‍එක්සත් ජනපද සෙනෙට් අධිකරන කමිටුව හමුවේ සාක්ෂි දුන් එරට නීතිපති එරික් හෝල්ඩර් අසාමාන්‍ය ප්‍රකාශයක් කලේ ය.

ඔබාමා පාලනය යටතේ මූල්‍ය ආයතනවලට හෝ ඒවායේ විධායකයින්ට එරෙහිව මූලික චෝදනා කිසිවක් ඉදිරිපත්කර නැති බවට රිපබ්ලිකානු සෙනෙට් සභික චක් ග්‍රාස්ලි නැඟූ ප්‍රශ්නයකට පිලිතුරු වශයෙන් හෝල්ඩර් මෙසේ පැවසීය: ''මෙවන් සමහර ආයතන ප්‍රමානයෙන් කෙතරම් විශාල ද යත්, චෝදනා ඉදිරිපත් කල යුතුයයි හැඟී ගියවිට දී පවා අප එසේ කලහොත්, ජාතික ආර්ථිකයට පමනක් නොව ලෝක ආර්ථිකයට ම අයහපත් බලපෑමක් ඇති විය හැකි බැවින්, ඒවාට එරෙහිව චෝදනා ගොනු කිරීම දුෂ්කර වී තිබේ...."

වෙනත් වචනවලින් කිවහොත්, හෝල්ඩර්ට අනුව, ප්‍රධාන බැංකු වලට එරෙහිව සාපරාධී කටයුතු සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමට නොපුලුවන් තරම් ඒවා ආර්ථික වශයෙන් වැදගත් ය. එබැවින් ඒවා නීතියට ඉහලින් පවතියි.

ලෝකයේ තෙවන විශාලත ම බැංකුව වන බ්‍රිතාන්‍ය මුල්කරගත් එච්එස්බීසීය සමඟ අධිකරන දෙපාර්තමේන්තුව පසුගිය මාසයේ විසඳුමක් පිලිබඳව ගෙනගිය සාකච්ඡාව අතරතුර මෙම අදහස් හුවමාරුව සිදු විය. මෙක්සිකානු හා කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කාර සංවිධාන වෙනුවෙන් ඩොලර් බිලියන ගනනක් වංචා කිරීම මත එච්එස්බීසීයට චෝදනා එල්ල කර තිබුනි. චෝදනා මඟහැරීමට හිලව් වශයෙන් එච්එස්බීසීය ඩොලර් බිලියන 1.9ක් හෙවත් දල වශයෙන් එහි දෙමසක ලාභය ගෙවීමට එකඟ විය. එක්සත් ජනපදයේ ඉහල නිලධාරීහු, කුමන හෝ අපරාධ චෝදනාවන්ට එරෙහිව නිශේධ බලය යෙදූහ. ඒ මුදල් වංචාවන්ටත් අඩු මට්ටමේ චෝදනාවන්ට පවා අදාලවන පරිදි ය.

එච්එස්බීසීය එවන් වරපත්‍රයක් හිමිකරගත් අලුත් ම බැංකුව පමනි. මේ වසරේ මුල, උකස් වංචා පිලිබඳ චෝදනා සමතයකට පත්කර ගැනීම පිනිස බිලියන 3.3ක් මුදල් ගෙවීමට මූල්‍ය ආයතන දහයක් එකඟතාව පල කලහ. නිවාස වෙලඳපොල බිඳවැටෙමින් තිබිය දී එම ආයතනවල සේවකයෝ වංචනික ලෙස මසකට දහස් ගනනක් නිවාස උකස්කර අත්පත්කර ගැනීම්වලට අනුමැතිය දුන්හ. පසුගිය වසරේ දී ගෝල්ඩ්මන් සැක්ස් බැංකුවම වත්කම් වලට එරෙහිව ඔට්ටු අල්ලා තිබිය දී පවා, සමපේක්ෂන බුබුලේ උච්ච අවස්ථාවේ දී බැංකුව උකස්කර පිටුබලය ලබන සුරැකුම් ප්‍රරෝහනය කිරීම පිලිබඳව එයට එල්ලවූ චෝදනා ගැන පරීක්ෂනයක් ආන්ඩුව විසින් නිමා කරනු ලැබීය.

වසර 2010දී ඔබාමා පාලනය වැකෝවියා බැංකුව සමග එච්එස්බීසීයට එරෙහිව ගෙනආ චෝදනාවන්ට සමාන චෝදනා පිලිබඳව එකඟත්වයකට පැමිනියේ ය. එම සිද්ධියේ දී මත් ද්‍රව්‍ය ජාවාරමේ ඩොලර් බිලියන ගනනක මුදල් වංචා කරනු ලැබුවේ සිනලෝආ කාටලය හෙවත් ජාවාරම් සංවිධානය වෙනුවෙනි. නියම කල දඩය පූර්ව වර්ෂයේ බැංකුව ලැබූ ලාභයෙන් සියයට 2කටත් අඩු ඩොලර් මිලියන 160කි.

එවන් බොහෝ සමතයන් පිලිබඳව සඳහන් කල හැකි ය. ඒ සෑම එකකදී ම, යම් හෝ දඬුවමක් නියම කරන ලද්දේ නම් චෙක්පතක් අත්සන් කිරීමෙන් පසුව ව්‍යාපාරික කටයුතු සාමාන්‍ය පරිදි සිදු විය. දඩ ගෙවීම නිසා මූල්‍ය ආයතනයන්ට විඳින්නට සිදුවූ කුමන හෝ මුදල් අලාභයක් පියවී යාමටත් වඩා බොහෝ වාසි, එක්සත් ජනපද මහ බැංකුව විසින් සෑම මසක ම වෙලඳපොලට මුදාහරින බිලියන 85 මගින් සලසනු ලබයි.

ආර්ථික ජීවිතය කෙරෙහි බැංකු විසින් පවත්වාගෙන යන දැවැන්ත බලය මගින්, ආන්ඩුව ඒවාට එරෙහිව නඩු පැවරීම ප්‍රතික්ෂේප කිරීම සඳහා යුක්තිකරනයක් සැපයෙන බව හෝල්ඩර් සඳහන් කරයි. කෙසේ වෙතත්, ආර්ථිකය මත මෙම ආයතන පවත්වන ඒකාධිපති පාලනය හා පාලනයකින් තොර ඒවායේ සපරාධී හැසිරීම, ඒවාට එරෙහිව නඩු පැවරීම ප්‍රතික්ෂේප කිරීම සඳහා තර්කයක් නොවන්නේ ය. ඒ වෙනුවට, ඒවා පවත්වාගෙන යන අපරාධකරුවන්ගේ අතින් ඉවත් කර, අත්පත්කර ගනිමින්, ඒවා කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍ර පාලනයක් යටතට පත් කිරීම සඳහා එය තර්කයක් වන්නේ ය.

කෙසේ වෙතත් මේ ආයතන සමග ගෙනයන ආන්ඩුවේ ගනුදෙනුවල දී එය ක්‍රියා කරන්නේ, මූල්‍ය වංශාධිපතිත්වයේ සෘජු නියෝජිතයෙක් ලෙස ය. ''ආර්ථිකය බේරාගැනීමේ" අවශ්‍යතාවය ගැන කියමින්, 2008 බිඳ වැටීමෙන් පසුව, පලමුව බුෂ් ද දෙවනුව ඔබාමා ද බැංකු වලට ඇප දීම සුජාත කලහ. එතැන් පටන්, රැකියා මිලියන ගනනක් අතුරුදහන් වී ඇත. එවන් බැංකු ඇපදීම් සඳහා ගෙවීමට ලෝකය පුරා ආන්ඩු, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, විශ්‍රාමික සහන හා අනෙකුත් සමාජ වැඩසටහන් අතුගා දමන කුරිරු කප්පාදු පියවර ක්‍රියාත්මක කරති.

සමස්ත ක්‍රියාවලිය පුරා ම දූෂනයේ දුර්ගන්ධය පැතිර තිබේ. කලින් වෝල් වීදිය සමඟ බැඳී නොසිටි එකදු නිලධාරියෙකු හෝ ඔබාමා පාලනය තුලින් සොයා ගැනීම දුෂ්කර ය. මෙය බැංකුවලට ප්‍රයෝජනවත් තත්වයකි.

මොවුන් අතර ඔබාමා‍ගේ නව භාන්ඩාගාර ලේකම් ලෙස මේ මාසයේ දී සෙනෙට් සභාවෙන් අනුමත කල ජැකොබ් ලිව් සිටියි. ඔබාමාගේ හිටපු මාන්ඩලික ප්‍රධානියා වන ලිව්, නිවාස වෙලඳපොල බිඳ වැටෙද්දී ඊට එරෙහිව ඔට්ටු ඇල්ලූ සිටිගෲප්හි විකල්ප ආයෝජන ඒකකයේ ද හිටපු ප්‍රධාන කාර්යභාර නිලිධාරියා වේ.

සුරැකුම් හා හුවමාරු කොමිසමේ ප්‍රධානියා ලෙස ඔබාමගේ තේරීම මේරි ජෝ වයිට් ය. අද දිනට නියමිත සාක්ෂි විමසීමෙන් අනතුරුව, තනතුර සඳහා පහසුවෙන් ම අනුමත කිරීමට ඉඩ ඇති වයිට්, ඩිබිවොයිස් හා පිම්ප්ලිටන් යන ව්‍යාපාරික නීති සමාගමේ හිටපු නීතිඥවරිය යි. එහි දී ඇය සුරැකුම් හා හුවමාරු කොමිසම විසින් ම පවත්වන ලද පරීක්ෂනයන්ට එරෙහිව නිතර ම වෝල් වීදියේ බැංකු විධායකයින් වෙනුවෙන් පෙනී සිටියා ය.

ඊලඟට ඩේවිඩ් එස් කොහෙන් හා ස්ටුවට් ලිවි පිලිබඳ අසාමාන්‍ය නඩුව තිබේ. මිලර් කැසිඩි යන ව්‍යාපාරික නීති සමාගමෙහි 1990 ගනන්වල සාමාජිකයින් වූ මොවුන්, මුදල් වංචාවන් ද ඇතුලු කලමනාකරනයේ සාපරාධී චෝදනාවන්ගෙන් බැංකු හා අනෙකුත් ව්‍යාපාර ආරක්ෂා කර තිබේ. ඔවුහු භාන්ඩාගාර දෙපාර්තමේන්තුව ඇතුලටත් පිටතටත් ගමන් කරමින් පෞද්ගලික වෘත්තිය ගෙන ගියහ.

ත්‍රස්තවාදය හා මූල්‍ය ඔත්තු සේවා පිලිබඳ නියෝජ්‍ය ලේකම් ලෙස ලෙවි 2004දී බුෂ් පාලනයට බැඳුනේ ය. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් අධීක්ෂනය කිරීමේ වගකිවයුත්තා විය. එච්එස්බීසීහි ප්‍රධාන නීති නිලධාරියා ලෙස පත්වීම සඳහා 2011 ඔහු ඉන් ඉවත් විය. ඔහු දැරූ තනතුරට පත්වීමේ භාග්‍ය ලද්දේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ ඔහුගේ දෙවැනියා වූ ඩේවිඩ් එස් කොහෙන් මිස අන් කිසිවෙක් නොවේ. භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ හිටපු සගයින් දෙදෙනා එච්එස්බීසීයේ මුදල් වංචාව පිලිබඳ චෝදනා යට ගැසීමේ දී මූලික ක්‍රියාකලාපයක් ඉටුකර තිබේ.

කිසිදු බැංකුවක් හෝ විධායකයෙකුට නඩු පවරා නැත්තේ, අඩු වැඩි වශයෙන් එසේ නඩු පවරනු ලබන්නේ ද නඩු පැවරීමට ලක්වන්නේ ද එකම පුද්ගලයින් වීම නිසා ය.

බැංකු පිලිබඳව හෝල්ඩර් ඉහත කී ප්‍රකාශ කලේ, අධිකරනමය විමර්ෂනයකින් තොරව එක්සත් ජනපදය තුලදී ම එරට පුරවැසියන් ඝාතනය කිරීමේ බලය සතුව ඇති ඔබාමා පාලනයේ ආස්ථානය ගෙනහැර දැක්වූ එම සාක්ෂි වටයේදී ම ය.

එම ප්‍රකාශ දෙක ම එකවිට සිදුවීම හුදු අහම්බයක් නොවේ. පන්ති තර්කනයක් ක්‍රියාත්මකව තිබේ. රාජ්‍යයේ ක්‍රියාශීලී ආධාරය ද ඇතිව මූල්‍ය ප්‍රභූ පැලැන්තිය කොල්ලකෑමේ මෙහෙයුමක නිරතව සිටියි. එහි දී සාපරාධිත්වය ධන සමුච්ඡකරන ආකෘතියේ අවියෝජනීය කොටසක් බවට පත්ව තිබේ.

සමාජ ප්‍රතිරෝධය අපේක්ෂාවෙන් එම ප්‍රභූ පැලැන්තිය ම, ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහිව කුමන්ත්‍රනයක යෙදී සිටිති. බැංකුවලට හා විධායකයින්ට අත තැබිය නොහැකි තතු තුල, එම ප්‍රතිපත්ති කෙරෙහි විරුද්ධත්වය පල කරන ඕනෑ ම කෙනෙකු පීඩක පොලිස්-රාජ්‍ය ක්‍රමෝපායන්ට මුහුන දෙනු ඇත.

දේශපාලන හා ආර්ථික පද්ධතිය අරටුවට ම කුනු වී ඇත. එවන් රාජ්‍ය කටයුතු වලට එක ම තර්කානුකූල හා විධිමත් ප්‍රතිචාරය විය යුත්තේ, මෙම ධනේ‍ශ්වර පද්ධතිය පෙරලා දැමීම යි. සමාජ අවශ්‍යතා, එනම් සමාජවාදය, පිලිබඳ මූලධර්ම පාදක කොට ගත් නව සමාජ ආකෘතියක් ගොඩනැඟිය යුතු ය.

රාජ්‍යය හා එහි සියලු සංස්ථාවන් හා පක්ෂ, ක්‍රියාශීලීව සාපරාධී මෙහෙයුම්වල නිමග්නව සිටීමෙන් පැහැදිලි වන්නේ, මහා සමාජ හා දේශපාලන ව්‍යාපාරයක් තුලින් හැර කම්කරු පන්තියේ අවශ්‍යතා මුදුන්පත් කරගත නොහැකි බව යි. එය, බැංකුවල ආන්ඩුව, කම්කරු පන්තිය විසින් හා කම්කරු පන්තිය සඳහා වන ආන්ඩුවකින් විස්ථාපනය කිරීම අරමුනු කර ගනියි.

ජෝසෆ් කිෂෝර්

Share this article: