ප්‍රධාන බලවතුන් අතර බෙදීම් ජී7 රැස්වීම අරක් ගනියි

Divisions between major powers dominate G-7 meeting

නික් බීම්ස් විසිනි , 2013 මැයි 13

ලන්ඩන් නගරය අසල සති අන්තයේ පැවැත්වුනු ජී7 කන්ඩායමේ මුදල් ඇමතිවරුන්ගේ රැස්වීම, ආර්ථික පිලිවෙත මුල්කරගෙන ගැඹුරුවන මතභේද හා ලෝකයේ ප්‍රධාන මහ බැංකු වල “ප්‍රමානාත්මක ලිහිල්කිරීමේ” මූල්‍ය ප්‍රතිපත්තීන්ගේ ඇඟවුම් පිලිබඳ සන්තාපය මගින් සලකුනු කරයි.

ආර්ථික පිලිවෙත සම්බන්ධ මතභේද හටගෙන ඇත්තේ, ගෝලීය මූල්‍ය අර්බුදය පැනනැඟී වසර පහක් පමන ගතව තිබියදී ද ලෝක ආර්ථිකය තිරසාර ප්‍රකෘතියක කිසිදු සලකුනක් නොපෙන්වීම පමනක් නොව, ගැඹුරු වන පසුබෑමේ ප්‍රවනතා ඉස්මතුව තිබීමේ කාරනය මගින් තියුනු වීම මතය.

මෙය තුඩුදී ඇත්තේ, බ්‍රිතාන්‍ය, එක්සත් ජනපදය, ඉතාලිය, කැනඩාව, ජර්මනිය, ප්‍රන්සය හා ජපානය යන ජී-7 කන්ඩායමේ සෑම බලවතෙකුම වඩ වඩාත් විවෘත ලෙස හා ආක්‍රමනකාරී ලෙස තමන්ගේම ජාතික අවශ්‍යතා පිලිබිඹු කරන න්‍යායපත්‍රයක් වෙත ‍යොමුවීමට ය.

වොෂින්ටනයේදී ජී-20 රැස්වීම පවත්වා යාන්තම් මාසයක් ඉක්ම යද්දී තරමක් මවිතකාරී ලෙස පැවැත්වූ රැස්වීම කැඳවන ලද්දේ ජී-7 වත්මන් සභාපතිත්වය දරන බ්‍රිතාන්‍ය විසිනි. සති අන්ත රැස්වීම දැකගනු ලැබුවේ නිල රැස්වීමකට වඩා අඩු මට්ටමකිනි.

එහෙත් රැස්වීමේ අර්ධ නිල තත්වය හා අවසන් ප්‍රකාශයක් නිකුත් නොවීමේ අර්ථය, එසේ වුනා නම් මතභේද කැපී පෙනෙ ලෙස මතුවීමට ඉඩ තිබීමේ කාරනයයි.

රැස්වීම ආරම්භ වීමට පෙර ම එක්සත් ජනපද භාන්ඩාගාර ලේකම් ජැකොබ් ලිව්, යුරෝ කලාපීය ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට අසමත් වීම හා ඔවුන් කෙසේ හෝ තමන්ගේ අයවැය කප්පාදුව ලිහිල් කල යුතු බවට ඇමරිකාව යලි යලිත් කල ඉල්ලීම් වලට ඇහුන්කන් දීමට අසමත් වීම පිලිබඳව යුරෝපීයයන් විවේචනයට ලක් කලේය.

"අපට තදින්ම දැනීගොස් ඇත්තේ, කප්පාදු හා ආර්ථික වර්ධනය අතර නිවැරදි තුලනයක් පැවතීමේ අවශ්‍යතාවයි. සමස්ත යුරෝපයම දැනට වඩා හොඳින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් පවතියි. ප්‍රගතිය සඳහා ඉඩ ප්‍රස්ථා ඇත.” රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙමින් ඔහු පැවසීය.

මෙය කැනඩාවේ මුදල් ඇමති ජිම් ෆ්ලැහර්ටිගේ විවේචනයට ලක් විය. ඔහු පැසුවේ ජී-7 සමහරුන්ට "දෙපිටකාට්ටු ආස්ථානයන්” ඇති බවයි. "මෙහිදී තමන් සිටින්නේ කොහි දැයි ඇමරිකානුන් මීට වඩා හොඳින් පැහැදිලි කල යුතුය. මූල්‍ය වගකීම් වලට වඩා ආර්ථික වර්ධනය දිරිගැන්වීමට ඔවුන්ට අවශ්‍යව ඇති බව පෙනී යයි.”

කෙසේ වෙතත් එක්සත් ජනපදය මූල්‍ය ප්‍රසාරනයේ ප්‍රමුඛයා නො වේ. ඇමරිකානු ජනගහනයේ පුලුල් කොටස් කෙරෙහි දරුනු ලෙස බලපා ඇති වියදම් කප්පාදුව, ඔබාමා පාලනය යටතේ තියුනු කර තිබේ. එහෙත් එරට සලකන්නේ, යුරෝපීය කප්පාදු පිලිවෙත් හා එහි ප්‍රතිපල වශයෙන් මහාද්වීපය පුරා ඇතිව තිබෙන පසුබෑම, එක්සත් ජනපදයේ අපනයනයන්ට හා ආර්ථික වර්ධන‍ය පිලිබඳ බලාපොරොත්තු වලට අවහිරයක් ලෙසය.

යුරෝපය තුල සිටින ඇමරිකාවේ ප්‍රධාන විරුද්ධවාදියා ජර්මනියයි. පසුගිය මාසයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත රැස්වීම කාලයේ බලවතුන් දෙදෙනා අතර හටගත් ගැටුම් පුලුල් වශයෙන් සලකන ලද්දේ "උනුසුම්” ඒවා ලෙසය. එහිදී ජර්මනිය අවධාරනය කලේ පූර්වයෙන් අයවැය හිග අඩුකිරීමේ වැඩසටහන් පිලිබඳව ඇතිකරගත් එකඟත්වයන් අනුව කටයුතු කල යුතු බවයි.

රැස්වීමට පෙරාතුව ජර්මනියේ ආස්ථානය ලිහිල් වෙමින් තිබෙන බවට පලවූ ප්‍රකාශ තිබිය දී ම එරට මුදල් ඇමති වුල්ෆ්ගෑන්ග් ෂෝබල්, ජර්මනිය ද එක් රටක් වන ඊනියා අතිරික්ත සහිත රටවල් විසින් කරන මූල්‍ය බලපෑම් වඩා ලිහිල් කල යුතු බවට ඇමරිකාවෙන් කෙරුනු ඉල්ලීම් ප්‍රතික්ෂේප කලේය. එවන් ප්‍රතිපත්ති මාරුවක් විශ්වාසනීයත්වය හෑල්ලුවට ලක් කරනු ඇති බව ෂෝබල් අවධාරනය කලේය. "ජර්මනියේ වර්ධනය දිරිමත් කිරීමට නම් ඔබ විශ්වාසය යලි ගොනඟාගත යුතුය.” ඔහු පැවසීය.

ජර්මානු ප්‍රතිපත්තිය අතාර්කික යයි පුලුල් වශයෙන් සැලකේ. මක්නිසා ද යත්, වියදම් කපන අතරම අපනයන ඉහල නැංවීම, යුරෝපයේත් ජාත්‍යන්තරවත් සෑම රටකටම පලදායී වන පියවරක් නොවන බැවිනි. මේ සම්බන්ධයෙන් ෆිනෑන්ෂල් ටයිම්ස් ලියුම්කරු මාටින් වුල්ෆ් විවිධ ලිපි ලියා ඇත.

එහෙත්, ෂෝබල්ගේ වැඩසටහන ප්‍රකාශ කරන්නේ ජර්මානු මූල්‍ය ප්‍රාග්ධනයේ මූලික කොටස්වල අවශ්‍යතාය යන කාරනය එවන් විවේචන මඟින් නොසලකා හරියි. යුරෝපය පුරාම ක්‍රියාත්මක කල යුතු යයි බර්ලිනය කියා සිටින කප්පාදු වැඩසටහන යුරෝවේ අගය පහතින් තබාගැනීමේ හැකියාව ඇති කරයි. එය ප්‍රමුඛ ජර්මානු අපනයනකරුවන්ට සැලකිය යුතු වාසි අත්කර දෙයි. එමෙන්ම ජර්මානු බැංකු හා මූල්‍ය ක්‍රමය තුලට මුදල් ප්‍රවාහය හරවා යැවීමට ද උපකාරී වේ.

ලන්ඩනය ප්‍රධාන මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගැනීම අරමුනුකරගත් බ්‍රිතාන්‍යයේ ආර්ථික න්‍යායපත්‍රය, අභිප්‍රේරනය වන්නේ ද එම ජාතික උත්සුකයන් මගින් ම ය.

බ්‍රිතාන්‍යයේ මුදල් ඇමති ඔස්බෝන්, "ප්‍රකෘතිය අත්කර ගැනීම සඳහා අනුගමනය කල යුත්තේ කුමන ක්‍රියාමාර්ගය ද” යන්න සලකා බැලීමේ අවස්ථාවක් ජී-7 රැස්වීම මගින් උදාවී ඇති බව පැවසීය. ටෝරි-ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සභාගය දරුනු කප්පාදු වැඩසටහනක් පනවා තිබිය දී, එංගලන්ත මහ බැංකුව, බැංකු ක්‍රමය තුලට අතිශයින්ම ලාභ මුදල් පොම්ප කිරීමේ "ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ” ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නා වේ.

සිව් වසරකටත් වැඩි කාලයකට පෙර, එක්සත් ජනපදයේ ෆෙඩරල් මහ බැංකුව එම පිලිවෙත හඳුන්වාදීමේ තැන් පටන්, "ප්‍රමානාත්මක ලිහිල් කිරීම්” පිලිවෙතේ එක් බලපෑමක් වන්නේ, එය ක්‍රියාත්මක කරන රටේ මුදලේ වටිනාකම පහත වැටීම වන නිසා එය මූල්‍ය යුද්ධයන්ට තුඩුදෙන බවට විවේචන එල්ල වී තිබේ. අබේ ආන්ඩුවේ නියෝග මත කටයුතු කරන ජපාන මහ බැංකුව, අවධමනය වලක්වා ආර්ථිකය උත්තේජනය කිරීම පිනිස රටේ මුදල් සැපයුම වැඩි කිරීමට ගත් තීන්දුවෙන් පසුව, ඉහත කී ප්‍රශ්නය මෑතදී පැවති ජී-7 හා ජී-20 රැස්වීම්වල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත.

පෙබරවාරියේ පැවති ජී-7 රැස්වීමේ දී අවධාරනය කරන ලද පරිදි එවන් පිලිවෙතක්, දේශීය ආර්ථික උත්සුකයන් පිලිබිඹු කල යුතුවා විනා මුදල් අවප්‍රමාන කිරීම පිනිස යොදා නොගත යුතුය යන ප්‍රතිඥාව පසුගිය සති අන්තයේ පැවති රැස්වීමේ ද පුනරුච්ඡාරනය විය. ජපන් බලධාරීන් එම වචන අනුව යාමට කැමැත්තන්ම එකඟ වෙමින් ප්‍රකාශ කලේ, තමන් යෙන් මුදල ඉලක්ක කර නොගන්නා බවය. මුදල් ඇමති ටාරෝ අසෝ, තම මූල්‍ය ප්‍රතිපත්තිය මත ජී-7 රැස්වීමේ දී ජපානයට කිසිදු විවේචනයක් එල්ල නොවූ බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කලේය.

එහෙත් සාධක කථාකරන්නේ ඊට වැඩි හඬකිනි. වසර ආරම්භයේ පටන් යෙන් මුදල, ඩොලරයට හා යුරෝවට සාපේක්ෂව පිලිවෙලින් සියයට 15ක් හා ‍13ක් වශයෙන් පහත වැටී ඇත. ජී-7 රැස්වීම ආසන්නයේදීම යෙන් මුදල ඩොලරයට 101.7කරා, සිව් වසරක් තුල සාපේක්ෂව එහි පහතම අනුපාතය කරා පසු බැස්සේය.

ෆෙඩරල් මහ බැංකුව ද අනුගමනය කරන්නේ එම ප්‍රතිපත්තියම නිසා මේ අවස්ථාවේදී විවේචන එල්ල කිරීම සම්බන්ධව ඇමරිකානු මූල්‍ය බලධාරීන් කිසියම් පීඩනයකට හසුව සිටියි. එක්සත් ජනපද භාන්ඩාගාර ලේකම් ලිව් පැවසුවේ තම රට තත්වය සමීපව නිරීක්ෂනය කරමින් සිටින බවයි.

"මම මේ දැන් මූලික නීති ගැන හා අප පැහැදිලි කරගත් කාරනය සඳහන් කරන්නට බලාපොරොත්තු වන අතර අප ඒ ගැන ඇස ගසාගෙන සිටිය යුතුය.”

රැස්වීමෙන් පසුව කල ප්‍රකාශයක දී කැනේඩියානු මුදල් ඇමති ෆ්ලැෂර්ටි ජපානය නමින් සඳහන් නොකලත් මෙසේ පැවසීය. හුවමාරු අනුපාතිකයන් පිලිබඳ "කනස්සල්ලක සලකුනු” තිබෙන නමුත් "ජී-7 කන්ඩායමට අයත් සියලු රටවල් තමන්ව සලකා ගන්නේ නිදහස් වෙලඳාමට කැපවූවන් ලෙසය.”

යුරෝපිය සංඟමයේ ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ ඔල්ලි රේන්, සමුලුවට ඔන්න මෙන්න කියා තිබිය දී වාර්තාකරුවන්ට පැවසුවේ, ජී-20 හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීම්වල දී කලින් එලඹුනු තීන්දු වලට අනුව "මූල්‍ය යුද්ධ පිලිබඳව කිසිදු සාකච්ඡාවක් නොකිරීම වැදගත් වනු ඇත.” යනුවෙනි.

ඒ කෙසේ වුවත් යුද්ධය දිගටම සිදු විය. ඇමරිකානු බැංකුවේ ගනන් බැලීම් අනුව, 2007 පටන් ලෝකය පුරා මහ බැංකු විසින් සිදුකල පොලී අනුපාත පහත හෙලීම් 520ක් තරම් සිදුව ඇත. මෑත අවධියේ සිදුවූ වඩාත්ම වැදගත් එක, මේ සතිය තුල ඕස්ට්‍රේලියාවේ සංචිත බැංකුව සිදු කල අනුපාත පහත හෙලීමයි. එහි තීරනය දැනුම් දීමේදී සලකුනු කලේ ඕස්ට්‍රේලියානු ඩොලරයේ ඉහල අගයයි.

වෙලඳ යුද්ධ පිලිබඳ කාරනය පසෙකින්, බිඳ වැටී‍මක් ඇතිකල හැකි පරිදි, නව මූල්‍ය බුබුලු නිර්මානය කරමින් මූල්‍ය වෙලඳපොලවල් වලට ඩොලර් බිලියන සිය ගනනින් පොම්ප කරන මහ බැංකුවල ඓතිහාසිකව පෙර නොවූ විරූ කටයුතු පිලිබඳව ද කනස්සල්ල පලවෙයි. ෆෙඩරල් මහ බැංකු අධිපති බෙන් බර්නන්කේ පසුගිය 10දා චිකාගෝහි පැවති කථාවක දී, වැඩිම අවදානම් සහිත වත්කම් ප්‍රතිලාභවල වැටීමක් සලකුනු කරන "අමතර අවදානම් දැරි‍ම” පිලිබඳව තමන් "විශේෂ සමීපතාවයකින්” යුක්තව නිරීක්ෂනය කරමින් සිටින බව පැවසීය. කෙසේ වෙතත් මහ බැංකුවේ ප්‍රතිපත්ති මගින් සිදු කෙරෙන්නේ එවන් ක්‍රියාකාරකම් දිරිගැන්විමයි. ෆිනෑන්ෂල් ටයිම්ස්පත්‍රය 10දා සඳහන් කල පරිදි, "අවම ලෙස නීර්නය කල ව්‍යාපාරික නය නැත්නම් බුන්වත් බැඳුම්කර සාමාන්‍ය ප්‍රතිලාභ, 2007 එක්සත් ජනපද භාන්ඩාගාර බැඳුම්කර සඳහා ලැබුනු ප්‍රතිලාභයන්ට ද වඩා පහත සියයට 5ක් දක්වා වැටුනි.”

මූල්‍ය වෙලඳපොලවලට දෝරේ ගලන ලාභ මුදල් සම්පාදනය හමුවේ බඩජාරී බැංකු හා ප්‍රමුඛ මූල්‍ය ආයතනවල ආකල්පය වන්නේ, හිරු බබලද්දී හා යක්ෂයා පසු පාදයට යද්දී හැකිතාක් ගොඩගසා ගැනීමයි. ලෝකයේ විශාලතම බැඳුම්කර වෙලඳ ආයතනය වන පිම්කෝහි ප්‍රධාන විධායක මොහමඩ් එල් අරියන් මෑත හමුවක දී කියා සිටියේ, මහ බැංකු "අපගේ අතිජාත මිතුරන්ය” යනුවෙනි.

Share this article: