එක්සත් ජාතීන්ගේ ආයතනය ලංකාවේ මානව අයිතීන් පිලිබඳ තවත් යෝජනාවක් සම්මත කරයි

UN body passes further resolution on Sri Lankan human rights

කේ . රත්නායක විසිනි, 2013 මාර්තු 23

ජිනීවා නුවර පැවැත්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල (යූඑන්එච්ආර්සී) රැස්වීමේ දී, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධය පැවැති අවධියේ, ශ්‍රී ලංකාවේ මානව අයිතීන් කඩකිරීම් පිලිබඳව එක්සත් ජනපද-පිටුබලය ලත් යෝජනාව, 21 දා සම්මත කරගන්නා ලදි. මානව අයිතීන් සමග මෙලොව සම්බන්ධයක් නැති එම යෝජනාව වනාහි, එක්සත් ජනපදය හා අනෙකුත් ප්‍රමුඛ බලවතුන්, විශේෂයෙන් ම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව චීනය මත වාරුවීම අවම කිරීම පිනිස පීඩනය යෙදීම මගින් දකුනු ආසියාව තුල සිය අවශ්‍යතා පෙරට ගැනීම සඳහා යොදන රාජ්‍යතාන්ත්‍රික උප්පරවැට්ටියේ කොටසකි.

යූඑන්එච්ආර්සී යෝජනාව සම්මත කරනු ලැබුවේ, යුද අපරාධ පිලිබඳ අලුත් සාක්ෂි ඉදිරිපත්ව තිබූ තතු තුල ය. බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී නාලිකාව, 2009 වසරේ යුද්ධයේ අවසන් දිනවල එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ 12 හැවිරිදි පුතා මිලිටරිය විසින් නීති විරෝධී ලෙස මරා දැමුනේ කෙසේදැයි පෙන්නුම් කල දර්ශන ඇතුලත් වාර්තා චිත්‍රපටයක් විකාශනය කර තිබුනි. දෙමල රැඳවියන් පුලුල් වශයෙන් ලිංගික අපචාරයේ යෙදවීම පිලිබඳ වාර්තාවක් හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් ගොනු කලේ ය. 2011 වනවිටත් එක්සත් ජාතීන්ගේ විශේෂඥ මන්ඩලයක් ප්‍රසිද්ධ කර තිබූ වාර්තාවකින්, මිලිටරි ආක්‍රමනයේ අවසන් සතිවල සිවිල් වැසියන් 40,000 පමන මරා දැමුනු බවට පිලිගත හැකි සාක්ෂි පවතින බව නිගමනය කර තිබුනි.රාජපක්ෂ ආන්ඩුව අතීතයේ කර ඇතුවාක් මෙන් ම අලුත් ම හෙලිකිරීම් ද ගොඩින් ම ප්‍රතික්ෂේප කලේ ය.

මාස ගනනාවක් තිස්සේ තිරයට පිටුපසින් සිදුවූ කේවලයෙන් පසුව, රටවල් 25ක් පක්ෂවත්, 13ක් විරුද්ධව හා 8ක් ඡන්දය දීමෙන් වැලකී සිටිමින් සම්මත කල එක්සත් ජනපද යෝජනාව, පසුගිය වසරේ එම කවුන්සිලය විසින් සම්මත කල යෝජනාවට වෙනස් වූයේ මඳ වශයෙනි. දෙමල බහුතරයක් වෙසෙන උතුරේ පලාත් සභා ඡන්දය පැවැත්වීමට ආන්ඩුව දුන් පොරොන්දුව ද යටිතල පහසුකම් යලි ගොඩනැඟීමේ ''ප්‍රගතිය" ද බිම් බෝම්බ ඉවත් කිරීම හා යලි පදිංචි කිරීම ද එහි ''පැසසුමට" ලක් විය. ඒ අතර ම, ''ජාත්‍යන්තර මානව හිමිකම් නීති හා ජාත්‍යන්තර මානවවාදී නීති උල්ලංඝනය කිරීම් පිලිබඳ චෝදනා ගැන තමන්ගේ ම ස්වාධීන හා විශ්වාස කටයුතු පරීක්ෂන පවත්වන ලෙස" යෝජනාව මගින්රාජපක්ෂ ආන්ඩුවෙන් ඉල්ලා ඇත.

මේ නම්, තමන්ගේ ම යුද අපරාධ පිලිබඳව සොයාබලන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටීම මිස අන් කිසිවක් නොවේ. නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය යෝජනාව විස්තර කලේ, "සෙබලුන් විසින් දස දහස් ගනනක් සිවිල් වැසියන් මරා දැමීම පිලිබඳ රොක් වන සක්ෂි තිබිය දී ගෙන එන ආචාරශීලී රාජ්‍යතාන්ත්‍රික ලඝුලේඛනය" ලෙස ය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මාධ්‍ය ප්‍රකාශනයක් තුල, "උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ (එල්එල්ආර්සී) නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත් මෑතක දී යහ පාලනය හා මානව හිමිකම් මුල්කරගෙන ඇතිවූ සෘනාත්මක වර්ධනයන් ආපසු හරවන ලෙසත්" ඉල්ලා සිටියේ ය. එක්සත් ජනපදය "මෙම වැදගත් කර්තව්‍යය සඳහා ආධාර කිරීමට සූදානමෙන් සිටින්නේ" යයි ඔහු වැඩි දුරටත් පැවසීය.

එල්එල්ආර්සී කොමිසම ආන්ඩුවට සුදුහුනු ගෑමකි. රාජපක්ෂ විසින් 2010 දී එය පත් කලේ, තම පාලනය කෙරෙහි එල්ලවූ විවේචන පසෙකට හරවා යුද අපරාධ වසං කිරීමට ය. එක්සත් ජනපදයෙන් ද විවේචන එල්ල වී තිබුනි. පැරා මිලිටරි කන්ඩායම් නිරායුධ කිරීම, අතුරුදහන්වීම් හා නීතියට පිටතින් සිදුකල ඝාතන පිලිඳව සොයා බැලීම හා දෙමල ධනපති ප්‍රභූව සමග බලය බෙදාගැනීමේ වැඩපිලිවෙලක් වැනි සීමිත යෝජනා එයින් ඉදිරිපත් කෙරුනි. එහෙත් රාජපක්ෂ ආන්ඩුව එම යෝජනා පවා පැත්තකට දැමී ය.

කෙරීගේ ප්‍රකාශය කුහකකමෙන් පිරී ඇත. එක්සත් ජනපදය ඇතුලු ලෝක බලවත්තු එල්ටීටීඊයට එරෙහි යුද්ධයට පිටුබලය දුන්හ. මානව අයිතීන් ගැන විවේචන එල්ල කරන්නට පටන් ගත්තේ මිලිටරි ප්‍රහාරයේ අවසන් මාසවල දී පමනි. රාජපක්ෂට මිලිටරි හා මූල්‍ය ආධාර සැපයූ ප්‍රධාන රට ලෙස චීනය මතු වී ආවේ ය. පසුව, චීනය යටිතල පහසුකම් ගොඩනැඟීමේ ව්‍යාපෘතීන් සඳහා ආන්ඩුව සමග ගිවිසුම් ඇතිකරගත් අතර ඉන්දියානු සාගරයේ වැදගත් නාවික මාර්ග පසෙකින් පිහිටි ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස එක්සත් ජනපදය විසින් හඳුනාගෙන තිබෙන හමුබන්තොට වරාය සංකීර්නය ද ඊට ඇතුලත් ය.

ඉන්දියාව යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කලේ, තම බල වැයික්කියක් ලෙස සලකන කොටසේ ආර්ථික හා මූලෝපායික අවශ්‍යතා පෙරටුකොට ගෙන ය. ඉන්දියානු ආන්ඩුව යෝජනාවේ සැර බාල කිරීමේ තිරයට පිටුපස උපාමාරුදැමීම්වල යෙදී සිටියේ ය. නිදසුනක් ලෙස, එක්සත් ජනපද යෝජනාව තුල, රටට ඇතුල් වීමේ දී එක්සත් ජාතීන්ගේ නියෝජිතයින්ට ''බාධාවකින් තොර ප්‍රවිශ්ටයක්" සැලසීම පිලිබඳ ඉල්ලීම ඇතුලත් විය. මෙය සහ අනෙක් වගන්ති ඉවත් කිරීම වෙනුවෙන් කොලඹ ආන්ඩුව "ඉන්දියාවට ස්තුති කරන" බව කැබිනට් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පැවසීය.

වැඩිපුර පීඩනය යෙදුවහොත් රාජපක්ෂ චීනයේ කක්ෂයට තවත් තුරුලුවනු ඇතැයි යන බිය නිසා ඉන්දියාවට මේ වෙනස්කම් කිරීම අවශ්‍යව තිබුනි. හින්දු පුවත්පත 21 දා මෙසේ වාර්තා කලේ ය: "ශ්‍රී ලංකාවේ මූලෝපායික ක්ෂේත්‍රයන්හි චීන පා සලකුනු තවත් වැඩිවනු ඇති බවට ඉන්දියාවේ ආරක්ෂක අංශයන්හි වැඩෙන කනස්සල්ලක් පැවතුනි." පනිවිඩ හුවමාරු චන්ද්‍රිකාවක් දියත් කිරීම සඳහා මෙරට සමාගම් හා චීනය අතර පවතින සහයෝගය, ආරක්ෂාවට තර්ජනයක් බව ඉන්දියාවේ ජාතික ආරක්ෂක කවුන්සිලය සඳහන් කර තිබේ.

එසේ ම ඉන්දියාව, මෙරට තුලට යූඑන්එච්ආර්සීයේ මැදිහත් වීම සඳහා කෙරෙන ඉල්ලීම්වලට සහාය දීම මගින්, ඉන්දියාවේ ම මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව යොදාගත හැකි පූර්වාදර්ශයක් සපයනු ඇතැයි ගනන් බැලී ය.

දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලන පක්ෂ මෙරටට එරෙහිව ඝෝෂාකාරී උද්ඝෝෂනයක් ගෙන ගියහ. ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (ඩීඑම්කේ) පක්ෂය මෙරටට එරෙහිව දැඩි ස්ථාවරයක් ගත යුතු බව කියා සිටියේ ය. මේ තත්වය තුල නව දිල්ලි ආන්ඩුව කියා සිටියේ, තමන් එක්සත් ජනපද යෝජනා කෙටුම්පතට ප්‍රබල සංශෝධන ගෙන එන බව යි. එහෙත් අවසානයේ ඉන්දියාව කිසිදු සංශෝධනයක් ගෙන ආවේ නැත.

මේ වසරේ යූඑන්එච්ආර්සීයේ සාමාජිකයෙක් නොවුන චීනය, ජිනීවා සමුලුවේ අතුරු සැසිවල දී මෙරටට සහයෝගය දැක්වුවේ ය. ඊට අමතරව 21 දා චීන නියෝජිත ලූ ෆූහි, කොලඹ දී රාජපක්ෂ සමග හමුවක් පැවැත්වීය. එහි දී ඔහු චීනය ජාත්‍යන්තර සංසදයන්හි දී ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට ගරු කල අතර "පදනම් විරහිත චෝදනාවන්ට" විරුද්ධවූ බව කියා සිටියේ ය. බැඳීම් තව දුර සවිමත් කර ගැනීම පිනිස ඔහු, යටිතල පහසුකම් ක්ෂේත්‍රයට අමතරව චීනය වෙනත් ක්ෂේත්‍රවල ද ව්‍යාපෘති ආරම්භ කරන බවට පොරොන්දු විය.

රාජපක්ෂගේ නියෝජිත මහින්ද සමරසිංහ, යෝජනාව ''බෙහෙවින් ආක්‍රමනකාරී සුලු" යයි පවසමින් එය එය එකහෙලා ම ප්‍රතික්ෂේප කලේ ය. ආන්ඩුව දෙමල රැඳවියන් "12,000ක් පුනරුත්ථාපනය" කර ඇති බවත්, පසුගිය වසරේ දී උතුරු පලාත සියයට 27ක ආර්ථික වර්ධනයක් ලඟා කරගෙන ඇති බවත් ඔහු කියා සිටියේ ය.

යථාර්තය නම්, රහසිගත මිලිටරි කඳවුරු තුල රඳවා සිටි ''පුනරුත්ථාපනය" කල සිරකරුවන්, නිදහස් කල පසුව ද මිලටරි බුද්ධි අංශවල නිරන්තර සුපරික්ෂාව යටතේ තබා ඇති බව යි. උතුරු පලාතට ආයෝජන හා සංචාරකයින් ආකර්ෂනය කර ගැනීමට පාලන තන්ත්‍රයේ පාරවල් හා පාලම් ගොඩනැඟීම පදනම්කර ගනිමින් දෙසා බෑ ආර්ථික වර්ධනය පිලිබඳ කතාන්තරය ද එසේ ම නොමඟ යවන සුලු ය. පලාතේ යුද්ධයෙන් විපතට පත් ජනතාවගෙන් බොහොමයක් තවමත් ජීවත් වන්නේ, දුගී භාවයෙන් හා උග්‍ර කෙරුනු මිලිටරි වාඩිලෑමක් යටතේ ය.

රාජපක්ෂ විසින්, යුද අපරාධ පිලිබඳව නැ‍ඟෙන චෝදනා ''බටහිර කුමන්ත්‍රනයක්" ලෙස හංවඩු ගැසී ය. ආන්ඩුව, යූඑන්එච්ආර්සී යෝජනාව බටහිර විරෝධී උද්ඝෝෂනයක් උසිගැන්වීම සඳහා යොදා ගත්තේ ය. අන්ඩුවේ ආධාරකරුවන් 1000ක් පමන 20 දා කොලඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයක නිරත වූහ. අන්තවාදී සිංහල බෞද්ධ කන්ඩායම් ද තමිල්නාඩුවේ පක්ෂවල වර්ගවාදී උද්ඝෝෂන, ඉන්දියානු විරෝධී හා දෙමල විරෝධී මනෝගතීන් උසිගැන්වීම සඳහා ගසා කෑහ.

එවන් වර්ගවාදී ආතතීන් ඇවිස්සීම සමඟ අත්වැල් බැඳගත් ව්‍යාජ බටහිර-විරෝධී හඬගෑම්, ජීවන තත්වයන්ට, රැකියාවන්ට හා වැටුප් මත එල්ල කරන ප්‍රහාර කෙරෙහි කම්කරුවන්, තරුනයින් හා දුගීන් අතර වර්ධනය වන ප්‍රතිරෝධය වෙනතකට හරවා යැවීම පිනිස ආන්ඩුවට තීරනාත්මක ය.

මෙරට අනෙකුත් පක්ෂ, එක්සත් ජනපදය මුලිකත්වය ගත් යූඑන්එච්ආර්සී යෝජනාව පිටුපස පෙල ගැසුනහ.

දෙමල ධනපති පක්ෂවල පෙරමුනක් වන දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) මන්ත්‍රීන්, යෝජනාවට පක්ෂව පාර්ශව ඒත්තු ගැන්නවීම සඳහා ජිනීවා කරා ගමන් ගත් අතර ‍යෝජනාව "වාර්ගිකත්වය නොතකා සියලු ලාංකිකයින්ට වාසි සලසන" බව ඔවුහු කියා සිටියහ. ටීඑන්ඒ උද්ඝෝෂනය කලේ "ප්‍රබල යෝජනාවක්" සඳහා ය. එහි උත්සුකය මානව අයිතීන් සුරැකීම නොවේ. ඔවුන් වෑයම් කරන්නේ, එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ සහාය ඇතිව බලය බෙදීමේ ගිවිසුමක් සඳහා රාජපක්ෂ ආන්ඩුව ඒත්තු ගන්වා ගැනීමට ය. දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (යූඇන්පී) නායක රනිල් වික්‍රමසිංහ, යෝජනාව තුලින් මෙරට ඇතිකර තිබෙන ප්‍රබල අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සර්වපාක්ෂික සමුලුවක් කැඳවන ලෙස ආන්ඩුවෙන් ඉල්ලීය. ඔහු පැවැත්වූ මාධ්‍ය හමුව තුල වික්‍රමසිංහ පසෙකින්, ව්‍යාජ වාම නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුනාරත්න ද වාඩි වී සිටි අතර ආන්ඩුව තමාගේ ම එල්එල්ආර්සී නිර්දේශ ක්‍රියාවට නැඟිය යුතු යයි කියා සිටියේ ය.

එජාපය සමග සන්ධානයකට පැමින තිබෙන තවත් බොරු ''වාම"කන්ඩායමක් වන එක්සත් සමාජවාදී පක්ෂය ද කියා සිටයේ, යූඑන්එච්ආර්සී යෝජනාව, "රාජපක්ෂ තන්ත්‍රයට තීරනාත්මක බලපෑමක් ඇතිකර" තිබෙන බව ය.

තවත් සිංහල, දෙමල හා මුස්ලිම් වර්ගවාදී කන්ඩායම් මෙන් ම යූඇන්පිය සමග පෙලගැසී සිටින මෙම පැරනි වාම සංවිධාන, තමන් අධිරාජ්‍ය ගැති පිලිවෙතක් අනුගමනය කරන බවට එක්සත් ජනපදය හා අනෙකුත් ජාත්‍යන්තර බලවතුන් වෙත නොවරදින සංඥාවක් යවා ඇත.

ලිබියාවට මෙන් ම දැන් මාලි රාජ්‍යයට හා සිරියාවට කොල්ලකාරී ලෙසින් මැදිහත් වීම සඳහා සටන් පාඨය ලෙස යොදාගෙන ඇති මානව අයිතිවාසිකම් පිලිබඳ එක්සත් ජනපදයේ හා අනෙකුත් බලවතුන්ගේ මවාපෑම් කම්කරු පන්තිය විසින් ප්‍රතික්ෂේප කල යුතු ය. මෙම බලවතුන් ම ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ හා ලිබියාවේ සිදුකල යුද අපරාධ සඳහා වගකිව යුතු ය. මේ උදාහරන කීපයක් පමනි. ඒ සමග ම දෙමල ජනතාවට එරෙහිව දිගට ම බලගන්වනු ලබන පොලිස් රාජ්‍ය ක්‍රමවේදයන්ට ද කම්කරුවන් විරුද්ධ විය යුතු අතර උතුරේ හා නැ‍ගෙනහිර පවත්වාගෙන යන මිලිටරි වාඩිලෑම අවසන් කරන ලෙස ඉල්ලා සිටිය යුතු ය.

රාජපක්ෂ තන්ත්‍රයට මෙන් ම අධිරාජ්‍යවාදී බලවතුන්ගේ කුමන්ත්‍රනවලට ද එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග වාර්ගික රේඛාවන් නොතකා එක්සත් වීම සිංහල, දෙමල හා මුස්ලිම් වැඩකරන ජනතාවට ඇති එක ම ඉදිරි මාවත යි. එහි තේරුම ශ්‍රී ලංකා හා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන යි. එය දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක ද ලෝක සමාජවාදයේ ද කොටසක් වන්නේ ය.

Share this article: