ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සන්ධිස්ථානයක් සලකුනු කරන, ඉරාක යුද්ධයේ දස වසරක ඇවෑමෙන්

The Iraq War ten years on: A turning point for US imperialism

19 March 2013

ඇන්ග්ලෝ-ඇමරිකානු ඉරාක ආක්‍රමනයේ දසවන සංවත්සරය අද දිනට (19) යෙදී ඇත. දස වසරකට පෙර, ගිනි ජාලාවන් හා දුමාරය නැඟී ආ බැග්ඩෑඩයේ රාත්‍රී ආකාසය ආලෝකවත් කල ''කම්පනයේ හා භ්‍රාන්තියේ" බෝම්බ ප්‍රහාර ලෝකයාට දැකගත හැකි විය. මෙම ප්‍රහාර මාලාව හා ඉන් පසුව සිදුවූ වාඩිලා ගැනීමේ ලේවැකි දස වසර, වරෙක මැද පෙරදිග වඩාත් ම දියුනු සමාජයන් අතුරින් එකක් මත ඇතිකලේ ව්‍යසනකාරී බලපෑමකි. ලක්ෂ ගනනක් ඉරාක සිවිල් වැසියන් මරා දැමුනු අතර මිලියන ගනනාවකට උන් හිටි තැන් අහිමි කලේ ය.

ඇමරිකානු මිලිටරිය ගෙනගිය යුද්ධය ඉමහත් පරිමානයේ අපරාධ නිර්මානය කලේ ය. මෙයට, මිනිසුන් 3,50000ක් ජීවත්වූ ෆලූජා නගරය, නිදහසේ වෙඩි තැබිය හැකි කලාපයක් බවට පත්කර, නිවැසියන් වෙත ජාත්‍යන්තර නීතියෙන් තහනම් කර ඇති සුදු ෆොස්ෆරස් ෂෙල් වෙඩි දැමීම හා තුවාල ලත් සිරකරුවන් තොග පිටින් මරා දැමීම ද ඇතුලත් ය. දස වසරක ඇවෑමෙන් ලදරු පිලිකා හා ප්‍රසූතියේ ආබාධ අනුපාතය අතින් ෆලූජාව, එක්සත් ජනපද පරමානු බෝම්බ හෙලීමෙන් පසුව, හිරෝෂීමාවට සමාන විය.

අබු ග්‍රයෙබ් සිර කඳවුරෙන් කාන්දුවූ බඩ දඟලවන ඡායාරූප මගින්, ඉරාක ජනතාව භීතියට පත්කර යටත් කිරීම සඳහා යොදාගත් ක්‍රමානුකූල වධ බන්ධන, ඝාතක කල්ලිවල හා නිකායික ඝාතන ද ඇතුලු යුද්ධයේ ම්ලේච්ඡ ස්වභාවයේ කඩතුරාව ඉරා දමනු ලැබිනි.

යුද්ධය මගින් මුදා හැරුනු නිකායික ප්‍රචන්ඩත්වයෙන් මෙන් ම, යටිතල ව්‍යුහය විනාශ වීමෙන් පිරිසිදු ජලය, සෞඛ්‍යමය පහසුකම් හා ජීවිතයට අත්‍යවශ්‍ය අනෙකුත් දෑ අහිමි කිරීමෙන්, ඉරාක ජනතාව මිය යමින් සිටිති. වයස අවුරුදු 18ට අඩු ලමුන් මිලියනයකට දෙමාපියන්ගෙන් එක් අයෙක් හෝ දෙදෙනා ම අහිමිව ඇත. ලක්ෂ ගනනක් බරපතල තුවාලවලින් පීඩාවට පත්ව සිටිති.

එක්සත් ජනපදය තුල ම සෙබලුන් 4500ක් පමන දෙනාගේ ජිවිත අහිමි වීමට අමතරව, භටයින් 34,000ක් ආපසු පැමිනියේ තුවාල ලබා ය. ලක්ෂ ගනනක් මානසික කම්පනයෙන් පීඩාවට පත්ව සිටිති.

මෙම සියලු ඝාතන හා ප්‍රචන්ඩත්වය සිදුකරනු ලැබුවේ, ඉරාක ආන්ඩුව ''ජනඝාතක අවි" සඟවාගෙන සිටින්නේ ය යන්නෙන් කුලුගැන්වුනු, මුසාවන්ගේ පදනම මත ය. යුද්ධය සඳහා ගොතන ලද මෙම කඩතුරාවන්, දෙවන ලෝක සංග්‍රාමය ආරම්භයේ දී ඉලක්ක කරන ලද පෝලන්තය හා අනෙකුත් රටවල් ආක්‍රමනය යුක්තිසහගත කිරීමට ජර්මනිය විසින් යොදාගත් දේට වඩා, සාපරාධිත්වයෙන් අඩු නොවේ.

යුද්ධය අවසානයේ දී දිවි ගලවාගත් නාසි නායකයින්ට එරෙහි නියුරම්බර්ග් නඩු විභාගයන්හි දී තහවුරු කරන ලද පූර්වාදර්ශයන් අනුගමනය කරන්නේ නම්, පලමු අදියරේදී ම ජෝර්ජ් ඩබ්. බුෂ්, ඩික් චේනි, ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්, කොලින් පවෙල් හා කොන්ඩලිසා රයිස් ද ඇතුලු ඉරාක ආක්‍රමනයට වගකිවයුතු සියල්ලන් ම අධිකරනයට ඉදිරිපත්කල යුතු අතර අවම වශයෙන් ඔවුන්ගේ ඉතිරි ජීවිත කාලය ගතකිරීම සඳහා සිර ගෙට යැවිය යුතු ය.

එක්සත් රාජධානියේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් හා ඔහුගේ ආන්ඩුවේ සිටි අනෙකුත් අයට ද එම ඉරනම ම අත් විය යුතු ය.

නාසීන් වරදකරුවන් වූ ජන සංහාරයන් නිර්මානය කල යුරෝපයේ ආක්‍රමනික යුද්ධය පරිද්දෙන් ම, ඉරාකයට එරෙහි වොෂින්ටනයේ ආක්‍රමනික යුද්ධය, සමාජ සංහාරයකට තුඩු දුන්නේ ය. එනම් මුලු මහත් සමාජයක් ම ක්‍රමානුකූලව විනාශය කරා දැක්කීම යි. දශකයකට අධික කාලයක් ගෙන ගිය දන්ඩන ආර්ථික සම්බාධක වලින් පසුව, ඇමරිකානු මිලිටරියේ පූර්න ශක්තිය, යටිතල ව්‍යුහය හා සමාජ වියමන කැබලි කරමින්, රටේ ආර්ථිකයේ ඉතිරිව තිබුනු දේ ඉරා දැමීම සඳහා යොදවනු ලැබුනි.

සමස්ත මාධ්‍ය සංස්ථාපිතය ම යුද්ධය දියත් කිරීම පිලිබඳව සිය සහානුමැතිය පුදකරමින්, බොරු බව තමන් හොඳින් ම දන්නා ආක්‍රමනයේ කඩතුරාව, යලි යලිත් පුනරුච්ඡාරනය කලහ. විශේෂයෙන් ම මෙහි දී නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය තීරනාත්මක ක්‍රියාකලාපයක් ඉටු කලේ ය. එය බුෂ් පාලනයේ කටයුතු නීති යුක්ත කරමින්, නොපැවතියාවූ ඉරාකයේ ජන ඝාතන අවි පිලිබඳ සාක්ෂි නිෂ්පාදනය කලේ ය. කැපී පෙනුනු අදහස් නිර්මාපකයින් වූ, ටයිම්ස්හි තෝමස් ෆ්රීඩ්මාන් ද වොෂින්ටන් පෝස්ට් පත්‍රයේ රිචඩ් කොහෙන් හා චාල්ස් ක්රුව්තමර් වැනි අය ද යුද්ධය හුවා දැක්වීමට ගැඹුරින් ම වෙලී සිටියෝ ය.

ආක්‍රමනය පටන්ගත් විගස ''එකට ගමන්ගත්" මාධ්‍යවේදීහු, එක්සත් ජනපද මිලිටරියේ ප්‍රචාරකයින් ලෙස සේවයේ යෙදුනාහ. ඒ අතර ඔවුහු යුද්ධයේ ප්‍රචන්ඩත්වයත් ව්‍යසනකාරී බලපෑමත් ප්‍රවේශමෙන් වසං කලහ.

සැලසුම් කිරීම හා ක්‍රියාවට නැඟීම යන දෙඅංශයෙන් ම බරපතල ලෙස සාපරාධීවූ මෙම යුද්ධය, ඇමරිකානු අධිරාජ්‍යවාදී ඉතිහාසයේ තීරනාත්මක සන්ධිස්ථානයක් සලකුනු කලේ ය. යුද්ධය යුක්ති යුක්ත කිරීමට ගොතන ලද බොරු මුලුමනින් ම හෙලිදරව්වීමත්, ක්‍රියාන්විත කොන්දේසිවලට අනුව එය පරිපූර්න ව්‍යසනයක් වී යයි සැලකීමත් සමග, එය විනාශයකින් කෙලවරවීම නොතකා, ඇෆ්ගනිස්ථානයේ යුද්ධය උත්සන්න කිරීමටත්, ලෝකය පුරා ඇමරිකානු මිලිටරිවාදයේ වඩ වඩාත් පුලුල් වන නැඟීමකටත්, එය පදනම දැමී ය.

මෙය කොල්ලකාරී අධිරාජ්‍යවාදී යුද්ධයක් විය. ඇමරිකානු අවශ්‍යතා සහතික කිරීම සඳහා මැද පෙරදිග ප්‍රතිසංවිධානය කිරීම ද කලාපය පුරා විසිර ඇති දැවැන්ත බල ශක්ති සම්පත් මත සිය ග්‍රහනය දැඩිකර ගැනීම ද යන, දිගු කලක් තිස්සේ වර්ධනය කරන ලද, එක්සත් ජනපද මූලෝපායේ කොටසක් ලෙස යුද්ධය ගෙන යන ලදි. මෙම මූලෝපාය යටින් පැවතියේ, උග්‍ර අතට හැරෙන ආර්ථික අර්බුදය මිලිටරි බලය යෙදීම මගින් විසඳා ගැනීමට දරන ලද උත්සාහය යි. ඒ සමග ම, ''තේරීමේ යුද්ධය," සමාජ අසමානතාවය මගින් රට තුල නිර්මානය කරන ලද පුපුරන සුලු සමාජ ආතතින්, මිලිටරිවාදි ප්‍රචන්ඩත්වයේ රූපයෙන් පිටතට හරවා යැවීම සඳහා ද දායක විය.

මෙම අරමුනු හඹා යාමේ දී සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්‍රහාරය කිසිවිටෙකත්, නරුම කඩතුරාවකට වැඩි යමක් නියෝජනය නොකලේ ය. ඉරාකයේ සදාම් හුසේන් තන්ත්‍රය ඉරාක ජනතාවට එරෙහිව කුමන වර්ගයේ අපරාධ සිදු කලත් එය, අනාගමිකවූ අතර අල් කයිඩාවේ සතුරෙකු ද විය. සැප්තැම්බර් 11ට මොන ම අයුරකින් හෝ එය සම්බන්ධ නොවී ය.

මේ අර්ථයෙන් ගත් කල, අනාගමික රාජ්‍යයන් ඉලක්ක කරමින් මැද පෙරදිග පාලන තන්ත්‍ර ම වෙනස් කිරීම පිනිස මැදිහත් වීමේ වොෂින්ටන්හි රටාව, යුද්ධය මගින් පිහිටුවන ලදි. එසේ ම, වක්‍රව හෝ විවෘතව, ඉස්ලාම්වාදයට හා අල්කයිඩාවට බැඳුනු බලවේගයන්ට තම අරමුනු ඉටුකර ගැනීමට එය පිටුබලය සපයයි. 2011 ලිබියාව ද අද දින සිරියාව ද සම්බන්ධ තත්වය මෙය යි.

මේ අතර, ඉරාකය මධ්‍ය ලක්ෂය යයි සලකාගෙන සිදුකරන නිමක් නැති ''ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය" සමඟ අත්වැල් බැඳගෙන, පෙර නොවූ විරූ පරිදි රාජ්‍යය හා එහි මිලිටරි ඔත්තු සේවා යාන්ත්‍රනය ශක්තිමත් කරනු ලැබේ. එසේ ම එක්සත් ජනපදය තුලත් ජාත්‍යන්තරවත් ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ප්‍රහාර උත්සන්න කෙරෙයි. නීත්‍යනුකූල අධිකරන ක්‍රියා පටිපාටියක් තුල ඔප්පු කිරීම කෙසේ වෙතත්, චෝදනා ඉදිරිපත් නොකර ඩ්‍රෝන් ප්‍රහාර මගින් ඇ‍මෙරිකානු පුරවැසියන් ඝාතනය කිරීම සඳහා අන දීමේ බලය තමන් සතුව ඇතැයි කියා සිටින ජනාධිපති ‍පාලනයක ලක්ෂය කරා ම ඔබාමා පාලනය යටතේ මෙය පැමින තිබේ.

ඉරාක යුද්ධය සන්ධිස්ථානයක් වන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයට පමනක් නොවේ. එය යුරෝපයේ දේශපාලන පරිනාමය සම්බන්ධයෙන් ද එසේම ය. බ්‍රිතාන්‍යය හැර අනෙකුත් යුරෝපීය ධනේශ්වර පාලනයන්, බොහෝ අවස්ථාවල දී නොඑකඟතාවය හා සැක සාංකා පල කරමින් එක්සත් ජනපදයේ ඉරාක ආක්‍රමනය කෙරෙහි ප්‍රවේශම් සහගත ආකල්පයක් ගත්තෝ ය. කෙසේ වුව ද, ප්‍රසිද්ධ මතභේද මාලාවකට පසුව යුරෝපීය බලවතුන්, ඔවුන්ගේ ආස්ථානය වෙනස්කර ගත්හ. ඒ ඔවුන්ට ද කොල්ලයේ පංගුවක් ඩැහැගත හැකි වන, සීමාන්තික අධිරාජ්‍යවාදය සඳහා අවස්ථාවක් යුද්ධය මගින් විවර වී ඇති බව දැක ගැනීමෙන් පසුව ය.

යුද්ධයෙන් ඉක්බිත්තේ, යුද විරෝධී වාම පක්ෂ යයි කියාගත් සංවිධාන අධිරාජ්‍යවාදයට විරෝධය පෑමේ මවාපෑම් පවා අතහැර දමා, පරිපූර්න ලෙස දකුනට මාරුවීමක් ද යුද්ධය අත් දුටුවේ ය. එක්සත් ජනපද ආක්‍රමනයේ මුවවිට දී ලෝකය පුරා පැන නැඟි දැවැන්ත පෙලපාලි වලින් සනිටුහන් කල පුලුල් ස්වයංසිද්ධ විපක්ෂය බලමුලු ගැන්වීමේ කිසිදු උත්සාහයක් නොදරා, මෙම බලවේග වේගයෙන් ඉන් අත් මිදෙමින්, අධිරාජ්‍යවාදී මැදිහත්වීමට සහාය දීමට රොක් වූහ. ජර්මනියේ හරිතයන්ගේ පටන් ඉතාලියේ රි‍ෆොන්ඩාසියොන් කොමියුනිස්ටා දක්වා වූ දේශපාලන සංවිධාන සෘජුව ම ඇෆ්ගනිස්ථාන යුද්ධයට සහයෝගය දැක්වූහ.

එක්සත් ජනපදයේ නිල යුද විරෝධී ව්‍යාපාරය ආක්‍රමනයට බලය පවරමින්, යුද්ධයේ අවසානය දක්වා ම කොන්ග්‍රසය තුල එයට මුදල් සම්පාදනය කල ඩිමොක්‍රටිකයින් පිටුපස, ඉරාක යුද්ධයේ ජනතා විරෝධය පෙලගැස්වීමට නොනැවතී ක්‍රියා කලහ. ඔබාමා තේරී පත්වීමත් සමග ව්‍යාජ වාම කොටස්, ලිබියාව හා සිරියාව තුල ''මානුෂික" මැදිහත්වීම් හුවා දක්වමින්, එක්සත් ජනපදයේ මිලිටරි ක්‍රියාන්විතයන්හි පූර්නව කැපවූ ආධාරකරුවන් බවට පත්ව තිබේ.

අප ජීවත් වන පශ්චාත් අධිරාජ්‍යවාදී යුගයේ සියලු කියාපෑම් වෙනුවෙන් ඉරාකයට වන්දි ගෙවීමට සලස්වා ඇත. අධිරාජ්‍යවාදී මෙහෙයුම් ලෝකය පුරා පැතිරෙමින් තිබේ. ඉරාකයෙන් එක්සත් ජනපද හමුදා ඉවත්කර ගැනීමත්, කොටස් වශයෙන් ඇෆ්ගනිස්ථානයෙන් හමුදා ඉවත්කර ගැනීමත්, ඔබාමා පුන පුනා කියන පරිදි "යුද්ධයේ වඩදිය බැසයන්නේය" යන්න නොව සලකුනු කෙරෙන්නේ, වෙනත් තැන්වල වඩාත් විශාල මැදිහත්වීම් සඳහා මිලිටරි මිනිස් බලය හා සම්පත් නිදහස්කර ගැනීමකි.

ඇෆ්ගනිස්ථානයේ යුද්ධය ගෙන යද්දී පවා වොෂින්ටනය, ආක්‍රමනකාරී ලෙස අප්‍රිකාවට මැදිහත් වෙමින් ද ඉරානයට එරෙහි යුද්ධයකට සූදානම් වෙමින් ද චීනයට එරෙහිව යුදවාදී තර්ජන උත්සන්න කරමින් ආසියාව වෙත "හැරෙමින්" ද සිටියි.

ඇමරිකානු හා ලෝක ධනවාදයේ නොවිසඳිය හැකි අර්බුදය විසින් තල්ලුව සපයන නව යුද්ධ නොවැලැක්විය හැකි ය. ඉරාක යුද අපරාධ වෙනුවෙන් දඬුවම් නොලබා යන්නට හැරීමේ කාරනය, මේවාට උදව් වන්නේ සුලු පරිමානයකින් නම් නොවේ.

ලක්ෂ ගනනක් මිනිස් ජීවිත බිලිගත් ආක්‍රමනික යුද්ධයක් සැලසුම් කිරීම හා ක්‍රියාවට නැඟීම වෙනුවෙන්, යුද්ධය සැලසුම් කල දේශපාලඥයින්, එය මෙහෙයවූ ජෙනරාල් වරුන්, එය ඔසවා තැබීමට බොරු ගෙතූ මාධ්‍යවේදීන් යන කිසිවෙකුත්, ජාත්‍යන්තර නීතිය හමුවට පමුනුවා නැත. ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කොන්ඩලීසා රයිස්ට දී ඇති තැන මෙන්, සමහරෙකුට ශාස්ත්‍රාලිකයේ ඉහල තනතුරු පිරිනමා තිබේ. අනෙකුත් අයට සුව පහසු විශ්‍රාම දිවියකට හෝ විවිධ ව්‍යාපාරයන්හි හා බුද්ධි මන්ඩලවල එසේත් නැතිනම්, වෙනත් වාසිදායක කටයුතුවලින් මුදල් හම්බ කිරීමට කොන්දේසි සකසා ඇත. මාධ්‍ය පන්ඩිතයෝ කිසිවක් සිදු නොවූ පරිදි දේශනා කරමින් සිටිති.

දඬුවම් නොලද මෙම දේශපාලන අපරාධය, නව ගිනි ජාලාවන් සඳහා වේදිකාව සකස් කරන, අධිරාජ්‍යවාදයේ නව යටත් විජිතවාදය උත්සන්න කෙරෙද්දී, ලොව පුරා දුර දිග යන ප්‍රතිවිපාක අත් විඳිනු ඇත.

අතීතයට පැවරෙන හුදෙකලා සිද්ධියකට වඩා බෙහෙවින් වෙනස් ලෙස, අද දවසේ ලෝක දේශපාලන වාතාවරනය හැඩගස්වමින් තිබෙන මෙම යුද්ධයේ බෙහෙවින් ගැඹුරු හා මැදහත් පාඩම් උකහාගත යුතු ය. යුද්ධයේ අත්දැකීම් පෙන්නුම් කර ඇත්තේ, සෑම රටක ම දේශපාලන ජීවිතයේ හදවතෙහි ම ඇති යුද්ධයට එරෙහි අරගලය, කම්කරු පන්තිය මෙම යුද්ධ ගෙන ගිය, එම දේශපාලන පක්ෂවලට ම ගැටගැසී සිටින තාක් දුරට හා යුද්ධ අනිවාර්ය දේ බවට පත් කරන ධනපති ආර්ථික ක්‍රමයට යටත්ව සිටින තාක් දුරට කල නොහැකි දෙයක් බව ය.

ඉරාක ආක්‍රමනයෙන් දස වසරකට පසුව, මෙම යුද්ධයට දැක්වූ එක ම අඛන්ඩ විරුද්ධත්වයේ හඬ ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනක් ම වන බව කිව යුතුය. ඉරාක යුද්ධයට පෙරත්, ඉන් පසුවත් අප ලිවූ ප්‍රකාශන, මෙම ව්‍යාපාරයේ දේශපාලනයෙහි මූලධර්මාත්මක ස්වභාවය හා මාක්ස්වාදී ඉදිරිදර්ශනයේ බලය පිලිබඳව සාක්ෂි දරයි.

අද දවසේ යුද්ධයට එරෙහි අරගලය ඉල්ලා සිටින්නේ, සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැඟීම යි.

බිල් වෑන් ඕකන් හා ඩේවිඩ් නෝර්ත්

Share this article: