රාජපක්ෂ ආන්ඩුව යුද අපරාධ චෝදනා ජාත්‍යෝත්තමවාදය ඇවිස්සීමට යොදාගනිද්දී, විරුද්ධ පක්ෂ ඒ සමඟ පෙල ගැසෙති

වසන්ත රූපසිංහ විසිනි, 2013 මාර්තු 18

මහින්ද රාජපක්ෂ ආන්ඩුව, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධයේ අවසන් දිනවල දී සිදුකල මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (යූඑන්එච්ආර්සී) තුල ඇමරිකාව ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීන් ගෙන යන ගෝට්ටිය අතිශයින් කුහක ය. යුද්ධයෙන් ඝාතනයට ලක් කෙරුනු දහස් ගනනක් දෙමල වැසියන් පිලිබඳ මොනයම්ම හෝ තැකීමක් යුද්ධයට මුල සිට ම උදව් කල මෙම අධිරාජ්‍යවාදීන්ට ඇත්තේ නැත.

ත‍්‍රිවිධ හමුදාවට අනදෙන නිලධාරියා ද වන ජනාධිපති රාජපක්ෂ හා ඔහුගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුව මෙම චෝදනා සම්බන්ධයෙන් දක්වන නරුම ප‍්‍රතිචාර පෙන්නුම් කරන්නේ තමන් සිදු කල අපරාධ පිලිබඳ මොන ම පශ්චාත්තාපයක්වත් ඔවුන්ට නැතිවා පමනක් නොව ඒවා සිදු කල පුද්ගලයින් මුලුමනින් නිදොස්කොට මුදාහැරීමට රාජපක්ෂලා කැප වී සිටින බව යි. රාජපක්ෂ කරමින් සිටින්නේ, දෙමල-සිංහල කම්කරු පන්තිය මේවා පිලිබඳ ස්වාධීන ආස්ථානයක් ගැනීම වැලැක්වීමත්, ඔවුන් තවදුරටත් පටු වාර්ගික රේඛා ඔස්සේ භේදභින්න කිරීමත් සඳහා ඊනියා අධිරාජ්‍ය-විරෝධී පූච්චානම් දොඩවමින් ජාත්‍යෝත්තමවාදය ඇවිස්සීම යි.

රටේ ප‍්‍රධාන ආර්ථික හා දේශපාලනික ක‍්‍රියාවලීන්වල දී, රාජපක්ෂ කටයුතු කලේත් කටයුතු කරන්නේත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට අවැසි හැටියට ය. එහෙත් ඒවා සියල්ල වසන් කිරීමටත් බොරු අධිරාජ්‍ය-විරෝධයක් මවා පෑමටත් රාජපක්ෂ හා ඔහුගේ කෙලතොලු ඇමැතියන් මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධව ජාත්‍යන්තරව ඉස්මතු වෙමින් පවතින චෝදනා හා පිලිගත හැකි සාක්ෂි පිලිබඳ ජප කරන මන්ත‍්‍රය වන්නේ, ඒවා ''එල්ටීටීඊ ඩයස්පෝරාවේ ප‍්‍රචාරක යාන්ත‍්‍රනයේ" හා ''රටට වින කිරීම අරමුනු කරගත් අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රනයක" කොටසක් ය යන්න යි.

එල්ටීටීඊ පාලන ප‍්‍රදේශ තුල සිදුකල සංහාරයෙන් මියගිය දහස් ගනනක් සිවිල් වැසියන් වෙනුවෙන් වගවීමකට සූදානම් නැති රාජපක්ෂ ආන්ඩුව, යුද්ධයෙන් අනාථ වූවන් වෙනුවෙන් කිසිදු සැලකිය යුතු සුභසාධන ව්‍යාපෘතියක් අරඹා නැත. ඒ වෙනුවට, මහජනතාවගේ ඇස්වලට වැලි ගැසීම සඳහා අපරාධවලට සුදුහුනු ගෑමේ නිරතව සිටින එය, එම ප‍්‍රදේශ දේශීය හා විදේශීය ප‍්‍රාග්ධනයට විවෘත කිරීමට දියත් කර ඇති ඊනියා ''සංවර්ධන කටයුතු" ව්‍යාජ ලෙස හුවා දක්වන්නේ ඒවා ''මහජනතාව" වෙනුවෙන් සිදුකරන බවට යි.

එක්සත් ජනපදය, ඉරාකය, ඇෆ්ගනිස්ථානය හා අනෙකුත් රවලට සිදුකරන අපරාධවලට ඇඟිල්ල දිගුකරමින් රාජපක්ෂ මාර්තු 1 දින ඉන්දියාවේ ද හින්දු පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කීවේ, ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිලිබඳ කතා කරන සියල්ලන් ම එසේ කරන්නේ ඔවුන්ගේ ''පව් වසා ගැනීමට" බව යි. ඔවුන්ට එසේ කල හැකි නම් තමන්ට එසේ කල නොහැකි ද යන්න ඔහුගේ මෙම කතාවේ යටි අර්ථය යි. රාජපක්ෂ ආන්ඩුවේ මෙකී කියාපෑම් පලිප්පු දා මහජනතාවට ගිල්ලවීම, ආන්ඩුවේ හොරනෑවල් වන සියලුම විද්‍යුත් හා ලිඛිත ජනමාධ්‍යවල පැය විසිහතරේ කාර්යභාරය යි.

ධනපති එක්සත් ජාතික පක්ෂය සහ නව ප‍්‍රජාතාන්ත‍්‍රවාදී සන්ධානයේ නායක හා හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට රාජපක්ෂගේ උක්ත ප‍්‍රතිචාර සම්බන්ධයෙන් ඇත්තේ හුදු උපායාත්මක වෙනසක් පමනි. යුද අපරාධ සම්බන්ධ පරීක්ෂනයකට රාජපක්ෂ දක්වන තදබල විරුද්ධත්වයට වෙනස්ව එක්සත් ජනපදය ප‍්‍රමුඛ ගෝලීය බලවතුන් සමඟ හවුල් වී ''ජාතිය හා රට" ආරක්ෂා කරගැනීමට ක‍්‍රියා කල යුතු බවට ඔවුහු තර්ක කරති. රාජපක්ෂ ආන්ඩුව මෙන් ම දෙමල මහජනයා මුහුන දුන් අපරාධ හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් පිලිබඳ වචනයක් නොකියන මොවුන් වෙනත් රූපයකින් උඩගෙඩි දෙමින් සිටින්නේ රාජපක්ෂගේ ජපකරන ස්වෝත්තමවාදී වාචාලයන්ට ම ය.

මාර්තු 06 දින පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ ක‍්‍රියාකාරීන් පිරිසක් අමතමින් යූඇන්පී නායකයා කීවේ, රටේ මානව හිමිකම් ''සුරැකීමට" 2006 හා 2007 වසරවල දී රාජපක්ෂ ආන්ඩුව, යූඑන්එච්ආර්සී වෙත පොරොන්දු වූ බවත් එම පොරොන්දු ඉටු නොකිරීම නිසා දැන් රට ''අස්ථාවර" තත්වයට ඇද දමා ඇති බවත් ය. රාජපක්ෂගේ මෙම පොරොන්දු නිසා යූඑන්එච්ආර්සීයට මෙරට තුල ඇඟිලි ගැසීමට අවස්ථාව සැලසී ඇති බවට ඔහු තර්ක කරයි.

එසේ කියාගෙන යන අතරතුර ම වික‍්‍රමසිංහ තමන් රාජපක්ෂ තරම් ම නිර්දය අයුරින් එල්ටීටීඊ සංවිධානය මර්දනය කිරීමට කැපවී සිටි බව කීමට ද අමතක නොකරයි. 2002 සහ 2003 වසරවල තමන් අගමැතිව සිටි කාලයේ දී ජාත්‍යන්තර යුද අපරාධ අධිකරනයට අදාල ගිවිසුමට තමා අත්සන් නොකල බව වික‍්‍රමසිංහ සඳහන් කලේ ය. ''එල්ටීටීඊ සංවිධානය සමග ශ‍්‍රී ලංකා ආන්ඩුව සාකච්ඡා කරමින් සිටීම සහ යුද්ධයක් පවතින අවස්ථාවක වගකිව යුතු නායකයෙකු ලෙස රටක් එවැනි ගිවිසුමකට යටත් කිරීම නිවරැදි නොවන්නේ යැයි" තමන් එය ප‍්‍රතික්ෂේප කරන අවස්ථාවේ සඳහන් කල බව වික‍්‍රමසිංහ කීවේ ය. එහි තේරුම නම්, සටන් විරාමයට හා සාම සාකච්ඡාවලට මුවා වී ගෙන වික‍්‍රමසිංහ ද ගනන් බලමින් සිටියේ, රාජපක්ෂට දෙවැනි නොවන තරමේ යුද අපරාධ මුදාහැරීමටය යන්න යි.

යුද්ධය ආරම්භ කල පක්ෂය ද වන යූඇන්පිය, 2008 වසරේ දී රාජපක්ෂ යුද්ධය යලි ආරම්භ කිරීමේදී එයට පූර්න සහය පිරිනැමූ අතර, එහි දී රාජපක්ෂ ආන්ඩුව ගෝලීය බලවතුන් සමඟ සමීපව කටයුතු කරන තැනට ද වගබලා ගත්තේ ය. ලංකාවේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධ සවිස්තරාත්මක කරුනු සහිතව, 2011 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැංකී මූන් පත්කල විද්වත් කමිටු වාර්තාව ප‍්‍රකාශයට පත් කල විගස ම විපක්ෂ නායකයා, රාජපක්ෂ ආන්ඩුව වෙනුවෙන් බැංකි මූන් හමුවී ''පශ්චාත් යුද කාල පරිච්ජේදයේ දී දේශපාලනික සම්මුතියට යාම සඳහා" ආන්ඩුවට තව කල් ලබා දෙන ලෙස ආයාචනා කිරීම මෙයට එක් උදාහරනයක් පමනි.

දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ව්‍යාජව පෙනී සිටින හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ද මෙම කරුනේ දී අනුයන්නේ ද වික‍්‍රමසිංහගේ පිලිවෙතම ය. යූඑන්එච්ආර්සී යෝජනාවන්ට එරෙහි ජනාධිපති රාජපක්ෂගේ පුහු ගෝසාවන් ප‍්‍රතික්ෂේප කරන ෆොන්සේකා, ඉතා පැහැදිලිව ම, යුද අපරාධ පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා තම එකඟතාව ප‍්‍රකාශයට පත් කර තිබේ. තමන්ගේ මෙහෙයවීම යටතේ හමුදාව සිදුකල ගනන් නැති යුද අපරාධ පිලිබඳව හොඳින් දැනුවත් ෆොන්සේකා මෙවැනි ප‍්‍රකාශයක් කරන්නේ ''රට" හෝ "ජාතිය" මෙම චෝදනාවලින් නිදහස් කරගැනීම සඳහා දිවිහිමියෙන් කැපවෙන බවට දිව්රමිනි. "මානව හිමිකම් කඩකිරීම්" පිලිබඳව ලංකාවට එරෙහිව ව්‍යාජ මෙහෙයුමක් දියත් කර තිබෙන, යුද්ධයට සහය දුන් ගෝලීය බලවතුන් සතුව ඕනෑවටත් වඩා සාක්ෂි දැනටමත් පවතී. එහෙත් ඔවුන් කෙරෙහි පූර්න විස්වාසයක් පලකරන ෆොන්සේකාට අවශ්‍ය වනුයේ, එකී බලවතුන් සමග සහයෝගයෙන් වැඩ කිරීමට ය.

රාජපක්ෂ තන්ත‍්‍රය සමග හවුල්වීමේ ක‍්‍රමයක් වසයෙන් මාර්තු 12 වෙනි දින විපක්ෂ මූලස්ථානයේ දී විශේෂ ප‍්‍රකාශයක් කල යූඇන්පී නායකයා, 2009 දී "ජාත්‍යන්තරයට අප දුන් පොරොන්දු සහ ඇතිකරගත් එකඟතා පදනම් කරගෙන විකල්පයක්" යූඑන්එච් ආර්සී වෙත ඉදිරිපත් කිරීමට යෝජනා කලේ ය. මෙහිලා ආන්ඩුවත් සමඟ සහයෝගී වීමේ අභිප‍්‍රාය තවදුරටත් ප‍්‍රකාශ කරමින් "රටත්-ජනතාවත් බේරා ගැනීම සඳහා අනුගමනය කල යුතු ක‍්‍රියාමාර්ග ඇතුලත් එකඟතා ගිවිසුමක්" ආන්ඩුව සමඟ අත්සන් කිරීමට තමන් සූදානම් බව ද ප‍්‍රකාශ කලේ ය.

යුද්ධයේ දී ලංකා මිලිටරිය වෙත අවිආයුධ හා අනෙකුත් රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමේ සහායන් පිරිනමමින් රාජපක්ෂ පාලනය හා සහයෝගී වූ ඉන්දියාව හා එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර බලවතුන් මිලිටරියේ අපරාධ පිලිබඳ නිශ්චිතව ම දැනුවත්ව සිටි අතර ඒවා පිලිබඳව මුනිවත රකිමින් එකී අපරාධ කරගෙන යාමට අනුබලය සැපයූහ. එහෙත් යුද්ධයේ අවසන් සති වෙද්දී චීන පාලන තන්ත‍්‍රය ඉහල ම යුද ආධාර සපයමින් ලංකාව සමඟ සම්බන්ධතා තර කර ගැනීමට ඉදිරියට ඒමත් සමඟ එකී බලවතුන් මානව හිමිකම් කඩකිරීම ගැන කොලඹ ආන්ඩුවට විවේචන ඉදිරිපත් කරන්නට පටන් ගත්තේ චීනයෙන් ඈත් වන ලෙසට බලපෑම් කිරීමක් ලෙස ය. එම බලවතුන්, වෙසෙසින් ම එක්සත් ජනපදය, චීනය සමග සම්බන්ධතා අඛන්ඩව ගෙන යාම පිලිබඳව රාජපක්ෂ ආන්ඩුව සමග උරන වී මානව හිමිකම් ඝෝෂාව තියුනු කර ඇත.

මෙහි කේන්ද්‍රයේ පවතින්නේ, එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමාගේ ''ආසියාවට හැරීම" නම් වන චීනය වැටලීමේ එල්ලයෙන් යුත් ආක‍්‍රමනකාරී පිලිවෙත යි. මෙකී පිලිවෙතේ එක් මූලික ලක්ෂනයක් වන්නේ, කලාපයේ සෑම රටක් ම පාහේ එක්සත් ජනපදයේ අවශ්‍යතා වෙනුවෙන් චීනයේ මැදිහත්වීම්වලට එරෙහිව පිහිටුවීම යි. රාජපක්ෂ පාලනය ආර්ථික කාරනාවල් මුල් කරගනිමින් සීමිත ආකාරයකින් වුව චීනය දෙසට නැඹුරු වී තිබීම එක්සත් ජනපදයේ පිලිවෙත හා ගැටෙයි. එක්සත් ජනපදය හා යුරෝපීය බලවතුන්ගේත් හා මෙරට ධනපති පන්තියේත් සැලකිය යුතු කොටසකගේ අවශ්‍යතාවන් නියෝජනය කරන වික‍්‍රමසිංහ හා ෆොන්සේකා ඇතුලු පිරිස් කල්පනා කරන්නේ, රාජපක්ෂගේ අධිරාජ්‍ය විරෝධී පූච්චානම් තමන්ට අවාසියක් වනු හැකි කරුනක් වසයෙනි. එබැවිනි, ඔවුන් රාජපක්ෂට යූඑන්එච්ආර්සී යෝජනා සමඟ සහයෝගීව කටයුතු කිරීමට යෝජනා කරන්නේ.

වික‍්‍රමසිංහ හා ෆොන්සේකා මෙලෙස ධනපති පන්තියේ අවශ්‍යතාවන් වෙනුවෙන් වෙහෙස නොබලා කටයුතු කරන අතරේ ඔවුන්ට සලුපිලි ඇන්දීමේ කටයුත්ත බාරගෙන ඇත්තේ මූලික වසයෙන් ම නව සමසමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) ඇතුලු ව්‍යාජ වම්මුන් ය. වික‍්‍රමසිංහ සමග ''විපක්ෂයේ විරෝධය" නමින් හවුලකට ද එලැඹ සිටින නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න, වික‍්‍රමසිංහට "ලිබරල්" සාටකයක් පලඳවමින් මෙරට කම්කරු පීඩිත මහජනයා යූඇන්පියට ගාල් කර දීමේ කපුකම ඉෂ්ට කරමින් සිටියි. ධනපති පාලනය රැකීමේ මෙම හවුල තවදුර දිගේලි කරමින් මාර්තු 14 වෙනි දින නිකුත් කල ප‍්‍රකාශයකින් කරුනාරත්න අන්ඩුවෙන් ඉල්ලා සිටියේ, "රටේ ස්වෛරීත්වයට හානිකරමින් ජාත්‍යන්තර මැදිහත්වීමක් වැලක්වීමට ඇති එක ම ක‍්‍රමය ලෙස....උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂමේ යෝජනා ඉකමනින් ක‍්‍රියාත්මක කිරීමට 'සර්ව පාක්ෂික සම්මේලනයක්' කැඳවන්න"යි යනුවෙනි.

අධිරාජ්‍යවාදීන් හා ඔවුන්ගේ දේශීය නියෝජිතයන්ගේ ඒ හෝ මේ උපාමාරු දැමීම්වලට කම්කරු පන්තිය ගැටගැසීමත් ඔවුන් ස්වෝත්තමවාදී උගුලේ සිරකර ඔවුන් බේද භින්න කිරීම කම්කරු පන්තිය තුල පාරාජිකා වී සිටින නසසප හා එසප වැනි ව්‍යාජ වම්මුන්ගේ එක ම කර්තව්‍ය බව මෙයින් පැහැදිලි වේ.මොවුන් බාරගෙන ඇති මෙහෙවර, ධනවාදයේ දිග් ගැස්සුන අර්බුදය ගැඹුරු වෙත් ම ලෝක ගෝලයේ සෑම අස්සක් මුල්ලක් පුරාම නව වටයකින් උත්සන්න කෙරෙන අධිරාජ්‍යවාදී ප‍්‍රහාර හමුවේ කම්කරුවන් නිරායුධ කිරීම යි.

සිංහල දෙමල කම්කරු පන්තියේ සැබෑ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් සුරැකෙනු ඇත්තේ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහය ලැබ සිංහල, දෙමල කම්කරු පන්තියේ එකමුතුවෙන් ගොඩනඟන ශ‍්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් තුල දී පමනක් බව මෙයින් සනාථ වන සත්‍යය යි. එම ඉදිරි දර්ශනයට සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය ම පමනි.

Share this article: