ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝගවලට අනුව ආන්ඩුව අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවා මිල වැඩි කරයි

අපේ ලියුම්කරුවන් විසිනි, 2013 මාර්තු 25

ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව මේ දක්වා සිදු කර ඇති අත්‍යවශ්‍ය භාන්ඩ මිල වැඩි කිරීම් මතට තවත් වටයකින් මිල ඉහල දැමීම් රොත්තක් පැටවීමට තීන්දු කර තිබේ.

දැවැන්ත මිල වැඩි කිරීමක් සිදු කිරීමට නියමිතව ඇත්තේ විදුලිය පරිභෝජනය මතයි. ලංකා විදුලි බල මන්ඩලය (ලංවිම) සිය පාඩු පියවා ගැනීමේ නමින් අපේ‍්‍රල් 1 දා සිට විදුලි බිල වැඩි කිරීමට තීන්දු කර ඇත.

යෝජිත ගාස්තු අනුව ගෘහස්ත පාරිභෝගිකයන් සදහා මුල් ඒකක 30 අය කරන රුපියල් 3.00 රුපියල් 5 ක් ද ඒකක 31 සිට 60 දක්වා රුපියල් 4.70 ගාස්තුව 6 දක්වා ද ඒකක 60 සිට 90 දක්වා රුපිය 7.50 ගාස්තුව 8.50 දක්වා ද ඉහල දැමේ . නව ක‍්‍රමය අනුව කලින් පැවති කඩඉම ඉවත් කර ඒකක 60 සහ 90 සදහා මුලු ඒකක සංඛ්‍යාවටම නව ගාස්තුව අය කෙරෙයි. ඒ අනුව මෙම කාන්ඩ තුන සදහා පිලිවෙලින් සියයට 45, 66, 68 ක් වසයෙන් ගාස්තු ඉහල යාමක් සිදුවෙයි. දැනට අය කෙරෙන ස්ථාවර ගාස්තු හා ඉන්ධන ගැලපුම් ගාස්තු ද එයාකාරයෙන් ම අය කෙරෙයි.

ලංවිම වාර්තා අනුව ගෘහස්ත විදුලිය පාරිභෝගිකයන් සියයට 75ක් ම මසකට විදුලිය ඒකක එකේ සිට අනූව දක්වා විදුලිය පාවිච්චියට ගන්නන් ය. මෙහි අර්ථය නම් අඩු ආදායම් ලබන කම්කරුවන්, ගම්බද හා නගරබද දුගීන් විදුලි බිල ඉහල දැමීමට රුදුරු ලෙස ගොදුරු කෙරෙනු ඇති බවයි. ද සන්ඬේ ටයිම්ස් වාර්තාවක ගනන් බැලීම් අනුව විදුලිය ඒකක 91ක් පරිභෝජනය කරන අයෙකු දැන් රුපියල් 982ක් ගෙවන්නේ නම් අලුත් ගාස්තු අනුව රුපියල් 2226ක් ගෙවීමට බල කෙරෙන බවයි. මධ්‍යම පන්තික ජනයා හා සුලු ව්‍යාපාරිකයෝ මෙම විනාශදායී බිල ඉහල දැමීමට ගොදුරු වනු ඇත.

"විශාල පරිමානයේ කර්මාන්ත, සංචාරක කර්මාන්තය සහ වානිජ අංශවලට පහල මට්ටමක ගාස්තු අය කරමින් සහනාධාර සැපයීම කෙරෙනු ඇත”යි සන්ඬේ ටයිම්ස් වෙත අදහස් දැක්වූ ලංවිම සභාපති ඩබ්ලිව්. පී. ගනේගල පවසා ඇත. "ජාතික ආර්ථිකය නැංවීමේ” නමින් දුගීන් සූරා කන ධනපති කොම්පැනිකාරයන් රැකීමට ආන්ඩුව කි‍්‍රයා කරන බව මෙහි තේරුමයි. බොහොමයක් මේ අංශවල නිෂ්පාදකයන්ගේ මිල ද වැඩිවන විදුලි ගාස්තු අනුව ඉහල දමා පැටවෙනු ඇත්තේ දුගීන් මත ය.

ගනේගල එම පුවත් පතට ම පවසා ඇත්තේ විදුලි බිල නැංවීමෙන් ගොඩගසා ගන්නා රුපියල් බිලියන 48 ප‍්‍රමානවත් වන්නේ කර්මාන්තවල පාවිච්චියට ගැනෙන උදුන් තෙල්වල මෑත දී සිදු කෙරුනු මිල වැඩි කිරීම පියවා ගැනීමට පමනක් බවයි. ලංවිම ඉතිරි පාඩුව පියවා ගැනීමට ඉදිරියේ තවත් ගාස්තු නැංවීම්වලට මුහුන දීමට පාරිභෝගිකයා ට සිදුවනු ඇත.පසුගිය මාසයේ සිදු කල තෙල් මිල ඉහල දැමීම් අනුව බස් ගාස්තු සියයට 7 සිට 10 දක්වා ප‍්‍රමානයන්ගෙන් ඉහල දැමීමක් ගැන දැන් ආන්ඩුවේ අධිකාරීන් හා පුද්ගලික බස් හිමියන් අතර සාකච්ඡා සිදුවෙමින් පවතී.

පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 3 න් වැඩි කර තිබේ. ඔක්ටේන් 90 හා ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 162 ක් හා 170 කි. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 115 සිට 121 දක්වා රුපියල් 6 හා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 142 සිට 145 දක්වා රුපියල් 3 න් වැඩි කර ඇත. ආන්ඩුව දෙසැම්බර් මාසයේ සියයට 6.7 න් පෙට‍්‍රල් මිල වැඩි කලේ ය. ආන්ඩුවේ මිල වැඩි කිරීමට සමානුපාතිකව ලංකා-ඉන්දියන් තෙල් සමාගම ද මිල ඉහල දැමී ය.

ජනවාරි මාසයේ මුල ගෑස් මිල රුපියල් 150 න් ඉහල දැමීමට ගෑස් සමාගම්වලට පාරිභෝගික අධිකාරිය අවසර දුන්නේ ය. ඒ අනුව කි.ග‍්‍රෑ 12.5 ගෘහස්ත LPගෑස් සිලින්ඩරයක වර්තමාන මිල රුපියල් 2396 කි.

තෙල් සංස්ථාව පසුගිය වසරේ රුපියල් බිලියන 89 ක් පාඩු ලැබූ බවත් එම පාඩුව මග හැරවීම සදහා "සුලූ ගනනකින්” තෙල් මිල වැඩිකල බව තෙල් ඇමති අනුර ප‍්‍රියදර්ශන යාපා මාධ්‍යට ප‍්‍රකාශ කලේ ය.

තෙල්, ගෑස් සහ විදුලිය මිල ඉහල දමන්නේ ආහාර ඇතුලු අත්‍යාවශ්‍ය භාන්ඩ මිල නිති පතා ඉහල යන තත්වයක් තුලය. ඍජු මිල වැඩිවීම්වලට අමතරව තෙල්, ගෑස් හා විදුලි බිල වැඩිවීමේ බර ව්‍යාපාරිකයන්, කර්මාන්ත කරුවන් හා ප‍්‍රවාහන සේවාවන් විසින් මහජනයා මත පැටවීම නිසා කම්කරු පන්තිය හා පීඩිත ජනයා මත පැටවෙන බර දෙගුනයක් වනු ඇත. උද්ධමනය සියයට 10 ට ආසන්නව ඇති අතර රුපියලේ අගය අවප‍්‍රමානය වීම මගින් කම්කරු පන්තියේ මූර්ත වැටුප් අගය පහත වැටෙයි.

ආර්ථික කප්පාදු පිලිවෙත්වල කොටසක් ලෙස 2006 වසරේ සිට රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ වැටුප් කැටි කිරීමේ පිලිවෙතක් ආන්ඩුව අනුගමනය කරයි. රාජ්‍ය අංශයේ කම්කරුවෙකුගේ අවම මාසික වැටුප රුපියල් 11,700 ක් වන අතර පුද්ගලික අංශයේ නුපුහුනු හා පුහුනු කම්කරුවෙකුගේ අවම වැටුප රුපියල් 6,500 හා 9,500 කි. වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප සියලූ දීමනා සහිත ව රුපියල් 515 කි. අඩු කිරීම් වලින් පසුව ඔවුන් අතට ලැබෙන මාසික ආදායම රුපියල් 7.000 ක් හෝ 8,000 ක් පමන වෙයි.

පසුගිය මාසයේ ලංකාවට පැමිනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ආන්ඩුව ඉල්ලූ ඩොලර් බිලියන 1ක නය ප‍්‍රතික්ෂේප කර කියා සිටියේ ලංවිම හා ඛනිජ තෙල් සංස්ථාව ප‍්‍රතිසංස්කරනය කර පාඩු පියවා ගත යුතු බවත් බදු වැඩි කර ආන්ඩුවේ ආදායම් ඉහල දමා ගත යුතු බවත් ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ පිලිවෙලට එකඟවන්නට බැරි යයි බොරු ඇද බෑ ආන්ඩුව එහි කප්පාදු තීන්දු එකින් එක කම්කරුවන් හා දුගීන් මත පටවමින් සිටියි.

නව මිල වැඩිවීම් සම්බන්ධව කම්කරු පන්තිය තුල මෙන්ම පොදුවේ මහජනයා අතර ඇත්තේ බරපතල විරෝධයකි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග කතාකල වතු කම්කරුවෙකු වන එස්. සිවනාදම් සිය අතෘප්තිය මෙසේ ප‍්‍රකාශ කලේය. "හැම දෙයක් ම ගනන් ගිහිල්ල පොල් ගෙඩියක් රුපියල් 50.00 යි. පොල්තෙල් කි. ග‍්‍රැම් එකක් රුපියල් 240 යි. පන් පිටි 100 යි. සීනි 105 යි. පරිප්පු රුපියල් 140 යි අපේ දවසේ පඩිය 515 යි එක දවසක් වැඩට ගියේ නැත්තම් මාසික පැමිනීමේ දීමනාව රුපියල් 2,000 කැපෙනවා. මේ තත්වේ ඇතුලේ විදුලි බිලත් වැඩි උනහම අපි කොහොම ද ජීවත් වෙන්නේ?”

"යුද්දේ තියෙන කොට ආන්ඩුව කිව්වා යුද්දේ නිසා කියල. දැන් යුද්දේ ඉවර වෙලා අවුරුදු 4 යි තිබුනටත් වඩා බඩු මිල වැඩියි. යන්තම් ජීවිතේ ගැට ගහ ගන්න නම් අපේ දවසේ පඩිය රුපියල් 1,200 ක් වත් වෙන්න ඕන. වතු අයිති කාරයෝ පඩි වැඩි කරන්න කැමති නැහැ. යුනියන් කාරයෝ කියන්නේ එහෙම වැඩි කලොත් වතු බංකොලොත් වෙන ව කියල. යූඑන්පිය වත් විපක්ෂයේ අනෙක් පක්ෂවත් ආන්ඩුවේ වැඩපිලිවෙලට විරුද්ධව කිසිම දෙයක් කරන්නේ නැහැ.”

හැටන් ප‍්‍රදේශයේ සුලු ව්‍යාපාරිකයෙක්: ”දැන් වෙලඳාම අඩුයි. වතුවල පඩි සතියට දවස් 3-4 ක් වෙලඳාම තියෙනවා. ඒත් කලින් ගත්තු විදිහට මිනිස්සු බඩු ගන්නේ නැහැ. දැනට කඩ කුලිය රුපියල් 8,000 ක් ගෙවනවා. වතුර බිල්, විදුලි බිල් තවත් වැඩි වුනොත් කඬේ වහන්න වෙන්නේ”

මාතර වැලිගම ත‍්‍රී රෝද රථ රියදුරෙක්: මම රැකියාව කරන්නේ මගේ සහෝදරියකට අයිති ත‍්‍රී රෝද රථයක. දවසකට රුපියල් 250 ක් එයාට දෙන්න ඕන. සොහෝදරියගෙ නිසා වැඩ නැති දවස්වලට ගෙවීමක් නොකලත් දැන් ආදායම අඩු නිසා ජීවත්වීම අමාරුයි. තෙල් මිල ඉහල ගියාම ගාස්තු වැඩි කරන්න වෙනවා. නමුත් ගස්තු වැඩි වෙන කොට හයර් අඩුයි. සමහර දවස්වලට රුපියල් 200 ක් හොයා ගන්නත් බැහැ. වාහනේ රෙපෙයාර් එකක් ආවොත් දවස් ගනනක් වැඩ නැහැ. පොලියට සල්ලි ගන්න වෙනවා. ලඟදී රුපියල් 5,000 ක් ගත්ත සියයට 20 පොලියට වාහනේ රෙපෙයාර් කරන්න. විදුලි බිලත් වැඩි උනාම තවත් වියදම වැඩි වෙනවා. ජීවත් වෙන්නේ කොහොම ද කියල හිතා ගන්නත් අමාරුයි.”

හලාවත ප‍්‍රදේශයේ දෛනික කුලී කම්කරුවෙක්: ”මට නිශ්චිත ස්ථීර ආදායමක් නැහැ. එහෙම වුනත් මාසෙ වියදමට රුපියල් 15,000 විතර ඕන. මට තරුන පුතෙක් ඉන්නවා උසස් පෙල සමත්. නමුත් රැුකියාවක් නෑ.

ඇමතිලාගේ, රජයේ ලොකු නිලධාරීන්ගෙ පඩි වැඩි වෙනවා. අපි කොච්චර වැඩ කලත් අපිට ජීවිතේ ගැට ගහ ගන්න බැහැ. මේක ධනපතියන්ගේ ආන්ඩුවක්.”

මෝටර් සයිකල් කාර්මිකයෙක්: ”මගේ අදායම දෛයිනිකව වෙනස් වෙනවා. තෙල් මිල හා බඩු මිල ඉහල යන විදිහට ආදායම ඉහල යන්නේ නැහැ. අපේ වැඩ කුලිය ඒ විදිහට වැඩි කරන්න බැහැ. මිනිස්සුන්ට සල්ලි නෑ. නමුත් වියදම දවසින් දවස වැඩි වෙනවා. මට ලමයි තුන් දෙනෙක් ඉන්නවා. අධ්‍යාපන කටයුතුවලට මාසෙකට රුපියල් 15,000 ක් විතර යනවා. ආන්ඩුව සංවර්ධනයක් ගැන කතා කලාට මහජනතාවට නම් ඒකෙන් සෙතක් වෙලා නැහැ.”

සුලූ සත්ව ගොවිපොල හිමිකරුවෙක්: ”දැන් ගෑස්, විදුලි උපකරන හෝ වාහන පාවිච්චි කරන්න අමාරුයි. තාක්ෂනය දියුනු වූනාට වියදම වැඩි වෙන කොට ඒවා පාවිච්චි කරන්නේ කොහොම ද ?

”අපි හැමදාමත් නයකාරයෝ. මේ ආර්ථික බර අපිට දරා ගන්න අමාරුයි. සත්ව ආහාර හා උපකරන මිල ඉහල යාම නිසා ආදායම අඩුයි. කිසිම ආන්ඩුවක් අපි වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ.”

පාසල් ගුරුවරයෙක්: ”මම පුත්තලම පාසලක සේවය කරන්නේ. බස් දෙකකින් ගමන් කරන්න ඕනා. බස් ගාස්තු විතරක් රුපියල් 5,000 ක් ඉක්මවනවා. සෙනසුරාදාට කොලඹ පන්ති යනවා නීති විභාගයට. එදාටත් තව රුපියල් 500 ක් විතර වියදම් වෙනවා.

ආයෙත් බස් ගාස්තු වැඩි වූනොත් මේ තත්වේ තවත් දරුනු වෙනවා. අඩුවෙන්ම වියදම් කෙරුවත් රුපියල් 8,000 ක් විතර මට පුද්ගලිකව වියදම් වෙනවා. ගෙදර වියදමට රුපියල් 7,000 ක් දෙනවා. ලඟ දී විවාහ වෙන්න ඉන්නේ. දෙමාපියෝ බලන්නයි, පවුල් ජීවිතයක් ගත කරන්නයි රුපියල් 22,500 වැටුපෙන් හිතන්නවත් බැහැ.”

බඩු මිල හා සේවා ගාස්තු ඉහල යන්නේ ආන්ඩුවේ නාස්තිය හා දුෂනය නිසායයි විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය හා ජනාතා විමුක්ති පෙරමුනත්, වෘත්තීය සමිතිත් කියති. මෙය ආන්ඩුවේ සැබෑ පිලිවෙත වසන් කිරීමේ තැතකි. දුෂනය සහ නාස්තිය රාජපක්ෂ තන්ත‍්‍රය තුල ඔඩු දුවා ඇති නමුත් බඩු මිල ඉහල යාමේ මූලික හේතුව වන්නේ ධනපති ක‍්‍රමයේ ගැඹුරුවන ආර්ථික අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පැටවීම සඳහා ආන්ඩුව ක‍්‍රියාවට දමන ආර්ථික කප්පාදු පිලිවෙතයි.

මෙම ඉහල දැමීම් කම්කරුවන්ගේ බරපතල අරගල පිපිරීමකට තුඩු දෙනු ඇතැයි තැති ගෙන සිටින ආන්ඩුව ඔවුන් මැඞීමට එක් අතකින් පොලිස් රාජ්‍ය වැඩ පිලිවෙල තර කරන අතර, කම්කරුවන් ආගමික හා වාර්ගික රේඛා ඔස්සේ භේද කිරීමේ තැතක් ලෙස සිංහල ස්වෝත්තමවාදී උද්ඝෝෂනය තීව‍්‍ර කිරීමක් ද අරඹා ඇත.

Share this article: