වෙනිසියුලාවේ "බොලිවාරියානු" විප්ලවයේ අර්බුදය හා කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය

The crisis of Venezuela’s "Bolivarian" revolution and the political independence of the working class

බිල් වෑන් ඕකන් විසිනි, 2013 මැයි 21

වෙනිසියුලාවේ තියුනු ජනාධිපතිවරනයෙන් මසකට පසු එරට තවමත් පවතින්නේ දේශපාලන අර්බුදයක ය. සිය ස්වයං-ප්‍රකාශිත "බොලිවාරියානු විප්ලවය" හරහා වසර 14ක් රට පාලනය කොට පසුගිය දා මියගිය හියුගෝ චාවේස්ගේ අහුලාගත් උරුමක්කාරයා වන නිකොලස් මදුරෝගේ ජයග්‍රහනයෙන් පසුව එරට දක්ෂිනාංශික විපක්ෂය, වොෂින්ටනයේ ඔබාමා පරිපාලනයේ පිටුබලය සහිතව මැතිවරනයේ වලංගුභාවයට හා ජනාධිපති ලෙස මදුරෝ පත්වීමෙහි සුජාතභාවයට දැඩි විරෝධය පලකරනු දැකගත හැකි ය.

2000 වසරේ දී මහජන ඡන්දය නිෂ්ප්‍රභ කරමින්, තේරී පත් නො වුනු ජනාධිපතිවරයෙක් බලයේ ඉන්දවූ එක්සත් ජනපද පාලක සංස්ථාපිතයකින්, සහ ඡන්දයෙන් තේරී පත්වුනු චා‍වේස් ආන්ඩුව -වොෂින්ටනයේ පිටුබලය සහිතව- 2002 දී කුමන්ත්‍රනයකින් බලයෙන් පහකිරීමට උත්සාහ දැරූ වෙනිසියුලානු ධනපති පන්තියේ දක්ෂිනාංශික නියෝජිතයන්ගෙන් එන මෙම අභියෝග අත්‍යන්තයෙන් නරුම හා ප්‍රතිගාමී වේ.

පාවිච්චි කල ඡන්ද මිලියන 15ට ආසන්න ප්‍රමානයෙන් යන්තම් කිහිප ලක්ෂයකින් පමනක් මදුරෝ සිය දක්ෂිනාංශික ප්‍රතිවාදී හෙන්රික් කැප්රිල්ස් පරාජය කලේ ය. ඡන්ද වංචා හෝ මැතිවරන සොරාගැනීමක් පිලිබඳ පිලිගත හැකි සාක්ෂි දක්ෂිනාංශය විසින් ඉදිරිපත් කර නැත. සිදුවූ බවට දක්ෂිනාංශය චෝදනා කල ප්‍රතිඵල වංචාවන්ට එරෙහිව මහජනයා වීදිවලට කැඳවීමට ඔවුන් දැරූ උත්සාහයන් ජනනය කලේ, හුදෙක් විසිරුනු විරෝධතා මෙන් ම නව දෙනෙකු මරා තවත් කිහිප දෙනෙකුට තුවාල සිදුකල ෆැසිස්ට් නඩවල ප්‍රහාර මාලාවක් පමනි.

ඒ අතර ම දක්ෂිනාංශය හෙලා දැකීම් හා කුමන්ත්‍රන ප්‍රයත්නයක් පිලිබඳව මදුරෝ හා චාවේස්වාදී ව්‍යාපාරය නගන චෝදනා මගින්, මොනයම්ම හෝ ආකාරයෙන් ආන්ඩුවට පක්ෂපාතී විශාල මහජන රැල්ලක් ඇතිකොට නැති බවද පැහැදිලි ය. 2002 අප්‍රේල් මාසයේ දී සැබෑ කුමන්ත්‍රන ප්‍රයත්නය පරාජය කිරීමේ දී තීරනාත්මක භූමිකාවක් ඉටුකල ස්වයංසිද්ධ මහජන බලමුලු ගැන්වීමට ඉඳුරා ම වෙනස් තත්වයකි, මේ.

මැතිවරන ප්‍රතිඵල මගින් මතු කරන ප්‍රමුඛ දේශපාලන ප්‍රශ්නය වන්නේ, පසුගිය ඔක්තෝබරයේ පැවති ජනාධිපතිවරනයේ දී බලයේ සිටි අපේක්ෂක චාවේස්, දක්ෂිනාංශයේ අපේක්ෂක කැප්රිල්ස් සියයට 55ට 44ක පරතරයකින් ජරාජය කල අතර අප්‍රේල් 14 ඡන්දයේ දී මදුරෝ එම අපේක්ෂකයා ම යන්තම් සියයට 1.7කින් පමනක් අභිබවන මට්ටමට ඡන්දයේ තියුනු මාරුවක් ඇතිවීම පැහැදිලි කරන්නේ කෙසේ ද යන්න යි.

මෙය හුදෙක් චාවේස්ගේ මරනයට හෝ නැසීගිය ආඥාපතියාගේ ම වර්ගයේ ජනතාවාදී ආකර්ෂනය ප්‍රදර්ශනය කිරීමට ඔහුගේ "පුත්‍රයා" ලෙස තරඟ කල මදුරෝගේ අසාර්ථකත්වයට ආරෝපනය කරනු ලැබිය නො හැකි ය.

ඒ වෙනුවට සිදුවූයේ වෙනිසියුලානු කම්කරු පන්තියට තමන්ගේ ම ස්වාධීන මහජන පක්ෂයක් නොමැති තතු තුල, කම්කරුවන්ගේ හා අනෙකුත් පීඩිතයන්ගේ පුලුල් ස්ථර අතර "බොලිවාරියානු" ආන්ඩුව කෙරෙහි වැඩෙන විරුද්ධත්වය, දක්ෂිනාංශයට ලැබුනු විරෝධතා ඡන්දයක් ලෙස ප්‍රකාශ වීම යි.

මෙම මහජන විරෝධයේ මූලාශ්‍ර කිසිසේත් දැකගත නොහැකි නො වේ. ලතින් ඇමරිකාවේ ඉහල ම උද්ධමන රේට්ටුව හා පසුගිය පෙබරවාරියේ සියයට 31.75කින් මුදල අවප්‍රමානය කිරීම සමගින් කම්කරුවන්ගේ සැබෑ වැටුප් කැපීම බද්ධ වී තිබේ. වෙනිසියුලාවේ තෙල් ආදායමෙන් කොටසක් ජනගහනයේ වඩාත් ම පීඩිත කොට‍ස්වලට යලි බෙදාහැරීම හැකියාව ඇති කල මහජන සමාජ සහනාධාර මෙහෙයුම් ඇතුලු සමාජ සේවා ඛාදනය වී තිබේ.

තව ද, ආන්ඩුව හා පාලක වෙනිසියුලානු එක්සත් සමාජවාදී පක්ෂය (පීඑස්යූවී) තුල දූෂනය සහ තවමත් සියයට 71ක් පුද්ගලික අංශය සතුව පවතින වෙනිසියුලානු ආර්ථිකයෙන් සැලකිය යුතු පදාසයක් පාලනය කරන මූල්‍ය ප්‍රභූතන්ත්‍රයේ හා බැංකුවල වාර්තාගත ලාභ පිලිබඳව වර්ධනය වන වැටහීමක් පවතී.

වැඩවර්ජන හා විරෝධතා අපරාධ ලෙස හංවඩු ගැසීම සහ අවලංගු වී බොහෝකල් ගතව ඇති-සේවා කොන්ත්‍රාත්තු ගැන සාකච්ඡා කිරීමට ආන්ඩුව ප්‍රතික්ෂේප කිරීම කෙරෙහි කෝපය මෙන් ම, තම අවශ්‍යතා පාලක පක්ෂයේ අවශ්‍යතාවලට යටත් කිරීමට කැපවී සිටින, නිල වසයෙන් ආන්ඩුවට සම්බන්ධ නිලධරයන් කෙරෙහි වෛරය, සංවිධිත කම්කරු පන්ති කොටස් අතර පවතී.

මදුරෝ හා අනෙකුත් චාවේස්වාදී නායකයින්, මෙම කොන්දේසි යටතේ, ආන්ඩුවේ විරුද්ධවාදීන්, "ෆැසිස්ට්වාදීන්" හා අධිරාජ්‍යවාදයේ ආධාරකරුවන් ලෙස හෙලා දැක ඇත්තේ, වෙනිසියුලානු ධනපතියන්ගේ අනවරත සහයෝගය දිනාගැනීමටත් විදේශීය ප්‍රාග්ධනය සමග ලාභදායි ගනුදෙනු සඳහා වැඩ කරන අතරතුර ය. මදුරෝට ඡන්දය දීමට අපොහොසත් වූ රාජ්‍යයට අයත් ව්‍යවසායවල කම්කරුවන් රැකියාවලින් පහ කරන බවට තර්ජන එල්ල කෙරෙතැයි වාර්තා වී ඇත.

ලතින් ඇමරිකානු හා ජාත්‍යන්තර "වාම" කොටස් ප්‍රතිචාර දක්වා ඇත්තේ ද එම පන්නයට ම ය. කල් දැමිය නො හැකි කර්තව්‍ය වන්නේ චාවේස්වාදී මෙන්ම දක්ෂිනාංශික යන වෙනිසියුලානු ධනේශ්වර පාලක පන්තියේ සියලු කොටස්වලට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම ය යන පාඩම මැතිවරන ප්‍රතිඵලවලින් උකහා නො ගන්නා ඔවුහු, වෙනිසියුලානු ආන්ඩුවට කොන්දේසි විරහිත සහාය හා වෙනිසියුලානු කම්කරුවන් මදුරෝගේ නායකත්වයට යටත් කිරීමට ඉදිරිපත්ව සිටිති.

දක්ෂිනාංශය ශක්තිමත් කිරීම පිලිබඳව කම්කරු පන්තියට දොස් පවරන ඔවුහු ඊට ප්‍රතිචාර ලෙස මර්දනය ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලති.

මෙම රැල්ලේ උදාහරනයක්, බ්‍රසීලයේ මූවිමෙන්තෝ නගාකාඕ දා නගාකාඕ (එම්එන්එන්) නමැති කන්ඩායම තුලින් සොයාගත හැක.

වෙනිසියුලානු මැතිවරනය හමුවේ එම්එන්එන් සිය වෙබ් අඩවියේ ලිපි දෙකක් පලකර තිබේ. "වෙනිසියු‍ලාවේ පන්ති අරගලය: අධිරාජ්‍යවාදය සමග වැඩෙන ගැටුම" යන හිසින් යුතු පලමුවැන්න චාවේස්වාදී ඡන්ද තියුනු ලෙස අඩුවීම කෙරෙහි සමස්ත දෝෂාරෝපනය "ආන්ඩුව අස්ථාවර කිරීමට හා මැතිවරනයේ ප්‍රතිඵලය මත බලපෑම් කිරීමට අධිරාජ්‍යවාදය ඉටුකල කැත හා ක්‍රමානුකූල ප්‍රයෝගයක්" මත පටවයි.

වසර ගනනාවක් වෙනිසියුලාව පීඩාවට පත්කර ඇති රටේ විදුලි සැපයුම ඇනහිටීම් වනාහි, නම් නොකල ආන්ඩුවේ විරුද්ධවාදීන්ගේ "විදුලිබල යුද්ධයක" හා "කඩාකප්පල්කාරී ක්‍රියාවන්ගේ" ප්‍රතිඵලය ය යන මදුරෝගේ චෝදනාව එම ලිපියේ අවිවේචනාත්මකව උපුටා දක්වමින්, ජනසතු කරන ලද කර්මාන්තවල පැරනි හිමිකරුවන්ට නො මසුරුව වන්දි ගෙවීමට හා වෙනිසියුලානු හා විදේශ බැංකුවල ලාභ තර කිරීමට ධනය හරවා යවන ලද තතු තුල යල්පැන ගිය යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා ප්‍රමානවත් සම්පත් ආයෝජනය කිරීමට ආන්ඩුව අපොහොසත් වීමේ කාරනය නොතකා හරී.

මදුරෝගේ නව ආන්ඩුව ඊට ප්‍රතිචාර වශයෙන්, විදුලිබල කර්මාන්තය එරට මිලිටරියේ අධීක්ෂනය යටතට පත් කරයි. "ස්වදේශික ආරක්ෂාව" යන සටන් පාඨය යටතේ මදුරෝ නිවේදනය කො‍ට ඇති නවතම "මෙහෙයුම" මගින්, ස්වේච්ඡා හමුදාව හා ජාතික ආරක්ෂක භටකායන් ස්වදේශීය පොලිස්කාරකමට කැඳවෙනු ඇත.

එම්එන්එන් සම්බන්ධයෙන් ගත්කල එවැනි පියවර සාදරයෙන් පිලිගනු ලැබිය යුතු ය. කරකස්හි විරෝධතා තහනම් කිරීමට මදුරෝ ගත් පියවර ඔවුන් හුවා දක්වන්නේ, එසේ නොවුන හොත් "ඇති විය හැකි නව ගැටුම් ගිනිය නොහැකි ප්‍රතිඵල සහිත අස්ථාවරත්වයකට දොර විවර කරනු ඇතැ"යි කියා සිටිමිනි. වෙනත් වචනවලින් කිවහොත්, ඔවුන් විශ්වාසය තබන්නේ කම්කරු පන්තියේ ස්වාධීන ශක්තිය මත නො ව රාජ්‍යයේ මර්දනකාරී හමුදා මත ය.

"මදුරෝ ඉස්මතු වී ඇත්තේ කම්කරු පන්තියෙන් හා වෘත්තීය සමිති ව්‍යාපාරයෙනි. චාවේස්වාදයේ ඉතිහාසයේ පලමු වතාවට නව අවධියක් සනිටුහන් කරමින්, කම්කරුවෙක් සන්නද්ධ හමුදාවල පාලනය අතට ගනී" යන තර්ක ඉදිරිපත් කරමින් "මදුරෝ ආන්ඩුව සමග උපායාත්මක එක්සත්භාවයේ පිලිවෙතක්" සාධාරනීකරනය කිරීමට ලිපියෙන් උත්සාහ දරයි.

බ්‍රසීලයේ ක්‍රියාත්මකව සිටින, තමන් සමාජවාදී හා විප්ලවවාදී යයි කියාගන්නා සංවිධානයක් එවැනි ප්‍රකාශයක් කිරීම ලතින් ඇමරිකාවේ සුලු ධනේශ්වරයේ ප්‍රගාඪ දේශපාලන පීලිපැනීම හා අවස්ථාවාදය පිලිබඳ නිදර්ශනයකි. සියල්ලට ම පසු 2003 සිට 2011 දක්වා බ්‍රසීලයේ ද "කම්කරු පන්තියෙන් හා වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් පැමිනි" ජනාධිපතියෙක් සිටියේ ය. බ්‍රසීල ප්‍රාග්ධනයේ සහ බ්‍රසීල කම්කරුවන්ගේ ශ්‍රමයෙන් උකහාගත් ලාභ වාර්තාගත ලෙස ඉහල යන තතු තුල ලුවිස් ඉනේෂියෝ ලූලා දා සිල්වා, දශක දෙකක ආඥාදායකත්වයක් ගෙන ගොස් තිබුනු මිලිටරියට අත නොතැබී ය.

අධිරාජ්‍යවාදයෙන් හා වෙනිසියුලානු දක්ෂිනාංශයෙන් එන තර්ජනයකට පිලිතුර "කම්කරු පන්තික" ජනාධිපති හා ඔහු "පාලනය" කරන මිලිටරිය වටා රැලි වීම ය යන්න අවම වසයෙන් කියතොත් දේශපාලනිකව නොමග යවන සුලු ය.

ආන්ඩුව මත තීරනාත්මක පාලනය ද එහි දේශපාලන තනතුරුවලින් විශාල ප්‍රමානයක් ද දරන්නේ, හිටපු පැරෂුට් සේනාංක කර්නල් හියුගෝ චාවේස් ද අයත් වූ වෙනිසියුලානු මිලිටරිය යි. කුමන්ත්‍රනයක් සිදුවන්නේ නම්, එය පැමිනෙන්නේ චාවේස්වාදයේ මෙම දේශපාලනික කුලුනෙන් වන අතර වෙනිසියුලානු පිනෝචේ ඉස්මතු වනු ඇත්තේ "බොලිවාරියානු" හමුදා නිලධරය තුලිනි. එම්එන්එන් විසින් ඉදිරිපත් කරන මාවත එවැනි තර්ජනයක් ඉදිරියේ වෙනිසියුලානු කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුධ කිරීම සඳහා සේවය කරයි.

දේශපාලනික යතාර්ථය නම්, පසුගිය කාලපරිච්ඡේදය පුරා දිනාගත් සමාජ ජයග්‍රහන ආරක්ෂා කරගැනීමේදී හා දක්ෂිනාංශික කුමන්ත්‍රනයක් පරාජය කිරීමේ දී වෙනිසියුලානු කම්කරුවන්ට පදනම් විය හැකිවන්නේ තමන්ගේ ම ස්වාධීන ශක්තිය මත පමනක් බව යි. පාලක පීඑස්යූවී පක්ෂයට හා මදුරෝ ආන්ඩුවට කම්කරුවන් දේශපාලනිකව ගැටගැසී සිටින තාක් දුරට ඔවුන් ඉහත සඳහන් කිසිවක් කිරීමට නොහැකි තත්වයක සිටිනු ඇත.

මේ සම්බන්ධව ගත්කල එම්එන්එන් ලිපිය ප්‍රකෝපකාරී හඬක් නඟයි. "මදුරෝ සමග පෙරමුනක්" හෙවත් කම්කරු පන්තිය හා ධනපති ආන්ඩු අතර මහජන පෙරමුනක් වෙනුවෙන් කරුනු දක්වන ඔවුහු, එවැනි පෙරමුනකට විරුද්ධ වන ඕනෑම අයෙකු හෙලා දැකීමට ඉදිරිපත් වෙති.

"මදුරෝට ඡන්දය ප්‍රකාශ කරන ලෙස ආයාචනා කොට සිය අත් අපිරිසිදු කර ගැනීම තෝරා නො ගත්තවුන් ‘ශුද්ධවන්තයින්’ ලෙස" එම ලිපිය මගින් හෙලා දකී. "මෙය වනාහි වෙනිසියුලාවේ ක්‍රියාකාරී වන ඊනියා ‘ට්‍රොට්ස්කිවාදීන්’ බොහොමයක් විසින් පෙරටුකොටගත් ආස්ථානයකි. ප්‍රායෝගිකව ඔවුහු කැප්රිල්ස් හා ඔහුගේ කුමන්ත්‍රන සහකරුවන්ගේ උපකරනයක් ලෙස ක්‍රියාත්මක වෙති."

මෙහි දී මහජන පෙරමුනු කාලපරිච්ඡේදයේ දී කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා අරගල කල ට්‍රොට්ස්කිවාදීන් හා අනෙකුත් අය ෆැසිස්ට්වාදීන් හා අධිරාජ්‍යවාදයේ ඒජන්තයින් ලෙස හෙලා දුටු ස්ටැලින්වාදයේ භාෂාව යලි පන ගන්වා තිබේ.

එම්එන්එන් සිය දෙවන ලිපියේ දී වෙනිසියුලාව සමාජවාදය කරා ලඟා වීම පිලිබඳව මදුරෝ සිය ආරම්භක කතාවේ දී කල පූච්චානම් කරගසා ගනියි. එම කතාවේ දී ම මදුරෝ වෙනිසියුලානු ධනපතියන්ට සිය "හස්තය දිගු කොට" ඇත්තේ කෙසේදැයි යලි මතක් කලේ ය. විදේශීය ප්‍රාග්ධනය විසින් චීන ශ්‍රමය උපරිමයෙන් සූරාකන මධ්‍යස්ථානයක් වන චීනයේ ගුවැං‍ඩොං පලාතේ ආදර්ශය "අතිශය සිත් ගන්නා සුලු" බව සඳහන් කරමින් සිය ආන්ඩුවත් විශේෂ ආර්ථික කලාප ඇති කිරීමට ක්‍රියා කරමින් සිටින බව ඔහු නිවේදනය කලේ ය.

දිලිඳු නිවහන් ප්‍රදේශ මත සිය දේශපාලන ආධිපත්‍යය තහවුරු කර ගැනුමට හා රජයට හිමි ව්‍යවසායන්හි කම්කරු සටන්කාමිත්වය මැඩීමට, වෙනිසියුලානු ආන්ඩුව විසින් නිර්මානය කරන ලද ප්‍රජා මන්ඩල (consejos comunales) හා කම්කරු මන්ඩල (consejos de trabajadores), බලය ගැනීම සඳහා කම්කරුවන් බලමුලුගැන්වීමේ ස්වාධීන සංවිධාන ලෙස, මාක්ස් යෝජනා කල කම්කරු මන්ඩල සමග සමාන කිරීමට ලිපියෙන් උත්සාහ දරා ඇත. මෙම ව්‍යාජ තර්කය මත පදනම් වෙමින් මදුරෝ සියලු ධනේශ්වර ව්‍යවසායයන් අස්වාමික කො‍ට පවත්නා රාජ්‍යය විනාශ කොට එම මන්ඩල පදනම් කරගෙන පාලනය කරනු ලැබීමේ විභවය ලිපියෙන් ඉස්මතු කර තිබේ.

මෙහි කිසි අලුත් දෙයක් නැත. එය ලතින් ඇමරිකාවේ ද ජාත්‍යන්තරව ද සුලු ධනේශ්වර වාමාංශය හා පැබ්ලෝවාදී සංශෝධනවාදී ප්‍රවනතා විසින්, ආජන්ටිනාවේ පෙරෝන්වාදය, ඇල්ජීරියාවේ එෆ්එල්එන් හා කියුබාවේ කස්ත්‍රෝවාදය දක්වා විහිදී යන ධනේශ්වර ජාතිකවාදී ධාරා පිලිබඳව ඇති කරන ලද ඒ හා සමාන මිථ්‍යාවන් ප්‍රතිචක්‍රීයකරනයක් පමනි. කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කරන මේ සියලු ප්‍රවනතා විප්ලවය මෙහෙයවීමට ආඥාපතියෙක් සොයති.

මදුරෝ සමාජවාදී විප්ලවයක් ක්‍රියාත්මක කිරීම ගැන එම්එන්එන් වෙත කවර මිථ්‍යාවක් තිබුනත් බ්‍රසීල ධනේශ්වරය ඒවා බෙදාහදා ගන්නේ නැත. බ්‍රසීලය මැතිවරනයෙන් පසු මදුරෝගේ ප්‍රථම විදේශ නැවතුම්වලින් එකක්වූ අතර ජනාධිපති දිල්මා රවුසෙෆ්ගෙන් මදුරෝට උනුසුම් රාජ්‍ය පිලිගැනීමක් ලැබුනි. වෙනිසියුලානු වෙලඳපොල මූලෝපායිකව තීරනාත්මක බව දැකගන්නා බ්‍රසීලියානු ඔ‍දේබ්‍රෙෂ්ට් ව්‍යාපාර ජාලය හා බ්‍රසීලියානු ප්‍රාග්ධනයේ අනෙකුත් කොට‍ස් සමග මදුරෝ මෙම සංචාරයේ දී ඩොලර් මිලියන ගනනක නව කොන්ත්‍රාත්තු ගැන සාකච්ඡා කලේ ය.

වෙනිසියුලාව පිලිබඳ එම්එන්එන්හි ආස්ථානයේ සිත්ගන්නාසුලු දෙය වන්නේ මෙම සංවිධානය සිදුකොට ඇති ආස්ථාන වෙනස යි. 2009 තරම් මෑතක දී මෙම සංවිධානය ම "ඊනියා බොලිවාරියානු විප්ලවය, ෆැසිස්ට් තන්ත්‍රයක් දෙසට පියවර ගනිමින් සිටින සත්‍ය වසයෙන් ම බොනපාට්වාදී ආඥාදායක ප්‍රහසනයක්" යයි ලිවීය.

අතරමැදි වසරවල දී වෙනස් වී ඇත්තේ කුමක් ද? ලෝක ධනේශ්වරයේ දිග්ගැස්සුනු අර්බුදය හා ජාත්‍යන්තර පරිමානව පන්ති අරගලයේ වර්ධනය තමන් වාමාංශික, සමාජවාදී හා ට්‍රොට්ස්කිවාදී යයි පවා කියාගන්නා දේශපාලන සංවිධානවල සමස්ත ස්ථරයක් මත නිශ්චිත බලපෑමක් ඇති කොට තිබේ.

එවැනි ප්‍රවනතාවක්, 20 වන ශතවර්ෂයේ ගමන් මාවතේ ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ද පසුගිය 60 වසර පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ද මූලෝපායික අත්දැකීම් වෙනුවට අත්‍යන්තයෙන් ම ජාතිකවාදී හා උපායාත්මක ස්වභාවයේ ගනන්බැලීම් මත පදනම් වන තාක් දුරට, අනිවාර්යයෙන් ම තියුනු පන්ති පීඩනයන්ට යටත්ව දේශපාලනික වැරැදි හා පාවාදීම් සිදුකිරීමට නැඹුරුවීමේ හැකියාව පවතී.

එවැනි දිශානතියක් වෙනුවෙන් ගෙවීමට සිදුවන බිහිසුනු දේශපාලනික වන්දිය වන්නේ "තමන්ගේ ම" පාලක පන්ති‍වල අවශ්‍යතා සමග එකපෙලට සිටින ලෙස තමන්ගේ දේශපාලන ගමන මාරු කිරීමට සිදු වීම යි. වෙනිසියුලාව පිලිබඳ එම්එන්එන් ඉදිරිදර්ශනයේ දක්නට ලැබෙන අන්තරාය එය යි.

Share this article: