ශ‍්‍රී ලංකාවේ ජනාධිපති යුද අපරාධ පිලිබඳ අලුත් ම සාක්ෂි ප‍්‍රතික්ෂේප කරයි

Sri Lankan president rejects fresh war crimes evidence

By Nanda Wickremasinghe, 12 March 2013

තම පාලන තන්ත‍්‍රයේ යුද අපරාධ වලින් එකක්, එනම් බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ හිටපු නායක වී. ප‍්‍රභාකරන්ගේ 12 හැවිරිදි පුත් වී. බාලචන්ද්‍රන් ඝාතනය පිලිබඳ අලුත් ඡායාරූප සහිත සාක්ෂි ඉදිරිපත්ව තිබෙන තතු තුල, ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඝාතන සිදුකල මිලිටරියේ එම සාපරාධී ක‍්‍රියාව ප‍්‍රතික්ෂේපකර ඇත.

ඉන්දියාවේ දිනපතා හින්දු පුවත්පත සමග මාර්තු 2 දා පැවති සම්මුඛ සාකච්ඡාවක දී රාජපක්ෂ මෙසේ ප‍්‍රකාශ කලේ ය: ''එහෙම දෙයක් වුනා නම් (මා) එය දැනගත යුතු යි. [සන්නද්ධ හමුදාවල] කවුරුහරි ඒක කර ඇත්නම්, මා වගකීම භාර ගත යුතු බව පැහැදිලි ය. අපි එය මුලුමනින් ම ප‍්‍රතික්ෂේප කරනවා. එහෙම දෙයක් විය නොහැකියි."

රාජපක්ෂ එය එකහෙලා ප‍්‍රතික්ෂේප කිරීමෙන් පැහැදිලි වන්නේ, 2009 මැයි මාසයේ එල්ටීටීඊයේ පරාජයත් සමඟ අවසන්වුනු යුද්ධය අතරතුර ඔහුගේ ආන්ඩුව කල මානව හිමිකම් අපයෝජන පිලිබඳව ගොඩගැසෙන තොරතුරු පිලිබඳව ඔහු තුල පවතින නොසංසුන්කම යි. රාජපක්ෂට අනුව තම සන්නද්ධ හමුදා කිසිදු යුද අපරාධයක් නොකල බවට හා එම නිසා මෙම ඝාතනය සම්බන්ධයෙන් තමන් වග නොකියන බවට ඔහු දෙන සහතිකය යමෙක් පිලිගත යුතු ය.

ලන්ඩනය ආශි‍්‍රතව ක‍්‍රියාත්මක චැනල් 4 රූපවාහිනී නාලිකාව නිපැයූ මෑත ම වීඩියෝව, බාලචන්ද්‍රන්ගේ අවසන් නිමේෂ කිහිපය යැයි සිතිය හැකි නව ඡායාරූප තිරගත කලේ ය. වැලි කොට්ටවලින් සෑදූ කුඩා බංකරයක් තුල ඔහු හමුදා අත්අඩංගුවේ පසුවන අයුරු එක් ඡායාරූපයකින් දැක්වෙයි. එතැන ම සිට ඔහු යමක් අනුභව කරන සැටි අනෙකෙන් දිස් විය. මෙම ඡායාරූප දෙක, පසු ගිය වසරේ නිකුත් කෙරුනු වීඩියෝවක තිබූ තවත් ඡායාරූපයක් සමඟ සම්බන්ධ ය. යුද මුක්ත කලාපය: ශ‍්‍රී ලංකාවේ ඝාතන බිම් යන එම වීඩියෝව, උන්ඩ පහකින් පපුවෙහි සිදුවුනු තුවාල සහිතව බාලචන්ද්‍රන්ගේ මල සිරුර බිම වැතිර තිබෙන සැටි ප‍්‍රදර්ශනය කලේ ය.

චැනල් 4 වීඩියෝවේ අධ්‍යක්ෂ කැලම් මැක්රේ පැවසුවේ, ඡායාරූප තුනෙන් කතාව මුලුමනින් ම කියවෙන බව යි. වෙඩි තැබීමට පෙර හමුදාව බාලචන්ද්‍රන් අල්ලා ගෙන, විය හැකි පරිදි ඔහුගේ පියා සිටින තැන දැන ගැනීමට ඔහුගෙන් ප‍්‍රශ්න කරයි, බාලචන්ද්‍රන් මිය ගියේ, මිලිටරිය කියන පරිදි වෙඩි හුවමාරුවක දී නො ව හමුදා අත්අඩංගුවේ සිටිය දී වෙඩි තැබීමෙන් බව නව ඡායාරූපවලින් තහවුරු වන බව මැක්රේ පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ (යූඑන්එච්ආර්සී) ජිනීවා මූලස්ථානයෙහි දැන් පැවැත්වෙන එහි වාර්ෂික රැස්වීමට සහභාගි වන නියෝජිත කන්ඩායම් හමුවේ, නව ඡායාරූප දෙකක් සහිත මෙම මෑත ම වීඩියෝව තිරගත කෙරින. එම රැස්වීමට ඉදිරිපත් කෙරුනු එක්සත් ජනපද කෙටුම්පත් යෝජනාව, ශ‍්‍රී ලංකාව තුල සිදුවෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳව ජාත්‍යන්තර පරීක්ෂනයක් ඉල්ලා සිටියි.

බාලචන්ද්‍රන්ගේ මල සිරුර සම්බන්ධයෙන් ප‍්‍රමුඛ පෙලේ වෝහාරික (අධිකරන) ව්‍යාථවේදියෙකු වන ඩෙරික් පවුන්ඩර් කල තක්සේරුවක් මැක්රේ උපුටා දැක්වී ය: ''පිලිස්සුනු සලකුනු සහිත (සම මත) ලපය ඇඟවුම් කරන්නේ ආයුධයේ කට මේ ලමයාගේ පපුවට අඩි දෙක තුනකට හෝ ඊටත් අඩු දුරකින් තිබුනු බව යි. තමන්ගේ අත දිගුකොට තමන් ඝාතනය කල තුවක්කුව අල්ලන්න වුනත් ඔහුට පුලුවන්කම තිබුනා." වෝහාරික වෛද්‍ය විශේෂඥයන්ගේ නිගමනය වූයේ ඡායාරූපය තුල "කිසි ම විකෘතියක්" සිදුව නැති බව යි.

වාර්තාමය සාක්ෂි හමුවේ පවා රාජපක්ෂ එය ප‍්‍රතික්ෂේප කිරීමෙන් සලකුනු කෙරෙන්නේ, යුද අපරාධ සහ මූලික මානව අයිතිවාසිකම් අහෝසි කිරීම ඇතුලු බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳව ඉදිරිපත්ව තිබෙන සාක්ෂි කෙරෙහි ඔහුගේ ආන්ඩුව දක්වන කනස්සල්ල යි. මෙම චෝදනා පිලිබඳව කෙරෙන පරීක්ෂනයකින් සත්‍යය එලිදරව් විය හැකි නිසා ම, එවැනි කවර හෝ පරීක්ෂනයකට ඔහුගේ ආන්ඩුව දැඩි ලෙස විරුද්ධ වෙයි.

ජනාධිපතිගේ සොහොයුරා වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කලේ, වාර්තා චිත‍්‍රපටය ''නිසැකව ම නිපදවා තිබුනේ එල්ටීටීඊයේ බිහිසුනු ඊලම් ව්‍යාපෘතියට තවමත් සහාය දෙන එක්සත් රාජධානියේ ගෝලීය දෙමල සංසදය හා අනෙකුත් අයගේ විධානය අනුව'' බව යි.

ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ ආරක්ෂක ලේකම්, යුද අපරාධ පිලිබඳව එල්ල වන කුමන හෝ චෝදනාවක් සාක්ෂි තිබියදීත් ''ත‍්‍රස්තවාදීන්ගේ" ''කුමන්ත‍්‍රනයක්" බව පවසමින්, පුරුදු පරිදි නොතකා හරිති. එල්ටීටීඊය පරාජය කිරීමෙන් දිනකට පසුව 2009 මැයි 19 දා, ජනාධිපති ප‍්‍රකාශ කලේ, ශ‍්‍රී ලංකාවේ මිලිටරිය නියැලී සිටියේ ''අනතුරු අවම" කල "මානුෂීය මෙහෙයුමක" බව යි. යුද්ධය අතරතුර දී කවරෙකු හෝ ඝාතනයට ලක් වී නම් ඒ ''එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන්ට" බිලිවීමෙනැයි ඔහු කියා සිටියේ ය.

එක්සත් ජාතීන්ගේ විශේෂඥ මන්ඩල වාර්තාවක් 2011 දෙසැම්බරයේ දී නිකුත් කෙරුනු අතර එහි නිගමනය වූයේ, මිලිටරිය අවම වශයෙන් සිවිල් වැසියන් 40,000ක් ඝාතනය කර ඇති බවටත් රෝහල්වලට සහ පාසල්වලට පහර දුන් බවටත් ඊනියා යුද මුක්ත කලාපවලට ෂෙල් ප‍්‍රහාර එල්ල කල බවටත් විශ්වසනීය සාක්ෂි පවතින බව යි. ඒවා යුද අපරාධ වලට සමාන ක‍්‍රියාවන් ය. නීතියට පිටින් සිදුකල ඝාතන සහ අතුරුදන් කිරීම් සිදුව ඇත්තේ වගකීමෙන් නිදහස්ව ය.

රට තුල සහ ජාත්‍යන්තරව ගොඩ ගැසෙන විවේචන සමහන් කරනු වස් යුද අපරාධයන්ට සුදුහුනු ගෑම සඳහා, රාජපක්ෂ පරිස්සමින් තෝරා ගත් උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසම (එල්එල්ආර්සී) පත් කලේ ය. සීමිත සොයා ගැනීම් සහිතව කොමිසම, අතුරුදන්වීම් සහ නීතියට පිටින් සිදු කල ඝාතන පරීක්ෂා කල යුතු බවට ද පැරා මිලිටරි කල්ලි නිරායුධ කල යුතු බවට ද දිවයිනේ උතුර සහ නැගෙනහිර ක‍්‍රමානුකූලව නිර්මිලිටරිකරනය කල යුතු බවට සහ දෙමල ධනපති ප‍්‍රභූවට ඇතැම් බලතල පැවරිය යුතු බවට ද යෝජනා කලේ ය. අනතුරුව රාජපක්ෂ, කොමිසමේ වාර්තාව මුලුමනින් ම ඉවත දැමී ය.

රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව දැන් තවත් යූඑන්එච්ආර්සී යෝජනාවකට මුහුනපා සිටී. එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කෙරුනු එය කොලඹ පාලනය එල්එල්ආර්සී නිර්දේශ ක‍්‍රියාත්මක කල යුතු බව අවධාරනය කරයි. වොෂින්ටනය සහ එහි අනුචරයින්, පසුගිය මාර්තුවේ අනුමත කල යෝජනා කි‍්‍රයාත්මක කිරීමට පියවර නොගැනීම ගැන ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව විවේචනයට ලක් කර ඇත.

එක්සත් ජනපදය සහ අනෙක් ප‍්‍රධාන බලවත්තු රාජපක්ෂ ආන්ඩුවේ යුද ව්‍යායමයට සහාය දුන් නමුත්, පසුව, රාජපක්ෂ චීනයෙන් දුරස්ත කිරීමට පීඩනය යොදනු පිනිස, ඔහුගේ ආන්ඩුව කල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නරුම ලෙස ගසා කති.

''එක් පැත්තක් පමනක් බලන්න එපා" යයි හින්දු සම්මුඛ සාකච්ඡාවේ දී රාජපක්ෂ බටහිර බලවතුන්ට ආයාචනය කලේ ය. ඔහු මෙසේ ද කී ය: ''ඔවුන් [එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය] එක් කන්ඩායමකට සහ විරුද්ධ පක්ෂයට පමනක් සවන් දීමෙන් වැලකිය යුතු යි." මෙම බලවතුන් සමඟ සාමදාන වීමට ඔහු උත්සාහ දරමින් සිටිය ද ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පවත්වා ගැනීම සඳහා ඔහුගේ ආන්ඩුව වැඩි වැඩියෙන් විශ්වාසය තබා ඇත්තේ චීනය කෙරෙහි ය.

''ශ‍්‍රී ලංකාව වොලිබෝලයක් වගේ. හැමෝම තමන්ගේ පව් වහ ගන්න විටින් විට ඒකට මිටින් අනිනවා'' කියමින් රාජපක්ෂ වැලපුනේ ය: ''මිටින් අනින්නේ" සහ ''පව් වහ ගන්නේ" කවුරුන්දැයි ඔහු නිශ්චිතව සඳහන් නොකලේ ය. ජාතිකවාදී හැඟීම් ඇවිස්සීමේ මාධ්‍යයක් ලෙස රාජපක්ෂ අතීතයේ දී වක‍්‍ර අකාරයෙන් යුද අපරාධ පිලිබඳව බටහිර බලවතුන් විවේචනය කර ඇත. තම ආන්ඩුව ''ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයකට" ගොදුරු වී ඇතැයි මවා පෑමේ උපායක් ද ඔහු අනුගමනය කරයි.

මෙලෙස මවාපෑම් කලත්, මුවම්මර් ගඩාෆි බලයෙන් පහ කර මරා දැමීම සඳහා පසු ගිය වසරේ එක්සත් ජනපදය ලිබියාව තුල කල මැදිහත්වීම, ඉරානය මත පැනවුනු ආර්ථිකය අබ්බගාත කරවන සම්බාධක, සිරියාවේ ආන්ඩු විරෝධී කැරලිකරුවන්ට බටහිර බලවතුන් පුදන මිලිටරි සහාය හෝ පකිස්ථානයට එල්ල කෙරෙන නීති විරෝධී ඩ්‍රෝන් ප‍්‍රහාර පිලිබඳව රාජපක්ෂ කිසිදු සඳහනක් කර නැත.

යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ මෑත ම සාක්ෂි වලින් සලකුනු කෙරෙන්නේ රාජපක්ෂ ආන්ඩුවේ සාපරාධීභාවය යි. තම කප්පාදු වැඩ සටහනට එරෙහිව කම්කරු පන්තියෙන් මතු වන විරුද්ධත්වය මැඬීම සඳහා එය පොලිස් රාජ්‍ය යාන්ත‍්‍රනය ශක්තිමත් කර හා පුලුල් කර ඇත.

Share this article: